Skip to content

පටුනට යන්න

ෆං ෂ්වේ—ක්‍රිස්තියානීන්ට සුදුසුද?

ෆං ෂ්වේ—ක්‍රිස්තියානීන්ට සුදුසුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ෆං ෂ්වේ—ක්‍රිස්තියානීන්ට සුදුසුද?

ආසියාවේ, භූමදානය සඳහා තැනක් නියම කරනු ලබන්නේත්, ගොඩනැඟිලි සැළසුම් කරන්නේත්, අලංකාර කරන්නේත්, ඉඩම් ගනු දෙනු කරන්නේත් මෙය පදනම් කරගෙනය. මෙය චීන භාෂාවෙන් හඳුන්වන්නේ ෆං ෂ්වේ යනුවෙනි. ෆං ෂ්වේ යනු භූමි චිත්‍ර බලා පේන කීම හෝ නිමිති බැලීමයි. ෆං ෂ්වේ ආසියාතික රටවල්වල දශක ගණනාවක් පුරා පැතිර තිබුණ අතර මෑත කාලයේදී එය බටහිර රටවල්වලටත් පැතිර ගොස් තිබේ. සමහර ගෘහ නිර්මාණ ශිල්පීන් කාර්යාල, උස් ගොඩනැඟිලි සංකීර්ණ හා ගෙවල් සාදන විට මෙය සැලකිල්ලට ගනී. සමහර ගෘහිණියන් තමන්ගේ නිවසේ ගෘහ භාණ්ඩ එහා මෙහා කර සකස් කිරීමේදීද මෙය ගැන සැලකිලිමත් වෙයි. මේ ඉගැන්වීමට හා ප්‍රචලිත කිරීමට බොහෝ පොත් පත්වල හා වෙබ් අඩවිවල කරුණු සම්භාරයක් සපයා තිබේ.

මෙය මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද? මේ ගැන එක් අධිනීතිඥයෙක් පැවසුවේ ෆං ෂ්වේ මගින් “සාර්ථක ජීවිතයක්, හොඳ සෞඛ්‍යයක්, ප්‍රීතිමත් විවාහ ජීවිතයක් හෝ සතුටුදායක සම්බන්ධකම්, වත් පොහොසත්කම්, මනසේ සාමය” ලබාගත හැකි බවයි. මෙකී සියලු දේ යහපත් බව හැඟුණත් ක්‍රිස්තියානීන් මෙවැනි පිළිවෙත් ගැන දැරිය යුතු ආකල්පය කුමක්ද?

එය කුමක්ද?

චීන භාෂාවෙන් ෆං ෂ්වේ යන යෙදුමෙහි තේරුම “සුළඟ හා වතුර” යන්නයි. මෙහි මූලාරම්භය අවුරුදු දහස් ගණනක් පැරණිය. එනම් ප්‍රාචීන දර්ශන විද්‍යාව වර්ධනය වුණු කාල වකවානුවේ පටන් පැවතෙන්නකි. මෙම විශ්වාසයන්ට ඇතුළත් තවත් දෙයක් නම් යින් හා යැං අතර සමබරතාවයයි. (අඳුර හා එළිය, උණුසුම හා සීත, ඍණ හා ධන) යන මේවාය. යින් හා යැං නමැති සංකල්පය චී යන අදහසට එක් කරනු ලැබුවා. චීහි අර්ථය නම් “සුළඟ” හෝ “හුස්ම” යන්නයි. ෆං ෂ්වේ සිද්ධාන්තයට, පංච මූලධාතුයයි හැඳින්වෙන ලී, පොළොව, වතුර, ගින්දර හා ලෝහ මෙන්ම යින්, යැං හා චී අන්තර්ගතය. ෆං ෂ්වේ කෙරෙහි භක්තියක් ඇති අය සෑම භූමි ප්‍රදේශයකම බලවත් ශක්ති ධාරා ගමන් කරන බව විශ්වාස කරති. ඔවුන්ගේ ඉලක්කය වන්නේ භූමියේ ශක්ති ධාරා නැත්නම් චී ඇති තැන සොයාගෙන අහස හා පොළොව අතර සමබරතාවය ඇති කිරීමයි. එසේ සමබරතාවක් ඇති කිරීමේදී සමහරවිට භූමි ප්‍රදේශයේ හෝ ගොඩනැඟිල්ලේ යම් යම් වෙනස්කම් කිරීමට සිදු වේ. මෙසේ කිරීම මගින් එහි පදිංචි වන අයට හෝ වැඩ කරන අයට සෞභාග්‍ය ලැබෙන බව විශ්වාස කෙරේ.

ෆං ෂ්වේ ගුරුකම් කරන්නන් සාමාන්‍යයෙන් පේන කීමේ දිශා දර්ශකයක් භාවිතා කරයි. a මෙය සාදා තිබෙන්නේ හෝරා ශාස්ත්‍රය අඩංගු සටහනක් මැද කාන්දමකින් සවි කළ දිශා දර්ශකයක් යොදාගැනීමෙනි. මෙම දර්ශකයේ සමකේන්ද්‍රික වෘත තිබෙන අතර මේවා රේඛාවලින් වෙන් කර ඇත. මෙම පේන කීමේ දිශා දර්ශකයේ කාලවල් හා සෘතුද, සූර්යයාගේ ගමන් මාර්ගයේ විවිධ කාලපරිච්ඡේද හා නක්ෂත්‍ර මණ්ඩලය පිළිබඳ දත්තද අඩංගු වී තිබේ. භූමි ප්‍රදේශයක් හෝ ගොඩනැඟිල්ලක් පරීක්ෂා කිරීමේදී මෙම දර්ශකයෙන් කිහිපවතාවක්ම තොරතුරු පරීක්ෂා කර බලයි. එහි ඇති කටුව වෘත හා රේඛා හරහා යම් දිශාවකට යොමු වෙයි. මෙමගින් ගුරුකම් කරන තැනැත්තා එම ඉඩමට හෝ ගොඩනැඟිල්ලට කළ යුතු “පිළියම” දැනගනියි.

යම් ඉඩමක් සමබර කිරීමට එහි භූමි විස්තරය, වාරිමාර්ග ක්‍රමය, කානුවල පිහිටීම යනාදිය සැලකිල්ලට ගන්නා අතර ගොඩනැඟිල්ලක් නම් එහි ඇති දොර ජනෙල්වල පිහිටීම ගැනද සැලකිලිමත් වෙයි. උදාහරණයකට, කැනඩාවේ එක් කාන්තාවක් ඇගේ සාප්පුවේ දොරවල්වල පිහිටීම “නිවැරදි” කිරීම සඳහා එහි පිටුපස දොරේ කන්නාඩියක් එල්ලා තැබුවාය. මෙවැනි භූ චිත්‍ර බලා පේන කියන කෙනෙක් ගෙදර දොරේ සමබරතාවය පවත්වාගැනීම සඳහා ගෘහ භාණ්ඩ එහා මෙහා කිරීමට, පිංතූරු තබන ස්ථාන වෙනස් කිරීමට, සුළඟට හඬ නඟන සැරසිලි (wind chimes) එල්ලීමට, ජලජ සතුන් ඇති කිරීමට කුඩා ජලාශ සෑදීමට යෝජනා කළ හැකියි.

ක්‍රිස්තියානි මතය

බොහෝවිට පුස්තකාලවල ෆං ෂ්වේ පොත් අසුරා තිබෙන්නේ ජ්‍යොතිඃශාස්ත්‍රය හා සාස්තර පොත් පත් සමඟය. එක් ශබ්දකෝෂයක (Webster’s Ninth New Collegiate Dictionary) භූමි චිත්‍ර බලා පේන කීම හඳුන්වා ඇත්තේ “ඉලක්කම් අනුව හෝ ඉරි අනුව හෝ භූගෝලීය පිහිටීම අනුව හෝ පේන කීම” ලෙසයි. (අකුරු ඇල කළේ අපය.) ෆං ෂ්වේ හා භූමි චිත්‍ර බලා පේන කීමේ වෙනත් ක්‍රම සාස්තර කීම හා සම්බන්ධ බවට පොදු පිළිගැනීමක් තිබේ. පේන කීම හා ආත්ම බන්ධන ක්‍රියා හා සම්බන්ධ මේ දේවල් මනුෂ්‍යයන් අලුතෙන් අත්හදා බලන ඒවා නොවෙයි.

පොදු යුගයට පෙර 15වෙනි ශතවර්ෂයේදී ඉශ්‍රායෙලිතයන් මිසරයේ සිට කානාන් දේශයට පැමිණි විට දේශයන් දෙකෙහිම පේන කීම හා බැඳි විවිධ ක්‍රියා දක්නට තිබුණි. මේ නිසා දෙවි මෝසෙස් මාර්ගයෙන් කළ අනතුරු ඇඟවීම ද්විතීය කථාව 18:14හි මෙසේ සඳහන් වේ. “මක්නිසාද නුඹ පන්නා දමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිති බලන්නන්ටත් පේන කියන්නන්ටත් ඇහුම්කන් දෙති. නුමුත් නුඹට නුඹේ දෙවි වූ [යෙහෝවා] එසේ කරන්ට ඉඩ දීලා නැත.” මිසරයේ හා කානාන් දේශයේ පැවති පේන කීම් හා බැඳි ක්‍රියා ආරම්භ වූයේ පුරාණ බබිලෝනියෙන්ය. යෙහෝවා දෙවි බබිලෝනියේදී මිනිසුන්ගේ භාෂාවන් වියවුල් කළ විට දසත පැතිර ගිය ඔවහු ඒ සමඟම තමන් නියැලී සිටි ආත්ම බන්ධන ක්‍රියා හා පේන කීම් වැනි පිළිවෙත්ද රැගෙන ගියෝය.—උත්පත්ති 11:1-9.

අන්‍යජාතීන් කිරීමට පුරුදු පුහුණු වී සිටි ආත්ම බන්ධන ක්‍රියා නොකරන ලෙස යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට කිහිපවතාවක්ම ඉතා තදින් අවවාද කර තිබිණ. “පේනකියන්නෙක්වත් නිමිතිබලන්නෙක්වත් ශාස්ත්‍රකියන්නෙක්වත් . . . නුඹ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් [යෙහෝවාට] පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා නුඹේ දෙවි වූ [යෙහෝවා] නුඹ ඉදිරියෙන් ඔවුන් පන්නා [දමන්නේය].” (ද්විතීය කථාව 18:9-12; ලෙවී කථාව 19:26, 31) එපමණක්ද නොව, පේන කීම වැනි ක්‍රියාවල නියැලෙන්නන්ට මරණය නියම කරනු ලැබිණ.—නික්මයාම 22:18; ලෙවී කථාව 20:27.

පේන කීම මෙතරම් ප්‍රබල ලෙස දෝෂාරෝපණයට ලක් කර තිබෙන්නේ ඇයි? ක්‍රියා 16:16-19හි [NW] “භූත ආත්මයක් ආවේශ වූ පේන කියන” එක්තරා තරුණියක් ගැන සඳහන් වේ. අනිවාර්යයෙන්ම පේන කීම භූත ආත්ම හා සම්බන්ධ යමක් බව ඉන් පැහැදිලිය. පේන කීමේ මොනයම් ක්‍රියාවකට හෝ සම්බන්ධ වීම සාතන් සහ ඔහුගේ භූතයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට මඟ පාදයි. මෙය කෙනෙකුගේ ආත්මිකත්වය විනාශ වී යාමට හේතුවක් වේ.—2 කොරින්ති 4:4.

ආසියාතික හෝ බටහිර රටවල්වල නිවෙස් සැරසීමට හා භූ දර්ශන සැකසීමට යොදාගන්නා සමහර ප්‍රසිද්ධ ක්‍රමවල මූලාරම්භය ෆං ෂ්වේ වැනි බොරු ආගමික පදනමක් මත ඇති වූ ඒවා විය හැකිය. බොහෝවිට මෙම ක්‍රමවල ආගමික මුහුණුවරක් දක්නට නොලැබේ. කෙසේවෙතත්, ෆං ෂ්වේ ක්‍රම භාවිතා කරමින් අනාගතය දැනගැනීම හෝ සෞභාග්‍ය ළඟා කරගැනීම දේවප්‍රමිති උල්ලංගනය කිරීමකි. මෙවැනි ක්‍රියාවල නියැලීම ඍජුවම “අපවිත්‍ර” දෙයකට අත නොගසන්න යන බයිබල් ප්‍රමිතියට විරුද්ධ වීමකි.—2 කොරින්ති 6:14-18.

[පාදසටහන]

a බටහිර රටවල ෆං ෂ්වේ ක්‍රමයට විද්‍යාත්මක මුහුණුවරක් දී තිබේ. එනම් සමහරු යම් ප්‍රදේශවල භූගෝලීය පිහිටීම දැනගැනීමට කොම්පියුටර් භාවිතා කරති.

[23වන පිටුවේ පින්තූරය]

පේන කීමේ දිශා දර්ශකය

[හිමිකම් විස්තර]

2වන හා 29වන පිටු: Hong Kong Tourism Board