Skip to content

666 කියන සංඛ්‍යාවෙන් අදහස් කරන්නේ මොකක්ද?

666 කියන සංඛ්‍යාවෙන් අදහස් කරන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ අවසාන පොතේ කියන විදිහට, 666 කියන සංඛ්‍යාව මුහුදෙන් මතු වන අං දසයක් සහ හිස් හතක් ඇති මෘගයාගේ නමයි. (එළිදරව් 13:1, 17, 18) ඒ මෘගයාගෙන් නියෝජනය කරන්නේ ලෝක ව්‍යාප්ත දේශපාලන ක්‍රමයයි. ඒ මෘගයා “සියලු ගෝත්‍රයන්ද ජනයන්ද භාෂාවන්ද ජාතීන්ද” පාලනය කරනවා කියලා බයිබලයේ කියනවා. (එළිදරව් 13:7) ඒ මෘගයාට 666 කියන නම දීලා තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ දේශපාලන ක්‍රමය දෙවියන් ඉදිරියේ මුළුමනින්ම අසාර්ථකයි කියලයි. එහෙම කියන්නේ ඇයි?

  ලේබලයක් විතරක් නෙමෙයි. දෙවියන් දැම්ම නම්වලට අර්ථයක් තිබෙනවා. උදාහරණයකට, “උසස් කරනු ලැබූවන්ගේ පියා” කියන අර්ථය තියෙන ආබ්‍රම්ව “බොහෝ ජාතීන්ගේ පියා” හැටියට පත් කරනවා කියලා දෙවියන් පොරොන්දු කරපු අවස්ථාවේ ඔහුගේ නම ආබ්‍රහම් කියලා වෙනස් කළා. ඒකේ අර්ථය “සමූහයකගේ පියා” කියන එකයි. (උත්පත්ති 17:5, පාදසටහන්) ඒ හා සමානව දෙවියන් මෘගයාට 666 කියන නම දීලා තියෙන්නේ මෘගයාටම ආවේණික ගතිලක්ෂණ සංකේතවත් කරන්නයි.

  6න් අදහස් කරන්නේ අසම්පූර්ණයි කියන එකයි. බයිබලයේ බොහෝ අවස්ථාවලදී අංකවලින් යමක් සංකේතවත් කළා. අංග සම්පූර්ණයි හෝ පරිපූර්ණයි කියන අදහස දෙන්න අංක 7 යොදාගෙන තියෙනවා. 7ට එකක් අඩු නිසා අංක 6න් අදහස් කරන්නේ දෙවියන් ඉදිරියේ අසාර්ථකයි කියන එකයි. අංක 6 දෙවියන්ගේ සතුරන්ට සම්බන්ධ අංකයක් වෙන්නත් පුළුවන්.—1 ලේකම් 20:6; දානියෙල් 3:1.

  3න් සැරයක් සඳහන් කෙරුවේ අවධාරණය කරන්නයි. බයිබලයේ සමහර කාරණා අවධාරණය කරන්න 3න් සැරයක් සඳහන් කරලා තියෙනවා. (එළිදරව් 4:8; 8:13) එහෙමනම් 666, ඒ කියන්නේ 6 අංකය 3න් සැරයක් සඳහන් කරලා තියෙන එකෙන් අවධාරණය කරන්නේ දෙවියන් ඉදිරියේ ලෝක ව්‍යාප්ත දේශපාලන ක්‍රමය මුළුමනින්ම අසාර්ථකයි කියලයි. කිසිම දේශපාලන ක්‍රමයකට කල් පවතින සාමයවත් රැකවරණයවත් ලබා දෙන්න පුළුවන් වෙලා නැහැ. ඒක ලැබෙන්නේ දේවරාජ්‍යය යටතේදී විතරයි.

මෘගයාගේ සලකුණ

 නමස්කාරය දෙනවා වගේ ‘ගෞරවයක්’ මෘගයාට දෙන අයට “මෘගයාගේ සලකුණ” ලැබෙනවා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. (එළිදරව් 13:3, 4; 16:2) තමන්ගේ මව්බිමට, රටේ ලාංඡනවලට සහ හමුදා බලයට ගෞරවය ලබා දීලා මිනිසුන් ඒ දේ කරනවා. ආගමික විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙලා තියෙනවා. “වර්තමාන ලෝකය තුළ ජාතිවාදය ප්‍රබලව පවතින ආගමක් වෙලා.” aThe Encyclopedia of Religion.

 කෙනෙක් තමාගේ දකුණු අතට හෝ නළලට මෘගයාගේ සලකුණ දාගන්නේ කොහොමද? (එළිදරව් 13:16) දෙවියන් ඔහු දුන්න නීති සම්බන්ධයෙන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ මෙහෙමයි. “ඒවා ඔබේ අතෙත් නළලෙත් බැඳගන්න.” (ද්විතීය කතාව 11:18) ඒකෙන් අදහස් කළේ දෙවිගේ නීති අතේ හෝ නළලේ ලියාගන්න කියලා නෙමෙයි. ඒ වෙනුවට ඔවුන් ජීවිතයේ හැම කාරණයකදීම දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කරන්න ඕන කියන එකයි. ඒ හා සමානව 666 කියන මෘගයාගේ සලකුණත් කෙනෙක් තමන්ගේ අතේ හෝ නළලේ ලකුණු කරගන්න දෙයක් නෙමෙයි. දේශපාලන ක්‍රමවලට තමන්ව පාලනය කරන්න ඉඩහරින අය සංකේතාත්මක ආකාරයකට ඒ ලකුණ දාගන්නවා. ඒ කියන්නේ මෘගයාගේ සලකුණ ලබාගන්නවා. ඒ වගේ සලකුණක් ලබන අය දෙවියන්ගේ සතුරන් වෙනවා.—එළිදරව් 14:9, 10; 19:19-21.

a මේ පොත්ද බලන්න. Nationalism in a Global Era 134වෙනි පිටුව සහ Nationalism and the Mind: Essays on Modern Culture 94වෙනි පිටුව.