Skip to content

රුසියාව

විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - රුසියාව

විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - රුසියාව

රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සාමකාමී නීතිගරුක අය විදිහට නම් දරලා හිටියත් 20වෙනි සියවසෙන් වැඩි කාලයක් එයාලා ඒ රටේ පාලකයන් අතින් දරුණු හිංසා පීඩාවලට ගොදුරු වුණා. සෝවියට් සංගමයේ පාලකයන්ට ඕනෙ වුණේ සමාජවාදී මත පිළිගන්න සාක්ෂිකරුවන්ට බල කරන්න. බයිබලයක්වත් ආගමික පොතක් පත්‍රිකාවක්වත් ළඟ තියාගන්න දුන්නේ නැහැ. බලධාරීන් හිටියේ එයාලා ගැන නිරන්තර සෝදිසියෙන්. එයාලා රැස්වීම් පැවැත්තුවේ රහසිගතව. අහු වුණා නම් පහර කෑම්වලටත් දිගු කාලයක් සිරගත කිරීම්වලටත් ලක් වෙන්න වුණා. ආණ්ඩුව දහස් ගාණක් සාක්ෂිකරුවන්ව සයිබීරියවට පිටුවහල් කෙරුවා.

1991දී රුසියාවේ ආණ්ඩුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නීත්‍යානුකූලව පිළිගත්තා. බලධාරීන්ගේ ඇඟිලි ගැහීමක් නැතුව නිදහසේ නමස්කාර කටයුතු කරගෙන යන්න පුළුවන් වුණා. ඒත් ඒ නිදහස වැඩි කල් තිබුණේ නැහැ.

2009දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් “අන්තවාදීයි” කියලා ලේබල් කරලා පහළ උසාවියක් ලබා දුන්න තීන්දුව රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළා. එදා ඉඳලා විරුද්ධවාදීකම් සහ තහංචි උත්සන්න වුණා. අවුරුදු ගාණක් තිස්සේ කරපු නීතික සටන්වලින් පස්සේ 2017 අප්‍රියෙල් මාසේ රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය “අන්තවාදී ක්‍රියාකාරකම්” කියන චෝදනාව යටතේ සාක්ෂිකරුවන්ගේ නීතික ආයතන නවතා දාන්න තීන්දු කළා. බලධාරීන් විසින් සාක්ෂිකරුවන්ගේ දේපළ රාජසන්තක කරන්න, එයාලගේ නමස්කාර මධ්‍යස්ථාන වහලා දාන්න, ආගමික පොත් පත් “අන්තවාදී ප්‍රකාශන” විදිහට ප්‍රකාශ කරන්නත් වහාම පියවර ගත්තා.

රුසියාවේ බලධාරීන් සාක්ෂිකරුවන්ගේ නීත්‍යානුකූල ආයතනවලට එල්ල කරන ප්‍රහාරය එතනින් නතර කරන්නේ නැතුව සාක්ෂිකරුවන්ව තනි තනියම ඉලක්ක කරන්න තීරණය කෙරුවා. එයාලා සීමාව ඉක්මවා ගිහින් තහනම් කරපු සංවිධානයයි එක් එක් සාක්ෂිකරුවා කරන නමස්කාරයයි සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. ඒ අනුව බලධාරීන් සාක්ෂිකරුවන්ගේ නිවාස වටලන්න, පහත් විදිහට සලකන්න, දැඩි ප්‍රශ්න කිරීම් කරන්න පටන්ගත්තා. හැම වයසකම ඉන්න සාක්ෂිකරුවන්ව ගැහැණුද පිරිමිද කියලා බලන්නේ නැතුව අත්අඩංගුවට අරන් වරදකරුවන් කරලා නිවාස අඩස්සියේ තිබ්බා නැත්නම් හිරේට යැව්වා.

2017 අප්‍රියෙල් මාසේදී තහනම් කළාට පස්සේ සාක්ෂිකරුවන් සියගාණක් නඩු විභාගයකින් තොරව රඳවාගෙන හරි සිරගත කර හරි තියෙනවා. ඒ අන්තවාදීන් කියන චෝදනාව යටතේ. 2024 ඔක්තෝබර් 18වෙනිදා වෙද්දී සාක්ෂිකරුවන් 131දෙනෙක් සිරගතව ඉන්නවා.

දරුණු සැලකීම්වලට විරුද්ධව හඬ නඟයි

සාක්ෂිකරුවන්ට විරුද්ධව කරන කුරිරු හිංසනය නවත්තන්න කියලා ජාත්‍යන්තරය නැඟී හිටියත් රුසියාවේ බලධාරීන් ඒ ගැන කිසි තැකීමක් කරන්නේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව සිදු කරන කුරිරු හිංසා පීඩා ගැන රුසියාවෙන් පිට ජීවත් වෙන නිරීක්ෂකයන් සහ විවිධ අධිකරණ මගින් රුසියානු රජය තදින් හෙළා දැක තියෙනවා.

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හිංසා කිරීම හෙළා දැක්ක මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය 2022 ජූනි 7වෙනිදා රුසියාවට එරෙහිව ඓතිහාසික තීන්දුවක් නිකුත් කෙරුවා (Taganrog LRO and Others v. Russia, nos. 32401/10 and 19 others). රුසියාව 2017දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කිරීම නීති විරෝධී බව අධිකරණය ප්‍රකාශ කළා. අධිකරණය රුසියාවට නියෝග කෙරුවේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එරෙහිව විභාග වෙන සියලුම අපරාධ නඩු අත්හිටුවන්න අවශ්‍ය සියලු පියවර ගන්න . . . [සිරගත කර සිටින] යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නිදහස් කරන්න” කියලයි. ඒ වගේම රාජසන්තක කරපු සියලුම දේපල ආපසු බාර දෙන්න කියලත් එහෙම නැත්නම් වන්දියක් විදිහට ඩොලර් මිලියන 60කට වැඩි මුදලක් ගෙවන්න කියලත් ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමෙයි නඩුවේ අයදුම්කරුවන්ට ඩොලර් මිලියන 3කට වැඩි මුදලක් සල්ලිවලින් මිලක් නියම කරන්න බැරි හානි සඳහා ගෙවන්නත් නියෝග කළා.

යුරෝපා කවුන්සිලයේ මහ ලේකම්ගේ ලිපිය: 2022 දෙසැම්බර් 9වෙනිදා රුසියානු විදේශ කටයුතු අමාත්‍ය මරීජා පෙජිනොවිච් බුරික්ට යවපු ලිපියක මෙහෙම සඳහන් වුණා. “මෙය මොස්කව්හි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහ වෙනත් අය මෙන්ම කෘප්කෝ සහ වෙනත් අය සම්බන්ධ නඩුවල අයදුම්කරුන්ගේ ආගමික ප්‍රජාව විසුරුවා හැරීම, එහි ක්‍රියාකාරකම් තහනම් කිරීම, සාමකාමී ආගමික සැමරීමක් විසුරුවා හැරීම සහ ඊට සහභාගි වූ සමහර අයගේ නිදහස අහිමි කිරීම යන කරුණු සම්බන්ධයෙනි. කමිටුව බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සියලුම සංවිධානවල ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති තහනම ඉවත් කර ඔවුන්ට එරෙහිව දමා ඇති සියලුම අපරාධ නඩු විභාග කිරීම නතර කරන ලෙසයි.”

යුරෝපා කවුන්සලයේ කමිටු සාමාජිකයන්ගේ තීරණය: 2023 සැප්තැම්බර්වල පවත්වපු රැස්වීමේදී කමිටු සාමාජිකයන් [CoM] සඳහන් කළේ “යුරෝපා මානව හිමිකම් පිළිබඳ අධිකරණයේ නීති සංග්‍රහයේ 46වෙනි වගන්තිය සහ Taganrog LRO නඩු තීන්දුවේ ක්‍රියාකාරී කොටසට අනුව, සිරගතව සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නිදහස් කිරීමට දුන් නියෝගය රුසියානු බලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම සහ හිතාමතාම නොසලකා හරින ලදී” කියලයි. රුසියාව සිදු කළ මෙම ක්‍රියාව සැලකිල්ලට ගනිමින් කවුන්සලයේ කමිටු සාමාජිකයන් [CoM] විසින් “මෙම නඩු සමූහය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට සහ රුසියානු සමූහාණ්ඩුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හිංසා පීඩා කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල අවධානයට යොමු කිරීමට තීරණය කළේය. එහි අරමුණ වන්නේ මේ සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුවලට අවනත වීමට රුසියාවට නියෝග කිරීමයි.”

අසාධාරණ තීන්දු!

  • 2024 ජනවාරි 25වෙනිදා සෝනා ඔලපෝවාට අවුරුදු දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් දුන්නා. එයා අවුරුදු 37ක් වයස විවාහක කෙනෙක්. එයාව දැම්මේ සමාරා ප්‍රදේශයේ තියෙන සිරකඳවුරකට. 2023 මැයිවලදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සෝනාගේ ගෙදර සෝදිසි කළා. ඊටපස්සේ එයාට විරුද්ධව නඩු පවරලා එයාව අන්තවාදී වැඩකටයුතුවලට සම්බන්ධයි කියන චෝදනාවට වරදකරු කළා. තමන්ගේ ආගම අදහන අය එක්ක දෙවියන්ට නමස්කාර කරන එක තමයි එයා කරපු එකම වරද. එයා මෙහෙම කියනවා. “නිලධාරීන් සැලකිල්ලට ගන්නේ නැති කාරණයක් තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා ඉන්න ගමන් කෙනෙක්ට අන්තවාදියෙක් විදිහට වැඩ කරන්න බැහැ කියන දේ.”

  • 2024 පෙබරවාරි 6වෙනිදා ඩිමිට්‍රි බාමාකින්ට විරුද්ධව පහළ අධිකරණයෙන් දුන්න තීන්දුව අභියාචනාධිකරණයෙනුත් තහවුරු කළා. උසාවියෙන් එයාව කෙළින්ම සිරකඳවුරට අරගෙන ගියා. එයාගේ දඬුවම් කාලය අවුරුදු 8යි. 2018 ජූලි මාසේ ආයුධ ගත්ත නිලධාරීන් ඩිමිට්‍රි සහ එයාගේ බිරිඳ යෙලේනා හිටපු නිවාස සංකීර්ණයට කඩා පැන්නා. එයාලා එහෙට ගිහින් හිටියේ යෙලේනාගේ අවුරුදු 90ක් වයස ආච්චිව බලාගන්න. ඊටපස්සේ ඒ දෙන්නාව එයාලා පදිංචි වෙලා හිටපු විලාඩිවෝස්ටොක්වලට අරන් ගිහින් එහෙදී ඩිමිට්‍රිව අත්අඩංගුවට ගත්තා. “අන්තවාදී සංවිධානයක වැඩකටයුතු සංවිධානය කිරීමේ” චෝදනාව පිට එයාට නඩු පැවරුවා. එයා දැන් ඉන්නේ කබරෆ්ස්ක් ප්‍රදේශයේ තියෙන රැඳවුම් මධ්‍යස්ථානයක. එයාව 2029 නොවැම්බර්වලදී නිදහස් කරන්න නියමිතයි. යෙලේනාට විරුද්ධවත් නඩු පවරලා තියෙනවා.

  • ඇලෙක්සැන්ඩ චේගන් කියන්නේ විවාහක, වයස අවුරුදු 53ක සහෝදරයෙක්. 2024 පෙබරවාරි 29වෙනිදා සමාරා ප්‍රදේශයේ තියෙන සෙන්ට්‍රාල්නී දිස්ත්‍රික් අධිකරණය එයාව වරදකරුවෙක් විදිහට තීන්දු කරලා අවුරුදු 8කට සිරගත කරන්න නියම කළා. ඒක රුසියාවේ ඉන්න සාක්ෂිකරුවෙක්ට දැනට දීලා තියෙන දීර්ඝම දඬුවම් කාලයයි. නඩු තීන්දුවෙන් පස්සේ එයාව අත්අඩංගුවට ගත්තා. මේ වෙද්දී එයාව රඳවලා තියෙන්නේ සමාරා ප්‍රදේශයේ තියෙන අංක 4 රැඳවුම් මධ්‍යස්ථානයේ. ඇලෙක්සැන්ඩ චේගන්ව 2032 ජනවාරිවල නිදහස් කරන්න නියමිතයි.

  • 2024 මාර්තු 5වෙනිදා සයිබීරියාවේ ඉර්කුට්ස්ක් ප්‍රදේශයේ උසාවියකදී සාක්ෂිකරුවන් 9දෙනෙක්ව අන්තවාදී වැඩකටයුතුවලට හවුල් වුණා කියන චෝදනාව පිට වරදකරුවන් කළා. ඒ 9දෙනාගෙන් වයසකම කෙනාට වයස 72යි. ඒ 9දෙනාටම අවුරුදු 7 දක්වා සිරඳඩුවම් නියම කළා. මේ හැම දේම පටන්ගත්තේ 2021 ඔක්තෝබර් මාසේදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කරපු නිවෙස් සෝදිසි කිරීමේ මෙහෙයුම් එක්ක. ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගත්ත යරොස්ලාව් කාලින් තාමත් අවුරුදු 2ක් තිස්සේ ඉන්නේ රැඳවුම් මධ්‍යස්ථානයක. එයා කියනවා “මේක මනුස්සයෙක්ට තියා සතෙකුටවත් ඉන්න සුදුසු තැනක් නෙමෙයි” කියලා.

  • අවුරුදු 7ක සිරදඬුවම විඳින රීනාට් කිරෙමොෆ්ව 2024 අප්‍රේල්වලදී රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඳන් බන්ධනාගාර රෝහලකට මාරු කළා. ඒ එයාට ක්ෂය රෝගය තියෙනවා කියලා බොරු හේතුවක් මවලා. 2021 නොවැම්බර්වලදී තමයි අවුරුදු 36ක් වයස කිරෙමොත්ට අන්තවාදී වැඩකටයුතුවලට සහය දීමේ චෝදනාව පිට නඩු පැවරුවේ. අවුරුදු 1 1/2ක කාලයක් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවලා තියාගත්තාට පස්සේ එයාට අවුරුදු 7ක සිරදඬුමක් නියම කළා. රීනාට්ව බන්ධනාගාර රෝහලට අරගෙන ගියාට පස්සේ සිරකරුවන් පිරිසක් එයාට ශාරීරික වධ හිංසා කළා. කරන්ට් එක පවා ඇල්ලුවා. දවස් හතරක් තිස්සේ එයාට කෑම බීමවත් නිදාගන්නවත් ලැබුණේ නැහැ. කරපු පරීක්ෂණවලින් එයාට ක්ෂය රෝගය නැහැ කියලා ඔප්පු වුණ නිසා 2024 මැයි 17වෙනිදා එයාව ආයෙත් රුඳවුම් මධ්‍යස්ථානයටම අරගෙන ගියා. එයාව 2027 දෙසැම්බර් මාසේ නිදහස් කරන්න නියමිතයි.

  • 2024 ජූනි 20වෙනිදා කබරෆ්ස්ක් ප්‍රදේශයේදී සාක්ෂිකරුවන් 3දෙනෙක්ව අත්අඩංගුවට අරන් සිරදඬුවම් නියම කළා. නිකොලායි පොලෙවොඩොව්ට අවුරුදු 8ක් සහ මාස 6කුත් විටාලි සූක්ට අවුරුදු 8ක් සහ මාස 4කුත් ස්ටෙනිස්ලාවු කිම්ට අවුරුදු 8ක් සහ මාස 2කුත් සිරදඬුවම් නියම කළා. ඒක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කළාට පස්සේ රුසියානු අධිකරණයකින් නියම කරපු දීර්ඝතම සිරදඬුවම. අන්තවාදී සංවිධානයක වැඩකටයුතු සංවිධානය කිරීමේ චෝදනාවට තමයි එයාලව වරදකරුවන් කළේ. ඒත් ඇත්තටම එයාලා පවුලේ අය සහ අනිත් සාක්ෂිකරුවන් එක්ක එකට එකතු වුණේ බයිබලය කියවලා ඒක අධ්‍යයනය කරන්නයි. 2024 ඔක්තෝබර් මාසයේදී එයාලට දීපු සිරදඬුවම අවුරුද්දකට අඩු කරලා ඒක අත්හිටවූ සිරදඬුවමක් විදිහට වෙනස් කළා. පස්සේ ඒ තුන්දෙනාව නිදහස් කළා.

අසාධාරණයට තිත තැබීමට නොනවතින වෑයමක්

රුසියාවේ බලධාරීන් එහේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සලකන්නේ හරිම දරුණු විදිහට. ඒ ගැන ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් ඉන්නේ කනස්සල්ලෙන්. ඒ සාක්ෂිකරුවන් රුසියාවේ බලධාරීන්ට සිය දහස් ගාණක් ලියුම් යවලා තියෙනවා සිරගත කරලා ඉන්න සාක්ෂිකරුවන්ව නිදහස් කරන්න කියලා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් රුසියාවේ හැම මට්ටමකම අධිකරණවලට මේ ගැන පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයෙත් නඩු විශාල ප්‍රමාණයක් ගොනු කරලා තියෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට, අත්තනෝමතික රඳවාගැනීම් ගැන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට (WGAD) මේ ගැන පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මානව හිමිකම් කඩ කිරීම් නිරීක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානවලටත් නිල වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. රුසියාවේ සාක්ෂිකරුවන් මූණ දෙන මේ දරුණු ආගමික හිංසනය රුසියාවේ බලධාරීන් නවත්වන තුරු ඊට අදාළ හැම අංශයක්ම දැනුවත් කරන එක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිගටම කරගෙන යනවා.

කාල රේඛාව

  1. 2024 ඔක්තෝබර් 18

    සිරගත කරලා තියෙන සාක්ෂිකරුවන්ගේ මුළු ගණන 131යි.

  2. 2023 ඔක්තෝබර් 24

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව (CCPR) එලිස්ටා සහ අබින්ස්ක් ප්‍රාදේශීය ආගමික සංවිධානවලට සම්බන්ධ නඩු ගැන අදහස් දෙකක් ඉදිරිපත් කළා. ඒ දෙකේදීම මානව හිමිකම් කමිටුව කිව්වේ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ 18.1ට (“හැමදෙනාටම සිතීමේ, ආගම් ඇදහීමේ නිදහසට ඇති අයිතිය”) සහ 22.1ට (“කැමති කෙනෙක්ව ආශ්‍රය කිරීමේ නිදහස”) අනුව රුසියාව සාක්ෂිකරුවන්ගේ අයිතීන් උල්ලංගනය කරලා තියෙනවා කියලයි. ඒ ලබා දුන්න තීන්දුවලින් පැහැදිලිව පේනවා සාක්ෂිකරුවන්ගේ ආගමික ප්‍රකාශනවල වෛරය සහ ප්‍රචණ්ඩත්වය අවුස්සන කිසිම දෙයක් නැහැ කියලා.

  3. 2022 ජූනි 7

    පාලකයන් අතින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සිදු වෙන හිංසා පීඩා හෙළා දකිමින් ECHR අධිකරණය ඓතිහාසික තීන්දුවක් (Taganrog LRO and Others v. Russia) ලබා දෙයි.

  4. 2022 ජනවාරි 12

    රුසියාවේ අධිකරණ අමාත්‍යාංශය ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ආණ්ඩුවේ අන්තවාදී ප්‍රකාශන ලැයිස්තුවට එකතු කළා. අන්තවාදී එකක් විදිහට රුසියාව විසින් තහනම් කරපු මුල්ම සහ එකම ඇප් එකයි මේ.

  5. 2021 සැප්තැම්බර් 27

    2021 මාර්තු 31වෙනිදා රුසියාවේ අධිකරණය ‘JW ලයිබ්‍රරි’ ඇප් එක අන්තවාදී තොරතුරු ඇතුළත් ඇප් එකක් කියලා චෝදනා කරලා ඒක රුසියාවේ සහ ක්‍රිමියාවේ පාවිච්චි කරන එක තහනම් කළා. ඒ තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරපු අභියාචනාව ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ අධිකරණය ප්‍රතික්ෂේප කෙරුවා. අභියාචනා තීන්දුව මුල් තීන්දුවට පක්ෂව ලබා දුන්න නිසා තීන්දුව දුන්න මොහොතේ සිට තහනම ක්‍රියාත්මක වුණා.

  6. 2019 අප්‍රියෙල් 26

    දිමිත්‍රි මිකායිලොෆ් මහතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර තිබෙන බව අත්තනෝමතික රඳවාගැනීම් ගැන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම සොයා ගත් අතර රුසියානු බලධාරීන් අතින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එල්ල වන පීඩා හෙළා දකියි.

  7. 2017 අප්‍රියෙල් 20

    රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙත් සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය ආගමික සංවිධාන 395කත් වැඩකටයුතු තහනම් කරයි.