හයවෙනි පරිච්ඡේදය
ඇය සිතේ තිබුණු සියල්ල දෙවිට පැවසුවා
1, 2. (අ) හන්නා දුකින් ඉන්නේ ඇයි? (ආ) හන්නාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
හන්නා ලහි ලහියේ සූදානම් වෙන්නේ පවුලේ අයත් එක්ක ෂීලෝ නුවරේ තියෙන යෙහෝවා දෙවිගේ ගෘහයට ගිහින් දෙවිට නමස්කාර කරන්න. හන්නාගේ ස්වාමිපුරුෂයා වූ එල්කානා සෑම අවුරුද්දකම පවුලේ අය සමඟ ෂීලෝ නුවරට යන්න අමතක කරන්නේ නැහැ. හන්නා එවන් අවස්ථාවන්වලට කුඩා කාලයේ සිටම සහභාගි වෙන්න ඇත්තේ සතුටින්. යෙහෝවා දෙවි කැමති හැමෝම ඒ අවස්ථාවන් ප්‍රීතියෙන් සමරනවාටයි. (ද්විතීය කතාව 16:15 කියවන්න.) කොහොමවුණත් පසුගිය අවුරුදු කිහිපයේදී සිදු වූ දේවල් නිසා හන්නා දැන් ඉන්නේ ලොකු වේදනාවකින්.
2 එල්කානා හන්නාට හද පත්ලෙන්ම ආදරේ කළා. ඒත් ඔහුගේ අනික් බිරිඳ වූ පෙනින්නා නිතරම උත්සාහ කළේ හන්නාව රිදවන්න. විශේෂයෙන්ම පවුලේ අය එකතු වී අවුරුද්දට වතාවක් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න යන මෙවැනි අවස්ථාවලදීත් පෙනින්නා, හන්නාව දුකට පත් කරන්න හැකි සෑම දෙයක්ම කළා. ඒත් දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය නිසා හන්නාට ඒවා දරාගන්න පුළුවන් වුණේ කොහොමද කියා දැන් අපි බලමු. විවිධ ප්‍රශ්න ගැටලු නිසා සතුට අහිමි වී තිබෙන අයට හන්නාගේ ආදර්ශයෙන් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්.
‘ඇයි ඔබ දුකින් ඉන්නේ?’
3, 4. හන්නාගේ දුකට බලපෑ හේතු දෙක මොනවාද? ඒවා ඇයට අභියෝගයක් වුණේ ඇයි?
3 හන්නාට මුහුණ දීමට සිදු වී තිබෙන ප්‍රශ්න දෙකක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඇගේ පුරුෂයාට තවත් භාර්යාවක් සිටීම ඉන් එකක්. අනික නම් ඇය වඳ ස්ත්‍රියක් වීමයි. සාමාන්‍යයෙන් මවක් වීමේ ආශාවෙන් ඉන්න ඕනෑම බිරිඳකට ඒ තත්වය දරාගැනීම පහසු නැහැ. හන්නා ජීවත් වූ කාලයේ සිටි අය වඳ ස්ත්රීන්ට සැලකුවේ ඉතාමත් අවමන්සහගත විදිහට. පවුලේ පෙළපත් නාමය ඉදිරියට ගෙනියන්න දරුවන් බිහි කිරීම අනිවාර්යය දෙයක් වූ නිසා වඳ ස්ත්රීන්ට නින්දා අපහාස විඳින්න සිදු වුණා. දරුවන් නැති දුකින් සිටි හන්නාට ඒ වේදනාව දරාගන්න තවත් අමාරු වුණේ පෙනින්නා ඒ ගැන දිගින් දිගටම ඇයට අරියාදු කළ නිසයි.
4 ස්වාමිපුරුෂයෙක් භාර්යාවන් දෙදෙනෙකුව නැත්නම් ඊට වඩා වැඩිදෙනෙකුව විවාහ කරගත් විට ඊර්ෂ්‍යාව, තරඟකාරීබව සහ සිත්තැවුල් ඇති උත්. 2:24) එක භාර්යාවකට වඩා වැඩිදෙනෙකුව විවාහ කරගැනීමෙන් මොන තරම් ප්‍රශ්න ගැටලු ඇති වෙනවාද කියා බයිබලයේ සඳහන් මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා.
වීම සාමාන්‍යයි. මිනිස් ඉතිහාසය ආරම්භයේදී යෙහෝවා දෙවි පුරුෂයෙකුට එක භාර්යාවක් විතරක් දුන්නේ හොඳ හේතු ඇතුව. (5. පෙනින්නා හන්නාට ඊර්ෂ්‍යා කළේ ඇයි? හන්නාව රිදවන්න ඇය කළේ මොනවාද?
5 එල්කානා පෙනින්නාව විවාහ කරගත්තේ හන්නාව විවාහ කරගෙන කාලයක් ගියාට පසුවයි. ඔහු වැඩියෙන්ම ආදරේ කළේ හන්නාට. ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් සිටි පෙනින්නා හැකි සෑම අවස්ථාවකම හන්නාව රිදවන්න උත්සාහ කළා. හන්නාට දරුවන් නැති වුණත් පෙනින්නාට නම් දරුසම්පතෙන් කිසිම අඩුවක් තිබුණේ නැහැ. දරුවෙක් ලැබුණු සෑම අවස්ථාවකම ඇය තව තවත් ආඩම්බර වුණා. දරුවන් නැති දුකින් තැවෙන හන්නාව සනසනවා වෙනුවට පෙනින්නා ‘ඇයව ලැජ්ජාවට පත් කරන්න නිතරම නින්දා අපහාස කළා.’—1 සාමු. 1:6.
6, 7. (අ) හන්නා දුකින් තැවෙන හේතුව ගැන සෑම තොරතුරක්ම එල්කානාට කිව්වේ නැත්තේ මොන හේතු නිසා වෙන්න ඇද්ද? (ආ) හන්නාට දරුවන් ලැබුණේ නැත්තේ ඇයට දෙවිගේ අනුමැතිය නොලැබුණු නිසාද? (පාදසටහන බලන්න.)
6 පෙනෙන විදිහට සෑම අවුරුද්දකම දෙවිට නමස්කාර කරන්න ෂීලෝ නගරයට යද්දී හන්නාව රිදවන්න පෙනින්නා ඒක හොඳ අවස්ථාවක් කරගන්න ඇති. දෙවිගේ ගෘහයේ පූජා ඔප්පු කළාට පස්සේ එල්කානා පෙනින්නාටත් එයාගේ ‘පුත්‍රයන්ටත් දූවරුන්ටත්’ පූජා කළ දෙයින් කොටස බැගින් දෙනවා. හන්නාට විශේෂ කොටසක් දෙනවා. ඒකට ඊර්ෂ්‍යා කරපු පෙනින්නා හන්නාට දරුවන් නැතිකම අතකොළුවක් කරගෙන පුරාජේරු කියමින් ඇයට තවත් දුක් දෙනවා. ඒ වේදනාව දරාගන්න බැරුව හන්නා නොකා නොබී ඒ ගැන වැලපෙනවා. හන්නා සිත්තැවුලෙන් ඉන්න බව තේරුම්ගත් එල්කානා ඇයව සනසවන්න උත්සාහ කරමින් ‘හන්නා, ඇයි ඔයා මේ විදිහට අඬන්නේ? ඇයි ඔයා නොකා නොබී දුකෙන් ඉන්නේ? පුත්තු දහදෙනෙකුට වඩා ඔයාට මාව වටින්නේ නැද්ද?’ කියා අසනවා.—1 සාමු. 1:4-8.
7 ඇය ඒ විදිහට දුක් වෙන්නේ ඇයට දරුවන් නැති නිසා බව එල්කානා තේරුම්ගන්නවා. * කොහොමවුණත් එල්කානා මුලදී වගේම තමන්ට තවමත් ආදරේ බව දැනීමෙන් හන්නා ලොකු සැනසීමක් ලබනවා. මේ අවස්ථාවේදී එල්කානාවත් හන්නාවත් පෙනින්නා ගැන කතා කරන්නේ නැහැ. හන්නා, පෙනින්නා ගැන කිව්වා නම් තවත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි කියා ඇයට හිතෙන්න ඇති. එල්කානාට මේ තත්වය වෙනස් කරන්න පුළුවන් වෙයිද? පෙනින්නාට ඇය කෙරෙහි ඇති කේන්තිය තවත් වැඩි වෙයිද? පෙනින්නා වගේම ඇගේ දරුමල්ලන්, සේවක සේවිකාවන් හන්නාව රිදවන්න උත්සාහ කරයිද? එහෙම වුණොත් හන්නාට තමන්ගේම ගෙදර පිට කෙනෙක් වගේ ජීවත් වෙන්න සිදු වෙයි.
දුක්බර අවස්ථාවලදී හන්නා යෙහෝවා දෙවිගෙන් සහනය පැතුවා
8. ඔබට යම් අසාධාරණයකට මුහුණ දෙන්න සිදු වුණොත් යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන බව මතකයේ තබාගැනීම සහනයක් වෙන්නේ ඇයි?
8 පෙනින්නා හන්නාට කරන සෑම අරියාදුවක් ගැනම එල්කානා දන්නේ නැති වුණත් යෙහෝවා දෙවි ඒ සෑම දෙයක්ම දුටු බව බයිබලයේ සඳහන් මේ සිද්ධියෙන් පැහැදිලියි. කෙනෙක් තුළ ඊර්ෂ්‍යාව, නපුරුකම වගේ නරක ගුණාංග තියෙනවා නම් දෙවි ඒ සෑම දෙයක්ම දකිනවා. හන්නා වගේ අසාධාරණ හේතු නිසා දුකින් තැවෙන අයට දෙවි නියමිත කාලයේදී යුක්තිය ඉටු කරන බවත් ඒ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. (ද්විතීය කතාව 32:4 කියවන්න.) හන්නාටත් ඒ ගැන නිසැකකමක් තියෙන්න ඇති. ඇය යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේ ඒ නිසයි.
‘ඇය තවදුරටත් කනස්සලු වුණේ නැහැ’
9. හිත් රිදවීම්වලට මුහුණ දීමට සිදු වුණත් ෂීලෝ නුවරට යන්න හන්නා ගත් තීරණයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
9 මේ ලිපියේ මුලින්ම සඳහන් වූ ආකාරයට දැන් එල්කානාගේ පවුලේ හැමෝම ෂීලෝ නුවරට යන්න සූදානම් වෙනවා. පොඩි දරුවනුත් ඉන්නේ හරිම සතුටින්. එෆ්‍රායිම් කඳුකරය හරහා ෂීලෝ නුවරට කිලෝමීටර් 30කටත් වඩා වැඩි දුරක් තියෙනවා. * ඇවිදගෙන යනවා නම් ඒ ගමනට දවස් දෙක තුනක්වත් ගත වෙනවා. මේ ගමන අතරතුරේදී පෙනින්නා තමන්ට අරියාදු කරන බව හන්නා හොඳින්ම දැන සිටියත් ඒ ගමන නොයා ඉන්න එය නිදහසට කරුණක් කරගන්නේ නැහැ. එය අපිට හොඳ ආදර්ශයක් නෙවෙයිද! වෙන කෙනෙක් අපේ හිත රිදවන නිසා නමස්කාර කටයුතු අතපසු කරන එක නම් කොහෙත්ම සුදුසු නැහැ. ඒකෙන් වෙන්නේ අපිව ශක්තිමත් කරන්න දෙවි ලබා දෙන සැපයුම් අපිට අහිමි වීමයි.
10, 11. (අ) හන්නා හැකි ඉක්මනින් ශුද්ධ කූඩාරමට ගියේ ඇයි? (ආ) හන්නා සිතේ තිබුණු වේදනාව ගැන දෙවිට කිව්වේ කොහොමද?
10 ෂීලෝ නුවර පිහිටා තිබෙන්නේ කඳු වළල්ලකින් වට වුණු තැනක. එතැනට ළං වෙද්දී යෙහෝවා දෙවිට කියන්න ඕන දේවල් ගැන හන්නා හිතන්න ඇති. ඒ නිසා පවුලේ අය එකතු වී කා බී අවසන් වුණු ගමන්ම ඇය යාච්ඤා කරන්න ශුද්ධ කූඩාරමට යනවා. එහි දොරටුව අසල උත්තම පූජක ඒලී සිටියත් හන්නා වෙන කිසිම දෙයකට අවධානය දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට තමන්ගේ සිතේ තියෙන වේදනාව තේරුම්ගන්න බැරි වුණත් ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවි ඒ සෑම දෙයක්ම තේරුම්ගන්න බව හන්නා දැන සිටියා. හද පැළෙන තරම් වේදනාවකින් සිටි හන්නා ඉකි ගසමින් තමන්ගේ දුක් අඳෝනාව ගැන දෙවිට කියනවා.
11 හඬහඬා කන්නලව් කරමින් සිටින හන්නාගේ තොල් සෙලවුණත් වචන ඇසෙන්නේ නැහැ. ඇය සිතේ තිබුණු සෑම දෙයක්ම දෙවිට කියනවා. තමන්ට පිරිමි දරුවෙක්ව දෙන්න කියා දෙවිගෙන් ඉල්ලන හන්නා දරුවෙක් ලැබුණොත් ඔහුව දෙවිට සේවය කරන්න කැප කරනවා කියාත් පොරොන්දු වෙනවා. තමන්ටම දේවල් ඉල්ලනවා වෙනුවට දෙවිට දෙන්න පුළුවන් දෙයක් ගැනත් ඇය කල්පනා කරනවා.—12. යාච්ඤා කරන විදිහ ගැන අපිට හන්නාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
12 යාච්ඤා කරන විදිහ ගැන අපිට හන්නාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? පුංචි දරුවෙක් හිතට එන සෑම දේම තාත්තාට කියනවා වගේ අපේ සිතේ තියෙන දේවල් ගැනත් යෙහෝවා දෙවිට කියන්න පුළුවන්. එහෙම කරන්න කියලා දෙවි අපිට ආරාධනා කරනවා. (ගීතාවලිය 62:8; 1 තෙසලෝනික 5:17 කියවන්න.) ‘දෙවි ඔබ ගැන සැලකිලිමත් වෙන නිසා කනස්සල්ලට හේතු වෙන සෑම බරක්ම ඔහු පිට තබන්න’ කියා පේතෘස්ද දිරිගන්වා තිබෙනවා.—1 පේතෘ. 5:7.
13, 14. (අ) හන්නා ගැන ඒලී සිතුවේ කුමක්ද? (ආ) හන්නා, ඒලීට උත්තර දුන් විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
13 මිනිසුන්ගේ හිත්වල තියෙන දුක, වේදනාව තේරුම්ගන්න යෙහෝවා දෙවිට තරම් වෙන කිසිම කෙනෙකුට බැහැ. දුකින් හඬහඬා යාච්ඤා කරමින් සිටි හන්නා දෙස මදක් බලා සිටි ඒලී “තව කොච්චර වෙලාවක් ඔබ බීමත්ව ඉන්නද හදන්නේ? මෙතැනින් යන්න. ඔබේ වෙරි මත හිඳෙන තුරු එන්න එපා” කියා පවසනවා. හන්නා බොහෝ වේලාවක් හඬමින් කළ කන්නලව්ව ඒලීට ඇසුණේ නැති නිසා ඔහු සිතුවේ ඇය මත් වී සිටිනවා කියායි. සිදු වී තිබෙන දේ ගැන හන්නාගෙන් අසනවා වෙනුවට ඒලී තමන්ට හැඟුණු දේ කියන්න ඉක්මන් වෙනවා.—1 සාමු. 1:12-14.
14 උත්තම පූජක ඒලී පැවසූ දේ නිසා වේදනාවෙන් සිටි හන්නාගේ සිත තවත් පෑරුණු බවට නම් සැකයක් නැහැ. වගකීම් දරන කෙනෙක් එහෙම කතා කරයි කියා හන්නා සිතන්නවත් නැතුව ඇති. ඒත් හන්නා ඒ දුකත් දරාගෙන ඇගේ සැබෑ තත්වය ගැන නිහතමානීව ඒලීට පැහැදිලි කරනවා. තමා අතින් වරදක් වූ බව තේරුම්ගත් ඒලී “දැන් ඉතින් සමාදානයෙන් යන්න. ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!” කියා හන්නාට පවසනවා. ඇය තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! ඒලී, හන්නාව වේදනාවට පත් කළත් ඇය ඒ කිසිම දෙයක් නිසා යෙහෝවා දෙවිට කරන නමස්කාරය නතර කරන්නේ නැහැ.—1 සාමු. 1:15-17.
15, 16. (අ) ශුද්ධ කූඩාරමට ගිහින් සිතේ තිබුණු සෑම වේදනාවක්ම දෙවිට කිව්වට පස්සේ හන්නාට දැනුණේ කොහොමද? (ආ) වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙද්දී අපිට හන්නාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
15 දෙවිගේ ගෘහයට ගිහින් සිතේ තිබුණු වේදනාව ගැන යෙහෝවා දෙවිට පැවසූ නිසා හන්නාට සහනයක් ලැබුණාද? ඔව්. ඒ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “ඉන්පසු ඇය එතැනින් පිටත්ව ගොස් කෑම කෑවාය. ඇය තවදුරටත් ඇගේ ප්රශ්නය ගැන කනස්සලු වූයේ නැත. ඇගේ මුහුණද මලානිකව නොතිබුණේය.” (1 සාමු. 1:18) තමාට දරාගත නොහැකි වූ බර හන්නා තම ස්වර්ගික පියාණන්ට භාර දුන්නා. (ගීතාවලිය 55:22 කියවන්න.) එදා වගේම යෙහෝවා දෙවි අදත් දුකින් මිරිකී සිටින තම සේවකයන්ට සහනය ලබා දීමට ආශාවෙන් බලා සිටිනවා.
16 දරාගන්න බැරි තරම් වේදනාවක් අද්දකිද්දී අපිටත් පුළුවන් හන්නා වගේ ‘යාච්ඤා අසන තැනැත්තා’ වන යෙහෝවා දෙවිට ඒ සෑම දෙයක්ම කියන්න. (ගීතා. 65:2) අපි යෙහෝවා දෙවි ගැන සැබෑ විශ්වාසයකින් එහෙම කරනවා නම් ‘කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි සමාදානයක්’ අද්දකින්න අපිටත් පුළුවන්.—ෆිලි. 4:6, 7.
“අපේ දෙවිට සමාන වූ පර්වතයක් නැත”
17, 18. (අ) හන්නා, දෙවිට දුන් පොරොන්දුවට එල්කානා සහය දැක්වූයේ කොහොමද? (ආ) පෙනින්නා තේරුම්ගත්තේ කුමක්ද?
17 හන්නා ඊළඟ දවසේ උදෑසනින්ම එල්කානා සමඟ ශුද්ධ කූඩාරමට යනවා. දෙවිගෙන් ඉල්ලූ දේ ගැනත් දෙවිට වූ පොරොන්දුව ගැනත් හන්නා එල්කානාට කියන්න ඇති. හන්නා ඒ පොරොන්දුව දුන්නේ එල්කානාගේ අනුදැනුමක් නැතුව නිසා මෝසෙස්ගේ නීතියට අනුව ඊට එකඟ නොවීමට එල්කානාට අවස්ථාව තිබුණා. (ගණන්. 30:10-15) නමුත් එල්කානා එසේ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු දෙවිට නමස්කාර කරන්න හන්නා සමඟ ශුද්ධ කූඩාරමට යනවා.
18 හන්නාට තවත් නින්දා කිරීමෙන් පලක් නැති බව පෙනින්නා තේරුම්ගන්න ඇත්තේ මොන අවස්ථාවේදීද? ඒ ගැන බයිබලයේ සඳහන්වෙන්නේ නැහැ. කොහොමවුණත් ‘හන්නා තවදුරටත් ඇගේ ප්රශ්නය ගැන කනස්සලු වුණේ නැති’ නිසා ඇයට නින්දා කිරීමෙන් පලක් නැති බව පෙනින්නා තේරුම්ගන්න ඇති. මේ සිද්ධියට අමතරව බයිබලයේ කිසිම තැනක පෙනින්නා ගැන සඳහන් වෙන්නේ නැහැ.
19. හන්නාට ලැබුණු ආශීර්වාදය කුමක්ද? ඒ ආශීර්වාදය දුන් දෙවිට ස්තුතිවන්ත වන බව ඇය පෙන්නුවේ කොහොමද?
19 මාස කිහිපයකට පසු හන්නා ගැබ් ගන්නවා. ඒ ගැන ඇයට කියා නිම කරන්න බැරි තරම් සතුටක් දැනෙන්න ඇති. ඒ ආශීර්වාදය ඇයට ලබා දුන් දෙවිට ස්තුති කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ. අලුත උපන් කිරිකැටියාට “දෙවිගේ නම” යන අරුත ඇති ‘සාමුවෙල්’ යන නම තැබීමෙන් එය පැහැදිලි වෙනවා. සාමුවෙල් ඉපදුණු අවුරුද්දේ ඇය ෂීලෝවලට ගියේ නැහැ. ඉන්පසු හන්නා දරුවාගේ කිරි වරන කාලය අවසන් වන තුරු, අවුරුදු තුනක්ම ඒ ගමන ගියේ නැහැ. ඒත් දැන් හන්නා සූදානම් වෙන්නේ දෙවිට දුන් පොරොන්දුව ඉටු කරන්නයි.
20. හන්නාත් එල්කානාත් දෙවිට දුන් පොරොන්දුව ඉටු කළේ කොහොමද?
20 දෙවිගේ ගෘහයේ සේවය කරන ස්ත්‍රීන් තමන්ගේ පුතුණුවන්ව ආදරයෙන් රැකබලා ගනියි කියා හන්නා දැන සිටියත් පුතාට සමු දෙන එක නම් ඇයට පහසු දෙයක් වුණේ නැහැ. ඒ වයසේ දරුවෙක්ගේ සුරතල් බලන්න මොන අම්මද අකමැති? ඒත් හන්නාත් එල්කානාත් පුංචි සාමුවෙල්ව දෙවිගේ ගෘහයේ සේවය කිරීමට ගෙනියනවා. මීට අවුරුදු තුනකට
කලින් දෙවිට දුන් පොරොන්දුව ගැන ඒලීට මතක් කර දෙන ඔවුන් සාමුවෙල්ව ඔහුට භාර දෙනවා.21. හන්නාට දෙවි ගැන කොතරම් විශ්වාසයක් තිබෙනවාද කියා ඇය කළ යාච්ඤාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (“ සුවිශේෂී යාච්ඤා දෙකක්” නමැති කොටුවද බලන්න.)
21 ඉන්පසු හන්නා යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කරමින් ඔහුට යාච්ඤා කරනවා. දෙවි ඒ යාච්ඤාව මොන තරම් අගය කළාද කියනවා නම් එය බයිබලයේ වාර්තා කරන්න ඔහු වගබලා ගත්තා. හන්නාට දෙවි ගැන කොතරම් විශ්වාසයක් තිබුණාද කියා 1 සාමුවෙල් 2:1-10හි සඳහන් ඒ යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා. දෙවිගේ අතිමහත් බලය ගැන සඳහන් කරමින් අහංකාර අයට දඬුවම් කරන්නත් පීඩා විඳින අයව ඉන් මුදවා ගන්නත් දෙවිට හැකි බව ඇය සඳහන් කළා. ඒ වගේම දිවි රකින්නත් දිවි තුරන් කරන්නත් හැකියාව තිබෙන්නේ දෙවිට බවත් දෙවි යුක්තිය ඉටු කරන ආකාරය ගැනත් දෙවිගේ ශුද්ධකම ගැනත් තම සේවකයන්ව ආරක්ෂා කිරීම ගැනත් ඇය දෙවිට ප්‍රශංසා කළා. යෙහෝවා දෙවි කිසිදාක වෙනස් නොවෙන කෙනෙක් නිසාත් ඔහුගෙන් සරණ පතන අයට ඔහු රැකවරණය සලසන නිසාත් ‘දෙවිට සමාන වූ පර්වතයක් නැහැ’ කියා හන්නා පැවසුවා.
22, 23. (අ) සාමුවෙල්ට දෙමාපියන්ගේ ආදරය නොමදව ලැබෙනවා කියා ඔහු දැන සිටි බව කියන්න පුළුවන් ඇයි? (ආ) යෙහෝවා දෙවි හන්නාට තවත් ආශීර්වාද කළේ කොහොමද?
22 යෙහෝවා දෙවි ගැන ඒ තරම් විශ්වාසයක් තියෙන මවක් ලැබීම සාමුවෙල් ලැබූ මහඟු ආශීර්වාදයක්. මව තමා ළඟ නැති අඩුව පුංචි සාමුවෙල්ට දැනුණත් ඇගේ ආදරයේ නම් කිසිම අඩුවක් ඔහුට දැනුණේ නැහැ. සාමුවෙල්ව බලන්න හන්නා සෑම අවුරුද්දකම ෂීලෝ නුවරට යනවා. ඒ සෑම වතාවකදීම තමන්ගේම අතින් මසා නිම කළ අත් නැති ඇඳුමක් රැගෙන යන්න ඇය අමතක කරන්නේ නැහැ. ඒ ඇඳුමේ සෑම මැස්මක්ම ඇය මැහුවේ උතුරා යන දරු සෙනෙහසකින්. (1 සාමුවෙල් 2:19 කියවන්න.) හන්නා තමන්ගේ අතින් නිම කළ ඒ ඇඳුම පුංචි සාමුවෙල්ට අන්දවා ඒ දෙස ආසාවෙන් බලාගෙන ඉන්න ඇති. ඒ වගේම ආදරයෙන් කතා කරමින් ඔහුව දිරිගන්වන්නත් ඇති. මවගේ සෙනෙහස මොන තරම්ද කියා සාමුවෙල්ට හොඳින්ම දැනුණු බවට සැකයක් නැහැ. සාමුවෙල් වැඩිහිටියෙකු වූ පසුවත් ඔහුගේ දෙමාපියන්ට මෙන්ම මුළු ඊශ්‍රායෙල් ජාතියටත් ආශීර්වාදයක් වුණා.
23 යෙහෝවා දෙවි හන්නාව අමතක කළේ නැහැ. එල්කානාට දාව දරුවන් පස්දෙනෙකුව බිහි කිරීමේ අවස්ථාව දෙමින් යෙහෝවා දෙවි ඇයට ආශීර්වාද කළා. (1 සාමු. 2:21) ඇයට ඊටත් වඩා උතුම් ආශීර්වාදයක් ලැබුණා. එනම් යෙහෝවා දෙවි සමඟ තිබුණු මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගැනීමට ලැබුණු අවස්ථාවයි. හන්නාගේ ආදර්ශය අනුකරණය කරනවා නම් අපිටත් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරගත හැකි බව නිසැකයි.
^ 7 ඡේ. ‘යෙහෝවා දෙවි ඒ වන විටත් මවක් වීමේ ආශීර්වාදය හන්නාට ලබා දී තිබුණේ නැහැ’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමු. 1:5) නමුත් දෙවිට විශ්වාසවන්තව සිටි හන්නාට දෙවිගේ අනුමැතිය ලැබුණේ නැහැ කියා කියන්න ඒක පදනමක් නෙවෙයි. සමහර දේවල් සිදු වීමට දෙවි ඉඩහරිනවා.
^ 9 ඡේ. යේසුස්ගේ කාලයේදී අරිමාතිය විදිහට හඳුන්වලා තියෙන්නේ එල්කානා ජීවත් වුණු රාමා කියන පළාත වෙන්න ඇති. රාමාවල ඉඳලා ෂීලෝ නුවරට තියෙන දුර අනුමාන කරලා තියෙන්නේ ඒ පදනම මතයි.