යොෂුවා 8:1-35

8  ඉන්පසු යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “දැන් සතුරන්ට භය නොවන්න. එඩිතරව සිටින්න.+ මුළු හමුදාව සමඟ නැවත ආයි නගරයට යන්න. මම ආයි නගරයේ රජුත් ඔහුගේ සෙනඟත් ඔහුගේ මුළු රාජධානියත් ඔබේ අතට පත් කරන්නෙමි.+  ඔබ යෙරිකෝවට හා එහි රජුට කළ දේම ආයි නගරයටත් එහි රජුටත් කළ යුතුයි.+ නමුත් ආයි නගරයේ වස්තු සම්භාරය සහ එහි සතුන්ව ඔබට ගන්න පුළුවන්.+ ඒ නගරයට පහර දීම සඳහා නගරයේ පිටුපසට ගොස් සැඟවී බලා සිටින්න කියා ඔබේ හමුදාවේ භටයන් කිහිපදෙනෙකුට අණ කරන්න.”+  යොෂුවාද මුළු යුධ හමුදාවද+ ආයි නගරයට යෑමට සූදානම් වූහ. යොෂුවා ඔවුන් අතරින් යුද්ධයට දක්ෂ බලවත් පුරුෂයන් තිස්දහසක් තෝරාගෙන+ ඔවුන්ව රාත්‍රියේදී පිටත් කර යැව්වේය.  ඔවුන්ව පිටත් කර යැවීමට පෙර යොෂුවා ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ නගරයට පහර දීම සඳහා නගරයේ පිටුපස සැඟවී සිටින්න.+ වැඩි දුරක් නොයා නගරයට කිට්ටුවෙන්ම සිටින්න. නගරයට පහර දීම සඳහා ඔබ සියලුදෙනා සූදානමින් සිටින්න.  මාත් මා සමඟ සිටින අනික් හැමෝමත් නගරය ළඟටම යනවා. ආයි නගරයේ වැසියන් කලින් වතාවේදී වගේ අපට විරුද්ධව සටන් කරන්න පැමිණෙයි.+ එවිට අපි ඔවුන් ඉදිරියෙන් පලා යනවා.  නගරයේ ඉඳන් සෑහෙන දුරක් අපව එළවාගෙන එන්න ඔවුන්ට ඉඩහරින්න. ඊශ්‍රායෙල්වරුන් කලින් වතාවේදී වගේ මේ වතාවේදීත් අපට බයේ දුවනවා කියා සිතමින් ඔවුන් අපි පසුපස ලුහුබැඳ එයි.+ අපි පලා යන අතරතුර  ඔබ සැඟවී සිටින තැන්වලින් එළියට ඇවිත් නගරය අල්ලාගන්න. ඔබේ දෙවි වන යෙහෝවා අනිවාර්යයෙන්ම ඒ නගරය ඔබේ අතට භාර දෙයි.+  ඔබ ඒ නගරය යටත් කරගත් විගස ඊට ගිනි තැබිය යුතුයි.+ යෙහෝවා දෙවි ඔබට පැවසූ ලෙසම ඔබ ඒ සියල්ල කළ යුතුයි.”+  ඉන්පසු යොෂුවා ඔවුන්ව පිටත් කර යැව්වේය. ඔවුහු යොෂුවා පැවසූ ලෙස ආයි නගරයට බස්නාහිරෙන් සැඟවී සිටියෝය. ඔවුන් සැඟවී සිටියේ බෙතෙල් නගරයත් ආයි නගරයත් අතරේය. නමුත් ඒ රාත්‍රියේදී යොෂුවා සිටියේ හමුදාවේ ඉතුරු අය සමඟයි. 10  යොෂුවා පසුවදා උදෑසනින්ම අවදි වී+ හමුදාව හොඳින් සූදානම් කරගෙන ආයි නගරය වෙතට ගියේය. යොෂුවා හා ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලෝ හමුදාවට පෙරටුවෙන් ගමන් කළෝය. 11  හමුදාව+ ආයි නගරය දෙසට ගමන් කර ඊට උතුරෙන් කඳවුරු බැඳගත්තෝය. ඔවුන් කඳවුරු බැඳගත් ස්ථානය හා ආයි නගරය අතර තැනිතලාවක් තිබුණේය. 12  ආයි නගරයට බස්නාහිරෙන්, බෙතෙල් නගරය+ සහ ආයි නගරය අතර සැඟවී සිටින ලෙස+ යොෂුවා හමුදාවෙන් පන්දහසකට නියම කර තිබිණ. 13  හමුදාවේ ප්‍රධාන භට පිරිස නගරයට උතුරෙන්+ කඳවුරු බැඳගෙන සිටි අතර අනික් අය නගරයට බස්නාහිරෙන්+ සැඟවී සිටියෝය. යොෂුවා එදින රාත්‍රියේ තැනිතලාවට ගොස් එහි සිටියේය. 14  ඊශ්‍රායෙල්වරුන් තමන්ට විරුද්ධව සටනට ඇවිත් සිටින බව ආයි නගරයේ රජුට ආරංචි විය. එහෙයින් ඔහු උදේ පාන්දරින්ම තම හමුදාව රැස් කරගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස පිටත් විය. ඔවුහු සටනට නියම කර තිබූ වේලාවේදී තැනිතලාව ඉදිරියේ රැස් වූහ. නමුත් ඊශ්‍රායෙල් හමුදාවේ තවත් භට පිරිසක් නගරයට පිටුපසින් සැඟවී සිටින බව රජ දැන සිටියේ නැත.+ 15  පැරදුණු බව මවාපාමින්+ යොෂුවා හා ඊශ්‍රායෙල් හමුදාව පාළුකරය හරහා පලා යන්න පටන්ගත්තෝය.+ 16  ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන්ව ලුහුබැඳ ගොස් අල්ලාගන්නා ලෙස ආයි නගරයේ සියලුම භටයන්ට අණ දෙන ලදි. නගරයෙන් බොහෝ ඈතට යන තෙක්ම ඔවුහු යොෂුවාගේ හමුදාව පසුපස ලුහුබැන්දෝය.+ 17  ආයි නගරය හා බෙතෙල් නගරය තුළ එක් හමුදා භටයෙක්වත් ඉතුරු වූයේ නැත. මන්ද ඒ සියලුදෙනාම ඊශ්‍රායෙල්වරුන් පසුපස ලුහුබැඳ ගිය නිසා නගරය ආරක්ෂා කිරීමට කිසිවෙකු නොසිටියේය. 18  එවිට යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ඔබේ අතේ තිබෙන හෙල්ලය ආයි නගරය දෙසට දිගු කරන්න.+ මම දැන් ඒ නගරය ඔබේ අතට යටත් කර දෙන්නෙමි.”+ එවිට යොෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය ආයි නගරය දෙසට දිගු කළේය. 19  ඔහු එසේ කළ විගස නගරයට පිටුපසින් සැඟවී සිටි භට පිරිස නගරයට ඇතුල් වී එය යටත් කරගත්තෝය.+ ඉන්පසු ඔවුහු නගරයට ගිනි තැබුවෝය.+ 20  ඊශ්‍රායෙල්වරුන් පසුපස එළවාගෙන ගිය ආයි නගරයේ භට පිරිස පිටුපස හැරී බැලූ විට තම නගරයෙන් දුමක් නඟිනවා දුටුවෝය. ඊශ්‍රායෙල්වරුන්ගෙන් බේරීම සඳහා කොයි අතටවත් පලා දිවීමට ඔවුන්ට නොහැකි විය. මන්ද පාළුකරය හරහා පලා ගිය ඊශ්‍රායෙල්වරුද නැවත හැරී ඔවුන් පසුපස ලුහුබැඳ ආවෝය. 21  ආයි නගරය අල්ලාගෙන+ ඊට ගිනි තබා ඇති බව දුටු යොෂුවා සහ ඔහුගේ හමුදාව තම සතුරන්ට පහර දීමට පටන්ගත්තෝය. 22  නගරයට ගිනි තැබූ හමුදාවද යොෂුවාගේ උපකාරයට ඇවිත් සතුරු සේනාවට පහර දුන්නෝය. මෙසේ ආයි නගරයේ පුරුෂයන් දෙපැත්තෙන්ම කොටු වූ අතර ඊශ්‍රායෙල්වරු ඔවුන් සියලුදෙනාවම මරා දැමූහ. ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් බේරී යෑමට නොහැකි විය.+ 23  නමුත් ඊශ්‍රායෙල්වරු ආයි නගරයේ රජුව+ නොමරා යොෂුවා ළඟට ගෙනාවෝය. 24  තමන් පසුපස ලුහුබැඳ පැමිණි ආයි නගරයේ සියලු පුරුෂයන්ව ඊශ්‍රායෙල්වරු පාළුකරයේදීම මරා දැමූහ. ඉන්පසු මුළු ඊශ්‍රායෙල් හමුදාව ආයි නගරයට පැමිණ එහි සියලු වැසියන්ටද පහර දුන්නෝය. 25  එදින ආයි නගරයේ සියලුම වැසියෝ මැරුම් කෑවෝය. මැරුම් කෑ ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ මුළු ගණන දොළොස්දහසක් විය. 26  ආයි නගරයේ සෑම වැසියෙකුවම මරණයට පත් කරන තුරු+ යොෂුවා තමා ඔසවාගෙන සිටි හෙල්ලය පහතට දැමුවේ නැත.+ 27  යෙහෝවා දෙවි යොෂුවාට අණ කළ ලෙස ඊශ්‍රායෙල්වරු ආයි නගරයේ වස්තු සම්භාරය හා එහි සතුන්ව පමණක් ගත්තෝය.+ 28  ඉන්පසු යොෂුවා ආයි නගරය සදහටම නටබුන් ගොඩක් වන සේ එය ගිනිබත් කළේය.+ එය අද දක්වාම පාළුවට ගොස් තිබේ. 29  යොෂුවා, ආයි නගරයේ රජුව+ මරා, හවස් වන තුරු කණුවක එල්ලා තැබුවේය.+ හිරු බැස යන වේලාවේදී යොෂුවාගේ අණ පරිදි මළ සිරුර පහතට ගෙන+ නගරයේ දොරටුව අසලට වීසි කරනු ලැබීය. ඉන්පසු ඊට උඩින් ගල් ගොඩගසනු ලැබීය. ඒ ගල් ගොඩ අද දක්වාම පවතියි. 30  මේ සියල්ලෙන් පසු යොෂුවා ඒබාල් කන්ද+ මත ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට පූජාසනයක්+ ගොඩනැඟුවේය. 31  යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් මාර්ගයෙන් දුන් නීතියේ සඳහන් ආකාරයට+ ඔහු පූජාසනය ගොඩනැඟුවේය. එහි සඳහන් වූයේ, “නොකැපූ ගල්වලින් පූජාසනය සෑදිය යුතුයි”+ කියාය. එම පූජාසනය මත ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළෝය.+ 32  මෝසෙස්, ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටියදී ලියා තිබූ නීතිය+ යොෂුවා එහිදී ගල් මත පිටපත් කළේය.+ 33  ඉන්පසු විදේශිකයන්ගෙන් හා ඊශ්‍රායෙල්වරුන්ගෙන්+ දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද පාමුලත්+ දෙකෙන් කොටසක් ඒබාල් කන්ද පාමුලත්+ සිටගෙන සිටියෝය. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන සිටි+ ලෙවී ගෝත්‍රයට අයත් පූජකයෝ+ ඒ කණ්ඩායම් දෙකට මැද්දෙන් සිටගෙන සිටියෝය. මුළු ඊශ්‍රායෙල් සෙනඟද ඔවුන්ගේ වැඩිමහල්ලන්ද+ ඔවුන්ගේ නායකයන්ද විනිශ්චයකරුවන්ද ඒ පූජකයන්ට මුහුණ ලා සිටගෙන සිටියෝය. ඒ සියල්ල සිදු කෙරුණේ යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් කලින් දුන් උපදෙස්වලට අනුවය.+ මුලින්ම රැස්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කරනු ලැබීය.+ 34  ඉන්පසු යොෂුවා නීතිය පිළිපැදීමෙන් අත් වන ආශීර්වාදත්+ නීතිය කඩ කිරීමෙන් අත් වන ශාපත්+ ඇතුළුව නීතියේ සඳහන් සියල්ලම ඔවුන්ට ඇසෙන සේ කියෙව්වේය.+ 35  මෙසේ මෝසෙස් මාර්ගයෙන් දුන් නීතියේ සඳහන් සියල්ල යොෂුවා අකුරක් නෑර ශබ්ද නඟා කියෙව්වේය.+ ස්ත්‍රීන්ද+ කුඩා දරුවන්ද+ ඊශ්‍රායෙල්වරුන් සමඟ ආ විදේශිකයන්ද+ ඇතුළු රැස්ව සිටි සියලුදෙනා ඉදිරියේ ඔහු එම වචන කියෙව්වේය.

පාදසටහන්