Skip to content

පටුනට යන්න

අංකවල ආකර්ෂණය

අංකවල ආකර්ෂණය

අංකවල ආකර්ෂණය

සංඛ්‍යා නොමැති ලොවක් ගැන සිතන්න. එවන් ලොවක මුදල් දක්නට නොතිබෙනු ඇත. වෙළඳාම මුහුණට මුහුණ හමු වී කරනු ලබන භාණ්ඩ හුවමාරුවකට පමණක් සීමා වේවි. ක්‍රීඩා ගැන කුමක් කිව හැකිද? අංක නැත්නම් තරඟයකදී ලබාගන්න ලකුණු වාර්තා කිරීමට නොහැකි වනවා පමණක් නොව, එක කණ්ඩායමකට සිටිය යුතු ක්‍රීඩකයන් ගණනද තීරණය කිරීමට නොහැකිය.

අපි එදිනෙදා ජීවිතයේදී ඉලක්කම් භාවිත කරන්නෙමු. කෙසේවෙතත්, ඉලක්කම්වල ගුප්ත ලක්ෂණද ඇති බවට සැලකේ. මෙයට හේතුව ඉලක්කම් රූපයක්, මූර්තියක් නැති දෙයක් වීමයි. ඉලක්කම් දකින්ට, අල්ලන්ට නුපුළුවන. ඒවා අපට දැනෙන්නේද නැත. මෙය පැහැදිලි කරගැනීමට මේ නිදර්ශනය සලකා බලන්න. ඇපල් ගෙඩියකට ආවේණික වූ පැහැයක්, සිනිඳු බවක්, ප්‍රමාණයක්, හැඩයක්, සුවඳක් හා රසයක් තිබේ. යම් වස්තුවක ඉහත සඳහන් ලක්ෂණ තිබෙනවාද කියා පරීක්ෂා කර බැලීමෙන්, එම වස්තුව ඇපල් ගෙඩියක්ද දොඩම් ගෙඩියක්ද බෝලයක්ද නැත්නම් වෙනත් දෙයක්ද කියා ඔබට තීරණය කළ හැක. කෙසේවෙතත්, ඉලක්කමක් එසේ නොවේ. යම් දේවල් හතක් ඇතුළත් ගොඩක් හා ඊට වෙනස් දේවල් හතක් ඇතුළත් ගොඩක් අතර තිබෙන එකම සමානකම විය හැක්කේ එම ගොඩවල් දෙකේම දේවල් හතක් තිබීම පමණක් විය හැකියි. මේ නිසා ඉලක්කම්වලින් අදහස් කරන දෙය තේරුම්ගැනීම යනු පැහැදිලි රූපයක්, මූර්තියක් නොමැති දෙයක් වටහාගැනීමයි. මීට නිදසුනක් වශයෙන් හය සහ හත අතර ඇති වෙනස තේරුම්ගැනීම සඳහන් කළ හැක. ඇතමුන් ඉලක්කම්වලට ගුප්ත බලයන් ආරූඪ කරන්නේ ඒ හේතුව නිසාය.

පයිතගරස්ගේ සිට ව්‍යාජ විද්‍යාව දක්වා

ඉලක්කම්වලට විශේෂ අරුතක් ආරෝපණය කිරීම අතීතයේ පැවති සමාජවල පොදු ලක්ෂණයක් විය. ඉලක්කම් යොදාගනිමින් සෑම දෙයක්ම විස්තර කළ හැකි බව පො.යු.පෙ. හයවන සියවසේ විසූ ග්‍රීක දාර්ශනිකයෙකු මෙන්ම ගණිතඥයෙකු වූ පයිතගරස් ඉගැන්නුවේය. ක්‍රමවත්බවට හා සමානුපාතික බවට විශ්වය කදිම නිදසුනක් බව ඔහුද ඔහුගේ ගෝලයෝද සිතන්නට වූහ. එසේනම් සෑම භෞතික දෙයකටම ගණිතමය සබඳතාවන් උරුම වී තිබිය නොහැකිද?

අනාවැකි පළ කිරීමට හා සිහිනවල අර්ථය පැහැදිලි කිරීමට මෙන්ම මතක ආධාරකයක් ලෙසද අංක යොදාගැනීම පයිතගරස්ගේ කාලයේ සිට අද දක්වා සිදු වී තිබේ. ග්‍රීක්වරුන්, මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානි ආගම්වල සාමාජිකයන්ද ඒ සඳහා අංක යොදාගෙන තිබේ. ජෙමිට්‍රියා කියා හඳුන්වනු ලබන සංඛ්‍යා ශාස්ත්‍රය හා සම්බන්ධ ක්‍රමයක් යොදාගනිමින් යුදෙව් කබාලා නිකායේ සාමාජිකයෝ හෙබ්‍රෙව් හෝඩියට අයත් අකුරු 22ටම සංඛ්‍යාත්මක අගයක් ලබා දුන්හ. මෙසේ කිරීමෙන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි හා බැඳි සැඟවුණු අර්ථ සොයාගත හැකි බව පැවසේ.

වර්තමානයේ තිබෙන සංඛ්‍යා ශාස්ත්‍රයද ඒ හා සමානය. බොහෝ අවස්ථාවලදී ආරම්භක ලක්ෂය ලෙස යොදාගැනෙන්නේ ඔබේ නම සහ උපන් දිනයයි. ඔබේ නමේ සෑම අකුරකටම සංඛ්‍යාත්මක අගයක් දෙනු ලැබේ. සංඛ්‍යා ශාස්ත්‍රඥයා ඔබේ උපන් දිනයේ සඳහන් මාසය සහ දිනය සමඟ නමේ තිබෙන අකුරු එකතු කර, ඔබ සඳහා මූලික අංක සකස් කරගනී. ඉන්පසු ඔහු මෙම අංකවලට විශේෂ අර්ථයක් ආරෝපණය කරයි. මෙසේ කිරීමෙන් ඔබේ පෞද්ගලිකත්වයද, දැනගත නොහැකි ඔබේ ආශාවන් හා ඔබේ ඉරණමද ඇතුළුව ඔබ ගැන සම්පූර්ණ විස්තරයක් සැපයිය හැකි බව ඔහු සිතයි.

සංඛ්‍යා ශාස්ත්‍රයට ජනයා ආකර්ෂණය වීමට හේතුව එහි කෙරෙන විශ්ලේෂණවල බාහිරින් පෙනෙන්ට තිබෙන නිරවද්‍යතාව විය හැක. “අංක සහ පුද්ගලයන්ගේ ගති ලක්ෂණ අතර ඉතා කිට්ටු සබඳතාවක් තිබෙන බව සොයාගැනීම නිසා බොහෝදෙනෙක් සංඛ්‍යා ශාස්ත්‍රය ගැන විශ්වාස කරති” කියා එඩ්වඩ් ඇල්බට්සන් විසින් රචිත පොතක (Prophecy for the Millions) සඳහන් වේ. එහෙත් සංඛ්‍යා ශාස්ත්‍රය ව්‍යාජ විද්‍යාවක් කියාද හඳුන්වා තිබේ. එයට හේතුව කුමක්ද? ඒ ගැන සැක සිතීමට ඔබට හේතු තිබෙනවාද?

[17වන පිටුවේ කොටුව⁄පින්තූර]

බයිබලයේ සැඟවුණු පණිවිඩ තිබේද?

පරිගණකයක් යොදාගනිමින් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි විශ්ලේෂණය කිරීමෙන් සැඟවුණු පණිවිඩ සොයාගත් බව මාධ්‍යවේදියෙකු වන මයිකල් ඩ්‍රොස්නින් ඔහු විසින් රචිත බයිබලයේ සංකේත නමැති පොතේ (සිංහලෙන් නොමැත) සඳහන් කරයි. යිෂාක් රාබින්ගේ නමද ඒ සමඟින් “ඝාතකයා ඝාතනය කරයි” නමැති වදන් පෙළද තමන් සොයාගත් “සංකේතය” මගින් ලබාගත හැකි වූ බව ඩ්‍රොස්නින් පවසයි. ඔහු මෙය සොයාගත්තේ ඊශ්‍රායෙලයේ අගමැති වූ රාබින්ව ඝාතනය කරනු ලැබීමට වසරකට පමණ ඉහතදීය.

බයිබලයේ සංකේත නමැති පොත මහත් මතභේද ඇතිවීමට හේතු වී තිබේ. ඇත්තෙන්ම මෙය අපේක්ෂා කළ හැකි දෙයකි. ඕනෑම පාඨයක් පරිගණකයක් මගින් විශ්ලේෂණය කිරීමෙන් ගුප්ත පණිවිඩ මෙන් පෙනෙන දේවල් අනාවරණය විය හැකි බව, ගණිතඥයෙකු මෙන්ම භෞතිකඥයෙකු වන ඩේව් ටොමස් හේතු සාධක සහිතව පෙන්වා දුන්නේය. ඩ්‍රොස්නින් තෝරාගත් පාඨයම විශ්ලේෂණය කරද්දී “සංකේත,” “අඥාන” සහ “රැවටිල්ල” යන වදන් ටොමස් සොයාගත්තේය. “පුළුල් ක්ෂේත්‍රයක් වන සම්භාවිතාව ගැන අධ්‍යයනය කිරීමට කාලය වැය කරමින් උත්සාහයක් දැරීමට ඔබ කැමති නම් ඔබට ඕනෑ දෙයක් ඇසුරෙන් සැඟවුණු පණිවිඩ සොයාගැනීමට පුළුවන්” කියා ටොමස් පවසයි.

අසීමිත ලෙස ගණනය කිරීමේ හැකියාවක් පරිගණකයකට තිබෙන නිසා අක්ෂරවල තිබෙන යම් සංයෝජනයන් එමගින් සොයාගත හැක. මෙම සොයාගැනීම් ඇතැම් අනාවැකි පැවසීම සඳහා යොදාගැනීමට පුළුවන. නමුත් මෙය හුදෙක් අහඹු සිදුවීමක් වන අතර බයිබලයේ සැඟවුණු පණිවිඩ අන්තර්ගත බව ඔප්පු කිරීමට ඒවාට නොහැක. a

[පාදසටහන]

a මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 2000 අප්‍රියෙල් 1 මුරටැඹ සඟරාවේ 29-31 දක්වා පිටු බලන්න.

[16වන පිටුවේ පින්තූරය]

සෑම දෙයකම සංඛ්‍යාත්මක රටාවන් දැකිය හැකි බව පයිතගරස් ඉගැන්නුවේය

[හිමිකම් විස්තර]

National Library of Medicine අනුග්‍රහයෙනි