Skip to content

පටුනට යන්න

මම සිත් ඇදගන්නාසුලු කෙනෙක් වන්නේ කොහොමද?

මම සිත් ඇදගන්නාසුලු කෙනෙක් වන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

මම සිත් ඇදගන්නාසුලු කෙනෙක් වන්නේ කොහොමද?

“ගැහැනු ළමයි එක්ක කතා කරද්දී මට අපහසුවක් දැනුණා. එයාලාගේ අදහස් මොනවද, එයාලා හිතන විදිහ මොන වගේද, යම් දේවල් කෙරෙහි එයාලා දරන ආකල්ප මොනවද කියලා මම දැනගෙන හිටියේ නැහැ.”—ටයිලර්.

ගැහැනු ළමයින්ගේ සිත යන්නේ පිරිමි ළමුන්ගේ කුමන ගුණාංගයටද යන පැනය ඇසූ විට එමිලි නමැති යෞවනිය, තමන් “ආත්ම විශ්වාසය” නමැති ගුණාංගයට කැමති බව කියා සිටියා. රොබින් නමැති යෞවනිය නම් මුල් තැනක් දෙන්නේ විනෝදකාමිත්වයට. ඒ වගේම පිරිමි ළමුන්ගේ සිත් සොරාගන්නේ ගැහැනු ළමුන්ගේ කුමන ගුණාංගයද කියා සමීක්ෂණය කළ විට එක් වාර්තාවක් පෙන්නුම් කළේ ප්‍රියමනාප පෙනුම මුල් තැන ගන්න බවයි. ඒ වගේම සමාන රුචිකත්වයන් සහ ප්‍රතිපත්ති හයවන තැනට වැටෙන බවත් හෙළි වුණා.

යෞවනයන් සඳහා පළ වන සඟරා තුළ යෞවන යෞවනියන්ගේ සම්බන්ධකම් පිළිබඳ කතා කරන ලිපි සහ සමීක්ෂණ පිළිබඳ වාර්තා නිතර නිතර පළ වන බවක් පෙනෙන්නට තිබෙනවා. යෞවනයන් බොහෝදෙනෙකු තමන් ගැන, එනම් තරුණියක් නම් තරුණයන් තමන් ගැන සිතන්නේ කුමක්ද කියා සහ තරුණයෙක් නම් තරුණියන් තමන් ගැන සිතන්නේ කුමක්ද යන්න ගැන අනවශ්‍ය ලෙස කරදර වෙනවා කියන එක රහසක් නොවෙයි. සමහරවිට ඔබත් එලෙස සිතනවා විය හැකියි. නමුත් ඔබ විවාහ වීමට සූදානම් බවක් ඉන් අදහස් කරන්නේ නැහැ. මෙයින් අදහස් කරන්නේ ප්‍රියමනාප හෝ සිත් ඇදගන්නාසුලු කෙනෙකු වීමට හැමෝම කැමති බවයි. “ඔබ යොවුන් වියේ පසු වන විට හැම කෙනෙකුගේම සිත් දිනාගැනීමට ආසයි. ඔබේ මිතුරු මිතුරියන්ගේ පිළිගැන්ම ලබාගැනීමට කැමතියි” කියා ටයිලර් පවසනවා. ඒ වගේම කවදා හෝ හොඳ විවාහ සහකරුවෙකුව සොයාගත යුතුයි කියා සිතෙන්නත් පුළුවන්. ඒ කාලය එළඹෙන විට ඔබේ හිත ගිය පුද්ගලයාගේ සිත දිනාගැනීමට අවශ්‍යයි කියා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඒත් ඔබ ක්‍රිස්තියානි යෞවනයෙකු ලෙස හැදී වැඩුණ නිසා විරුද්ධ ලිංගයේ අය සමඟ ආශ්‍රය කරන ආකාරය පිළිබඳ ඒ තරම් අද්දැකීම් නැතුව ඇති. ඒ වගේම ඔබේ පෙනුම කාගෙත් නෙත් සිත් වශී කරවන ආකාරයට සකස් කරගන්නා ලෙස ඔබට ඔබේ සම වයසේ මිතුරන් බලපෑම් එල්ල කළ හැකියි. ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පීන්ව සහ මනාව වැඩුණු ශරීරයක් තිබෙන නළු නිළියන්ව රූපවාහිනියෙහි සහ සඟරා තුළ දකින විට ඔබ ගැන යම් නිෂේධාත්මක හැඟීමක් ඇති වන එක ස්වාභාවිකයි. එහෙමනම් අන් අයගේ සහ විරුද්ධ ලිංගයේ අයගේ සිත් දිනාගැනීමට ගෞරවනීය ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද?

“අංග සම්පූර්ණ” ශරීරයක් බලාපොරොත්තු වීමේ මෝඩකම

බොහෝ යෞවනයන් විනෝදජනක මාධ්‍යයන්වල බලපෑම් නිසා “ආහාර පාලනය කිරීම, බර ඉස්සීම සහ ඒරොබික් ව්‍යායාම් කිරීම සඳහා පැය ගණනක් වැය කරයි. මේ හැම දෙයක්ම කරන්නේ ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණය සහ හැඩය වෙනස් කරගන්න” කියා මනෝවිද්‍යාඥ විලියම් එස්. පොලැක් පවසනවා. සමහර අය “අංග සම්පූර්ණ” ශරීරයක් ලබාගැනීමට නොකා නොබී හාමතේ සිටීම වැනි දරුණු ක්‍රියාමාර්ග පවා ගන්නවා. සමාජීය ගැටලු නිරීක්ෂණය කරන මධ්‍යස්ථානයක් ප්‍රකාශ කළේ, “නියම රූප ස්වභාවය මෙයයි කියා ජනමාධ්‍යයන් තුළින් එළි දක්වන ප්‍රතිරූපය අත් පත් කරගන්නේ ස්ත්‍රී ජනගහනයෙන් සියයට පහකටත් අඩු සංඛ්‍යාවක්. ඒ අයටත් වෙනස් කරගැනීමට හැකි වී තිබෙන්නේ බර සහ හැඩය පමණයි. ඔබට නියම හැඩයක්, ප්‍රියමනාප මුහුණක් වැනි අංගයන් ලබාගැනීමට අවශ්‍ය නම් කීමට තිබෙන්නේ එවන් දෙයක් අත් කරගත හැක්කේ ස්ත්‍රී ජනගහනයෙන් සියයට එකකට පමණයි” යනුවෙනි.

රෝම 12:2හි දී තිබෙන අවවාදය ප්‍රායෝගිකයි. එහි පවසන්නේ, “ඔවුන්ගේ අච්චුවට ඔබව දමන්න ලෝකයාට ඉඩ නොදෙන්න” කියායි. (ෆිලිප්ස්) ඔබේ පෙනුම කෙරෙහි අවධානය යොමු නොකළ යුතුයි කියා මෙයින් අදහස් කරන්නේ නැහැ. ඇත්තෙන්ම නිරෝගිකම රැකගැනීමේ අදහසින් ප්‍රමාණවත් ව්‍යායාම් සහ සමබර ආහාර වේලක් ගැනීම සුදුසු දෙයක්. (රෝම 12:1; 1 තිමෝති 4:8) ඒ වගේම ප්‍රමාණවත් විවේකය සහ නින්ද තුළින්ද යහපත් පෙනුමක් සහ සුවදායි හැඟීමක් ලබා දෙනවා. ඔබ සැලකිලිමත් විය යුතු තවත් දෙයක් තමයි ඔබේ පිරිසිදුකම සහ පිළිවෙළ. බ්‍රිතාන්‍යයේ වෙසෙන ඩේවිඩ් අද්දැකීමක් පවසනවා. “හොඳ පෙනුමක් තියෙන ගැහැනු ළමයෙක් ඉන්නවා. හැබැයි එයා ළඟ හරි ගඳයි. මේ නිසා කවුරුත් එයාව මඟහරිනවා.” ඒ නිසා නිතර නාන්න. අත්, කොණ්ඩේ සහ නියපොතු පිරිසිදුව තබාගැනීමෙන් ඔබේ පෙනුම ඔප්නැංවිය හැකියි.

ඔබේ ඇඳුම් පැළඳුම් ගැන අනවශ්‍ය ලෙස අවධානය නොදෙන්න කියා බයිබලයෙහි අවවාද කරන අතර එහි උනන්දු කර තිබෙන්නේ “ලජ්ජාවෙන් සහ විනීතභාවයෙන් යුක්තව ඔබින වස්ත්‍ර [අඳින්න]” කියායි. (1 තිමෝති 2:9) ඔබේ පෙනුම තවත් ඔප්නංවන ඇඳුම් අඳිනවා මිසක් කිසි පිළිවෙළක් නැති විකාර හෝ අවිනීත ඇඳුම් හොඳ නැහැයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. a ඔබේ පෙනුම වෙත ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමෙන් ආත්ම විශ්වාසය වැඩි කරගත හැකියි. පෝල් නමැති යෞවනයා මේ සම්බන්ධයෙන් මෙහෙම කියනවා. “සමහර විට ඔබට හොඳ පෙනුමක් නැතුව ඇති. නමුත් ඔබට ලැබී තියෙන ස්වරූපය ඔප්නංවාගැනීමට ඔබට හැකියි.”

ඇතුළාන්ත ගුණාංග

ලස්සන රූ සපුවක් කාගෙත් නෙත් සොරාගන්න බව නොරහසක්. නමුත් “රූ සපුව පහ වන්නකි.” (හිතෝපදේශ 31:30, නව අනුවාදය) ලස්සන පෙනුම තියෙන්නේ ටික කාලයකටයි. ඒ වගේම එය සිත්ගන්නාසුලු පෞද්ගලිකත්වයේ ගුණාංග සමඟ සන්සන්දනය කරන්නත් බැහැ. (හිතෝපදේශ 11:22) මෙයත් මතක තබාගන්න. එනම් ‘මනුෂ්‍යයා බලන්නේ පිටාතර පෙනුමයි. නමුත් යෙහෝවා බලන්නේ ඔබේ සිතයි.’ (1 සාමුවෙල් 16:7) ඒ නිසා, ඔබේ මුළු අවධානයම ඇඟ පසඟට යොමු නොකර “දෙවි ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදු වූ නිශ්චල වූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්ත වූ සිතේ ඇතුල් [මනුෂ්‍යයාගෙන්]” සැරසීමට වෙහෙස මහන්සි ගන්න. (1 පේතෘස් 3:3, 4; එපීස 4:24) අද කාලයේ හොඳ ගතිගුණ අගය කරන යෞවනයන්ව සොයාගන්න එක දුෂ්කර දෙයක්. ආත්මික ගුණාංග අගය කරන කෙනෙක්ව සොයන එක කලු නික සොයනවා වගේ වැඩක්. b නමුත් දේවභක්තිය අගය කරන අයට එවැනි යෞවනයන්ව වටින අතර ඔවුන් වෙත සිත ඇදී යයි.

හොඳම දේ ආත්මික මනසක් තිබෙන පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ සිත් දිනාගැනීමයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ ඔබ ආත්මික මනසක් ඇතුව සිටීමයි. යාච්ඤාව තුළින්, බයිබලය පෞද්ගලිකව පාඩම් කිරීමෙන් සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙන් ඔබේ ආත්මිකත්වය වර්ධනය කරගත හැකියි. (ගීතාවලිය 1:1-3) ඒ වගේම තවත් ප්‍රයෝජනදායක කුසලතා සහ ගතිලක්ෂණ තිබෙනවා. මෙම ගතිගුණ වඩවාගැනීමට ඔබ ප්‍රේම සබඳතා ඇති කරගැනීමට හෝ ආලවන්තකම් පෑමට අවශ්‍ය නැහැ. කළ යුතු වන්නේ ඔබ එදිනෙදා ඇසුරු කරන අය ඉදිරියේ මෙම ගතිලක්ෂණ ප්‍රායෝගිකව විදහාපෙන්වන එක විතරයි.

අපි මේ ප්‍රශ්නය සලකා බලමු. ඔබට විරුද්ධ ලිංගයේ අය සමඟ ඇසුරු කරන විට නුහුරු ගතියක් සහ ලජ්ජාශීලීභාවයක් දැනෙනවාද? පෝල්ට එසේ හැඟෙනවා කියා ඔහු පිළිගන්නවා. “මම ගැහැනු ළමයි ගැන එච්චර දන්නේ නැති නිසා එයාලාත් එක්ක ආශ්‍රය කරද්දී සමහර අවස්ථාවල අපහසුතාවයක් දැනෙනවා. අනිත් අය ඉදිරියේ මාව විහිළුවක් වෙනවාටත් මම කැමති නැහැ.” අන් අයව අපහසුතාවයට පත් නොකරන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආත්ම විශ්වාසය සහ සන්සුන්කම ඔබ වර්ධනය කරගන්නේ කෙසේද? ක්‍රිස්තියානි සභාවේ විවිධ මාදිලියේ අය සිටිනවා. ඒ නිසා ඔබට ඔබේ ආශ්‍රය පුළුල් කරගත හැකියි. රැස්වීම්වලදී අන් අය ගැන පෞද්ගලික උනන්දුවක් දක්වන්න. හැබැයි ඔබේ වයසේ විරුද්ධ ලිංගයේ යෞවනයෝ ගැන විතරක් නෙමෙයි, දරුවන්ට, වැඩිහිටියන්ට සහ මහලු අයට පවා සැලකිල්ලක් දක්වන්න. (පිලිප්පි 2:4) මේ ආකාරයට විවිධ අය සමඟ ආශ්‍රය කිරීමෙන් ඔබට ආත්ම විශ්වාසය ගොඩනඟා ගත හැකියි.

යේසුස් කිව්වේ “තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේම කරන්න” කියායි. ඒක අමතක කරන්න එපා. (මතෙව් 19:19, අකුරු ඇල කළේ අපය.) ඔබට ඔබ ගැන හොඳ ආකල්පයක් තිබේ නම් අන් අය ඉදිරියෙහි ඔබ තැනට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන්නේ නැහැ. c යම් ප්‍රමාණයකට ආත්ම ගරුත්වයක් තිබීම හොඳයි. ඒත් අන්තයට යන්න එපා. ‘ඔබ අතරෙහි සිටින එකිනෙකාට කියමි. එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම් කොට නොසිතන්න.’ එහෙම කිව්වේ ප්‍රේරිත පාවුල්.—රෝම 12:3, NW.

ඔබේ පුරුදු සහ අන් අයව ඇසුරු කිරීමේ පුරුදු ගැන අවධානය දෙන්න. බ්‍රිතාන්‍යයේ යෞවනියක් වන ලිඩියාට අද්දැකීමක් තිබෙනවා. “මගේ පාසැලේ පිරිමි ළමයෙක් ඉන්නවා, එයා ගැහැනු ළමයි හුඟදෙනෙක් අතර හරි ජනප්‍රියයි. නමුත් ගැහැනු ළමයි ඔහුව හඳුනාගත්තාට පස්සේ ඔහුට කැමති නැහැ. මොකද එයා කතා කරන්නේ කිසිම ගරු සරුවක් නැතුව.” සාමාන්‍යයෙන් මනුෂ්‍යයන්ගේ සිත් යන්නේ කාරුණිකව සහ බුද්ධිමත් ලෙස කතා කරන, ඒ වගේම අන් අය ගැන සැලකිලිමත් වන අය වෙතයි. (එපීස 4:29, 32; 5:3, 4) “සිත්ගන්නා පුරුදු හරියට මනුෂ්‍යයන්ව තමන් ළඟට ඒමට සලස්වන දොරක් වගෙයි” යන්න වෛද්‍ය ටි. බෙරි බ්‍රේසල්ටන්ගේ අදහසයි. “අන් අයගේ සිත් දිනාගැනීමට අවශ්‍යම දේ” හොඳ පුරුදුයි.

රීති සහ ආචාර ධර්ම රටින් රටට වෙනස්. ඒ නිසා මේරූ ක්‍රිස්තියානි ස්ත්‍රීන් සහ පුරුෂයන් එකිනෙකාට සලකන ආකාරය නිරීක්ෂණය කිරීම හොඳ දෙයක් විය හැකියි. මේ සඳහා නිදසුනක් බලමු. ඔබ ජීවත් වන රටෙහි පුරුෂයෙකු විසින් ස්ත්‍රියක් දොරෙන් ඇතුල් වෙන තුරු දොර විවෘතව තබාගෙන සිටියි නම් කරන්න තිබෙන හොඳම දේ ඔබත් එම ආචාරශීලීකම් උගැන්මයි. එවිට තැන්පත් ගුණගරුක පුද්ගලයෙක් ලෙස හොඳ නමක් දිනාගැනීමට ඔබට පුළුවන්.

ඒ වගේම ටිකක් විනෝදකාමි වෙන්න. බයිබලයේ කියනවා “සිනාසෙන්ට කාලයක්” තිබෙනවා කියා. ඇත්තෙන්ම විනෝදකාමි අයට ඉක්මනින්ම මිතුරු විය හැකියි.—දේශනාකාරයා 3:1, 4.

මිතුරුකමද නැත්නම් ඉඟි බිඟියද?

විරුද්ධ ලිංගයේ අයගේ සිත් දිනාගත හැකි හොඳම ක්‍රමය ඉඟි බිඟි පෑම කියා “ප්‍රේම සබඳකම් සඳහා අත්වැල” (සිංහලෙන් නොමැත) නමැති ග්‍රන්ථයේ කියා සිටියා. ‘සංවාදයකට මුලපිරීම සඳහා’ කියන්න යන දේ කලින් කටපාඩම් කිරීමටත් සිනහා වී ඇසට ඇස යා කිරීමටත් එහි පාඨකයන්ට තවදුරටත් උපදෙස් දී තිබුණා. නමුත් එවන් උපදෙසක් පාවුල් තිමෝතිට දුන් මෙම උපදෙසට විරුද්ධයි. එය නම් විරුද්ධ ලිංගයේ අය සමඟ කටයුතු කරන විට ඔවුන්ට “සියලු ආකාර පිරිසිදුකමින්” සලකන ලෙසට වූ උපදෙසයි.—1 තිමෝති 5:2.

යම් විටෙක ඉඟි බිඟි පෑමෙන් කෙනෙකුගේ ආත්ම විශ්වාසය වැඩි කරගත හැකි වුණත් එය වංකකමක්. හොඳ සංවාදයක් ඇරඹීමට ඉඟි බිඟි පාන්න හෝ කපටිකම් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම විරුද්ධ ලිංගයේ අයගේ අදහස් උදහස් දැනගැනීමට ඔවුන්ව අපහසුතාවට පත් කරවන සහ නුසුදුසු ප්‍රශ්න ඇසිය යුතුත් නැහැ. ‘ධර්මිෂ්ඨ, පිරිසිදු සහ ආදරණීය’ දේවල් කතා කරන්න. එසේ කටයුතු කිරීමෙන් ඔබ මේරූ ආත්මික මනසක් තිබෙන පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් වීමට පටන්ගෙන ඇති බව නිරූපණය කරයි. (පිලිප්පි 4:8, NW) දේව ප්‍රතිපත්තිවලට ඇති ඔබේ ඇල්ම විරුද්ධ ලිංගයේ අය තුළ පමණක් නොව දෙවි තුළත් ඔබ කෙරෙහි ප්‍රසන්න බවක් ඇති කරයි. dහිතෝපදේශ 1:7-9.

[පාදසටහන්වල]

a වර්ෂ 1990 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . නිසි ඇඳුම් තෝරාගැනීමේ රහස කුමක්ද?” යන ලිපිය බලන්න.

b එක් සමීක්ෂණ වාර්තාවක් පෙන්නුම් කළේ බුද්ධිමත් යෞවනයන් තමන්ගේ හැකියාවන් නිසා අන් අයගේ සමච්චලයට ලක් වන බවයි. මේ හේතුව නිසා සමහර යෞවනයන් විසින් තම හැකියාව සැඟවීමට උත්සාහ කරයි.

c යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ප්‍රකාශයට පත් කළ යෞවනයන් අසන ප්‍රශ්නක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන ප්‍රකාශනයේ 12වන පරිච්ඡේදයේ ආත්ම ගෞරවය ගොඩනංවා ගැනීම සඳහා ප්‍රායෝගික යෝජනා බොහෝමයක් තිබෙනවා.

d ඔබ විවාහ වන වයසට තවම පැමිණ නැතිනම් විරුද්ධ ලිංගයේ අයව කණ්ඩායමක් වශයෙන් සිටින විට ආශ්‍රය කිරීම නැණවත් දෙයක්. වර්ෂ 2001 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . පෙම් කිරීමට මා ළාබාල වැඩියි කියා දෙමාපියන් සිතනවා නම්?” යන ලිපිය බලන්න.

[15වන පිටුවේ පින්තූර]

ඔබේ මුළු අවධානයම පෙනුමට නොදී ආත්මික ගුණාංග වඩවාගැනීමට වෑයම් කරන්න

[15වන පිටුවේ පින්තූරය]

අපහසුතාවක් නොදැනෙන සේ සෑම කෙනෙකු සමඟම ආශ්‍රය කිරීමට ඉගෙනගන්න