Skip to content

පටුනට යන්න

මෝසෙස් ආන්දෝලනයට ලක් වී

මෝසෙස් ආන්දෝලනයට ලක් වී

ආදි කාලයේ සිටම යුදෙව්වන්, ක්‍රිස්තියානීන් හා මුස්ලිම් ජනයා අතර බොහෝ එකඟ නොවීම් ඇති වී තිබේ. ආගම් තුනකට බෙදී සිටින මෙම ජනයා අතර විවිධ මතභේද තිබුණද ඔවුහු එක් දෙයක් සම්බන්ධයෙන් නම් එකඟ වෙති. මෝසෙස් වශයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා ඔවුන් සියලුදෙනාගේම ගැඹුරු ගෞරවයට පාත්‍ර වී තිබේ. ඔහු “යුදෙව්වරුන්ගේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා” බවද යුදෙව් ජාතියේ ප්‍රාරම්භකයා බවද යුදෙව්වරු පිළිගනිති. ක්‍රිස්තියානීන් ඔහුව සලකන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන්මිත්තෙකු වශයෙනි. එමෙන්ම, මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වන්නේ මෝසෙස් ඔවුන්ගේ මුල්ම හා ශ්‍රේෂ්ඨතම අනාගතවක්තෘවරුන්ගෙන් අයෙකු වන බවයි.

මින් පැහැදිලි වන්නේ මෝසෙස් මනුෂ්‍ය ඉතිහාසයේ ඉතා ප්‍රබල චරිතයක් වන බවයි. එහෙත් දැන් සියවසකට වැඩි කාලයක් පුරා මෝසෙස් විශාරදයන්ගේද පැවිද්දන්ගේද විවේචනයට ලක් වී ඇත. මෝසෙස් ආශ්චර්යයන් සිදු කළ බවට සහ ඔහු ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවෙන් මුදවාගත් බවට වූ විශ්වාසයන් ගැන පමණක් නොව ඔහු සැබවින්ම ජීවත් වූවාද යන්න ගැනත් බොහෝදෙනෙක් සැක කරති. ජොනතන් කර්ෂ්, මෝසෙස්ගේ ජීවිත කතාව (සිංහලෙන් නැත) නමැති තමා විසින් රචනා කරන ලද කෘතියේ මෙසේ සඳහන් කරයි. “ඉතිහාසයේ විසුවායයි පැවසෙන මෝසෙස් නමැති පුද්ගලයා ගැන අපට පැවසිය හැක්කේ එකම එක දෙයයි. බයිබලයේ විස්තර කරන ආකාරයට සමාන පුද්ගලයෙකු ඈත අතීතයේ යම් නොදන්නා කාල වකවානුවක, නොදන්නා ස්ථානයක සමහරවිට ජීවත් වෙන්න ඇති. ඔහුගේ වික්‍රමයන් පිළිබඳව අබමල් රේණුවක තරම්වත් සත්‍යයක් ඇත්නම් සියවස් ගණනාවක් පුරා ඔහු පිළිබඳව ගෙතුණු වර්ණනාත්මක ප්‍රබන්ධ කථාවලට හා ජනප්‍රවාදවලට පදනම සපයන්න ඇත්තේ එම වික්‍රමයන් විය හැකියි. කාලයාගේ ඇවෑමෙන් මෝසෙස්, බයිබලයේ පිටුවල විස්තර කර ඇති ප්‍රබල මෙන්ම අතිමහත් ආන්දෝලනයට ලක් වූ චරිතයක් බවට පත් විය.”

බැලූ බැල්මට එවන් සැකයන්ට සාධාරණ පදනමක් ඇතැයි කියා පෙනිය හැකියි. නිදසුනකට, යේහු රජු වැනි බයිබල් චරිත ඇත්තෙන්ම ජීවත් වූ බව සනාථ කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයාගෙන ඇතත් මෝසෙස් ජීවත් වූ බව සනාථ කරන එවැනි සාක්ෂි සොයාගෙන නැති බව විවේචකයන් පෙන්වා තිබේ. එහෙත් මෝසෙස් මනඃකල්පිත පුද්ගලයෙකු බව කීමට මෙය ස්ථිර සාක්ෂියක් බව කොහෙත්ම පැවසිය නොහැකියි. බැබිලෝනියේ බේල්ෂශර් රජු හා ඇසිරියාවේ සාගොන් රජු වැනි බයිබලයේ සඳහන් චරිත මනඃකල්පිත පුද්ගලයන් වූ බව විවේචකයන් වරක් තර්ක කළ නමුත් පසු කලෙක පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් ඔවුන් සැබවින්ම ජීවත් වූ බවට සනාථ විය.

කර්තෘ ජොනතන් කර්ෂ් අපට මෙසේ සිහිගන්වයි. “බයිබල් කාලවල විසූ ඊශ්‍රායෙලිතයන්ගේ නටබුන් සොයාගෙන ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එමනිසා, බයිබලයේ හැර වෙන කිසිදු මූලාශ්‍රයක මෝසෙස් ගැන සඳහන් නොකර තිබීම පුදුමයට හේතුවක් නොවේ. එහෙත් එමගින් කිසිවක් නිශ්චිතව ඔප්පු වන්නේද නැත.” එමනිසා, කර්ෂ් තවදුරටත් පෙන්වා දෙන පරිදි, “සංවාදයන් ගණනාවක් ඇතුළත්, මෙතරම් තොරතුරු බරිත හා සංකීර්ණ ජීවිත කතාවක් . . . , නිකම්ම යමෙකු විසින් ප්‍රබන්ධ කරනු ලැබුවායයි විශ්වාස කිරීමට නොහැකි” බව ඇතමෙක් තර්ක කරති.

ඔබ යම් ආගමක් අදහන හෝ නොඅදහන කෙනෙකු වෙන්න පුළුවන. ඒ කෙසේවෙතත්, ඇවිළෙන පඳුර අසල මෝසෙස් දෙවි සමඟ කළ සංවාදය, වහල්භාවයේ සිටි ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවෙන් නික්ම යෑම හා රතු මුහුද දෙබෑ කිරීම වැනි මෝසෙස්ගේ ජීවිතයේ ප්‍රධාන සිදුවීම් ගැන ඔබ සමහරවිට සුළු වශයෙන් හෝ අසා තිබෙනවා විය හැකියි. එහෙත් ඒ දේවල් සැබෑවටම සිදු වුණායයි විශ්වාස කිරීමට ස්ථිර පදනමක් තිබෙනවාද? එසේත් නැත්නම්, මෝසෙස් නිකම්ම මනඃකල්පිත පුද්ගලයෙකුද? එම උනන්දුමත් ප්‍රශ්න පිළිබඳව ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇත.