Skip to content

පටුනට යන්න

මතෙව් 5-7 පරිච්ඡේද

මතෙව් 5-7 පරිච්ඡේද

5 ඒ සෙනඟව දැක්කාම යේසුස් කන්ද උඩට ගිහින් එක තැනක ඉඳගත්තා. ඔහුගේ ගෝලයොත් ඔහු ළඟට ආවා. 2 ඊටපස්සේ යේසුස් ඒ අයට මෙහෙම උගන්වන්න පටන්ගත්තා.

3 “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්. මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි.

4 “වැලපෙන අය සන්තෝෂවත්. මොකද එයාලට සැනසීම ලැබෙනවා.

5 “නිහතමානී අය a සන්තෝෂවත්. මොකද එයාලට පොළොව උරුම වෙනවා.

6 “දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ලොකු ආශාවක් තියෙන අය සන්තෝෂවත්. මොකද දෙවියන් එයාලාගේ ආශාව තෘප්තිමත් කරනවා.

7 “දයාවන්ත අය සන්තෝෂවත්. මොකද අනිත් අය එයාලටත් දයාව පෙන්වනවා.

8 “පවිත්‍ර හිත් තියෙන අය සන්තෝෂවත්. මොකද එයාලට දෙවියන්ව දකින්න ලැබෙනවා.

9 “සාමය ඇති කරන්න වෙහෙසෙන අය සන්තෝෂවත්. මොකද එයාලව දෙවියන්ගේ පුතාලා විදිහට හඳුන්වයි.

10 “දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා පීඩා විඳින අය සන්තෝෂවත්. මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි.

11 “මං නිසා මිනිස්සු ඔයාලට නින්දා පීඩා කරද්දී, දුෂ්ට විදිහට ඔයාලා ගැන එක එක විදිහේ බොරු චෝදනා කරද්දී ඔයාලා සන්තෝෂවත්. 12 සතුටු වෙන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න. මොකද ස්වර්ගයේ ඔයාලට වටිනා තෑග්ගක් තියෙනවා. ඔයාලට කලින් හිටපු අනාගතවක්තෘවරුන්ටත් එයාලා ඒ විදිහටම පීඩා කළා.

13 “පොළොවේ ලුණු ඔයාලයි. ඒත් ලුණුවල ලුණු රසය නැති වුණොත් ඒ රස ආයෙත් ගන්න පුළුවන්ද? ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඒක එළියට වීසි කරලා දාන්න වෙනවා. අන්තිමට වෙන්නේ ඒක මිනිස්සුන්ගේ පයට පෑගිලා යන එකයි.

14 “ලෝකයේ ආලෝකය ඔයාලයි. කන්දක් මුදුනේ නුවරක් තියෙද්දී ඒක හංගන්න බැහැ. 15 මිනිස්සු පහනක් දල්වලා ඒක කූඩයකින් වහලා තියන්නේ නැහැ. ඒ වෙනුවට ඒක තියන්නේ පහන් රුකක් උඩ. එතකොට ඒකෙන් ගෙදර ඉන්න හැමෝටම ආලෝකය ලැබෙනවා. 16 ඒ විදිහට ඔයාලත් මිනිස්සු ඉස්සරහා ඔයාලාගේ ආලෝකය විහිදුවන්න. එතකොට ඒ අය ඔයාලා කරන හොඳ දේවල් දැකලා ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන්ට ප්‍රශංසා කරයි.

17 “මං ආවේ නීතියවත් අනාගතවක්තෘවරුන් කියපු දේවල්වත් නැති කරලා දාන්න කියලා හිතන්න එපා. මං ආවේ ඒවා ඉටු කරන්න. ඒවා නැති කරලා දාන්න නෙමෙයි. 18 ඇත්තටම මං කියන්නේ, අහස පොළොව පහ වෙලා ගියත් නීතියේ තියෙන කිසිම දෙයක් පහ වෙලා යන්නේ නැහැ. ඒකේ තියෙන පුංචිම අකුරක් වුණත් අකුරකට අයිති පුංචිම ලකුණක් වුණත් පහ වෙලා යන්නේ නැහැ. නීතියේ තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. 19 ඒ නිසා මේ අණපනත්වලින් සුළුම එකක් වුණත් කඩ කරන, එහෙම නැත්නම් ඒවා කඩ කරන්න අනුන්ව පොලඹවන ඕනෙම කෙනෙක්ව හඳුන්වන්නේ ස්වර්ග රාජ්‍යයට සුදුසු නැති කෙනෙක් විදිහටයි. ඒත් කෙනෙක් ඒවා පිළිපදිනවා නම්, අනිත් අයට ඒවා ගැන උගන්වනවා නම් ඒ කෙනාව හඳුන්වන්නේ ස්වර්ග රාජ්‍යයට සුදුසු කෙනෙක් විදිහටයි. 20 මං ඔයාලට කියන්නේ නීතිය පිටපත් කරන අයටයි, පරිසිවරුන්ටයි වඩා ඔයාලා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඕනෙ කියලයි. එහෙම කළේ නැත්නම් ඔයාලට කවදාවත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ.

  21 “‘මිනී මරන්න එපා’ කියලත් ‘මිනී මරන ඕනෙම කෙනෙක් අධිකරණය ඉස්සරහට එන්න ඕනෙ’ කියලත් අතීතයේ හිටපු අයට කිව්වා කියලා ඔයාලා අහලා තියෙනවා. 22 ඒත් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. තමන්ගේ සහෝදරයා එක්ක දිගින් දිගටම කේන්තියෙන් ඉන්න හැම කෙනෙක්ම අධිකරණය ඉස්සරහා පෙනී ඉන්න ඕනේ. ඒ වගේම, අන්තිම පහත් වචන පාවිච්චි කරලා තමන්ගේ සහෝදරයාට අපහාස කරන ඕනෙම කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සරහා පෙනී ඉන්න ඕනේ. කෙනෙක්ට ‘කිසි කමකට නැති මෝඩයා’ කියලා කියන ඕනෙම කෙනෙක් ඇවිළෙන ගෙහෙන්නාවට b සුදුස්සෙක් වෙනවා.

23 “ඒ නිසා පූජා කරන්න යම් දෙයක් පූජාසනය ළඟට අරන් යද්දී ඔයාගේ සහෝදරයා ඔයා එක්ක අමනාපයෙන් ඉන්නවා කියලා මතක් වුණොත්, 24 පූජා කරන්න අරන් ආපු දේ පූජාසනය ඉස්සරහා තියලා ඔයාගේ සහෝදරයාව හොයාගෙන යන්න. ඉස්සෙල්ලාම ඔයාගේ සහෝදරයා එක්ක සමාදාන වෙන්න. ඊටපස්සේ ඇවිත් ඔයාගේ පූජාව ඔප්පු කරන්න.

25 “කවුරු හරි ඔයාට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා නම් නඩුවට යන්න කලින් ඉක්මනින්ම එයාව හම්බ වෙලා ප්‍රශ්නය විසඳගන්න. එහෙම කළේ නැත්නම් එයා ඔයාව විනිශ්චයකරු ඉස්සරහට අරන් යයි. විනිශ්චයකරු ඔයාව හිරගෙදරට දාන්න කියලා අධිකරණයේ නිලධාරියාට භාර දෙයි. 26 ඇත්තටම මං කියන්නේ, ඔයා ළඟ තියෙන අන්තිම සතය ගෙවන කල් ඔයාට කොහොමටවත් එතනින් එළියට එන්න ලැබෙන්නේ නැහැ.

27 “‘අනාචාරයේ යෙදෙන්න එපා’ කියන ආඥාව ඔයාලා අහලා තියෙනවා. 28 ඒත් මං ඔයාලට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දිහා දිගින් දිගටම බලන හැම කෙනෙක්ම ඒ වෙද්දීත් ඒ ස්ත්‍රිය එක්ක හිතින් අනාචාරයේ යෙදිලා ඉවරයි. 29 ඉතින් ඔයාගේ දකුණු ඇහැ වරදක් කරන්න ඔයාව පොලඹවනවා නම් ඒක උගුල්ලලා වීසි කරලා දාන්න. මොකද ඔයා මුළු ශරීරය එක්කම ගෙහෙන්නාවට c යනවාට වඩා ඔයාගේ එක අවයවයක් නැතුව ඉන්න එක හොඳයි. 30 ඔයාගේ දකුණු අත වරදක් කරන්න ඔයාව පොලඹවනවා නම් ඒක කපලා වීසි කරලා දාන්න. මොකද ඔයා මුළු ශරීරය එක්කම ගෙහෙන්නාවට d යනවාට වඩා ඔයාගේ එක අවයවයක් නැතුව ඉන්න එක හොඳයි.

31 “ඒ වගේම ‘කෙනෙක් එයාගේ බිරිඳව දික්කසාද කරනවා නම් එයා දික්කසාද ලියවිල්ලක් හදලා බිරිඳට දෙන්න ඕනෙ’ කියලත් කියලා තියෙනවා. 32 ඒත් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. කෙනෙක්ට එයාගේ බිරිඳව දික්කසාද කරන්න පුළුවන් බිරිඳ ලිංගික දුරාචාරයේ e යෙදිලා තියෙනවා නම් විතරයි. ඒ හේතුව හැරෙන්න වෙන කිසිම හේතුවක් නිසා කෙනෙක් එයාගේ බිරිඳව දික්කසාද කරනවා නම් එයා කරන්නේ අනාචාරයේ යෙදෙන්න බිරිඳට ඉඩ සලස්සලා දෙන එකයි. ඒ විදිහට දික්කසාද කරපු කාන්තාවක්ව වෙන කෙනෙක් විවාහ කරගන්නවා නම් ඒ කෙනාව සලකන්නෙත් අනාචාරයේ යෙදෙන කෙනෙක් විදිහටයි.

33 “අතීතයේ හිටපු අයට මෙහෙම කිව්වා කියලත් ඔයාලා අහලා තියෙනවා. ‘දිවුරුමක් දුන්නාම ඒක කඩ කරන්න එපා. ඔයාලා යෙහෝවා දෙවියන්ට වුණ භාරය ඉටු කළ යුතුයි.’ 34 ඒත් මං ඔයාලට කියන්නේ කොහොමටවත් දිවුරන්න එපා කියලයි. ස්වර්ගය දෙවියන්ගේ සිංහාසනය නිසා ඒ නමින් දිවුරන්න එපා. 35 පොළොව ඔහුගේ පා පුටුව නිසා ඒ නමින්වත් යෙරුසලම ශ්‍රේෂ්ඨ රජුගේ නුවර නිසා ඒ නමින්වත් දිවුරන්න එපා. 36 ඔයාලාගේ ඔළුවට අත තියලා දිවුරන්නත් එපා. මොකද එක කෙස් ගහක්වත් සුදු කරන්න හරි කලු කරන්න හරි ඔයාලට බැහැ. 37 ඔයාලා දෙයක් ‘කරන්නම්’ කිව්වොත් ඒක කරන්න. දෙයක් ‘කරන්නේ නැහැ’ කිව්වොත් ඒක කරන්න එපා. මොකද කෙනෙක් ඊට වඩා දෙයක් කියන්න පෙලඹෙන්නේ දුෂ්ටයාගේ බලපෑම නිසයි.

38 “‘ඇසකට ඇසක්, දතකට දතක්’ කියන නීතිය ඔයාලා අහලා තියෙනවා. 39 ඒත් මං ඔයාලට කියන්නේ දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා කියලයි. කවුරු හරි කෙනෙක් ඔයාගේ දකුණු කම්මුලට ගැහුවොත් අනිත් කම්මුලටත් ගහන්න එයාට ඉඩ දෙන්න. 40 කෙනෙක් ඔයාට විරුද්ධව නඩු කියලා ඔයාගේ ඇතුල් වස්ත්‍රය අයිති කරගන්න හදනවා නම් ඔයාගේ පිට වස්ත්‍රයත් එයාට ගන්න දෙන්න. 41 නිලධාරියෙක් මොනවා හරි වැඩකට එයාත් එක්ක හැතැක්මක් යන්න එන්න කියලා ඔයාට අණ කළොත් එයාත් එක්ක හැතැක්ම දෙකක් යන්න. 42 කෙනෙක් ඔයාගෙන් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් ඒක එයාට දෙන්න. කවුරු හරි ඔයාගෙන් ණයක් f ඉල්ලුවොත් එයාගේ ඉල්ලීම අහක දාන්න එපා.

43 “‘ඔබේ අසල්වැසියාට ආදරේ කරන්න’ කියලත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියලත් කියනවා ඔයාලා අහලා තියෙනවා. 44 ඒත් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. ඔයාලාගේ සතුරන්ට දිගටම ආදරේ කරන්න. ඔයාලට පීඩා කරන අය වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. 45 එහෙම කරන එකෙන් ඔයාලා ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන්ගේ දරුවන් කියලා ඔප්පු වෙනවා. මොකද ඔහු දුෂ්ට අයටත් යහපත් අයටත් හිරු උදා කරවනවා. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්සවනවා. 46 ඔයාලට ආදරේ කරන අයට විතරක් ඔයාලා ආදරේ කරනවා නම් ඒකෙන් කිසි යහපතක් වෙනවාද? බදු එකතු කරන අයත් කරන්නේ ඒ දේම නේද? 47 ඔයාලා සුබ පතන්නේ ඔයාලාගේ සහෝදරයන්ට විතරක් නම් ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද? වෙනත් ජාතීන්වල අය කරන්නෙත් ඒ දේම නේද? 48 ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් පරිපූර්ණව ඉන්නවා වගේ ඔයාලත් පරිපූර්ණව ඉන්න ඕනේ. g

6 “මේ ගැන පරෙස්සම් වෙන්න. ඔයාලා හොඳ දෙයක් කරද්දී ඒක අනිත් අයට පේන්න කරන්න එපා. මොකද එහෙම කළොත් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන්ගෙන් කිසිම තෑග්ගක් ඔයාලට ලැබෙන්නේ නැහැ. 2 ඔයාලා දුප්පත් අයට දෙයක් දෙද්දී කුහක අය වගේ ඒක කරන්න එපා. එයාලා කරන්නේ කාට හරි දෙයක් දෙන්න කලින් ඒ ගැන අඬ බෙර ගහලා ප්‍රසිද්ධ කරන එකයි. එයාලා මිනිස්සුන්ගෙන් ගෞරවය ලබාගන්න සිනගෝගවලදීත් වීථිවලදීත් එහෙම කරනවා. ඇත්තටම මං කියන්නේ, එයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග දැනටමත් ලැබිලයි තියෙන්නේ. 3 ඒත් ඔයාලා දුප්පත් අයට දෙයක් දෙද්දී ඔයාලාගේ දකුණු අත කරන දේ වම් අතට දැනගන්න ඉඩ දෙන්න එපා. 4 ඒ විදිහට, දුප්පත් අය වෙනුවෙන් කරන ඒ දේ අනිත් අයට පේන්නේ නැති වෙන්න කරන්න. එතකොට ස්වර්ගයේ ඉඳන් කාටවත් නොපෙනෙන්න බලාගෙන ඉන්න ඔයාලාගේ පියාණන් ඔයාලට ආශීර්වාද කරයි.

5 “ඔයාලා යාච්ඤා කරද්දී, කුහකයන් වගේ ඒක කරන්න එපා. මොකද එයාලා කැමති සිනගෝගවලදීත් ප්‍රධාන හන්දිවලදීත් හිටගෙන යාච්ඤා කරන්නයි. එයාලා යාච්ඤා කරන්නේ මිනිස්සුන්ට පේන්නයි. ඇත්තටම මං කියන්නේ, එයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග දැනටමත් ලැබිලයි තියෙන්නේ. 6 ඔයාලා යාච්ඤා කරද්දී ඔයාලාගේ කාමරේට ගිහින් දොර වහගෙන කාටවත් පේන්නේ නැති, ඔයාලාගේ පියාණන්ට යාච්ඤා කරන්න. එතකොට ස්වර්ගයේ ඉඳන් කාටවත් නොපෙනෙන්න බලාගෙන ඉන්න ඔයාලාගේ පියාණන් ඔයාලට ආශීර්වාද කරයි. 7 ඔයාලා යාච්ඤා කරද්දී වෙනත් ජාතීන් කරනවා වගේ එකම දේ ආයේ ආයේ කියන්න එපා. එයාලා හිතන්නේ ගොඩක් දේවල් කියකිය යාච්ඤා කළොත් දෙවියන් එයාලට සවන් දෙයි කියලයි. 8 ඒත් ඔයාලා ඒ අය වගේ වෙන්න එපා. මොකද දෙයක් ඉල්ලන්නත් කලින් ඔයාලට ඕනෙ මොනවාද කියලා ඔයාලාගේ පියාණන් දන්නවා.

9 “ඔයාලා යාච්ඤා කරන්න ඕනෙ මෙහෙමයි.

“‘ස්වර්ගයේ ඉන්න අපේ පියාණෙනි, ඔබේ නම හැමදාටම ශුද්ධව පවතීවා! h 10 ඔබේ රාජ්‍යය පැමිණේවා! ඔබේ කැමැත්ත ස්වර්ගයේ ඉටු වෙනවා වගේ පොළොවෙත් ඉටු වේවා! 11 අද දවසට ඕනෙ කරන කෑම අපිට ලබා දෙන්න. 12 අපිට වැරදි කරපු අයට අපි සමාව දීලා තියෙන විදිහටම අපේ වැරදිවලටත් සමාව දෙන්න. 13 වැරදි පෙලඹීම්වලට අහු වෙන්න අපිට ඉඩ දෙන්න එපා. දුෂ්ටයාගෙන් අපිව බේරගන්න.’

14 “ඔයාලා අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් ඔයාලටත් සමාව දෙයි. 15 ඒත් ඔයාලා අනිත් අයගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔයාලාගේ පියාණන් ඔයාලාගේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.

16 “ඔයාලා නිරාහාරව ඉද්දී කුහකයන් වගේ ඒක කරන්න එපා. එයාලා ඒක කරද්දී දුකින් ඉන්නවා වගේ i මවාපානවා. එයාලා නිරාහාරව ඉන්නවා කියලා මිනිස්සුන්ට පෙන්නන්න එයාලාගේ පෙනුම ගැනවත් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඇත්තටම මං කියන්නේ එයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග දැනටමත් ලැබිලයි තියෙන්නේ. 17 ඒත් ඔයාලා නිරාහාරව ඉද්දී ඔයාලාගේ ඔළුවේ තෙල් ආලේප කරලා මූණ හෝදගෙන ඉන්න. 18 එහෙම කරද්දී ඔයාලා නිරාහාරව ඉන්නවා කියලා දකින්නේ මිනිස්සු නෙමෙයි, කිසි මිනිසෙක්ට පේන්නේ නැති ඔයාලාගේ පියාණන් විතරයි. එතකොට ස්වර්ගයේ ඉඳන් කාටවත් නොපෙනෙන්න බලාගෙන ඉන්න ඔයාලාගේ පියාණන් ඔයාලට ආශීර්වාද කරයි.

19 “මේ ලෝකේ වස්තු රැස් කරගන්න එක නවත්තන්න. මොකද කාවෝ සහ මලකඩ නිසා ඒවා නාස්ති වෙලා යනවා. හොරු ඇවිත් ඒවා හොරකම් කරනවා. 20 ඒ වෙනුවට ස්වර්ගයේ වස්තු රැස් කරගන්න. එහෙදී කාවන්ටවත් මලකඩවලටවත් ඒවා නාස්ති කරන්න බැහැ. හොරුන්ටවත් ඇවිත් ඒවා හොරකම් කරන්න බැහැ. 21 ඔයාලාගේ වස්තුව තියෙන්නේ කොහෙද ඔයාලාගේ හිත තියෙන්නෙත් එතනමයි.

22 “ඇහැ ශරීරයේ පහනයි. ඒ නිසා ඔයාලාගේ ඇහැ එක දෙයක් දිහාවටම යොමු කරලා තියෙනවා නම් ඔයාලාගේ මුළු ශරීරයම ආලෝකවත් වෙයි. 23 ඒත් ඔයාලාගේ ඇහැ කෑදර j විදිහට දේවල් දිහා බලනවා නම් ඔයාලාගේ මුළු ශරීරයම අඳුරු වෙයි. ඇහැ නිසා ඔයාලාගේ ශරීරය ආලෝකවත් වෙනවා වෙනුවට අඳුරු වෙනවා නම් ඒක කොච්චර භයානක දෙයක්ද!

24 “ස්වාමිවරුන් දෙන්නෙක්ට දාසයෙක් වෙන්න කාටවත් බැහැ. මොකද එයා එක් කෙනෙක්ට වෛර කරලා අනිත් කෙනාට ආදරේ කරන්න පෙලඹෙයි. එහෙම නැත්නම් එයා එක් කෙනෙක්ට ඇලුම් වෙලා අනිත් කෙනාව හෙළා දකියි. ඒ නිසා, දෙවියන්ට සේවය කරන ගමන් ඔයාලට සල්ලි පස්සේ යන්න බැහැ.

25 “ඉතින් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. කන්නේ බොන්නේ මොනවාද කියලා හිතහිත ඔයාලාගේ ජීවිත ගැනත් අඳින්නේ මොනවාද කියලා හිතහිත ඔයාලාගේ ශරීර ගැනත් කනස්සලු වෙන එක නවත්තන්න. කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වටින්නේ නැද්ද? 26 අහසේ කුරුල්ලන් දිහා හොඳට බලන්න. උන් බීජ වපුරන්නෙවත් කපන්නෙවත් ගබඩාවලට රැස් කරන්නෙවත් නැහැ. ඒත් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් උන්ව පෝෂණය කරනවා. උන්ට වඩා ඔයාලා වටින්නේ නැද්ද? 27 කනස්සලු වුණා කියලා ඔයාලාගේ ආයු කාලය එක මොහොතකින් හරි දික් කරගන්න ඔයාලාගෙන් කාට හරි පුළුවන්ද? 28 ඔයාලා ඇඳුම් ගැන කනස්සලු වෙන්නේ මොකටද? තණබිම්වල ලිලී මල් වැවෙන විදිහෙන් පාඩමක් ඉගෙනගන්න. ඒවා මහන්සි වෙලා වැඩ කරන්නෙවත් ඇඳුම් මහගන්නෙවත් නැහැ. 29 ඒත් මං ඔයාලට කියන්නේ, ඉස්තරම්ම වර්ගයේ ඇඳුම් ඇඳගෙන හිටිය සලමොන් රජවත් කවදාවත් මේ මල් තරම් ලස්සනට ඇඳ පැලඳගෙන හිටියේ නැහැ. 30 ඉතින් ඇයි ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දෙන්නේ? අද තිබිලා හෙට ගිනි උදුනේ පුච්චලා දාන තණබිමේ පැළෑටි දෙවියන් ඒ විදිහට සරසනවා නම් ඔහු ඔයාලව ඇඳුම්වලින් සරසන්න ඊටත් වඩා සතුටු වෙන්නේ නැද්ද? 31 ඒ නිසා කවදාවත් ‘කන්නේ බොන්නේ මොනවාද’ කියලවත් ‘අඳින්නේ මොනවාද’ කියලවත් හිතහිත කනස්සලු වෙන්න එපා. 32 වෙනත් ජාතීන් නම් ඒ හැම දේම ලබාගන්න එයාලාගේ මුළු ජීවිතේම කැප කරනවා. ඒත් ඒ හැම දෙයක්ම ඔයාලට අවශ්‍යයි කියලා ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් දන්නවා.

33 “ඒ නිසා දිගටම දෙවියන්ගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එතකොට ඔයාලට ඕනෙ කරන අනිත් හැම දේම ඔහු ඔයාලට දෙනවා. 34 ඉතින් කවදාවත් හෙට දවස ගැන කනස්සලු වෙන්න එපා. මොකද අද වගේම හෙට දවසෙත් කරදර තියෙයි. හැම දවසකම කරදර තියෙනවා කියලා මතක තියාගන්න.

7 “අනිත් අයව විනිශ්චය කරන එක නවත්තන්න. එතකොට ඔයාවත් විනිශ්චය කරන්නේ නැහැ. 2 මොකද ඔයා අනිත් අයව විනිශ්චය කරන විදිහටමයි ඔයාවත් විනිශ්චය කරන්නේ. ඔයා අනිත් අයව මනින මිම්මෙන්මයි ඔයාවත් මනින්නේ. 3 එහෙනම් ඔයාගේ ඇහේ තියෙන පරාලය දිහා බලන්නේ නැතුව ඔයාගේ සහෝදරයාගේ ඇහේ තියෙන රොඩ්ඩ දිහා බලන්නේ ඇයි? 4 ඔයාගේ ඇහේ පරාලයක් තියෙද්දී ‘ඔයාගේ ඇහේ තියෙන රොඩ්ඩ අයින් කරන්න මට ඉඩ දෙන්න’ කියලා ඔයාගේ සහෝදරයාට කියන්නේ කොහොමද? 5 කුහකයා! ඉස්සෙල්ලාම ඔයාගේ ඇහේ තියෙන පරාලය අයින් කරගන්න. එතකොට ඔයාගේ සහෝදරයාගේ ඇහෙන් රොඩ්ඩ අයින් කරන්නේ කොහොමද කියලා ඔයාට හොඳට පෙනෙයි.

6 “දෙවියන්ට අයිති දේවල් බල්ලන්ට දෙන්න එපා. ඔයා ළඟ තියෙන මුතු ඌරන්ට දාන්න එපා. මොකද එහෙම කළොත් උන් ඒවා පාගලා දාලා ඔයාට අනතුරක් කරන්න එයි.

7 “දිගටම ඉල්ලන්න. එතකොට ඉල්ලන දේ ඔයාට ලැබෙයි. දිගටම හොයන්න. එතකොට ඔයාට හම්බ වෙයි. දිගටම තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි. 8 මොකද දිගටම ඉල්ලන අයට ලැබෙයි. දිගටම හොයන අයට හම්බ වෙයි. දිගටම තට්ටු කරන අයට දොර ඇරෙයි. 9 ඔයාලා අතරේ ඉන්න කවුරු හරි තමන්ගේ පුතා රොටියක් ඉල්ලුවොත් එයාට ගලක් දෙයිද? 10 නැත්නම් එයා මාළුවෙක් ඉල්ලුවොත් සර්පයෙක් දෙයිද? 11 ඔයාලා දුෂ්ට වුණත් ඔයාලාගේ දරුවන්ට හොඳ දේවල් දෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. එහෙනම් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් ඊටත් වඩා කොච්චර වැඩියෙන් ඔහුගෙන් ඉල්ලන අයට හොඳ දේවල් දෙයිද?

12 “අනිත් අය ඔයා වෙනුවෙන් කරනවාට කැමති හැම දේම ඔයාත් ඒ අයට කරන්න. නීතියෙත් අනාගතවක්තෘවරු කියපු දේවල්වලත් තේරුම ඒකයි.

13 “පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මොකද විනාශයට යන පාරේ දොරටුව පළල්. ඒ පාරේ හුඟක් ඉඩකඩත් තියෙනවා. ඒ දොරටුවෙන් ඇතුල් වෙන අයත් වැඩියි. 14 ඒත් ජීවනයට යන පාරේ දොරටුව පටුයි. ඒ පාරේ හුඟක් අවහිරකම් තියෙනවා. ඒක හොයාගන්නෙත් ටිකදෙනායි.

15 “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් පරෙස්සම් වෙන්න. එයාලා බැටළු වෙස් අරගෙන ඔයාලා ගාවට ආවත් එයාලා ඇතුළෙන් දරුණු වෘකයෝ. 16 ඒත් එයාලාගේ පලවලින් එයාලා කවුද කියලා අඳුරගන්න පුළුවන්. මිනිස්සු කවදාවත් කටු ගස්වලින් මිදිවත් වල් පැළෑටිවලින් අත්තික්කාවත් නෙළාගන්නවාද? 17 හැම හොඳ ගහකින්ම ලැබෙන්නේ හොඳ පල. ඒත් හැම නරක ගහකින්ම නෙළාගන්න වෙන්නේ කිසි වැඩකට නැති පල. 18 හොඳ ගහක වැඩකට නැති පල හටගන්නෙවත් නරක ගහක හොඳ පල හටගන්නෙවත් නැහැ. 19 හොඳ පල දරන්නේ නැති හැම ගහක්ම කපලා ගින්නට වීසි කරලා දානවා. 20 එහෙනම් ඒ බොරු අනාගතවක්තෘවරුන්ගේ පලවලින් එයාලව අඳුරගන්න ඔයාලට පුළුවන්.

21 “මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන හැමෝටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ ස්වර්ගයේ ඉන්න මගේ පියාණන් කැමති දේ කරන අයට විතරයි. 22 ඒ දවසේදී හුඟදෙනෙක් මගෙන් මෙහෙම අහයි. ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නමින් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නමින් භූතයන්ව එළෙව්වේ නැද්ද? ඔබේ නමින් හුඟක් බලවත් දේවල් කළේ නැද්ද?’ 23 එතකොට මං එයාලට මෙහෙම කියනවා. ‘දුෂ්ටයෙනි, මගෙන් අහකට යන්න! මං කවදාවත් ඔයාලව අඳුරගෙන හිටියේ නැහැ!’

24 “මං මේ කියන දේවල් අහලා ඒවා පිළිපදින හැම කෙනෙක්ම හරියට පර්වතයක් මත ගෙයක් හදපු ඥානවන්ත කෙනෙක් වගේ. 25 හොඳටම වැහැලා ගංවතුර ගැලුවත් තද හුළං හැමුවත් ඒ ගේ පර්වතයක් උඩ හදලා තිබුණ නිසා ඒක කඩන් වැටුණේ නැහැ. 26 මං කියන දේවල් අහලා ඒවා පිළිපදින්නේ නැති හැම කෙනෙක්ම හරියට වැලි මත ගෙයක් හදපු අඥාන කෙනෙක් වගේ. 27 හොඳටම වැහැලා ගංවතුර ගලද්දී තද හුළං හමද්දී ඒ ගේ කඩන් වැටිලා සම්පූර්ණයෙන්ම විනාශ වුණා.”

28 යේසුස් ඒ දේවල් උගන්වලා ඉවර වුණාම එතන හිටපු සෙනඟ ඔහු උගන්වන විදිහ ගැන පුදුම වුණා. 29 මොකද ඔහු උගන්වපු විදිහ නීතිය පිටපත් කරන අයට වඩා වෙනස්. ඔහු ඉගැන්නුවේ දෙවියන්ගෙන් ඉගෙනගත්ත දේවල්.

a මූ.අ., “මෘදු ගති තියෙන අය.”

b යෙරුසලමෙන් පිට කසළ පුච්චපු තැන. හින්නොම් නිම්නයට ග්‍රීක භාෂාවෙන් කියන නම. අතීතයේදී තිබුණ යෙරුසලමට දකුණෙන් සහ නිරිතදිගින් තමයි ඒක තිබුණේ. සත්තුන්වත් මිනිස්සුන්වත් පණ පිටින් ගෙහෙන්නාවට වීසි කරලා පුච්චලා දැම්මා කියලවත් වධ දුන්නා කියලවත් කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා කෙනෙක්ගේ අමරණීය ආත්මය සදාකාලිකව ගින්නෙන් පුච්චන තැනක් ඒකෙන් සංකේතවත් වෙනවා කියලා කියන්න බැහැ. යේසුස් සහ ඔහුගේ ගෝලයෝ ගෙහෙන්නාව කියන වචනය පාවිච්චි කළේ දෙවියන් කෙනෙක්ව සදාකාලික විනාශයට නියම කරලා තියෙනවා කියලා කියන්නයි.

c  5:22 පාදසටහන බලන්න.

d  5:22 පාදසටහන බලන්න.

e ග්‍රීක භාෂාවෙන් පාවිච්චි කරන්නේ පෝර්නියා කියන වචනයයි. දෙවියන් තහනම් කරලා තියෙන සමහර ලිංගික ක්‍රියාවන් ගැන කතා කරද්දී ශුද්ධ ලියවිල්ලේ ඒ වචනය පාවිච්චි කරලා තියෙනවා. ඒකට විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම්, ගණිකා වෘත්තිය, විවාහ වෙලා නැති අය අතරේ සිද්ධ වෙන ලිංගික සම්බන්ධකම්, සමලිංගික සම්බන්ධකම් සහ සත්තු එක්ක ලිංගිකව හැසිරෙන එක ඇතුළත්.

f ඒ කියන්නේ පොලී නැති ණයක්.

g ඒ කියන්නේ පියාණන් වගේ කිසිම අඩුවක් නැති ආදරයක් පෙන්නන්න ඕනෙ කියලයි.

h හෝ, “ඔබේ නම ශුද්ධ දෙයක් විදිහට සලකනු ලැබේවා!; ඔබේ නමට ලැබිය යුතු ගෞරවය දෙනු ලැබේවා!”

i මූ.අ., “දුක්මුසු මූණක්.”

j මූ.අ., “නපුරු; දුෂ්ට.”