ජීවිත කතාව
වෙනස්කම් කරගත්තේ ඒ ඒ අයට අනුව හැඩගැහෙන්නයි
“ඔයා බව්තීස්ම වුණොත් මං මේ ගෙදරින් යනවා!” මගේ තාත්තා අම්මාට එහෙම කිව්වේ 1941දී. ඒත් අම්මා බය වුණේ නැහැ. එයා බව්තීස්ම වුණා. තාත්තා කියපු විදිහටම අපිව දාලා ගියා. ඒ වෙද්දී මට අවුරුදු 8යි.
ඒක වෙන්න කලින් ඉඳන්ම බයිබලේ තියෙන දේවල් ගැන මගේ හිතේ ලොකු ආසාවක් ඇති වෙලයි තිබුණේ. සාක්ෂිකරුවන් අම්මාට දීලා තිබුණ පොත්වල තොරතුරුවලට මං හරි ආසයි. විශේෂයෙන්ම පින්තූරවලට. අම්මා බයිබලෙන් ඉගෙනගත්ත දේවල් ගැන මාත් එක්ක කතා කරනවට තාත්තා කැමති වුණේ නැහැ. ඒත් ඒ දේවල් ගැන දැනගන්න මට තිබුණ ආසාව නිසා මං නිතරම වගේ අම්මාගෙන් ප්‍රශ්න ඇහුවා. තාත්තා ගෙදර නැති වෙලාවලදී අම්මා මාත් එක්ක බයිබල් පාඩමක් කළා. ඔය විදිහට කාලේ ගත වෙද්දී දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න මාත් තීරණය කළා. 1943 එංගලන්තයේ බ්ලැක්පූල් නගරේදී මං බව්තීස්ම වුණා. එතකොට මට අවුරුදු 10යි.
සේවය කරන්න පටන්ගත්තා
බව්තීස්ම වුණ දවසේ ඉඳන් මායි අම්මායි වරද්දන්නේ නැතුව එකට සේවයේ ගියා. පණිවිඩේ කියන්න ඒ කාලේ අපි පාවිච්චි කළේ තැටි වාදන යන්ත්‍ර. ඒවා ටිකක් ලොකුයි. කිලෝ 41/2ක් විතර බරයි. නිකම් හිතලා බලන්න අවුරුදු 10ක පොඩි කොල්ලෙක් ඒ වගේ එකක් උස්සගෙන යද්දී කොහොම තියෙන්න ඇද්ද කියලා.
පුරෝගාමි සේවය කරන්න මට ආස හිතුණේ අවුරුදු 14දී. අම්මා කිව්වා ඒ ගැන චාරිකා සේවක එක්ක කතා කරන්න කියලා. පුරෝගාමි සේවය කරද්දී මගේ වියහියදම් හොයාගන්න පුළුවන් විදිහේ දෑතේ වැඩක් ඉගෙනගන්න කියලා චාරිකා සේවක මට කිව්වා. ඉතින් මං ඒ
දේ කළා. අවුරුදු 2ක් වැඩ කළාට පස්සේ මං තවත් චාරිකා සේවකයෙක් එක්ක මගේ ආසාව ගැන කතා කළා. එයා මට කිව්වා “සේවය පටන්ගන්න” කියලා.1949දී මායි අම්මායි මැන්චෙස්ටර් නගරේට කිට්ටුවෙන් තිබුණ මිඩ්ල්ටන්වල පදිංචියට ගියා. අපි පුරෝගාමි සේවය පටන්ගත්තේ එහෙදී. මාස 4කට පස්සේ ශාඛා කාර්යාලයෙන් මටයි තව සහෝදරයෙක්ටයි කිව්වා අර්ලම්වල අලුතෙන් පිහිටවපු සභාවට ගිහින් සේවය කරන්න කියලා. අම්මා තවත් සහෝදරියක් එක්ක වෙන සභාවක පුරෝගාමි සේවය කළා.
අපි ගිය සභාවේ වගකීම් දරන්න සුදුසුකම් තිබුණ සහෝදරයන් හිටියේ ටිකයි. මටයි මාත් එක්ක ගිය අනිත් සහෝදරයාටයි රැස්වීමේ කොටස් කරන්න භාර දුන්නා. එතකොට මට අවුරුදු 17යි. ටික කාලෙකට පස්සේ මම බක්ස්ටන්වල තිබුණ සභාවට ගියා. එහේ හිටියේ ප්‍රචාරකයන් ටිකදෙනෙක් නිසා කරන්න වැඩ ගොඩක් තිබුණා. ඒ කාලේ ලබපු අද්දැකීම් අනාගත පැවරුම්වලට මට හොඳ පුහුණුවක්.
1951දී මං ගිලියද් පාසැලට අයැදුම් කළා. ඒත් 1952 දෙසැම්බර් මාසේදී රජයෙන් මට නියෝග කළා හමුදා සේවයට බැඳෙන්න කියලා. මං පූර්ණකාලීන දේවසේවකයෙක් නිසා හමුදාවට බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කළත් අධිකරණයෙන් ඒකට අවසර ලැබුණේ නැහැ. මට මාස 6ක හිරදඬුවමක් දුන්නා. මං හිරේ හිටපු කාලෙදී තමයි ගිලියද් පාසැලේ 22වෙනි පන්තියට සහභාගි වෙන්න කියලා මට ආරාධනයක් ලැබුණේ.
හිරෙන් නිදහස් වෙලා ටික දවසකට පස්සේ ඒ කියන්නේ 1953 ජූලි මාසේ මං නිව් යෝර්ක්වලට යන්න පිටත් වුණා.මං එහෙට ගිය දවස්වලම වගේ විශේෂ සමුළුවක් එහේ තිබුණා. ඒක ඉවර වුණාට පස්සේ මං කෝච්චියෙන් දකුණු ලැන්සින්ග්වලට පිටත් වුණා. මොකද ගිලියද් පාසැල තිබුණේ එහේ. ඇමරිකාවට ගියේ හිරෙන් නිදහස් වුණ ගමන්ම නිසා මගේ අතේ එච්චර සල්ලි තිබුණේ නැහැ. කෝච්චියෙන් බැහැලා මට සත 25ක දුරක් බස් එකෙන් යන්න තිබුණා. ඒත් ඒකට මගේ අතේ සල්ලි තිබුණේ නැති නිසා ඒක මං ඉල්ලගත්තේ බස් එකේ හිටපු කෙනෙක්ගෙන්.
වෙන රටකට පැවරුමක්
එක එක තරාතිරම්වල ඉන්න මිනිසුන්ට ගැළපෙන විදිහට හැඩගැහිලා වැඩ කරන්න ගිලියද් පාසැලෙන් අපිට ලැබුණේ හරිම වටින පුහුණුවක්. (1 කොරි. 9:22) පෝල් බෲන්ටයි, රේමන්ඩ් ලීච්ටයි, මටයි පිලිපීනයට ගිහින් සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒත් වීසා හම්බ වෙන කල් මාස කීපයක්ම බලාගෙන ඉන්න අපිට සිද්ධ වුණා. වීසා හම්බ වුණාම අපි නැවෙන් පිලිපීනයට යන්න පිටත් වුණා. දවස් 47ක මුහුදු ගමනකට පස්සේ 1954 නොවැම්බර් 19වෙනිදා අපි මැනිලා නගරේට ආවා.
හැම දෙයක්ම අපිට අලුත්. රටේ සංස්කෘතියට අනුව හැඩගැහෙන්න, අලුත් භාෂාවක් ඉගෙනගන්න අපිට සිද්ධ වුණා. ආපු අලුතම අපි 3දෙනාට සේවය කරන්න ලැබුණේ ක්විෂොං නගරේ තිබුණ සභාවක. එහේ හිටපු හුඟක් අය ඉංග්‍රීසි දන්නවා. ඒ නිසා මාස 6ක් ගියාට පස්සෙත් අපි දැනගෙන හිටියේ ටගාලොග් භාෂාවේ වචන කීපයක් විතරයි. ඒත් ඊළඟ පැවරුමත් එක්ක ඒක වෙනස් වුණා.
දවසක් මම සහෝදර ලීච් එක්ක සේවයේ ගිහින් ගෙදර එද්දී අපි දෙන්නට ලියුම් 2ක් ඇවිත් තිබුණා. ඒ ලියුම්වල තිබුණේ අපිට චාරිකා සේවය කරන්න පැවරුමක් ලැබිලා කියලයි. ඒ වෙද්දී මට වයස 22යි. විවිධ තරාතිරම්වල ඉන්න මිනිසුන්ට අනුව හැඩගැහෙන්න මං හුඟක් දේවල් ඉගෙනගත්තේ ඒ පැවරුමෙන්.
චාරිකා සේවය පටන්ගත්තට පස්සේ මං මුල්ම බයිබල් දේශනය දුන්නේ කඩයක් ඉස්සරහා. ඒ කාලේ පිලිපීනයේ බයිබල් දේශන දුන්නේ මිනිසුන් ගැවසෙන ප්‍රසිද්ධ තැන්වල. චාරිකාවේ එක එක සභාවලට යද්දී එළිමහනේ තිබුණ හට්වල, මාර්කට්වල, නගර සභා ශාලා ඉදිරිපිට, බාස්කට්බෝල් කෝට්වල, පාක්වල, හන්දිවල මම දේශන දුන්නා. දවසක් සැන් පබ්ලෝවලට ගිය වෙලාවේ දේශනය දෙන්න ලෑස්ති කරලා තිබුණේ මාර්කට් එකක් ඉස්සරහා. ඒත් එදා හොඳටම වැස්ස නිසා දේශනය දෙන්න බැරි වුණා. බයිබල් දේශනය නමස්කාර මධ්‍යස්ථානයේ දෙමු කියලා මං වගකීම් දරපු සහෝදරයන්ට යෝජනා කළා. රැස්වීම ඉවර වුණාට පස්සේ ඒ සහෝදරයන් මගෙන් ඇහුවා ඒක ප්‍රසිද්ධ ස්ථානයක තිබුණේ නැති නිසා පොදු රැස්වීමක් විදිහට වාර්තා කරන්න පුළුවන්ද කියලා.
සභාවලට ගියාම මං නතර වුණේ සහෝදරයන්ගේ ගෙවල්වල. එයාලගේ ගෙවල් පුංචි වුණත් ඒවා පිරිසිදුයි. හුඟක් වෙලාවට මං නිදාගත්තේ පැදුරේ. සමහර තැන්වල නාන තැන තිබුණේ එළියේ. ඒවා ආවරණය කරලා තිබුණෙත් නැහැ. ඒ වගේ තැන්වල නාන එක මට අලුත් දෙයක් වුණත් මං ඒකට පුරුදු වුණා. මං හුඟක් සභාවලට ගියේ බස් එකෙන්. දූපත්වල තිබුණ ඒවාට ගියේ බෝට්ටුවෙන්. මට කවදාවත් කාර් එකක් තිබුණේ නැහැ.
පන්තියකට යන්නේ නැතුවම මට ටගාලොග් භාෂාව ඉගෙනගන්න පුළුවන් වුණා. සේවයේදී, රැස්වීම්වලදී සහෝදරයෝ කතා කරනවා අහන් ඉඳලයි මං ඒක ඉගෙනගත්තේ. මට ඒ භාෂාව උගන්වන්න සහෝදරයෝ හිටියේ කැමැත්තෙන්. ඉවසීමෙන් මට උගන්වපු එක ගැන, ඒ භාෂාව කතා කරද්දී වැරදුණ තැන් පෙන්නලා දීපු එක ගැන මං ඒ සහෝදරයන්ට හුඟක් ස්තුති කරනවා.
කාලය ගත වෙද්දී මට තව අලුත් පැවරුම් ලැබුණ නිසා තව තව දේවලට පුරුදු වෙන්න මට සිද්ධ වුණා. 1956දී සහෝදර නෝර් පිලිපීනයට ආපු වෙලාවේ අපි විශේෂ සමුළුවක් සැලසුම් කළා. ඒ සමුළුවට ආපු මාධ්‍යවේදීන් එක්ක කතා කරන පැවරුම ලැබුණේ මට. මම කවදාවත් ඒ
වගේ දෙයක් කරලා තිබුණේ නැහැ. ඒත් මට සහෝදරයෝ උදව් කළා. ඒ සමුළුව ඉවර වෙලා අවුරුද්දක් විතර යද්දී අපි ආයෙත් විශේෂ සමුළුවක් සැලසුම් කළා. ඒකට ලෝක මූලස්ථානයේ සේවය කරපු සහෝදර ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස් ආවා. ඒකේ සමුළු සේවක විදිහට සේවය කළේ මම. සහෝදර ෆ්‍රාන්ස් බයිබල් දේශනය දුන්නේ පිලිපීනයේ ජාතික ඇඳුම ඇඳගෙන. ඒක දැක්කම සහෝදරයෝ හුඟක් සතුටු වුණා. අනිත් අයගේ තත්වයට අනුව හැඩගැහෙන එක කොච්චර වටිනවද කියලා එයාගෙන් මම ඉගෙනගත්තා.දිස්ත්‍රික් සේවක හැටියට පැවරුමක් ලැබුණම තවත් දේවලට හුරු වෙන්න මට සිද්ධ වුණා. ඒ දවස්වල අපි මිනිසුන් ගැවසෙන තැන්වලට ගිහින් දෙවිගේ සංවිධානයේ වැඩකටයුතු සිද්ධ වෙන විදිහ ගැන වීඩියෝ එකක් පෙන්නුවා. හුඟක් වෙලාවට අපි ඒක පෙන්නුවේ එළිමහනේ නිසා පුංචි කෘමීන්ගෙන් අපිට සෑහෙන කරදර තිබුණා. ප්‍රොජෙක්ටර් එකේ ලයිට් එකට උන් ඇදිලා එනවා. ඊටපස්සේ උන් ඒකේ ඇළෙනවා. වීඩියෝ එක පෙන්නුවට පස්සේ ප්‍රොජෙක්ටර් එක සුද්ද කරන එක ලේසි වුණේ නැහැ. ඒ විදිහට වීඩියෝ පෙන්නන එක අභියෝගයක් වුණත් මිනිසුන් යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන ඉගෙනගන්නවා දකිද්දී අපිට දැනුණේ ලොකු සතුටක්.
අපිට සමුළු තියන්න අවසර දෙන්න එපා කියලා කතෝලික පූජකයෝ ආණ්ඩුවේ නිලධාරීන්ට බලපෑම් කළා. අපි පල්ලියකට කිට්ටුවෙන් තියෙන තැනක දේශනයක් දෙද්දී ඒකට බාධා වෙන විදිහට පල්ලියේ සීනුව එයාලා එක දිගට ගැහුවා. ඒ මොනවා කළත් යෙහෝවා
දෙවි ගැන ඉගෙනගන්න එක මිනිසුන් අත්හැරියේ නැහැ. අද ඒ පැතිවල ඉන්න හුඟක් අය දෙවිගේ සේවකයන්.අලුත් පැවරුම් ලැබෙද්දී අලුත් වෙනස්කම්
1959 මට ශාඛා කාර්යාලයේ සේවය කරන්න ආරාධනයක් ලැබුණා. එහෙදීත් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. ටික කාලෙකට පස්සේ වෙනත් රටවලට යන්නත් මට පැවරුම් ලැබුණා. එහෙම තායිලන්තයට ගිය අවස්ථාවක මට මිෂනාරි සේවය කරන ජැනට් කියන සහෝදරියව මුණගැහුණා. ටික කාලයක් අපි දෙන්නා ලියුම් හුවමාරු කරගත්තා. ඊටපස්සේ අපි විවාහ වුණා. දැන් අපි අවුරුදු 51ක් තිස්සේ යෙහෝවා දෙවිට සතුටින් සේවය කරනවා.
රටවල් 33කට ගිහින් සහෝදරයන්ව දිරිගන්වන්න ලැබුණ එක ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්. කලින් පැවරුම්වලින් ලබපු පුහුණුව විවිධ පසුබිම්වලට අයිති, විවිධ සංස්කෘතීන්වලට අයිති අයව හොඳින් තේරුම් අරන් වැඩ කරන්න මට උදව් වුණා. ඒ විදිහට රට රටවලට යද්දී යෙහෝවා දෙවි හැම කෙනෙක්ටම එක වගේ ආදරෙයි කියන දේ මට හොඳින්ම තහවුරු වුණා.—ක්‍රියා 10:34, 35.
තාමත් වෙනස්කම්වලට හැඩගැහෙනවා
ගත වුණ අවුරුදු ගාණ පුරාම පිලිපීනයේ සහෝදරයන් එක්ක උරෙන් උර ගැටිලා සේවය කරන්න ලැබුණ එක මමයි ජැනටුයි සලකන්නේ ආශීර්වාදයක් විදිහට. අපි තාමත් සේවය කරන්නේ පිලිපීනයේ ශාඛා කාර්යාලයේ. මං මෙහෙට එද්දී හිටපු ප්‍රචාරකයන්ගේ ගාණ දැන් 10 ගුණයකින් වැඩි වෙලා. මෙහේ ගෙවුණ අවුරුදු 60කටත් වැඩි කාලේ පුරාම විවිධ දේවල්වලට මං හැඩගැහුණා. ඒත් ඉස්සරහටත් යෙහෝවා දෙවි කියන ඕනම දෙයකට අනුව හැඩගැහෙන්න මං ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මේ ළඟදී සංවිධානයේ කොච්චර වෙනස්කම් වුණාද! ඒවාට හුරු වෙන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අපි මුළු හදින්ම වෑයම් කරනවා. ජීවත් වෙන්න පුළුවන් හොඳම විදිහ ඒකයි. සහෝදරයන්ට තව හොඳින් සේවය කරන්න තියෙන ආසාව නිසා ඕනම දේකට හුරු වෙන්න අපි ලොකු වෑයමක් ගන්නවා. අපේ අදිටන විවිධ තරාතිරම්වල ඉන්න මිනිසුන්ව දිනාගන්න ඒ ඒ අයට අනුව හැඩගැහෙන්නයි.