Skip to content

පටුනට යන්න

ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ මොකක් අනුවද?

ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ මොකක් අනුවද?

හුඟක් අය හිතනවා නොපෙනෙන බලවේග එයාලගේ ජීවිත පාලනය කරනවා කියලා. ඒ නිසා ජීවිතය සාර්ථක කරගන්න එයාලා එක එක දේවල් කරනවා.

හුඟක් අය විශ්වාස කරන දේ

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය: සමහරු හිතනවා එයාලගේ අනාගතය තීරණය වෙන්නේ එයාලා ඉපදෙන වෙලාවේ ග්‍රහ තාරකා පිහිටලා තිබුණ විදිහ අනුව කියලා. ඒ නිසා ජ්‍යෝතිශය, හඳහන් වගේ දේවල් මාර්ගයෙන් අනාගතයේදී එයාලට වෙන්න තියෙන අනතුරු කලින්ම දැනගන්න එයාලා උත්සාහ කරනවා. මොකද එයාලට ඕනෙ ඒ අනතුරු වළක්වගෙන ජීවිතය සාර්ථක කරගන්න.

වාස්තු විද්‍යාව: තවත් අය හිතනවා ගෙවල් දොරවල්, ගොඩනැඟිලි හදන විදිහ, දිශාව අනුවත් එයාලට සාර්ථකත්වය සහ සතුට ලැබෙනවා කියලා. a

මුතුන්මිත්තන්ට නමස්කාර කරන එක: තවත් අය හිතනවා දෙවි දේවතාවුන්ට එහෙමත් නැත්නම් මිය ගිය මුතුන්මිත්තන්ට නමස්කාර කරන එකෙන් ආරක්ෂාවත් ආශීර්වාදත් ලැබෙනවා කියලා. වියට්නාමයේ ජීවත් වෙන වැන් b මෙහෙම කියනවා. “මළ ගිය මුතුන්මිත්තන්ට නමස්කාර කළොත් මටයි මගේ දරුමල්ලන්ටයි දැනුත් අනාගතයේදීත් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා.”

පුනරුත්පත්තිය: සමහරු ජීවිතය හඳුන්වන්නේ මැරි මැරි නැවත ඉපදෙන සංසාර ගමනක් විදිහට. එයාලා හිතනවා කලින් ජීවිතේ කරපු හොඳ නරක අනුව තමයි මේ ජීවිතේ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා.

හැබැයි හුඟක් අය ඒවා සලකන්නේ මිථ්‍යා විශ්වාසයන් විදිහට. ඒත් එයාලත් සාස්තර, හඳහන්, භූත ලෑලි (වීජා බෝඩ්), ටැරට් කාඩ් වගේ දේවල්වලින් අනාගතය ගැන දැනගන්න හදනවා. එයාලා හිතනවා ඒ වගේ දේවල්වලින් එයාලගේ අනාගතය ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා.

ප්‍රතිඵල මොනවාද?

ඒ දේවල් ගැන විශ්වාසය තියලා වැඩ කරපු අයට එයාලා බලාපොරොත්තු වුණ දේවල් ලැබිලා තියෙනවාද?

වියට්නාමයේ ජීවත් වෙන හාඕගේ අද්දැකීම බලන්න. එයා ජ්‍යෝතිශය, ෆෙන්ෂුයි විශ්වාස කළා. මුතුන්මිත්තන්ට නමස්කාර කළා. ඒ දේවල් නිසා එයා සාර්ථක වෙලාද? එයා මෙහෙම කියනවා. “මගේ බිස්නස් එක බංකොලොත් වුණා. හතර වටේටම මං ණය වුණා. පවුලෙත් ප්‍රශ්න ඇති වුණා. මං පුදුම විදිහට මානසිකව වැටුණේ.”

තායිවානයේ ජීවත් වෙන චියුමින් කියන දේ බලන්න. එයාත් ජ්‍යෝතිශය, පුනරුත්පත්තිය, දෛවය සහ ෆෙන්ෂුයි විශ්වාස කළා. මුතුන්මිත්තන්ටත් නමස්කාර කළා. හැබැයි අන්තිමේදී ඒ හැම දෙයක් ගැනම හොඳට හිතලා බැලුවාට පස්සේ එයා එක දෙයක් තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “ඒ විශ්වාසයන්, චාරිත්‍ර අතරේ කිසිම එකඟත්වයක් නැහැ. ඒක නම් මහ අවුල් ජාලාවක්. හුඟක් වෙලාවට ජ්‍යෝතිශයෙන් කියපු දේවල් ඒ විදිහට වුණෙත් නැහැ. පුනරුත්පත්තියෙන් කියන්නේ මං කලින් ජීවිතේ කරපු පව්, පින් අනුව තමයි මේ ජීවිතේ හැම දෙයක්ම වෙන්නේ කියලා. ඒත් ඉතින් කලින් ජීවිතේ මං කරපු කිසිම දෙයක් මට මතක නැත්නම් මං කොහොමද මගේ වැරදි හදාගන්නේ?”

“ඒ විශ්වාසයන්, චාරිත්‍ර අතරේ කිසිම එකඟත්වයක් නැහැ. ඒක නම් මහ අවුල් ජාලාවක්.”—තායිවානයේ චියුමින්

හාඕ සහ චියුමින් වගේ හුඟක් අය තේරුම් අරන් තියෙනවා දෛවය, ග්‍රහ තාරකාවල පිහිටීම, මුතුන්මිත්තන්ට නමස්කාර කරන එක සහ පුනරුත්පත්තිය වගේ දේවල්වලට අපේ අනාගතය තීරණය කරන්න බැහැ කියලා. ඒ කියන්නේ අපි මොන දේ කළත් අපේ අනාගතය සුරක්ෂිත කරගන්න අපිට බැරිද?

හුඟක් අය හිතනවා ඉහළටම ඉගෙනගත්තොත් හොඳට සල්ලි හම්බ කරගත්තොත් අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එහෙම කරපු සමහර අයට ලැබිලා තියෙන ප්‍රතිඵල මොනවාද?

a චීනය ඇතුළු ආසියාවේ හුඟක් රටවල්වල “ෆෙන්ෂුයි” කියලා ඒ හා සමාන තවත් විශ්වාසයක් තියෙනවා.

b මේ ලිපියේ සහ ඊළඟ ලිපිවල එන සමහර නම් වෙනස් කරලා තියෙනවා.

c ඒ අදහස තියෙන්නේ ශුද්ධ බයිබලේ ගලාති 6:7 වෙනි පදයේ. ඒ අදහසම දෙන ප්‍රසිද්ධ කියමනකුත් තියෙනවා. ඒ තමයි “කළ දේ පල දේ” කියන එක.