ගීතාවලිය 90:1-17

  • පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් සහ කෙටි කාලෙකින් මැරිලා යන මිනිසා

    • අවුරුදු දහසක්, ගෙවී ගිය එක දවසක් වගේ (4)

    • මිනිසුන් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අවුරුදු 70ක්, 80ක් (10)

    • ‘හැම දවසක්ම අර්ථවත්ව ගත කරන්න උගන්වන්න’ (12)

සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වන මෝසෙස්ගේ යාච්ඤාවක්.+ 90  යෙහෝවා දෙවියනි, ඈත අතීතයේ ඉඳන්ම අපේ නිවහන* ඔබයි.+  කඳු බිහි වෙන්නත් කලින්,පොළොව සහ ඒකේ තියෙන හැම දේම හදන්නත් කලින්*+ ඔබ හිටියා.පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් ඔබයි.*+   ඔබ මිනිසාව ආයෙත් දූවිල්ලට හරවනවා.“මිනිසුනි, ආයෙත් දූවිල්ලට හැරිලා යන්න” කියලා ඔබ කියනවා.+   අවුරුදු දහසක් ගත වුණත් ඔබට ඒක ගෙවී ගිය එක දවසක්* වගේ.+ඔබට ඒක රාත්‍රියේ ගෙවී ගිය එක රැකවල් යාමයක්* වගේ.   එක මොහොතකින් ඔබ ඔවුන්ව නැති කරලා දානවා.+ඔවුන්ගේ ජීවිතේ හරියට කෙටි නින්දක් වගේ.ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ වගේ.+   උදෑසන ඒවා දලු දාලා හොඳින් වැඩෙනවා.ඒත් හවස් වෙද්දී ඒවා පර වෙලා වේළිලා යනවා.+   ඔබේ කේන්තිය නිසා අපි විනාශ වෙලා යනවා.+ඔබේ දැවෙන කෝපය දැක්කාම අපි බයෙන් වෙවුලනවා.   ඔබ අපේ වැරදි ගැන හොඳින්ම දන්නවා.*+ඔබේ මුහුණෙන් නික්මෙන ආලෝකය නිසා අපේ හැම රහසක්ම හෙළි වෙනවා.+   ඔබ අපිත් එක්ක කේන්තියෙන් ඉන්න නිසා අපේ ජීවිතේ දවස් ටිකෙන් ටික ගෙවිලා යනවා.හුස්මක්* වගේ අපේ ජීවිතේ ඉක්මනින්ම අවසන් වෙනවා. 10  සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නේ අවුරුදු 70යි.හොඳට සවිශක්තිය තියෙන කෙනෙක් අවුරුදු 80ක් ජීවත් වෙයි.+ ඒත් ඒ ටික කාලෙත් දුක් කරදරවලින් පිරිලා.අපේ ජීවිතේ දවස් වේගයෙන් ගෙවිලා යනවා.අපේ ජීවිත ඉක්මනින්ම නැති වෙලා යනවා.+ 11  ඔබේ කෝපය මොන තරම් බලගතුද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද? ඔබේ උදහස හිතාගන්න බැරි තරම් බලවත්.අපි ඔබට පෙන්විය යුතු ගරුබියත් ඒ තරම්ම ප්‍රබල වෙන්න ඕනේ.+ 12  අපේ ජීවිතයේ හැම දවසක්ම අර්ථවත් විදිහට ගත කරන්න* අපිට උගන්වන්න.+එතකොට නැණවත් හිතක් ඇති කරගන්න අපිට පුළුවන් වෙයි. 13  අනේ යෙහෝවා, ආයෙත් ඔබේ කරුණාව අපිට පෙන්වන්න.+ඔබේ සේවකයන්ට අනුකම්පා කරන්න.+ තව කොච්චර කාලයක් ඔබ අපෙන් ඈත් වෙලා ඉන්නවාද?+ 14  උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා අපිව සතුටට පත් කරන්න.+එතකොට ප්‍රීති ඝෝෂා නඟමින් ජීවිත කාලේ පුරාම අපිට සතුටින් ඉන්න පුළුවන්.+ 15  ඔබ අපිට දුක් පීඩා විඳින්න ඉඩහැරපු තරමටම අපේ හිත් සතුටින් පුරවන්න.+අපි දුක් විඳපු අවුරුදු ගාණට හරියන්න අපිව සතුටට පත් කරන්න.+ 16  ඔබ කරන යහපත් දේවල් ඔබේ සේවකයන්ට දකින්න සලස්වන්න.ඔබේ මහත් බලය දකින්න ඔවුන්ගේ දරුවන්ටත් අවස්ථාව දෙන්න.+ 17  යෙහෝවා අපේ දෙවියනි, ඔබේ කරුණාව අපිට පෙන්වන්න.අපේ දෑතේ වැඩවලට ආශීර්වාද කරන්න. අපි කරන හැම දේකටම ඔබේ ආශීර්වාදය ලැබේවා!+

පාදසටහන්

හෝ සමහරවිට, “බලකොටුව.”
හෝ, “ප්‍රසව වේදනාවකින් දරුවෙක් බිහි කරනවා වගේ හැම දේම හදන්න කලින්.”
මූ.අ., “සදාකාලයෙන් සදාකාලයටම දෙවියන් ඔබයි.”
මූ.අ., “ගෙවිලා ගිය ඊයේ දවස.”
එක රැකවල් යාමයකට පැය හතරක වගේ කාලයක් ඇතුළත්.
මූ.අ., “ඔබ අපේ වැරදි ඔබ ඉස්සරහා තියාගන්නවා.”
හෝ, “සුසුමක්.”
මූ.අ., “දවස් ගණන් කරන්න.”