Skip to content

පටුනට යන්න

සොබාදහමෙන් ගත හැකි පාඩම්

සොබාදහමෙන් ගත හැකි පාඩම්

සොබාදහමෙන් ගත හැකි පාඩම්

“මෘගයන්ගෙන් අසන්න; උන් ඔබට උගන්වන්නෝය; අහසේ පක්ෂීන්ගෙන් අසන්න; උන් ඔබට කියන්නෝය; නොහොත් පොළොවට කතා කරන්න; ඒක ඔබට උගන්වන්නීය; මුහුදේ මත්ස්‍යයෝ ඔබට ප්‍රකාශ කරන්නෝය.”—යෝබ් 12:7, 8.

මෑත ඉතිහාසයේදී විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් ගස් කොළන්වලින් හා සතුන්ගෙන් බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා. අලුත් දේවල් නිපදවීමටත්, තිබෙන යන්ත්‍රසූත්‍ර තව දියුණු කිරීමටත් ඔවුන් ජීව අනුකාරී විද්‍යා ක්ෂේත්‍රයේ නොයෙක් ජීවීන් ගැන අධ්‍යයනයක යෙදෙමින්ද ඒවා අනුකරණය කරමින්ද සිටිනවා. මතු දැක්වෙන උදාහරණ සලකා බලද්දී මේ ප්‍රශ්නය ගැනත් මදක් කල්පනා කර බලන්න. ‘මෙම නිර්මාණයන් සඳහා පැසසුම් ලැබිය යුත්තේ කවුද?’

තල්මසාගේ වරල්වලින් පාඩමක්

ගුවන් යානා නිපදවන්නන්ට මොල්ලි තල්මසාගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? බොහෝ දේ ඉගෙනගත හැකියි. දිගු කලක් ජීවත් වූ මොල්ලි තල්මසෙකුගේ බර බඩු පිරෙවූ ට්‍රක් රථයක බරට සමානයි. එය ටොන් 30ක් පමණ වෙනවා. උගේ ශරීරය පහසුවෙන් නැමෙන්නේ නැති අතර උගේ වරල් විශාල අත්තටු වගෙයි. මීටර් 12ක් දිග තල්මසා දක්ෂ පිහිනුම්කරුවෙක්. උදාහරණයකට කූනිස්සන් වැනි ජීවීන්ව ආහාරයට ගැනීමේ අටියෙන් ඌ ඉහළට පීනන්නේ දඟරයක ආකාරයටයි. ඒ අතරම හුස්මත් පිට කරන නිසා එයින් ජල බුබුළු රැසක් ඇති වෙනවා. මෙම බුබුළු මීටර් 1.5ක විශ්කම්භය ඇති වළල්ලක හැඩයෙන් පිහිටා තිබෙන්නේ හරියට කූනිස්සන්ව දැලකින් වට කරලා වගෙයි. බේරී යා නොහැකි එම ජීවීන්ව ඌ නිදහසේ ගිල දමනවා.

පර්යේෂකයන්ව විශේෂයෙන්ම පුදුමයට පත් කළේ නොනැමෙනසුලු ශරීරය පුංචි රවුමක හැඩයකට හරවා පීනන ආකාරයයි. ඒකට රහස තල්මසාගේ වරල්වල හැඩය බව ඔවුන් සොයාගත්තා. උගේ වරල් අග ගුවන් යානයක තටු මෙන් සුමුදු නැහැ. එහි එක පේළියට තැනින් තැන ගැටිති තිබෙනවා.

තල්මසා ඉහළට පීනද්දී මෙම ගැටිති නිසා ඉහළට යෑමේ බලය වැඩි වී පස්සට ඇදීමේ බලය අඩු වෙනවා. මෙම ගැටිති නිසා වරල්වලට ජලය කපාගෙන යෑමේ හැකියාව තිබෙන අතර වරල් උඩින් පහසුවෙන් ජලය ගලා යන බැවින් එක තැන ජලය කැලතෙන්නේ නැහැ. බාධාවක් නැතුව වැඩි වේගයකින් උඩු අතට පිහිනා යා හැක්කේ එමනිසයි. මෙම ගැටිති නොතිබුණා නම් වක්‍රාකාරව පිහිනන විට ජලය එක තැන කැලතෙන නිසා ඒක ඌට විශාල බාධකයක් වෙයි කියා නැචුරල් හිස්ට්‍රි සඟරාව පැහැදිලි කරනවා.

මෙයින් ලබාගත හැකි ප්‍රයෝජනය කුමක්ද? මෙය අනුකරණය කරමින් ගුවන් යානාවල තටු නිර්මාණය කළොත් ආයාසයකින් තොරව ඉහළ නැඟීමටත්, පියාසර කිරීමටත්, නඩත්තු කිරීමටත් පහසු වෙයි. ජෛව යන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණ ජෝන් ලෝං පවසන්නේ නොබෝ කලකින් “සෑම ජෙට් යානාවකම තටුවල මොල්ලි තල්මසාගේ වරලේ තිබෙන ගැටිති දැකගත හැකි වෙයි” කියලයි.

මුහුදු ලිහිණියාගේ අත්තටුවල අනුකරණයක්

ගුවන් යානාවල තටු සාදා තිබෙන්නේ කුරුල්ලන්ගේ අත්තටුවල හැඩයෙන්. නමුත් මෑතකදී ඉන්ජිනේරුවන් තවත් පියවරක් ඉදිරියට තබා තිබෙනවා. “ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් දුරස්ථ පාලකයක් සහිත ගුවන් යානයක් නිර්මාණය කර තිබෙනවා. එමනිසා මුහුදු ලිහිණියෙකු මෙන් ගුවනේ පාවීමටත්, වේගයෙන් ඉහළට යෑමට හා පහළට ඒමටත් එයට හැකියි.” මෙය වාර්තා කර තිබුණේ නිව් සයන්ටිස්ට් සඟරාවේයි.

මුහුදු ලිහිණීන් තම අත්තටු අකුළමින් හා විහිදමින් විශිෂ්ට ලෙස පියාසර කරනවා. ඇකිළීමට හා විහදීමට හැකි මෙම අත්තටු අනුකරණය කරමින් “අඩි දෙකකින් යුත් මෙම ගුවන් යානයේ තටු ඇකිළීමට හා දිග හැරීමට හැකි වන්නේ එහි සවි කර තිබෙන කුඩා මෝටරය හා යකඩ කූරූ මගින්” බව එම සඟරාවේ පවසනවා. නවීන පන්නයේ තටු නිර්මාණය කර තිබෙන නිසා මේ කුඩා අහස් යානයට උස් ගොඩනැඟිලි දෙකක් අතර පාවීමට හා කරණම් ගැසීමට හැකියි. ඒ වගේම එක්සත් ජනපදයේ ගුවන් හමුදාව උනන්දුවෙන් සිටින්නේ නගරයක් තුළ තිබෙන රසායනික හෝ ජීව විද්‍යාත්මක යුධ අවි සොයාගැනීමට පහසුවෙන් හැසිරවිය හැකි එවැනි ගුවන් යානයක් සෑදීමටයි.

හූණාගේ පාදයේ යටි පැත්තේ පිටපතක්

නිතර දෙවේලේ දකින සතුන්ගෙන්ද බොහෝ දේ ඉගෙනගත හැකියි. හූණාට හැකියාවක් තිබෙනවා බිත්ති දිගේ නඟින්නත්, සීලිමේ යටිකුරුව එල්ලිලා ඉන්නත්. උගේ මේ පුදුමාකාර හැකියාව ගැන බයිබල් කාලවලදී පවා සඳහන් කර තිබුණා. (හිතෝපදේශ 30:28) හූණාට මෙවැනි හැකියාවක් තිබන්නේ කොහොමද?

වීදුරු මතුපිට පවා රැඳී සිටීමට හූණාට හැකියාව තිබෙන්නේ උගේ පාදයේ යටි පැත්ත කෙටි කෙඳි සහිත ආවරණයකින් වැසී තිබෙන නිසයි. උගේ පාදයෙන් මැලියම් වෑස්සෙන්නේ නැහැ. නමුත් පාදයේ යටි පැත්තේ සෛලවල සුළු අණුක ශක්තියක් තිබෙනවා. එම අණුක ශක්තිය හා වීදුරු පෘෂ්ඨයේ අණුක ශක්තිය නිසා එකිනෙකට සම්බන්ධ වන ස්වභාවයක් තිබෙනවා. නමුත් මිනිසෙකුට තම දෑත් උපයෝගී කරගනිමින් බිත්තියක් දිගේ නැඟිය නොහැකි වන්නේ ගුරුත්වාකර්ෂණ ශක්තිය වැඩි නිසයි. එපමණක් නොව හූණාගේ පාදවල තිබෙන කෙටි කෙඳි දහස් ගණනත් එවැනි මතු පිටක ගමන් කිරීමට ඌට උපකාරයක් වෙනවා.

මෙම සොයාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? සොබාදහමේ දායාදයක් නිසා වෙල්ක්‍රෝ නම් ඇලෙනසුලු පටි නිපදවා තිබෙනවා. * දැනටමත් ඒවා භාවිතයට ගැනෙනවා. නමුත් හූනාගේ පාදයේ යටි පැත්ත අනුකරණය කරමින් “ඇලෙනසුලු කෘත්‍රිම රෙදි පටි සෑදිය හැකි නම්, ඇලෙනසුලු රසායනික ද්‍රව්‍යයක් යොදාගන්න බැරි වෛද්‍යමය කටයුතුවලදී” ඒවා හුඟක් ප්‍රයෝජනවත් විය හැකියි කියා දි ඉකොනොමිස්ට් සඟරාවට එක් පර්යේෂකයෙක් පැවසුවා.

ප්‍රශංසාව හිමි විය යුත්තේ කාටද?

ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය ගෝනුස්සෙක් මෙන් ඇවිදින පාද කීපයක් ඇති රොබෝ යන්ත්‍රයක් සාදමිනුයි සිටින්නේ. එමෙන්ම ෆින්ලන්තයේ ඉන්ජිනේරුවන් යෝධ කෘමියෙකු නඟින්නාක් මෙන් නැඟිය හැකි පාද හයකින් යුත් ට්‍රැක්ටරයක් නිපදවා තිබෙනවා. තවත් පර්යේෂක කණ්ඩායමක් විශේෂ රෙදි වර්ගයක් නිර්මාණය කර තිබෙන්නේ දිගහැරෙන හා ඇකිළෙන පයින් ගෙඩිය අනුකරණය කරමිනුයි. ඒ වගේම වාහන නිෂ්පාදන සමාගමක්ද පේත්තයා මාළුවාව අනුකරණය කරමින් වාහනයක් නිපදවමින් සිටිනවා. තවත් පර්යේෂක කණ්ඩායමක් බෙල්ලන්ගේ කට්ටේ තිබෙන කම්පනයට ඔරොත්තු දීමේ හැකියාව ගැන ගවේෂණය කරමින් සිටින්නේ වඩාත් සැහැල්ලු මෙන්ම ශක්තිමත් උඩු කය ආවරණයක් සෑදීමේ අදහසින්.

විවිධ ජීව විද්‍යාත්මක පද්ධති දහස් ගණනක් අන්තර්ගතව ඇති සොබාදහමෙන් අගනා දත්ත රැසක් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි වී තිබෙනවා. “තමන් නිර්මාණය කරන දේවල ප්‍රශ්නයක් ඇති වුණොත් සොබාදහමේ තිබෙන දේවලින් විසඳුමක් සොයාගන්න” විද්‍යාඥයන්ට එම දත්ත උපකාර විය හැකියි කියා දි ඉකොනොමිස්ට් සඟරාව පවසනවා. මෙම දත්ත අන්තර්ගත ස්වාභාවික ජීව පද්ධතිවල අයිතිය නැතහොත් ‘පේටන්ට් බලපත්‍රය’ තිබෙන්නේ ඒ ඒ ජීවීන්ට කියා පවසා තිබෙනවා. පේටන්ට් බලපත්‍රයක් සතු කෙනෙක් හෝ සමාගමක් අලුත් සොයාගැනීමක් හෝ අලුත් යන්ත්‍රයක් සඳහා රජයේ ලියාපදිංචි කර තනි අයිතිය ලබාගෙන සිටිනවා. මේ ගැන දි ඉකොනොමිස්ට් සඟරාවේ සඳහන් වන්නේ මෙවැන්නක්. “සොබාදහමේ අසිරිමත් නිර්මාණයන් වන ඒ ඒ ජීවීන්ට තනි අයිතිය තිබෙනවා කීමෙන් පර්යේෂකයන් ඉඟියෙන් අවධාරණය කරන්නේ සොබාදහම ඒ ජීවීන්ගේ හිමිකරු බවයි.”

සොබාදහම තුළ තිබෙන මෙවැනි අරුමයන් ඇතිවීමට හේතු වුණ නිපුණ අදහස් ආවේ කොහෙන්ද? බොහෝ පර්යේෂකයන්ගේ අදහස වී තිබෙන්නේ සොබාදහමේ බුද්ධිමත් නිර්මාණයන් ලෙස පෙනෙන සියල්ල වසර මිලියන ගණනක් පුරා ප්‍රබල පරිණාමික වෙනස්කම්වලට ලක් වී කෙසේ හෝ අහම්බෙන් බිහි වූ බවයි. එහෙත් තවත් පර්යේෂකයන් විවිධ නිගමනවලට එලඹෙනවා. ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මයිකල් බීහී 2005දී ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලිව්වේ මෙයයි. “[සොබාදහමේ] නිර්මාණයන්වලට හේතුව සොයාගැනීමට පුංචි තර්කයක් විතරයි අවශ්‍ය වෙන්නේ. පෙනුමෙන්, ගමනෙන් හා හඬෙන් තාරාවෙකුව ඇඳිනිය හැකි නම් ඌ තාරාවෙකු මිස වෙන සතෙක් වේද? ඌට තාරාවා කීමට අපට හොඳ හේතුවක් තිබෙනවා.” එබැවින් ඔහුගේ නිගමනය මෙයයි. “ඇස් දෙකට පෙනෙන්න පැහැදිලි සාක්ෂි තිබෙනවා නම් නිර්මාණයට නිර්මාතෘවරයෙක් සිටින බව නොසලකා නොහැරිය යුතුයි.”

ගුවන් යානයක තට්ටක් ආරක්ෂිතව මෙන්ම දක්ෂ ලෙස නිර්මාණය කර තිබෙනවා නම් ඊට ප්‍රශංසාව ලැබිය යුත්තේ එය නිර්මාණය කළ ඉන්ජිනේරුවායි. එලෙසම විවිධාකාරයෙන් ප්‍රයෝජනගත හැකි වෙළුම් පටියක් නිර්මාණය කරන තැනැත්තා හෝ වටිනා රෙදි වර්ගයක් හෝ අගනා වාහනයක් නිපදවන තැනැත්තා තම දක්ෂතාව වෙනුවෙන් ප්‍රශංසාව ලැබිය යුතුයි. නිර්මාණය කළ තැනැත්තාට ප්‍රශංසාව නොදී අනුකරණයන් නිපදවා, භාණ්ඩවල හිමිකම ලබාගන්නා තැනැත්තාව අපරාධකාරයෙක් ලෙස සැලකිය හැකියි.

සොබාදහමේ තිබෙන දේවලින් තම නිර්මාණයන් දියුණු කිරීමට විද්වතුන්ට මහත් වෑයමක් දරන්න සිදු වෙනවා නම්, සොබාදහමේ නිර්මාණයන් අහඹු සිදුවීමක් හේතුවෙන් පරිණාමය වුණායයි නිගමනය කිරීම තර්කානුකූලද? අනුකරණයන්ට බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් අවශ්‍ය නම් මුල් නිර්මාණයට නිර්මාතෘ කෙනෙක් අවශ්‍ය නැද්ද? ඇත්තෙන්ම වඩාත් දක්ෂ චිත්‍රශිල්පියාද නැත්නම් ඔහුගේ ශිල්පයන් අත්හදා බලන ශිෂ්‍යයාද?

තර්කානුකූල නිගමනයක්

සොබාදහමේ නිර්මාණයන්ගේ සැකැස්ම දෙස කල්පනාකාරීව බලන බොහෝදෙනා බයිබලයේ ගීතිකාකරු පවසන දේට එකඟ වෙනවා. ඔහු ලීවේ මෙයයි. “යෙහෝවා, ඔබගේ වැඩ කොපමණ නානාප්‍රකාරද? ඔබ මේ සියල්ල ඥානයෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.” (ගීතාවලිය 104:24) බයිබල් ලේඛක පාවුල්ද එවැනිම නිගමනයකට එලඹුණා. ඔහු මෙසේ පැවසුවා. “මන්ද ඔහුගේ අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවල්වලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත හැකි නිසා තම නිදහසට ඉදිරිපත් කළ හැකි කිසි කරුණක් ඔවුන්ට නැත.”—රෝම 1:19, 20.

බයිබලයට ගරු කරන හා නිර්මාතෘ දෙවිව විශ්වාස කරන අවංක බොහෝදෙනෙක් පවා සොබාදහමේ දක්නට ලැබෙන අසිරිමත් දේ මැවීමට දෙවි පරිණාමය යොදාගත්තා කියා තර්ක කළ හැකියි. නමුත් බයිබලයේ ඒ ගැන පවසන්නේ කුමක්ද?

[පාදසටහන]

^ 15 ඡේ. වෙල්ක්‍රෝ යනු ශාකයක බීජයක් අනුසාරයෙන් කොකු සහ ලූපයන් යොදා නිමැවූ ඇලෙනසුලු පටි ජාතියක්.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සොබාදහමේ මනා නිර්මාණයන් රැසක් බිහි වුණේ කොහොමද?

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සොබාදහමේ හිමිකරු කවුද?

[7වන පිටුවේ කොටුව/පින්තූර]

අනුකරණයන්ට බුද්ධිමත් කෙනෙක් අවශ්‍ය නම් මුල් නිර්මාණයට නිර්මාතෘවරයෙක් අවශ්‍ය නැද්ද?

හූණාගේ පාදයේ යටි පැත්ත කිලිටි වන්නෙත්, උගේ අඩි පාර සිටින්නෙත් නැහැ. ටෙෆ්ලෝන් ගැල් වූ මතුපිටක් හැර වෙන ඕනෑම මතු පිටක ඇලී සිටීමටත් ඉන් ගැලවීමටත් ඌට හැකියි. පර්යේෂකයන් මෙය අනුකරණය කිරීමට වෑයම් කරනවා

මුහුදු ලිහිණියෙකුගේ තට්ට අනුවයි හොඳින් හැසිරවිය හැකි මෙම ගුවන් යානය සාදා තිබෙන්නේ

පහසුවෙන් හැසිරවිය හැකි මෙම වාහනය පේත්තයා මාළුවාගේ අනුකරණයක්

[හිමිකම් විස්තර]

Airplane: Kristen Bartlett/ University of Florida; gecko foot: Breck P. Kent; box fish and car: Mercedes-Benz USA

[8වන පිටුවේ කොටුව/පින්තූරය]

සහජ නුවණක්කාරයෝ

බොහෝ සතුන් තම නිවහන සොයාගන්න ආකාරය බලන කල උන් “සහජයෙන්ම නැණවතුන්’ කිව හැකියි. (හිතෝපදේශ 30:24, 25) උදාහරණ දෙකක් බලමු.

කුහුඹු ගමනාගමන පාලනය තම ආහාර සොයාගත් පසු යළි තම නිවහන කරා උන් එන්නේ කෙසේද? සුවඳ අනුව ඉව අල්ලනවාට අමතරව පහසුවෙන්ම තම නිවහන සොයාගත හැකි වන සේ රේඛගණිතයට අනුව මාර්ගය සකස් කරගැනීමට සමහර කුහුඹුවන්ට හැකියාවක් තිබෙන බව එක්සත් රාජධානියේ පර්යේෂකයන් සොයාගත්තා. උදාහරණයකට එක් කුහුඹු වර්ගයක් (Pharaoh ants) “තම නිවහනේ සිට මාර්ගය සකස් කරද්දී අංශක 50ත් 60ත් අතර කෝණයකින් විහිදී යන අතුරු පාරවල් තනාගනියි” කියා නිව් සයන්ටිස්ට් සඟරාව පවසනවා. මෙම ක්‍රමය විශිෂ්ට වන්නේ ඇයි? යළි තම ගණාවාසය කරා ගමන් කරද්දී මාර්ගයේ එවැනි කෝණයකට පැමිණි විට අතුරු පාරකට හැරෙන්නේ නැතුව තම ගණාවාසය වෙත යෑමට සහජ හැකියාවක් ඌට ලැබී තිබෙන නිසයි. “මෙම පාරවල් ගණිතමය ක්‍රමයකට පිහිටා තිබෙන නිසා මාර්ග පද්ධතියේ බාධාවකින් තොරව ගමන් කිරීමට උන්ට හැකියි. විශේෂයෙන්ම උන් විරුද්ධ දිශාවලට ගමන් කරන විට වැරදි දිශාවට හැරී ගොස් තම ශක්තිය අපතේ යෑම අඩු කරගන්න එම ගණිත ක්‍රමය උන්ට ඉමහත් උපකාරයක් වෙනවා” කියා එම ලිපියේ තවදුරටත් පවසනවා.

කුරුල්ලන්ගේ දිශා දර්ශකයන් හුඟක් කුරුල්ලන් දුර ඈත ගමන් යද්දීත්, ඕනෑම කාලගුණයකදීත් නිශ්චිත ගමන් මඟක් ගන්න දන්නවා. ඒ කෙසේද? පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ පොළොවේ චුම්බක ක්ෂේත්‍රය සොයාගැනීමට කුරුල්ලන්ට හැකි බවයි. කෙසේවුවද, පොළොවේ “චුම්බක ක්ෂේත්‍රය ඇදී යන දිශාවන් ස්ථානයෙන් ස්ථානයට වෙනස් වන අතර සැමවිටම උතුරටම යොමු වන්නේ නැහැ” කියා සයන්ස් සඟරාව පවසනවා. වැරදි දිශාවකට සංක්‍රමණය කිරීමෙන් කුරුල්ලන්ව වළක්වන්නේ කුමකින්ද? හිරු බැස යෑමත් සමඟ කුරුල්ලාට සහජයෙන් ලැබී තිබෙන දිශා දර්ශකය සෑම දිනකම සකස් වෙන නිසා ඌට නිශ්චිත ගමන් මඟක් ඔස්සේ පියාසර කිරීමට හැකියි. දිශාව හා ඍතුව අනුව හිරු බැස යෑම වෙනස් වන නිසා මෙම කුරුල්ලන්ට “තමන් සිටින්නේ වසරේ කුමන කාලයේදීද කියා දැනගැනීමට සහජයෙන්ම උපක්‍රමයක් පිහිටා තිබෙන බවට පර්යේෂකයන් උපකල්පනය කරනවා” කියා සයන්ස් සඟරාව තවදුරටත් පවසනවා.

කුහුඹුවාට රේඛ ගණිතය තේරුම්ගන්න හැකියාව දුන්නේ කවුද? දිශා දර්ශකයක්, කාලය දැනගැනීමේ උපක්‍රමයක් සහ ඒවා මඟින් දෙන ඇඟවීම් දැනගත හැකි මොළයක් කුරුල්ලන්ට සැපයුවේ කවුද? බුද්ධියක් නැති පරිණාමයද? නැතහොත් බුද්ධිමත් නිර්මාතෘවරයෙක්ද?

[හිමිකම් විස්තර]

© E.J.H. Robinson 2004