Skip to content

පටුනට යන්න

රතු ඉන්දියානුවන්ගේ අනාගතය

රතු ඉන්දියානුවන්ගේ අනාගතය

රතු ඉන්දියානුවන්ගේ අනාගතය

බ්‍රසීලයේ පිබිදෙව්! ලේඛක විසින්

ක්ෂින්ගු නම් රක්ෂිත ප්‍රදේශය පිහිටා ඇත්තේ බ්‍රසීලයේ මාටො ග්‍රෝසෝ නම් ප්‍රාන්තයේයි. එම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 27,000ක් පමණ විශාලයි. එහි ගෝත්‍ර 14කට අයත් රතු ඉන්දියානුවන් 3,600ක් පමණ වාසය කරනවා. උඩ අහසේ සිට මෙම ප්‍රදේශය බලන විට දිස් වෙන්නේ කොළ පැහැති පලසක් අතුරා තිබෙනවා වගේයි. මෙලෙස දිස් වෙන්නේ අවට තිබෙන ගස් දැව ලබාගැනීම සඳහා කපා ගවයන්ට අවශ්‍ය තෘණ වවා තිබීම නිසයි.

වර්ෂ 1960 ගණන්වලදී බ්‍රසීල රජය විසින් ඉන්දියානුවන්ගේ පදිංචිය සඳහා ප්‍රදේශ වෙන් කරනු ලැබුවා. විශේෂයෙන්ම ඇමසන් ප්‍රදේශය ආශ්‍රිතවයි. මෙම ප්‍රදේශය බ්‍රසීලයේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් සියයට 12ක් පමණ වෙනවා. මෙලෙස ඉන්දියානුවන්ට කියා වෙනම ප්‍රදේශයක් වෙන් කර තැබීමෙන් විශාල වෙනසක් සිදු වී තිබෙනවා. රතු ඉන්දියානුවන්ගේ ගණන අවුරුදු 500කට පමණ පසු පළමුවෙනි වතාවට වැඩි වන බවක් දක්නට තිබෙනවා. එය ගණනින් 3,00,000ක් පමණ වන බව විශ්වාස කරනවා. නමුත් වර්ෂ 1500දී මොවුන් මුලින්ම පැමිණි විට සිටි මිලියන දෙකත් හයත් අතර සංඛ්‍යාව හා සසඳන විට එම ගණන ඉතා ස්වල්පයක් බවයි පෙනී යන්නේ.

පසුගිය අවුරුදු 500 තුළදී සිදු වූ දෙය ගැන එක් ලේඛකයෙක් මෙසේ පවසනවා. “සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම ජනගහනය පුදුමාකාර ලෙස අඩු වී තිබෙන බවයි.” එවැනි අසාමාන්‍ය අඩුවීමකට හේතුව කුමක්ද? මෑතකදී ඔවුන්ගේ ජනගහනයේ වර්ධනයක් තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ ඔවුන් දැන් ආරක්ෂිත තත්වයක සිටිනවා කියන එකද?

ජනපද පිහිටුවීම (1500-1960)

පෘතුගීසි ජාතිකයින් 1500දී බ්‍රසීලය අත්පත් කරගත්තා. ඉන් පළමුවෙනි අවුරුදු 30 තුළදී රතු සායම් වර්ගයක් නිපදවිය හැකි ගස් වර්ගයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වුණා. බ්‍රසීලය කියා එම රට හැඳින්වීමට හේතු වුණේ එම ගස් වර්ගයයි. මේ ගස් වර්ගයට යුරෝපයේ ලොකු ඉල්ලුමක් තිබුණා. ඔවුන් මේ ලී ලබාගැනීමට ඔවුන් සතු වටිනා ආභරණ වැනි දෑ හුවමාරු කරගත්තා.

බ්‍රසීලයේ දේශගුණය උක් වගා කිරීමට සුදුසු බව වැඩි කල් යන්න මත්තෙන් ඔවුන් තේරුම්ගත්තා. ඒත් මෙම වගාව කරගෙන යෑම සඳහා සේවකයන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වුණා. මෙම අවශ්‍යතාව පිරිමසාගැනීමට ඔවුන්ට පහසුවෙන්ම හැකි වුණේ රතු ඉන්දියානුවන් එහි පදිංචිව සිටි නිසයි.

වහල් සේවයේ ආරම්භය

රතු ඉන්දියානුවන් බෝග වගා කිරීමට පුරුදු වී සිටියේ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා පමණයි. පුරුෂයන් සාමාන්‍යයෙන් කරන්නේ දඩයම් කිරීම හා මාළු ඇල්ලීමයි. ඒ වගේම කැලෑ එළිපෙහෙළි කිරීමත් ඔවුන්ගේ කාර්යයක් වුණා. ස්ත්‍රීන් පැළ සිටුවීමේ, අස්වැන්න නෙළීමේ සහ ආහාර පිසීමේ වැඩවල නිරත වුණා. ඉන්දියානුවන් ධන සම්පත් කෙරෙහි එතරම් ආශාවක් නොදැක්වීම නිසා යුරෝපයේ සිටි උසස් සමාජයේ අය ඔවුන්ව ප්‍රශංසාවට ලක් කළා. අනිත් අතට බ්‍රසීලයේ පදිංචිව සිටි බොහෝ යුරෝපීයන් සිතුවේ ඔවුන් අලස පිරිසක් කියායි.

විශ්වාසවන්ත හා මිත්‍රශීලී ඉන්දියානුවන්ව පෘතුගීසීන් පදිංචිව සිටි ප්‍රදේශවලට යවනු ලැබුවා. එසේ යවනු ලැබුවේ පෘතුගීසීන්ට අවශ්‍ය ආරක්ෂාව දීමට හා ඔවුන්ට බැල මෙහෙවරකම් කිරීමටයි. මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ ජේසු නිකායේ හා වෙනත් ආගමික නිකායන්වල අයයි. මෙලෙස පදිංචි කිරීම ඉන්දියානුවන්ට කොතරම් හානිකර ලෙස බලපායිද කියා ඔවුන් දැන සිටියේ නැහැ. නීතිය මගින් ඉන්දියානුවන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර තිබුණත් එහි පදිංචිව සිටි පෘතුගීසීන් ඔවුන්ව වහල් සේවයේ බලෙන් යොදාගත්තා. පෘතුගීසීන් ඉන්දියානුවන්ගේ සේවය සඳහා ගෙවීමක් කළේ හෝ ඔවුන්ට අවශ්‍ය දේවල් වගා කරගැනීමට ඉඩ දුන්නේ හෝ කලාතුරකිනුයි.

පෘතුගීසි බලධාරීන් වහල් සේවය තහනම් කිරීමට දැරූ වෑයම අසාර්ථක වුණා. ඊට හේතුව එහි සිටි පදිංචිකරුවන් එම නීතිවලින් රිංගා ගොස් ඉන්දියානුවන්ව වහල් සේවයේ යොදාගැනීමට සමත් වූ නිසයි. සාමාන්‍යයෙන් ඉන්දියානුවන්ව සැලකුවේ යුද්ධයකදී පරාජය වූ සතුරන් ලෙසයි. මේ නිසා ඔවුන්ව වහල් සේවයේ යෙදවීම හෝ වහලුන් හැටියට විකිණීම වරදක් නොවෙයි කියා පෘතුගීසීන් සිතුවා. ඒ වගේම වෙනත් ගෝත්‍රිකයන් යටතේ සිටින ඉන්දියානු වහලුන්වත් මිල දී ගැනීමට ඔවුන්ට හැකි වුණා.

පෘතුගීසීන් බ්‍රසීලයේ පදිංචි වීම ඔවුන්ට වාසි දායක වුණේ උක් වගාව දියුණු කිරීමට හැකිවීම නිසයි. මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම රඳා පැවතුණේ වහලුන්ගේ ශ්‍රමය මතයි. මේ නිසා පෘතුගීසි බලධාරීන් තමන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධ වූවද වහල් සේවයට ඉඩ දුන්නේ උක් වගාවෙන් සෑහෙන ලාභයක් ඔවුන්ට ලැබෙන නිසයි.

අධිරාජ්‍යයන් අතර ගැටුම්

අධිරාජ්‍යයන් අතර ගැටුම්වලදී වැඩියෙන්ම ගොදුරු වූයේ ඉන්දියානුවනුයි. බ්‍රසීලය පෘතුගීසීන්ගෙන් අත්පත් කරගැනීමට ප්‍රංශ ජාතිකයින් හා ලන්දේසීන් වෑයම් කළා. මේ සෑම අධිරාජ්‍යයක්ම ඉන්දියානුවන්ගේ සහය ලබාගැනීමට උත්සාහ කළා. ඒත් මේ අධිරාජ්‍යයන් තැත් කරන්නේ තමන් ජීවත් වන ප්‍රදේශය යටත් කරගැනීමට බව ඉන්දියානුවන් තේරුම්ගත්තේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේම ජාතියේ වෙනත් ගෝත්‍රිකයන්ගෙන් පළිගැනීමට එය අවස්ථාවක් කරගන්නයි. මේ නිසා ඔවුන් අධිරාජ්‍යයන් අතර කෙරෙන යුද්ධවලට සහය දැක්වූවා.

උදාහරණයක් ලෙස ප්‍රංශයේ වංශවත් කෙනෙක් වන නිකෝලා ඩි විල්ගෙන්යොන් 1555 නොවැම්බර් 10වෙනි දින බ්‍රසීලයේ රියෝ ඩි ජැනීරෝහි පිහිටි ගුවානාබාරේ බොක්කට ගොඩ බැස එහි බලකොටුවක් ඉදි කළා. ඔහු මේ කාර්යය සඳහා පැමිණියේ ටැමෝයා නම් ඉන්දියානු ගෝත්‍රිකයන් සමඟයි. පෘතුගීසීන් පැමිණියේ බ්‍රසීලයේ බහීයා නම් ප්‍රාන්තයේ ටුපීනැන්බා නම් ඉන්දියානු ගෝත්‍රිකයන් සමඟයි. ඔවුන් 1560 මාර්තු මාසයේදී ප්‍රංශ ජාතිකයින් ශක්තිමත් යැයි සිතූ බලකොටුවට පහර දුන්නා. මේ අවස්ථාවේදී ප්‍රංශ ජාතිකයින් පලා ගියත් ඔවුන්ගේ සහයට පැමිණි ටැමෝයා ගෝත්‍රිකයන්ට දිරිගැන්වුවේ දිගටම පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරන්න කියායි. සටන් කිහිපයකින් පසු ටැමෝයා ගෝත්‍රිකයන් පරාජය වුණා. එක් සටනකදී ගෝත්‍රිකයන් 10,000ක් මරුමුවට පත් වූ අතර 20,000ක් වහල්භාවයට ගෙන ගියා.

භයානක වසංගතයක්

පෘතුගීසීන් සිතුවේ රතු ඉන්දියානුවන් ඉතා ශක්තිමත් සෞඛ්‍යසම්පන්න අය කියායි. ගවේෂකයන් විශ්වාස කළේ ඉන්දියානුවන් අවුරුදු සියගණනක් ජීවත් වන බවයි. නමුත් යුරෝපයෙන් හා අප්‍රිකාවෙන් පැතිරුණු වසංගතවලට මුහුණ දීමට මොවුන්ට ශක්තිය තිබුණේ නැහැ. මේ නිසා වෙනත් කිසිම හේතුවකට වඩා වැඩිදෙනෙක් මෙමගින් මිය ගියා.

රතු ඉන්දියානුවන්ගේ අඩුවීමට ප්‍රබල ලෙස වසංගත බලපෑ බව පෘතුගීසීන්ගේ වාර්තාවලින් පෙනී යනවා. වර්ෂ 1561දී පෘතුගාලය පුරා වසූරිය වැනි වසංගතයක් පැතිර ගියා. මෙමගින් විශාල විනාශයක් සිදු වුණා. බ්‍රසීලයට පහර දුන් මෙම වසංගතය ගැන 1563 මැයි 12වන දින ජේසු නිකායේ ලියනාඩෝ ඩූ වේල් මෙසේ පවසා තිබුණා. “මෙය වසූරිය හා සමාන වසංගතයක්. එය ඉතා දරුණු, පිළිකුල්සහගත රෝගයක්. එම රෝගය නිසා හටගත් තුවාලවල දුගඳ කිසිම කෙනෙකුට ඉවසා දරාගැනීමට හැකි වුණේ නැහැ. මේ හේතුව නිසාම අවශ්‍ය සාත්තුව සැපයීමට නොහැකිවීම නිසා බොහෝදෙනෙක් මිය ගියා. ශරීරයේ හටගත් ගෙඩිවලින් ඇති වූ තුවාලවලට පණුවොත් දැම්මා.මෙම පණුවන් ගණනින් මෙන්ම ප්‍රමාණයෙන් විශාල වීම නිසා එවැනි රෝගයකින් පෙළෙන කෙනෙකුව දැකීමත් බියකරුයි.”

ජාතීන් අතර සම්බන්ධකම්

ජාතීන් අතර සම්බන්ධකම් ඇතිවීමත් බොහෝ ගෝත්‍රිකයන්ගේ විනාශයට හේතු වුණා. “පෘතුගීසීන්වත් රතු ඉන්දියානුවන්වත් ජාතීන් අතර සම්බන්ධකම් ඇති කරගැනීම ගැන විරුද්ධත්වයක් පෑවේ නැහැ” කියා එක් පොතක වාර්තා වෙනවා. (Red GoldThe Conquest of the Brazilian Indians) ඉන්දියානු ජාතිකයන් සිතුවේ තම ගෝත්‍රයේ කාන්තාවන්ව විශේෂයෙන්ම තමුන්ගේ දියණියන්ව ආගන්තුකයන්ට දීම ඔවුන්ට සත්කාර පිරිනමන එක් ක්‍රමයක් බවයි. ජේසු නිකායේ සාමාජිකයන් මුල් වතාවට 1549දී බ්‍රසීලයට පැමිණි අවස්ථාවේදී ඔවුන් දුටු දෙයින් පුදුමයට පත් වුණා. “රතු ඉන්දියානු කාන්තාවන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම පාපයක් නොවන බව පූජකයන් ප්‍රසිද්ධියේම කියා සිටියා.” මේ ගැන මැන්වෙල් ඩා නුබ්‍රේගා නම් ජේසු නිකායේ සාමාජිකයෙක් අප්‍රසාදය පළ කළේ මෙසේයි. “යුරෝපයෙන් පැමිණි පදිංචිකරුවන් සියලුම ඉන්දියානු කාන්තාවන්ව තමන්ගේ අනියම් භාර්යාවන් ලෙස තබාගත්තා.” එක් පෘතුගීසි පදිංචිකරුවෙකුට ‘දරුවන්, මුනුබුරන්, මීමුනුබුරන් කොච්චර ඉන්නවාද කියනවා නම් මට ඒ ගණන කියන්නත් ලැජ්ජයි’ කියා පැවසූ බව පෘතුගීසි රජට දන්වා තිබුණා.

දාහත්වන සියවසේ මැදභාගය වන විට බ්‍රසීලයේ වෙරළබඩ තීරයේ ජීවත් වූ ඉන්දියානුවන් මරණයට පත්ව හෝ වහල්කමට හෝ ගෙන යෑමෙන් ඔවුන්ගේ ගණන අඩු වී තිබුණා. ඇමසන් ප්‍රදේශයේ ජීවත් වන ගෝත්‍රිකයන්ටත් වැඩි කල් නොගොස් අත් වුණේ ඒ දෙයමයි.

මරාන්හාඕහි බිෂොප්වරයෙක් වන මැන්වෙල් ටාෂාර පවසන පරිදි දශක කිහිපයක් ඇතුළත පෘතුගීසීන් විසින් මරාන්හාඕ හා පාරාහි සිටි රතු ඉන්දියානුවන් මිලියන දෙකක් පමණ මරා දමා තිබෙනවා. මෙම සංඛ්‍යාව වැඩි කොට කීමක් වුණත් ඇත්තටම රතු ඉන්දියානුවන් දුක්ඛිත කාලයක් මෙන්ම විනාශයක් අද්දැක්කා. ඇමසන් ප්‍රදේශයේ අභ්‍යන්තරයට වෙන්න වාසය කළ අයටත් පසු කාලයේදී අත් වුණේ ඒ දෙයමයි. ඇමසන් ප්‍රදේශයේ අභ්‍යන්තරයේ සිටි රතු ඉන්දියානුවන් හැර අනිකුත් සියලුම ඉන්දියානුවන් 18වන සියවසේ මැදභාගය වන විට අඩු වී ගොස් තිබුණා. ඇමසන් ප්‍රදේශයට පෘතුගීසීන් පැමිණි පසු සතුන් දඩයම් කිරීමට කිසිම තහනමක් තිබුණේ නැහැ.

දහනවවන සියවස අගභාගය හා විසිවන සියවස වන විට ඇමසන්හි අභ්‍යන්තර ප්‍රදේශ දියුණු කිරීමට පටන්ගත්තා. මේ කාලයේදී බොහෝ යුරෝපීය ජාතිකයින් පැමිණියා. වර්ෂ 1839දී චාර්ල්ස් ගුඩ්ඉයර් රබර් කිරි ගන ද්‍රව්‍යයක් බවට පත් කිරීමටත් ඉන් ටයර් සෑදීමටත් පටන්ගත්තා. මේ කාලයේදී මෙම වෙළඳාමේ යෙදී සිටි අය රබර් ලබාගැනීමට ඇමසන් ප්‍රදේශයට විශාල වශයෙන් පැමිණියා. මේ සමඟම ඉන්දියානුවන්ව මේ ව්‍යාපාරයේ දියුණුව සඳහා යොදාගැනීම තුළිනුත් ඔවුන්ගේ ගණන තවත් අඩු වුණා.

රතු ඉන්දියානුවන් (20වන සියවස)

වර්ෂ 1970දී බ්‍රසීල රජය විසින් සියලුම වැසියන්ට පහසුකම් ලබා දීමේ අදහසින් අභ්‍යන්තර ප්‍රදේශවල පවා මහාමාර්ග ඉදි කළා. මේවා ඉන්දියානුවන් පදිංචිව සිටි ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වුණා. මේ නිසා පිටස්තරයන්ගේ පැමිණීම වැඩි වෙනවාත් සමඟම ඉන්දියානුවන් හිරිහැරවලට පමණක් නොව මාරාන්තික වසංගතවලටද ගොදුරු වුණා.

උදාහරණයක් ලෙස පැනරාස් ගෝත්‍රිකයන්ට සිදු වූ දේ සලකා බලන්න. මෙම ගෝත්‍රිකයන් මුලදී විශාල ගණනක් සිටියත් 18 හා 19වන සියවසේදී සිදු වූ යුද්ධ නිසාත් ඔවුන්ව වහල්භාවයට ගෙන ගිය නිසාත් ඔවුන්ගේ ගණන බොහෝ සෙයින් අඩු වුණා. ඔවුන්ගෙන් ඉතිරි වූ කුඩා පිරිසක් වයඹ දිසාවට ගමන් කර මාටො ග්‍රෝසෝ ප්‍රදේශයේ පිහිටි වනාන්තරයේ අභ්‍යන්තරයේ පදිංචියට ගියා. ඒත් වැඩි කල් නොගොස් කියෙබා සැන්ටරෙම් මහාමාර්ගය මේ ප්‍රදේශය හරහා ඉදි වුණා.

යුරෝපීයන් සමඟ සබඳකම් පැවැත්වීම බොහෝදෙනෙකුගේ ජීවිතවලට තර්ජනයක් වුණා. එක් කාලයකදී ගෝත්‍රිකයන් විශාල සංඛ්‍යාවක් සිටියද 1975 වන විට සිටියේ 80දෙනෙක් වැනි සුළු සංඛ්‍යාවක් පමණයි. පැනරාස් ගෝත්‍රිකයන්ව නැවතත් ක්ෂින්ගු ප්‍රදේශයේ පදිංචි කරවනු ලැබුවා. ඔවුන් කලින් සිටි වනාන්තරයේ තිබුණු ඒ පරිසරය මෙහිදී ඔවුන්ට ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන් නැවතත් ඔවුන් කලින් සිටි ප්‍රදේශයටම පදිංචියට ගියා. වර්ෂ 1996 නොවැම්බර් 1වෙනිදා අධිකරණ අමාත්‍යවරයා විසින් වර්ග සැතපුම් 1,900ක භූමි ප්‍රමාණයක් ඔවුන්ට ස්ථිර වාසස්ථානය ලෙස වෙන් කර දුන්නා. මේ නිසා එම ගෝත්‍රිකයන් ආරක්ෂිත බව පෙනෙන්න තිබුණා.

ඔවුන්ගේ අනාගතය ආරක්ෂිතද?

ඉන්දියානු ගෝත්‍රිකයන්ට ප්‍රදේශ වෙන් කිරීමෙන් ඔවුන්ව ආරක්ෂා වෙයිද? වර්තමානයේදී ඔවුන්ට වෙනත් ජාතීන්ගෙන් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් නැහැ. කෙසේවෙතත් ඔවුන් ජීවත් වන ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් බොහෝමයක් තිබෙනවා. ඒවායේ වටිනාකම ඩොලර් ට්‍රිලියනයක් පමණ වනවා. එම සම්පත් අතරට රත්තරන්, ප්ලැටිනම්, දියමන්ති, යකඩ හා ඊයම් වැනි සම්පත් අයත් වෙනවා. මේවා තිබෙන්නේ බ්‍රසීලයේ ප්‍රාන්ත නවයක් අයත් වන ලීගාල් ඇමසෝනියා ප්‍රදේශයේයි. මෙම ප්‍රදේශයෙන් සියයට 98කම පදිංචිව සිටින්නේ ඉන්දියානුවන්. දැනටමත් මෙම ප්‍රදේශවලින් නීති විරෝධී ලෙස සම්පත් ලබාගන්නවා.

ඉතිහාසයේ තිබෙන සාක්ෂිවලට අනුව යුරෝපීයන් සමඟ ගනුදෙනු කිරීමෙන් ඉන්දියානුවන් ඉමහත් පාඩු විඳ තිබෙනවා. ඔවුන් රත්තරන්වලට කණ්ණාඩිත්, කුඩා ආභරණවලට රතු සායම් ලබාගත හැකි දැවත් හුවමාරු කරගත්තා. ඒ විතරක් නෙවෙයි වහල්කම් කිරීමෙන් බේරීම සඳහා ඔවුන්ට ඈත ප්‍රදේශවලට පලා යෑමටත් සිදු වුණා. මෙවැනි තත්වයක් නැවතත් ඉන්දියානුවන්ට අත් වෙයිද?

බොහෝ රතු ඉන්දියානුවන් ගුවන් යානා, මෝටර් බෝට්ටු, ජංගම දුරකථන වැනි නවීන තාක්ෂණයට හුරු වී තිබෙනවා. ඒත් ඔවුන් 21වන සියවසේ සිදු වන වෙනත් වෙනස්කම්වලටත් හුරු වෙයිද කියා දැනගැනීමට අපි කාලයට ඉඩ දෙමු.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

■ ක්ෂින්ගු රක්ෂිත ප්‍රදේශය

□ රතු ඉන්දියානුවන්ට වෙන් කළ ප්‍රදේශ

බ්‍රසීලය

බ්‍රසිලියා

රියෝ ඩි ජැනීරෝ

ප්‍රංශ ගයනාව

සූරිනාමය

ගයනාව

වෙනිසියුලාව

කොලොම්බියාව

ඉක්වදෝරය

පේරූ

බොලිවියාව

පැරගුවේ

උරුගුවේ

[15වන පිටුවේ පින්තූරය]

රබර් වගා කිරීම සඳහා ව්‍යාපාරිකයන් ඉන්දියානුවන්ව යොදාගත්තා

[හිමිකම් විස්තර]

© Jacques Jangoux/Peter Arnold, Inc.

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Line drawing and design: From the book Brazil and the Brazilians, 1857