Skip to content

පටුනට යන්න

ජීවිතයට නැතුවම බැරි ජලය

ජීවිතයට නැතුවම බැරි ජලය

ජීවිතයට නැතුවම බැරි ජලය

ළිඳකින් වතුර අදිමින් සිටි සමාරිය ස්ත්‍රියකට යේසුස් සදාකාල ජීවනය ගෙන දෙන වතුර උනන දිය උල්පතක් ගැන කතා කළා. (යොහන් 4:14) ඔහු කතා කරමින් සිටියේ සංකේතාත්මක අර්ථයකින් වුවද පදගතාර්ථයෙන්ම ගත් කල ජලය ජීවිතයට අත්‍යවශ්‍ය පානයක්. මෙය දෙවෙනි වන්නේ ඔක්සිජන්වලට විතරයි. කෙනෙකුට කෑම නැතිව සති ගණනක් ජීවත් විය හැකි වුවද වතුර නැතුව ඉන්න පුළුවන් වන්නේ දවස් පහක් වැනි කෙටි කාලයක් පමණයි!

අපේ ශරීර බරින් හතරෙන් තුනක්ම ජලයයි. උදාහරණයකට අපේ මොළයේ සියයට 75 සිට 85 දක්වා ප්‍රමාණයක්ද, පේශිවල සියයට 70ක්ද ජලය අඩංගු වෙනවා. අනිත් අතට ජලය අපට උපකාරවත් වෙනවා ආහාර දිරවීමට, අවශෝෂණය කිරීමට හා පෝෂ්‍ය පදාර්ථ සෛල කරා ගෙන යෑමට. එය ශරීරයේ විෂ හා වෙනත් අපද්‍රව්‍ය ඉවත් කරයි. ඒ වගේම ජලය සන්ධි අතර හා අන්ත්‍රයේ ලිස්සනසුලු ස්වභාවයක් පවත්වාගැනීමට මෙන්ම ශරීර උෂ්ණත්වය පාලනය කිරීමටද උපකාරවත් වෙනවා. නමුත් ඔබ දැනගෙන සිටියාද ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීමෙන් ඔබේ ශරීරයේ බර අඩු කරගන්න පුළුවන් කියා?

ඔබේ බර අඩු කරගැනීමට වතුර බොන්න

මූලික හේතුව ජලයේ කැලරිවත්, මේදයවත්, කොලෙස්ටරෝල්වත් නැති අතර සෝඩියම් ප්‍රමාණයද අඩුයි. දෙවනුව, එයට කෑම රුචිය මැඩලීමට පුළුවන්. තුන්වෙනුව, ශරීරයේ තැන්පත් වී තිබෙන මේදය පරිවෘත්තිය ක්‍රියාවලියට (ජීව ද්‍රව්‍යයෙහි නිරන්තරව සිදු වන රසායනික හා භෞතික විපර්යාසවල සමස්තය) භාජන කිරීමට ජලය මහෝපකාරී වෙනවා. ඒ කොහොමද? ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ලැබෙන්නේ නැති විට වකුගඩුවලට හරියට ක්‍රියා කරන්න බැහැ. මේ අවස්ථාවේදී වකුගඩුවල ක්‍රියාකාරිත්වයට උපකාර කිරීමට අක්මාව ඉදිරිපත් වීමෙන් සිදු වන්නේ කාර්යක්ෂම ලෙස මේදය පරිවෘත්තිය ක්‍රියාවලියට ලක් කිරීමට අක්මාවට ඇති හැකියාව අඩාළ වීමයි. ඒ නිසා එම මේදය ශරීරයේ තැන්පත් වෙනවා. මේකෙන් වෙන්නේ ඔබේ ශරීරයේ බර වැඩිවීමයි. ස්ථූලතාව පිළිබඳව උපදෙස් දෙන අ.එ.ජ. ඇරිසෝනාහි ස්කොට්ස්ඩේල්වල පිහිටි එක්තරා පෝෂණ ආයතනයක සේවය කරන (Southwest) වෛද්‍ය ඩොනල්ඩ් රොබට්සන් පවසන්නේ මෙසේයි. “බර අඩු කරගැනීමට හොඳ ක්‍රමයක් වන්නේ ප්‍රමාණවත් ලෙස වතුර බීමයි. බර අඩු කරගන්න උත්සහ කරන අය ප්‍රමාණවත් ලෙස වතුර බොන්නේ නැත්නම් මේදය මුළුමනින්ම පරිවෘත්තිය ක්‍රියාවලියට ලක් කිරීමට ශරීරයට හැකි වෙන්නේ නැහැ.”

බොහෝවිට අනවශ්‍ය ලෙස ශරීරයේ පටක අතර වතුර රැඳී තිබීම බර වැඩිවීමට හේතු වන බව ඇත්තයි. මෙවැනි රෝගී තත්වයකට මුහුණ පෑමේ අවදානම ඇති බොහෝදෙනෙක් සිතන්නේ මෙයට එකම පිළියම බොන වතුර ප්‍රමාණය අඩු කිරීම බවයි. නමුත් එයින් සිදු වන්නේ බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර නොලැබී යන විට ශරීරය එහි තිබෙන සෑම වතුර බිංදුවක්ම පාද, අත් හා කකුල් වැනි ප්‍රදේශවල රඳවා තබාගැනීමට උත්සහ කරයි. ඒ නිසා පෝෂණවේදීන් උපදෙස් දෙන්නේ ශරීරයට අවශ්‍ය දේ, එනම් ප්‍රමාණවත් වතුර එයට ලබා දෙන්න කියායි. ඒ වගේම මෙයත් මතක තියාගන්න. ඔබ වැඩිපුර ලුණු කෑමට ගන්නවා නම් එය තනුක කිරීමට වැඩිපුර වතුර බීමත් අවශ්‍යයි.

ඔබේ ශරීරයට ජලය ලබා දෙන්න

සෑම දවසකම සාමාන්‍යයෙන් වතුර ලීටර් දෙකක් අපේ හමෙන්, පෙණහලුවලින්, අන්ත්‍රවලින් හා වකුගඩුවලින් ඉවත් වෙනවා. අපේ ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලියෙන් පමණක්ම දවසකට දළ වශයෙන් වතුර ලීටර් බාගයක් ශරීරයෙන් පිට වෙනවා. ඉවත් වන මේ වතුර ප්‍රමාණය නැවත ලබා නොදුන්නොත් සිදු වන්නේ අපේ ශරීරය විජලනය වීමයි. විජලනය වීමේ සමහර ලක්ෂණ නම් හිසේ කැක්කුම, විඩාව, මාංශ පේශිවල වේදනාව, තද පාටට මුත්‍රා පිටවීම, රස්නය දරාගත නොහැකි වීම හා කට වේළීම මෙන්ම ඇස් මලානික වීමයි.

එහෙමනම් අපි දවසකට වතුර කොපමණ ප්‍රමාණයක් බොන්න ඕනේද? ස්ථූලතාව මැඩපැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් දෙන විශේෂඥයෙක් වන වෛද්‍ය හවඩ් ෆ්ලැක්ස් පැවසුවේ මෙයයි. “සෞඛ්‍ය සම්පන්න කෙනෙක් දවසකට අවම වශයෙන් ලීටර් කාලේ වතුර වීදුරු අටත් දහයත් අතර ප්‍රමාණයක් බොන්න ඕනේ. ඔබ බොහෝ ව්‍යායාම කරනවා නම් හෝ උෂ්ණ අධික දේශගුණයක් සහිත ප්‍රදේශයක වාසය කරනවා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් බොන්න අවශ්‍යයි. ඊට අමතරව ශරීරයේ නිශ්චිතව තිබිය යුතු බර ප්‍රමාණයට වඩා වැඩි වන සෑම කිලෝග්‍රෑම් දහයක් සඳහාම තවත් අමතර වතුර වීදුරුවක් බොන්න ඕනේ.” නමුත් සමහරු කියන්න පුළුවන් වතුර තිබහක් හැදුණම විතරක් වතුර බිව්වහම ඇතියි කියලා. කෙසේවෙතත් ඔබට අධික පිපාසයක් දැනෙනවා නම් එයින් පෙන්වන්නේ ඔබ ඒ වන විටත් යම් ආකාරයක විජලනයක් අද්දකිමින් සිටින බවයි.

වතුර වෙනුවට අපට වෙනත් බීම වර්ග පානය කරන්න පුළුවන්ද? වතුර අඩංගු නිසා පලතුරු හා එළවළුවලින් සෑදූ බීම වර්ග ගැනීම හොඳයි. නමුත් මේවා කැලරි රහිත බීම වර්ග නොවෙයි. ඒ වගේම කිරි හා සීනි අධික බීම වර්ග ගන්නා විට ඒවා ජීර්ණය කිරීම සඳහා ශරීරයට වැඩිපුර වතුර ප්‍රමාණයක් අවශ්‍යයි. තවද මධ්‍යසාර හා කැෆේන් අඩංගු කෝපි හා තේ පානය නිසා මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව සුළු වශයෙන් වැඩි කළ හැකියි. මේ නිසා පිට වන ජල ප්‍රමාණයේ සමබරතාව පවත්වාගැනීම සඳහා වැඩිපුර වතුර බොන්න සිදු වෙයි. මෙම අනර්ඝ පානය වන ජලය හා සැසඳිය හැකි වෙන කිසිම පානයක් නැහැ. එහෙමනම් දැන්මම වතුර වීදුරුවක් නොබොන්නේ මන්ද?

[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බොන වතුර ප්‍රමාණය වැඩි කරගැනීමට යෝජනා

● යන තැන වතුර බෝතලයක් රැගෙන යන්න.

● සෑම ආහාර වේලක් සමඟම වතුර වීදුරුවක් පානය කරන්න.

● ව්‍යායාම කිරීමට පෙර, පසු හා ඒ අතරතුරදී වතුර බොන්න.

● තේ පානය සඳහා නොව වතුර බීම සඳහා වැඩ නවත්වන්න.

● පයිප්පයෙන් ලබාගන්නා වතුරවල රසය වැඩි කරගැනීමට දෙහි යුෂ ටිකක් යොදාගන්න, නැත්නම් ෆිල්ටරයකින් පෙරා බොන්න.

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඡායාරූපය: www.comstock.com