ඩොමිනිකන් ජනරජය
නායකයා කවුද?
“නායකයන්ව අයින් කරන්න ඕනේ”
ජනාධිපතිට සේවය කළ උසස් නිලධාරියෙක් වන කොලොන් 1957 ජූලි 13වෙනිදා රාජ්‍ය ලේකම්ට මෙහෙම ලියුමක් යැව්වා. “‘සර්පයෙක්ව මරන්න නම් උගේ ඔළුවටම ගහන්න ඕන’ කියලා කියමනක් තියෙනවා. ඒ වගේ තමයි සාක්ෂිකරුවන්ව රටින් තුරන් කරන්න නම් ඒ අයගේ නායකයන්ව ඒ කියන්නේ මිෂනාරිවරුන්ව රටින් පිටුවහල් කරන්න ඕනේ. ඒ අය නැතුව ගියාම වැඩ නිකම්ම නතර වෙයි.”
ටික දවසකට පස්සේ ඉතුරු වෙලා හිටපු මිෂනාරිවරුන් 10දෙනාටත් රටින් පිට වෙන්න කියලා ආරක්ෂක ලේකම් වන ආටූරෝ එස්පයාට් දැනුම් දුන්නා. ඒත් අපේ තත්වය පැහැදිලි කරන්න ටෘජිලෝව හමු වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා 1957 ජූලි 21වෙනිදා සහෝදර බ්‍රැන්ඩ් ටෘජිලෝට ලියුමක් යැව්වා. ඔහු ඒකෙ මෙහෙමත් සඳහන් කළා. “මේ රටේ සමහර අය යෙහෝවා දෙවිගේ නාමයට විරුද්ධව ගෙන යන විරෝධතා අතරයි, වැරදි වැටහීම් නිසා යේසුස්ගේ මුල් ගෝලයන්ට විරුද්ධව මිනිසුන් ක්‍රියා කරපු විදිහ අතරයි කිසිම වෙනසක් නැහැ.” ටෘජිලෝට ක්‍රියා පොතේ 2 සිට 6 දක්වා පරිච්ඡේද කියවන්න කියලත් ඔහු ලියලා තිබුණා. “විනිසුරුවෙක් වන ගමාලියෙල් දුන්න ඥානවන්ත හා ඍජු උපදෙස අදටත් අදාළ වෙනවා” කියලා ඔහු ලිව්වා. ඒ විතරක් නෙමෙයි “මේ මිනිසුන්ගේ වැඩකටයුතුවලට මැදිහත් වෙන්න එපා. ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම් ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි. ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන කෙනෙක් විය හැකියි” කියලා ක්‍රියා 5:38, 39 කියන දෙයත් ඔහු ලොකු අකුරෙන් ලියලා යැව්වා. ඒත් ඒ කිසිම දෙයකින් වැඩක් වුණේ නැහැ. 1957 අගෝස්තු 3වෙනිදා මිෂනාරිවරුන්ව රටෙන් පිටුවහල් කළා.
අපේ නායකයා යේසුස්
මිෂනාරිවරුන් ගියාට පස්සේ සහෝදරයන්ට මොනවා වෙයිද? ජනාධිපතිට සේවය කළ කොලොන් කිව්ව විදිහට සාක්ෂිකරුවන්ට නායකයෙක් නැති වෙයිද? සභාවේ නායකයා යේසුස් නිසා එහෙම වුණේ නැහැ. (කොලො. 1:18) සහෝදරයන්ට අවශ්‍ය මඟ පෙන්වීම් යෙහෝවා දෙවිගෙන් සහ ඔහුගේ සංවිධානයෙන් දිගටම ලැබුණා.
මිෂනාරිවරුන් ගියාට පස්සේ වැඩ බලාගන්න පත් කළේ සහෝදර ඩොනල්ඩ් නෝල්ස්වයි. එතකොට ඔහුට අවුරුදු 20යි. බව්තීස්ම වෙලා අවුරුදු හතරයි. චාරිකා සේවකයෙක් විදිහට මාස කීපයක් සේවය කරලා තිබුණත් මේ පැවරුම ඔහුට අලුත්ම අද්දැකීමක් වුණා. ඔහුගේ නිවස තිබුණේ සැන්ටො ඩොමින්ගෝවල ග්වාලේ කියන ප්‍රදේශයේයි. ඔහු ගෙදරම පුංචි කාර්යාලයක් හදාගත්තා. ෆීලික්ස් මාර්ටේ සමඟ එකතු වෙලා ඔහු මුළු රටටම අවශ්‍ය කරන ‘මුරටැඹ’ සඟරා පිටපත් කළා.
මේරි ග්ලාස් කියන සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන එන්රික් මේ වෙන කොට හිටියේ හිරේ. මේරි ග්ලාස් සහෝදර නෝල්ස්ට උදව් කරපු විදිහ ගැන කිව්වේ මෙහෙමයි. “හවස 5ට වැඩ ඇරිලා මම කෙළින්ම ගියේ සහෝදර නෝල්ස්ගේ කාර්යාලයට. මම ‘මුරටැඹ’ සඟරා ටයිප් කරලා දුන්නාම නෝල්ස් පිටපත් කරන යන්ත්‍රයෙන් සඟරා පිටපත් කළා. මේ සඟරා සභාවලට අරගෙන ගිය සහෝදරියව අපි හැඳින්නුවේ ‘දේවදූතයා’ කියන රහස් නමින්. එයා පිරිසිදු කරපු තෙල් කෑන්
එකක යටම සඟරා ටික දාලා ඊට උඩින් රෙදි කෑල්ලක් දාලා ඊටත් උඩින් මඤ්ඤොක්කායි වෙනත් අලවර්ගයි දානවා. අලවලට උඩින් ගෝණි රෙදි කෑල්ලක් දානවා. එයා ඒ කෑන් එක අරං ගිහින්, දකුණු පළාතේ තියෙන හැම සභාවකටම එක සඟරාවක් ගාණේ දෙනවා. එක පවුලක් ඒ සඟරාව කියවලා තවත් පවුලකට දෙනවා. ඒ විදිහට සභාවේ ඉන්න හැමෝගෙම අතට සඟරාව යනවා.”“අපිට ගොඩක් පරෙස්සම් වෙන්න වුණා. මොකද ‘මුරටැඹ’ සඟරා පිටපත් කරන්නේ කොහෙද කියලා හොයාගන්න හැම තැනකම ඔත්තුකාරයෝ හිටියා. ඒත් ඒ අයට කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. එහෙම වුණේ යෙහෝවා දෙවිගේ ආරක්ෂාව අපිට තිබුණු නිසයි” කියලත් සහෝදරි මේරි කිව්වා.