Skip to content

පටුනට යන්න

ලොවම වශී කළ සූදුව

ලොවම වශී කළ සූදුව

ලොවම වශී කළ සූදුව

ස්කොට්ලන්තයේ හැදී වැඩුණු ජෝන් තමාට ලොතරැයි දිනුමක් ඇදෙයි කියා සිහින මැව්වා. “මම සෑම සතියකම ලොතරැයි ටිකට් එකක් මිල දී ගත්තා. මට ඒ සඳහා වියදම් වුණේ සුළු මුදලක් පමණයි. නමුත් මට වුවමනා කළ සියල්ල දිනාගැනීමේ බලාපොරොත්තුව මට ඇති වුණේ ඒ ටිකට් එක නිසයි.”

ජපානයේ ජීවත් වන කසුෂිගේ අශ්ව රේස්වලට ඉතා ඇලුම් කළ කෙනෙක්. ඔහු මෙසේ සිහිපත් කරනවා. “මගේ මිතුරන් එක්ක රේස් පිටියේ ඔට්ටු ඇල්ලීම මට හරිම විනෝදයක්. මම සමහර වෙලාවල හුඟක් සල්ලි දිනාගත්තා.”

“බිංගෝ මගේ ප්‍රියතම සෙල්ලම වී තිබුණා” යයි පවසන ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලින්ඩා තවදුරටත් මෙසේ සඳහන් කරනවා. “මේ පුරුද්ද නිසා මට සතියකට ඩොලර් 30ක් පමණ වියදම් වුණා. නමුත් දිනපු දවසට නම් මට හරි ජයයි.”

ජෝන්, කසුෂිගේ සහ ලින්ඩා වැනි ලොව වටා සිටින මිලියන සිය ගණන් ජනතාව සූදුව දකින්නේ කිසිදු හානියක් නැති හුදු විනෝදාංශයක් හැටියට. වර්ෂ 1999 පවත්වන ලද ඡන්ද විමසීමකදී හෙළි වූ දෙයක් නම්, අමෙරිකානුවන්ගෙන් තුනෙන් දෙකක්ම සූදුව අනුමත කළ බවයි. වර්ෂ 1998දී, සූදුවේ නියැලුණු අමෙරිකානු ජාතිකයන් නීත්‍යනුකූල සූදුව සඳහා ඩොලර් බිලියන 50ක් පමණ වියදම් කර ඇති අතර, මෙම මුදල චිත්‍රපටි නැරඹීම, පටිගත කළ සංගීත තැටි, ක්‍රීඩා නැරඹීම, සතුටු උයන් සහ වීඩියෝ ක්‍රීඩා ඇතුළු සියල්ල සඳහා වියදම් කළ මුළු මුදලට වඩා වැඩියි.

මෑතකදී කරන ලද එක්තරා අධ්‍යයනයකට අනුව, එක් අවුරුද්දක් ඇතුළත, ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් සියයට 80ක් පමණ එක් වතාවක්වත් සූදුවේ නියැලී තිබෙන අතර, සියයට 40ක් සතියකට එක් වතාවක් සූදුවේ නියැලී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත් කල එම රටේ සිටින වැඩිහිටියන් සූදුව සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 400ක් වැය කර තිබෙනවා. එය යුරෝපීයයන් හා අමෙරිකානුවන් ඒ සඳහා වැය කරන මුදල මෙන් දෙගුණයක්. මේ අනුව ලෝකයේ වැඩියෙන්ම ගිජුව සූදුවේ නියැලෙන්නේ ඕස්ට්‍රේලියානුවන් බව කිව හැකියි.

ජපාන වැසියන් බොහෝදෙනෙක් පිචැන්කෝ නමැති පින් බෝල් (pinball) බඳු සෙල්ලමකට ඇබ්බැහි වී තිබෙනවා. ඒ සඳහා ඔවුන් අවුරුද්දකට ඩොලර් බිලියන ගණනක් ඔට්ටු අල්ලනවා. බ්‍රසීලයේ සූදුව සඳහා වසරකට වැය කරන මුදල අඩු තරමින් ඩොලර් බිලියන 4ක්. ඉන් වැඩි හරියක් වියදම් කරන්නේ ලොතරැයි ටිකට් පත්වලටයි. නමුත් ලොතරැයි පත්වලට ඇලුම් කරන්නේ බ්‍රසීල ජාතිකයන් පමණක්ම නොවෙයි. පබ්ලික් ගේමිං ඉන්ටර්නැෂනල් නමැති සඟරාවේ පළ වූ මෑතක කරන ලද ගණනයකදී හෙළි වූයේ “රටවල් 102ක විවිධ ලොතරැයි පත් 306ක්” තිබෙන බවයි. මේ අනුව ඇත්තටම සූදුව යනු මුළු ලොවම වශී කරවන දෙයක් බව පෙනේ. ඔව්, එය යම් දවසක යස ඉසුරු ගෙනෙන වශීකරණයක් බව ඇතමුන්ගේ අදහසයි.

මහජනතා ලොතරැයි පර්යේෂණ ආයතනයේ නියෝජිතයෙකු වන ෂැරන් ෂාප් කියා සිටින්නේ 1964 සිට 1999 දක්වා කාලය තුළදී අමෙරිකාවේ ලොතරැයි ව්‍යාපාරයෙන් “ඩොලර් බිලියන 125ක පමණ ආදායමක් රජයට ලැබුණු බවත්, මෙයින් වැඩිම දේශීය ආදායමක් ලැබුණේ 1993 සිට” බවත්ය. මෙම මුදල්වලින් වැඩි හරියක්ම වැය කිරීමට සැලසුම් කරනු ලැබුවේ මහජන අධ්‍යාපන වැඩසටහන්, රාජ්‍ය අනුග්‍රහයෙන් නඩත්තු කරනු ලබන උද්‍යාන සහ මහජන ක්‍රීඩා පහසුකම් යනාදිය දියුණු කිරීම සඳහායි. එසේම, සූදුව නමැති කර්මාන්තය බොහෝ අයට රැකියා සපයන ක්‍රමයක්ද වෙනවා. ඕස්ට්‍රේලියාවේ පමණක් මේ හා සම්බන්ධ ව්‍යාපාර 7,000ක 1,00,000කට වැඩිදෙනෙක් රැකියාවන්හි නියැලී සිටිනවා.

මෙසේ, සූදුවට ආවඩන අය වාද කරන්නේ, මේ මගින් හුදු විනෝදයක් ලබා දෙනවාට අමතරව, නීත්‍යනුකූල සූදු ව්‍යාපාරය තුළින් රැකියා ලබා දෙන බවත්, දේශීය ආදායමක් ලබා දෙන බවත් එමෙන්ම ආර්ථිකමය වශයෙන් පිරිහුණු අයගේ ජීවන තත්වයන් උසස් කරන බවත්ය.

ඒ නිසා බොහෝදෙනෙක් අසන ප්‍රශ්නය නම්, සූදුවේ ඇති වරද මොකක්ද කියායි. ඊළඟ ලිපියේ මීට පිළිතුර සාකච්ඡා කර ඇති අතර එය සූදුව පිළිබඳ ඔබගේ දෘෂ්ටිය වෙනස් කරනවාට කිසිදු සැකයක් නැහැ.

[19වන පිටුවේ පින්තූරය]

ජෝන්

[19වන පිටුවේ පින්තූරය]

කසුෂිගේ

[19වන පිටුවේ පින්තූරය]

ලින්ඩා