Skip to content

ලොවම නැරඹූ වෙබ්කාස්ට් එකක්

ලොවම නැරඹූ වෙබ්කාස්ට් එකක්

2013 ඔක්තෝබර් 5වෙනි සෙනසුරාදා, විවිධ රටවල් 21කට අයත් 2,57,294දෙනෙක් වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් පවත්වපු 129වෙනි වාර්ෂික රැස්වීමට සහභාගි වුණා. සමහර අය ඒ රැස්වීම පවත්වපු තැනට ආවා. තවත් සමහර අය වෙබ්කාස්ට් එකකින් ඒ කියන්නේ, අන්තර්ජාලය හරහා කෙරුණු සජීවී විකාශනයකින් ඒක බැලුවා. තවත් සමහර අය පස්සේ වෙලාවක මේ රැස්වීමේ නැවත විකාශය බැලුවා. ඒ අනුව මේ රැස්වීම රටවල් 31කට අයත් 14,13,676දෙනෙක් නැරඹුවා. මෙතෙක් සාක්ෂිකරුවන් පවත්වපු විශාලම රැස්වීම වුණේ, 2013 අප්‍රියෙල් 28වෙනිදා මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ පවත්වපු විශේෂ රැස්වීමයි. ඒකට 13,27,704දෙනෙක් සහභාගි වුණා. නමුත් දැන් සාක්ෂිකරුවන් පවත්වපු ලොකුම රැස්වීම වෙන්නේ ඔක්තෝබර් 5වෙනිදා පවත්වපු රැස්වීමයි.

1920 ගණන්වල ඉඳලම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ සමුළු ලොව පුරාම ඉන්න අයට දුරකථනය හා ගුවන්විදුලිය මාර්ගයෙන් අහන්න සැලැස්සුවා. හැබැයි දැන් තාක්ෂණය දියුණු නිසා ඕනම තැනක ඉන්න කෙනෙක්ට මේ වගේ රැස්වීම් අහන්නත් දකින්නත් පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන විලියම්, 1942දී එක්සත් ජනපදයේ රිච්මන්ඩ් නගරයේ පවත්වපු සමුළුවට දුරකථනයෙන් ඇහුම්කන් දුන්නා. ඒ අද්දැකීමත් එක්ක මේ වාර්ෂික රැස්වීම සන්සන්දනය කරපු ඔහු මෙහෙම කිව්වා. “රැස්වීමක දේවල් අහනවාට වඩා ඒවා දකින්න පුළුවන් නං ඉගෙනගන්න දේවල් හිතටම යනවා. ඒක තමයි හොඳම ක්‍රමය.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල කිහිපයකම ඉන්න සාක්ෂිකරුවන් මේ වෙබ්කාස්ට් එක සාර්ථකව කරගන්න අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ගොඩක් මහන්සි වුණා. ඔවුන්ට ඒ වෙනුවෙන් පැය දහස් ගණනක් වැඩ කරන්න සිද්ධ වුණා. මේ වෙබ්කාස්ට් එක විවිධ රටවල අයට දැකගන්න සලස්වපු නිසා එක්සත් ජනපදයේ බෘක්ලින් නගරයේ තිබුණු පාලක මධ්‍යස්ථානයේ වැඩ කරපු අයට මාරුවෙන් මාරුවට දිවා රෑ නොබලා ඒක අධීක්ෂණය කරන්න වුණා. මේ වැඩවලට සම්බන්ධ වුණ රයන් මෙහෙම කිව්වා. “අපිට නිදි මරන්න වුණා තමයි. හැබැයි දහස් ගාණකට ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතද්දී ඇත්තටම අපිට සතුටුයි.”

ඕස්ට්‍රේලියාවේ කැතරින් නගරයේ සාක්ෂිකරුවන් වෙබ්කාස්ට් එක නරඹමින්