සුරතලුන්ට නිසි ලෙස සලකන්න
සුරතලුන්ට නිසි ලෙස සලකන්න
කලින් ලිපියේ සඳහන් කළ පරිදි, පොළොව මෙන්ම එහි වසන සියලුම සතුන්ව රැකබලා ගැනීමේ වගකීම මිනිසාට භාර දෙනු ලැබුවා. දෙවි “සියල්ල ඔහුගේ පාද යට දැමුවේය. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද, ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොවුහුය” යනුවෙන් බයිබලයේ පවසා තිබෙනවා.—ගීතාවලිය 8:6-8; 115:16.
සතුන් සම්බන්ධයෙන් තමන්ට පවරා ඇති වගකීම ඉටු කරන ආකාරය ගැන මිනිසා සැලකිලිමත් විය යුතුයි. දෙවිගේ වචනයේ පවසන්නේ, “ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය” කියායි. (හිතෝපදේශ 12:10) ඇත්තෙන්ම සතුන්ගේ අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වීමේ වැදගත්කම දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ නැවත නැවත අවධාරණය කළා. (ද්විතීය කථාව 22:4, 10; 25:4) බොහෝ අවස්ථාවලදී සතුන් පිළිබඳ වූ තම වගකීම ඉටු කරන අතරතුරේදී මිනිසා ගෘහ ආශ්රිත සතුන්ව සුරතලුන් ලෙසද ඇති කර තිබෙනවා. ඔවුන් වනසතුන්ව පවා හීලෑ කරගෙන තම සුරතලුන් බවට පත් කරගෙන තිබෙනවා.—උත්පත්ති 1:24.
නමුත් බයිබලයේ පෙන්වා ඇති පරිදි මිනිසා හා සතුන් අතර ඉතා පැහැදිලි වෙනසක් තිබෙන බව අපි මතක තබාගත යුතුයි. ‘දෙවිගේ ස්වරූපයෙන් හා ඔහුගේ සමානත්වය ලෙස’ සාදනු ලැබුවේ සතුන්ව නොව මනුෂ්යයන්වයි. (උත්පත්ති 1:26) ඒ වගේම, සතුන්ව මවනු ලැබුවේ යම් කාල සීමාවක් ජීවත් වීමටයි. එහෙත් මනුෂ්‍යයන්ව මවනු ලැබුවේ පොළොවෙහි සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුවයි. (උත්පත්ති 3:22, 23; ගීතාවලිය 37:29) “සදාකාල ජීවනය” භුක්ති විඳීමට නම් අපි ඇදහිල්ල පෙන්විය යුතු බවත් දෙවි පිළිබඳව දැනුම ලබාගත යුතු බවත් යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. සතුන්ට කවදාවත් එසේ කළ නොහැකියි. (යොහන් 3:36; 17:3, NW) ඒ වගේම, නැවත නැඟිටීමක් ලැබීමට නුසුදුසු අයව බයිබලයේ සංසන්දනය කර තිබෙන්නේ “අල්ලාගෙන විනාශ කරනු ලැබීමට උපන්, කල්පනා ශක්තියක් නැති සතුන්” සමඟයි.—2 පේතෘස් 2:9-12, NW.
මිනිසාගේ ප්‍රයෝජනය උදෙසා
දෙවි සතුන්ව මැව්වේ මිනිසාගේ ප්‍රයෝජනයටයි. මිනිසුන් කරන විවිධ වැඩවලට උදව් කරන්නටත් ඔවුන්ගේ හිතමිතුරන් හෝ සුරතලුන් වෙන්නටත් සතුන්ට පුළුවන්. උන්ට දෙවිගේ ප්‍රේමය හා ප්‍රඥාව මහිමයට පත් කිරීමේ හැකියාවද තිබෙනවා. ලස්සන සතුන්ව නැරඹීමෙන් සහ සහජයෙන්ම එන උන්ගේ ප්‍රඥාව ගැන අධ්‍යයනය කර මැවුම්කරු ගැන වැඩි යමක් ඉගෙනගැනීමෙන් ලැබෙන තෘප්තිය මොන තරම්ද! (ගීතාවලිය 104:24; හිතෝපදේශ 30:24-28; රෝම 1:20) සතුන්ගේ ප්‍රඥාව කියාපාන එක් උදාහරණයක් කෘමි ලෝකයෙන් සොයාගත හැකියි. මීමැස්සන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරන ආකාරයත් ආහාර සොයමින් යන ආකාරයත් ඉතා පුදුමාකාරයි. උන් තම සංකීර්ණ මීවද තනන ආකාරය ඊටත් වඩා විශිෂ්ටයි.
සතුන්ව ආහාර පිණිස ගැනීම උන්ගෙන් ගත හැකි තවත් ප්‍රයෝජනයක්. මූලාරම්භයේදී නම් දෙවි මිනිසාට කෑම සඳහා ලබා දුන්නේ එළවළු, පලතුරු හා පලා වර්ග පමණයි. එහෙත් අවුරුදු 1,600කට පමණ පසුව, එනම් නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් පසුව දෙවි මෙසේ පැවසුවා. උත්පත්ති 1:29; 9:3, අකුරු ඇල කළේ අපය.) මෙසේ, සතුන්ව ආහාරයට ගැනීම සඳහා දෙවි මිනිසාට අවසර දුන්නා. දෙවි ආරම්භයේදී මිනිසාට ආහාර පිණිස සතුන්ව ලබා නොදුන්නත් පසුව ඒ සඳහා අවසර දුන්නේ මිනිසාගේ යහපත පිණිස බව පෙනෙන්ට තිබෙනවා.
“එහා මෙහා යන පණ ඇති සියල්ල ඔබට ආහාර වන්නේය. නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම ඔබට දුනිමි.” (සුරතලුන් නිසා ඇති වෙන ගැටලු
අතීතයේදී සුරතලුන්ව නිවෙස් තුළට ගත්තේ කලාතුරකින් බව පෙනෙන්ට තිබෙනවා. අදත් ලෝකයේ බොහෝ රටවල සුරතලුන්ව නිවස තුළට ගන්නේ නැහැ. එහෙත් මිනිස්සු නගරවල පදිංචි වී වඩාත් සමෘද්ධිමත් ජීවිත ගත කිරීමට පටන්ගෙන තිබෙන නිසා ඔවුන් මෑතක සිට පුරුදු වී තිබෙනවා සුරතලුන්ව නිවෙස් තුළ ඇති කිරීමට. ඒ හේතුවෙන් සංවර්ධිත රටවල විවිධ ගැටලු ඉස්මතු වී තිබෙනවා.
ලෝ වටා සුරතලුන් මිලියන 500ක් පමණ සිටින බව තක්සේරු කර තිබෙන අතර උන්ගෙන් සියයට 40ක් පමණ සිටින්නේ එක්සත් ජනපදයේ! එහි සුරතල් බල්ලන් මිලියන 59ක්ද සුරතල් පූසන් මිලියන 75ක්ද සිටිනවා. එහෙත් ලන්ඩනය හා පැරීසිය යන නගර වෙන වෙනම ගත් කල, සෑම නිවසකම දළ වශයෙන් සිටින සුරතලුන් සංඛ්‍යාව නිව් යෝක් නගරයේ සෑම නිවසකම සිටින සංඛ්‍යාවට වඩා වැඩියි!
දැන් අවුරුදු කිහිපයකට කලින් පැරීසියේ පදික වේදිකාවලින් බල්ලන්ගේ අසූචි එකතු කිරීම සඳහා විශේෂ යතුරු පැදි 70ක් කුලියට ගැනීමට සිදු වුණා. පැරීසියේ බල්ලන් 2,50,000ක් පමණ දිනපතාම අසූචි ටොන් 25ක් බැහැර කරන බව තක්සේරු කර තිබෙනවා. යතුරු පැදිවලින් ඉන් අඩක්වත් එකතු කරගැනීමට නොහැකි වුණා. වාර්තාවලින් හෙළි වූ පරිදි බල්ලන්ගේ අසූචි මත ලිස්සා වැටීම හේතුවෙන් වසරකට සිය ගණනක් මිනිස්සු තුවාල ලබමින් සිටි අතර ඔවුන්ට රෝහල්ගත වීමට පවා සිදු වුණා.
මතු වෙන තවත් ගැටලුවක් වන්නේ ශබ්ද දූෂණයයි. බල්ලන් ඇති කරන සමහරදෙනෙක් තම සුරතලුන්ට ඕනෑම දෙයක් කිරීමට ඉඩහරිනවා. ඔවුන් මිනිසුන් සමඟවත් ඒ තරම් ඉවසීමෙන් කටයුතු කරන්න සූදානම් නැහැ. සුරතලුන්ගේ රැකවරණය පිළිබඳව සාකච්ඡා කරන එක්තරා වෙබ් අඩවියක සඳහන් වී තිබුණේ මෙසේයි. “අවට සිටින අයට කරදරයක් වන සේ බුරන බල්ලන්ගේ සද්දෙට උන්ගේ අයිතිකරුවන් පුරුදු වී සිටින බව පෙනේ.” සමහර අය වැදගත් සාකච්ඡාවක් කරන අතරතුරේදී පවා ඔවුන්ගේ බල්ලන්ට ඔහේ බුරන්න ඉඩහරිනවා. එය සාකච්ඡාවට බාධාවක් වුණත් ඔවුන් එය ගණන් ගන්නේ නැහැ.
අනික් අතට, බල්ලෙක් තම ස්වාමියා සමඟ සිටින විටදී නිශ්ශබ්දව හා සන්සුන්ව සිටිනවා විය හැකියි. නමුත් ස්වාමියා නිවසේ නොමැති විටදී උන් අසල්වැසියන්ට මහ වදයක් වීමට ඉඩ තිබෙනවා. සුරතලුන් ඇති කරන සමහරදෙනෙක් තම සුරතලුන් කරදරකාරී ආකාරයෙන් හැසුරුණත් උන්ට ආදරේ කරනවා විය හැකියි. නමුත් රෑ වැඩ කරන කෙනෙක් හෝ ළදරුවෙකුව නිදි කරවන්න වෑයම් කරන මවක් දහවල් කාලයේ අල්ලපු ගෙදර සිටී නම් ඔවුන් ඒ තරම් ඉවසීමකින් කටයුතු කරාවී කියා බලාපොරොත්තු විය නොහැකියි. ඒ වගේම, සතෙකුට පාළුව තනිකම දැනුණු විට ඌ විනාශකාරී ලෙස හැසිරීමට පටන්ගන්න පුළුවන්. උන්ට දුකක්, කාංසාවක් දැනීමටත්, උන් නපුරු ලෙස ක්‍රියා කිරීමටත් ඉඩ තිබෙනවා.
නගරයේ ඇති කරන සුරතලුන් හා සම්බන්ධව විශේෂයෙන්ම මතු වෙන ගැටලුවක් වන්නේ උන් තම වර්ගයාව බෝ කරන වේගයයි. එක්සත් ජනපදයේ පමණක් සෑම වසරකදීම බල්ලන් මිලියන 17ක්ද පූසන් මිලියන 30ක්ද ඉපදෙන බව තක්සේරු කර තිබෙනවා. උන්ගෙන් මිලියන ගාණක්, සත්ව සුරැකුම් ආයතනවලට භාර දෙනු ලබනවා. එම රටේ පමණක් සෑම වසරකම පාහේ එසේ භාර දෙන සතුන්ගෙන් මිලියන හතරක සිට මිලියන හයක් දක්වා වූ සංඛ්‍යාවක් කිසිම වද දීමකින් තොරව මරණයට පත් කරනු ලබනවා.
එතරම් සතුන් සංඛ්‍යාවක් සුරැකුම් ආයතනවලට භාර දෙනු ලබන්නේ මන්ද? බොහෝදෙනෙක් තම සතුන්ට ආදරය දක්වන්නේ කෙටි කාල සීමාවකට පමණයි. ලස්සන බලු පැටියෙක් හෝ හුරුබුහුටි පූස් පැටියෙක් වැඩුණු පසු
උන්ගේ ඕනෑ එපාකම් බලාගැනීමට සිදු වෙනවා. නමුත් උන් සමඟ සෙල්ලම් කිරීමට හෝ උන්ව පුහුණු කිරීමට තරම් කාලය හෝ ඉවසීම ඇති කිසිවෙකු නිවසේ නොසිටිනවා විය හැකියි. කර්තෘවරියක් හා සත්ව විශේෂඥවරියක් වන වෛද්‍ය නියූබි මෙසේ පවසනවා. “බහුතරයකගේ විශ්වාසයට අනුව, සත්ව සුරැකුම් ආයතනවලට භාර දෙනු ලබන්නේ අත්හැර දමා ගොස් ඇති බල්ලන්වයි. එහෙත් ලෝ වටා සිදු කරනු ලැබූ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එම බල්ලන්ගෙන් අඩක්වම භාර දී තිබෙන්නේ අයිතිකරුවන් විසින්ම වන අතර ඔවුන් එසේ කර තිබෙන්නේ උන්ගේ බුරන ශබ්දය, විනාශකාරී හැසිරීම හා දඟකාර ස්වභාවය තවදුරටත් ඉවසිය නොහැකි වූ නිසයි.”පමණට වඩා සුරතලුන් සංඛ්‍යාවක් සිටීම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන වෙබ් අඩවියක එම තත්වය කෙටියෙන් විස්තර කරන්නේ මෙසේයි. “පණ ඇති සතුන්ව දැන් සලකන්නේ හරියට අහක දමන සෙල්ලම් බඩු වගෙයි. ප්‍රියකරු සුරතල් වයසේ සිටින විට උන්ව තුරුලු කරගෙන ආදරය පෙන්වන නමුත් උන් ලොකු වුණාට පස්සේ උන්ව කරදරයක් ලෙස සලකමින් අයින් කර දමනවා. සතුන්ව මෙලෙස නොසලකාහැරීම අපේ සමාජයේ සෑම අංගයකටම පාහේ බලපාන අතර එහි පරිහානියටද එය හේතු වෙනවා.”
සැලකිල්ලට ගත යුතු කරුණු
සුරතලෙකුව ඇති කිරීමට තීරණය කරන්න කලින් නගරයේ ජීවත් වෙන කෙනෙක් විශේෂයෙන්ම සලකා බැලිය යුතු කාරණා තිබෙනවා. ක්‍රියාශීලී සුරතලුන්ගේ නිරෝගිකම පවත්වාගැනීම සඳහා උන්ව දිනපතාම ව්‍යායාමයේ යෙදවිය යුතුයි. ඕස්ට්‍රේලියාවේ ‘මහජනයාගේ හා සුරතලුන්ගේ ජාතික සමීක්ෂණයේ’ මෙසේ සඳහන් වුණා. “බල්ලෙකුගේ ශාරීරික වර්ධනය සඳහාත් උගේ බුද්ධිය වර්ධනය වීම සඳහාත් ඌව ඇවිද්දවීම හා ව්‍යායාමයේ යෙදවීම අත්‍යවශ්‍යයි. බල්ලන්ට අවශ්‍ය ව්‍යායාමය නොලැබුණොත් උන්ව පාලනය කිරීම අපහසු විය හැකියි.” එහෙත් බල්ලන්ව ඇති කරන බොහෝදෙනෙක් වැඩ හමාර වී ගෙදර එන්නේ අධික වෙහෙසට පත් වෙලයි. ඒ නිසා දවස මුළුල්ලේම කොටු වී සිටි දුවන්න පනින්න බලාගෙන සිටින තම බල්ලන්ව ව්‍යායාමයේ යොදවන්න ඔවුන් අපොහොසත් වෙනවා.
එමනිසා සුරතලෙකු ඇති කරනවායයි තීරණය කරන්නට කලින් තමාගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මගේ සුරතලාට නිසි සැලකිල්ල
දෙන්න මට පුළුවන් වෙයිද? මගේ ජීවන රටාව නිසා දවසේ වැඩිහරියක්ම මගේ සුරතලාට තනියෙන් සිටීමට සිදු වෙයිද? මගේ සුරතලාව ඇවිද්දවන්න නැත්නම් ඌ සමඟ සෙල්ලම් කරන්න මට කාලය තියෙයිද? මගේ බල්ලාට යම් පුහුණුවක් දිය යුතුයි නම් එසේ කිරීමට මම සූදානම්ද? එහෙමත් නැත්නම් එවැනි පුහුණුවක් සපයන පාසැලකට ඌව ගෙනියන්න මට පුළුවන් වෙයිද? සුරතලෙක් ඇති කළොත් ඊට වඩා වැදගත් දේවල් සඳහා යොදවන්න මට ප්‍රමාණවත් කාලයක් ඉතුරු වෙයිද?සමහරවිට සුරතලෙක් ඇති කරන විට විශාල මුදලක් වැය කිරීමටද සිදු විය හැකියි. එයත් සැලකිල්ලට ගත යුතු කාරණයක්. සුරතලුන් ඇති කරන අය පිළිබඳව කළ සමීක්ෂණයකින් හෙළි වූයේ එක්සත් ජනපදයේ බල්ලෙක් ඇති කරන කෙනෙකුට පශු වෛද්‍යවරුන් සඳහා වසරකට ඩොලර් 196ක් පමණ වැය කිරීමට සිදු වූ බවයි. පූසෙකු සඳහා වැය වූ මුදල ඩොලර් 104ක්. එම ගණනය කිරීමට කෑම හා වෙනත් දෛනික අවශ්‍යතා සඳහා වැය වූ මුදල ඇතුළත් කර නැහැ. ඇතැම් ප්‍රදේශවල සතුන්ව ලියාපදිංචි කිරීම සඳහාද අමතර මුදලක් වැය කළ යුතුයි.
නිසි ආකල්පයක් තබාගැනීම අභියෝගයක්
ඔහු මැවූ සතුන්ගෙන් අපි සතුටක් ලබමින් උන්ට ආදරය සැලකිල්ල දක්වන විට අපේ මැවුම්කරුද සතුටු වන බව නිසැකයි. එහෙමනම්, සතුන්ට වද හිංසා කිරීම කොහෙත්ම සුදුසු නැති බවට ඔබ එකඟ වෙනවාද? එහෙත් මිනිස්සු ආස්වාදයක් ලැබීම සඳහා කුකුළන්, ගවයන් හා බල්ලන් වැනි සතුන්ව පොරට දමනවා. එවැනි අවස්ථාවලදී සතුන් ඉතා දරුණු ලෙස තුවාල ලබමින් අන්තිමට මිය යනවා. මිනිස්සු සැමවිටම දෙවි බලාපොරොත්තු වූ ලෙස සතුන්ට ආදරය කරුණාව නොදැක්වීම ඇත්තෙන්ම කනගාටුවට කාරණයක්.
අනික් අතට, සමහර අය සුරතලුන්ට තම ජීවිතයේ මුල් තැන දී තිබෙන නිසා වඩා වැදගත් දේවලට අවධානය යොමු කිරීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා. ඇත්තෙන්ම කියනවා නම්, සතුන්ට ආදරය දක්වන විට අපි අන්තයටම ගියොත් සුරතලෙකුගේ ජීවිතය මිනිස් ජීවිතයකට වඩා වටිනවායයි කියා සැලකීමට අපි පෙලඹිය හැකියි. උදාහරණයක් හැටියට, සත්ව රෝහලක ගින්නක් හටගත් අවස්ථාවකදී රෝහලේ සිටි සුරතලුන්ගේ අයිතිකරුවන් එතැනට පැමිණියා. ඔවුන්ගෙන් සමහරෙක් “ගිනිගත් ස්ථානය වටා දමා තිබූ බාධකය කඩාගෙන බලෙන් ඇතුල් වීමට වෑයම් කළ අතර ඔවුන්ගේ ආදරණීය සුරතලුන් සමඟ තමන්ටද මැරෙන්න ඕනේයයි කඳුළු සලමින් කියා සිටි” බව වාර්තා වුණා.
අපි ගොඩක් ආදරේ කරන සුරතලෙක් මිය යනවා දකිද්දී ලොකු දුකක්, වේදනාවක් දැනිය හැකි බව ඇත්තයි. එහෙත් එවැනි අවස්ථාවකදී පවා අපි සමබර විය යුතුයි. කලින් සඳහන් කළ පරිදි සතුන්ව මැව්වේ දෙවිගේ ස්වරූපයෙන් නොවෙයි. ඒ වගේම මිනිසා මෙන් සදාකාලිකව ජීවත් වීමට උන්ව මැව්වේ නැහැ. දෙවි මිනිසුන්ව මැවූ ආකාරය පිළිබඳව බයිබලයෙහි පවසා තිබෙන්නේ මෙලෙසයි. “ඔහු සදාකාලය ඔවුන්ගේ සිත්වල පිහිටෙව්වේය.” සතුන් ගැන නම් එවැනි දෙයක් කොතැනකවත් පවසා නැහැ.—දේශනාකාරයා 3:11, බයිංටන්.
එමනිසා, සතුන් මැරීම වැරදියි කියා බයිබලයේ සඳහන් කරන්නේ නැහැ. ඇත්තෙන්ම දැන් මිලියන ගණන් ජනයා සතුන්ව කෑමට ගන්නවා. එහෙත් ලෙඩ වී දුක් විඳිමින් සිටින සුරතලෙකුව මරණයට පත් කිරීම ගැන පැවසිය හැක්කේ කුමක්ද? එය ඉතාමත්ම වේදනාකාරී, අමාරු තීරණයක් බව පිළිගත යුතුයි. එහෙත් යමෙක් තීරණය කරන්න පුළුවන් තම ආදරණීය සුරතලාට වේදනාවක් ඇති නොවන ලෙසින් ක්ෂණිකව මිය යෑමට සැලැස්වීම, මිල අධික ප්‍රතිකාර දී ජීවත් කරවීමට වඩා හොඳයි කියා. මන්ද එහෙම කළොත් සුරතලාට වෙන්නේ බොහෝ කල් විඳවන්න සිදුවීමයි. ඇත්තෙන්ම සමහර පවුල්වලට මිල අධික ප්‍රතිකාර දීමට තරම් වත්පොහොසත්කමක් නොතිබෙනවා වෙන්නත් පුළුවන්.
දෙවි තමා මැවූ මනුෂ්‍යයන්ට ගැඹුරින් ප්‍රේම කරනවා. එහෙමනම්, රැකබලා ගැනීම සඳහා අපට භාර දුන් සතුන්ට අපත් ආදරය සැලකිල්ල දැක්විය යුතු නැද්ද? මැවුම්කරු මුලින්ම අරමුණ කළ ආකාරයට සතුන් සමඟ සතුටින් කල් ගෙවීමේ අපේක්ෂාව සතුන්ට ආදරය දක්වන බොහෝදෙනෙකුගේ සිත්ගෙන තිබෙනවා. මෙම ලිපි මාලාවේ අවසන් ලිපියේ ඒ පිළිබඳව සාකච්ඡා කෙරේ.
[17වන පිටුවේ පින්තූරය]
සෑම වසරකදීම, සත්ව සුරැකුම් ආයතනවල සිටින මිලියන ගණන් සුරතලුන්ව මරණයට පත් කරනු ලබන්නේ මන්ද?
[හිමිකම් විස්තර]
© Hulton-Deutsch Collection/CORBIS
[18, 19වන පිටුවේ පින්තූර]
නගරයේ ජීවත් වෙන අයට සුරතලෙකුව ඇති කිරීමේදී අපේක්ෂා නොකරන ගැටලු මතු විය හැකියි
[19වන පිටුවේ පින්තූරය]
අප සතුන්ට ආදරය කරුණාව දක්වන විට අපේ මැවුම්කරු සතුටු වෙනවා