Skip to content

පටුනට යන්න

තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ දත යුතු දේ

තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ දත යුතු දේ

තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ දත යුතු දේ

බ්‍රසීලයේ පිබිදෙව්! ලේඛක විසින්

සාරා දරු දෙදෙනෙක් අහිමි වූ මවක්. ඇගේ පළමු දරුවා අහිමි වූයේ ඇය ගැබ්ගෙන මාස තුනක් ඇතුළතයි. ඉන් වසරකට පසු පිළිසිඳගත් දෙවන දරුවාද මිය ගියා. දරුවන් මිය ගිය හේතුව දැනගැනීමට නොයෙකුත් වෛද්‍ය පරීක්ෂණ සිදු කළත් ඉන් පලක් වුණේ නැහැ. වසර කිහිපයකට පසු සාරා ව්‍යායාම් කළත් ආහාර පාලනය කළත් ඇගේ බර දවසින් දවස වැඩි වුණා. ඒ වගේම පාදයේ කෙණ්ඩ පෙරළීමට හා සාමාන්‍ය ශිතලක් පවා ඇයට දරාගැනීමට නොහැකි වුණා. අවසානයේදී කළ රුධිර පරීක්ෂණය මෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ කළ ස්කෑන් පරීක්ෂණයෙන් සොයාගැනුණේ ඇය හෂිමෝටෝගේ රෝගය හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථියේ අවක්‍රියාකාරිත්වය නිසා ඇති වන රෝගයෙන් පෙළෙන බවයි. ඇගේ දරුවන් දෙදෙනා ගබ්සා වීමට මෙම රෝගය හේතු වුණා විය හැකියි. *

සාරාත් අන් අය මෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. නමුත් ඇයට මුහුණ දීමට සිදු වූ දෙයින් එම ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය නිරෝගීව තබාගැනීම කොතරම් වැදගත්ද කියා ඇය තේරුම්ගත්තා.

තයිරොයිඩ් ග්‍රන්ථිය

තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ ගෙලෙහි ඉදිරිපස ස්වාසනාළය දෙපැත්තේ උගුරු දණ්ඩට පහළින්. එහි පෙනුම සමනලයෙකුගේ තටු දෙකක් හා සමාන වන අතර එහි බර අවුන්සයකට මදක් අඩුයි. එය හෝමෝන නිපදවන ග්‍රන්ථි අතරින් එකක්. මේවායින් නිකුත් කරන ස්‍රාවයන් රුධිර ධාරාවට එකතු වෙයි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝම කූපවල හැඩයෙන් යුත් සියුම් නාළ රාශියක් දැකිය හැකියි. මෙම නාළවල ඇති ගන ද්‍රාවණයේ තයිරොයිඩ් හෝමෝන අඩංගු වෙයි. මෙම හෝමෝනයේ වැඩි වශයෙන් ඇත්තේ අයඩින්. ශරීරයේ තිබෙන මුළු අයඩින් ප්‍රමාණයෙන් සියයට 80ක් තිබෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේයි. ආහාරවල අයිඩින් අඩු වූ විට තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල විය හැකියි. දරුවන්ට අයඩින් ඌන වූ විට ඔවුන් මානසිකවත් ශාරීරිකවත් වර්ධනය නොවෙයි. මෙම තත්වය හඳුන්වන්නේ ක්‍රෙටිනතාව ලෙසයි.

එහි ක්‍රියාකාරිත්වය

තයිරොයිඩ් හෝමෝන T3, RT3 සහ T4 ලෙස නම් කර තිබෙනවා. * T3 සහ RT3 ලැබෙන්නේ T4වලින් වන අතර මෙම ක්‍රියාවලිය සිදු වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිටතයි. ශරීරයට තයිරොයිඩ් හෝමෝන අවශ්‍ය වූ විට එම ග්‍රන්ථිය T4 හෝමෝනය රුධිර ධාරාවට මුදාහරියි. එවිට T4 හෝමෝනයෙන් සෑදෙන T3 සහ RT3 ශරීරයේ සෛලවලට ලැබෙයි.

තයිරොයිඩ් හෝමෝන මගින් පරිවෘත්තිය ක්‍රියාවලිය පාලනය කරයි. පරිවෘත්තිය ක්‍රියාවලිය යනු සෛල තුළ සිදු වන රසායනික ප්‍රතික්‍රියාව මගින් ශක්තිය හා අලුත් පටක නිපදවීමයි. මෙම හෝමෝනය ශරීරයට කොතරම් අවශ්‍යද? එය පටක වර්ධනයට, ඒවායේ අලුත් වැඩියාවට, හෘද ස්පන්දනයට, මාංස පේශිවල ශක්තියට හා ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට අවශ්‍ය වෙයි.

තයිරොයිඩ් හෝමෝන වෙනත් ක්‍රියා සඳහාද අවශ්‍යයි. උදාහරණයකට ශරීරයේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කිරීමට අක්මාවට අවශ්‍ය හෝමෝනය ලබා දෙන නිසා අහිතකර කොලෙස්ටරෝල් පිත සමඟ මිශ්‍ර වී ශරීරයෙන් පිට වෙයි. එමනිසා තයිරොයිඩ් හෝමෝනය අඩු වන විට අහිත කර කොලෙස්ටරෝල් වැඩි වීමටත් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් අඩු වීමටත් හේතු වෙයි.

ඒ වගේම ආහාර දිරවීමට අවශ්‍ය අම්ල ස්‍රාවය වීම වේගවත් කිරීමටත් බඩවැල් දිගහැරීමට හා හැකිලීමටත් (ක්‍රමාකුංචනය) මෙම හෝමෝනය දායක වෙයි. නමුත් තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරිත්වය නිසා නිතර නිතර මලපහ පිට වීමටත් අවක්‍රියාකාරිත්වය මලබද්ධය ඇති වීමටත් හේතු වෙයි.

තයිරොයිඩ් ග්‍රන්ථිය පාලනය වන්නේ කෙසේද?

තයිරොයිඩ් ග්‍රන්ථිය පාලනය වන්නේ මොළයේ හයිපෝතැලමසය නම් කොටසේදීයි. ශරීරයට තයිරොයිඩ් අවශ්‍ය බව හයිපෝතැලමසය දැනගත් විට එය අසලම පිහිටි පිටියුටරි ග්‍රන්ථියට සංඥාවක් නිකුත් කරයි. පිටියුටරි ග්‍රන්ථියෙන් තයිරොයිඩ් උත්තේජනය කරන හෝමෝනය (TSH) රුධිර ධාරාවට නිකුත් කරන අතර එවිට තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරි වෙයි.

රුධිරයේ තිබෙන TSH මට්ටම හා තයිරොයිඩ් හෝමෝන මැනගැනීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය සමබරව සිදු වෙනවාද කියා දැනගත හැකියි.

නිසි ලෙස ක්‍රියා නොකරන විට

තයිරොයිඩ් හෝමෝනයේ අවක්‍රියාකාරිත්වයට හේතු වන්නේ ප්‍රමාණවත් අයඩින් ආහාරවලින් නොලැබීම, ශාරීරික හා මානසික ආතතිය, ජාන විකෘතිතා, ආසාදන හා වෙනත් රෝග සඳහා ගන්නා ඖෂධයි. * තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම එම රෝගය වැලඳී ඇති බව පෙන්නුම් කරයි. මෙය ගැටිත්තක් ලෙස හෝ ගෙඩියක් ආකාරයෙන් දැකගත හැකියි. මෙය එතරම් හානියක් නැතැයි කියා සිතුවද වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. මන්ද එය පිළිකාවට මඟ පැදිය හැකි නිසයි. *

තයිරොයිඩ් ග්‍රන්ථියක් අධික්‍රියාකාරිවීම හෝ අවක්‍රියාකාරිවීම යන රෝගී තත්වය ඇති වන්නේ නොදැනුවත්වමයි. කෙනෙකුට මෙම රෝගී තත්වය අවුරුදු ගණනාවක් පුරා තිබිය හැකියි.

සුලභව දක්නට ලැබෙන රෝගී තත්ව දෙක නම් හෂිමෝටෝ රෝගය හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථියේ අවක්‍රියාකාරිත්වය හා ග්‍රේව් රෝගය හෙවත් අධික්‍රියාකාරිත්වයයි. මෙම රෝගී තත්ව දෙකේදීම සිදු වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයේ තිබෙන නිරෝගී සෛල අහිතකර සෛල ලෙස සලකා ඒවා විනාශ කිරීමයි. හෂිමෝටෝ රෝගය පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට වැලඳීමේ ප්‍රවණතාව හයගුණයකින් වැඩියි. ග්‍රේව් රෝගය ස්ත්‍රීන්ට වැලඳීමේ ප්‍රවණතාව අටගුණයකින් වැඩියි.

ශරීරයේ තයිරොක්සින් මට්ටම දැනගැනීමට කොතරම් කාලයකට වරක් එම පරීක්ෂණය කළ යුතුද යන්න පිළිබඳව විවිධ මත තිබෙනවා. නමුත් අලුත උපන් බිළිඳෙකුට එම පරීක්ෂණය කිරීම වැදගත් බව සැලකෙනවා. ( “අලුත උපන් දරුවන්ට කළ යුතු පරීක්ෂණය” යන කොටුව බලන්න.) වෛද්‍ය පරීක්ෂණයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය අවක්‍රියාකාරියි කියා පෙන්නුම් කරනවා නම් එම ග්‍රන්ථියට පහර දෙන ප්‍රතිදේහය කුමක්ද කියා දැනගැනීමට පරීක්ෂණයක් කළ යුතුයි. තයිරොයිඩ් ග්‍රන්ථිය අධික්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරනවා නම් ඒ සඳහා ග්‍රන්ථියේ ස්කෑන් පරීක්ෂණයක් කරගත යුතුයි. මෙම පරීක්ෂණය ගැබිණි මව්වරුන්ට හා කිරි දෙන මව්වරුන්ට සුදුසු නොවෙයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිත්තක් තිබෙනවා නම් පිළිකා සෛල තිබෙනවාදැයි දැනගැනීමට පටක පරීක්ෂණයක් කළ හැකියි.

ප්‍රතිකාර ක්‍රම

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරිත්වය නිසා ඇති වන හෘද ස්පන්දනය, මාංස පේශීවල ගැස්ම හා කනස්සල්ල අවම කිරීමට ඖෂධ ලබා දෙයි. සමහර අවස්ථාවලදී හෝමෝන නිපදවීම අඩාල කිරීමට තයිරොයිඩ් සෛල විනාශ කරනු ලබයි. එසේත්නැත්නම් සැත්කමක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරනු ලබයි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අවක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන අයට හා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කර තිබෙන අයට සෑම දවසකම තයිරොක්සින් හෝමෝනය (T4) ලබා දිය යුතුයි. රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන අතරතුරේදීද පරීක්ෂණයට ලක් කරයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන පිළිකා මර්දනය කිරීමට ඖෂධ, ශල්‍යකර්ම, කිරණ චිකිත්සාව හා විකිරණ කවන ලද අයඩින් චිකිත්සාව යොදාගන්නවා.

ලිපිය ආරම්භයේ සඳහන් කළ සාරා තයිරොක්සින් හෝමෝන ලබාගන්නා අතර පෝෂණ වේදියෙකුගේ උපදෙස්වලට අනුව සමබර ආහාර රටාවක් අනුගමනය කරනවා. ඇගේ සෞඛ්‍යය තත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් කුඩා වුණත් වැදගත්කමින් ඉතා ඉහළ බව සාරා වැනි බොහෝදෙනෙක් තේරුම්ගෙන තිබෙනවා. එම නිසා ඔබේ ආහාර වේලට අයඩින් එක් කරගැනීමටත් මානසික පීඩනයෙන් මිදීමටත් පියවර ගෙන නිරෝගී සෞඛ්‍යයක් භුක්ති විඳින්න.

[පාදසටහන්වල]

^ 3 ඡේ. තයිරෝයිඩ් ග්‍රන්ථියේ අවක්‍රියාකාරිත්වය නිසා ගර්භනි සමයේදී යම් යම් ගැටලු උද්ගත වූවත් බොහෝ කාන්තාවන් නිරෝගී දරුවන් බිහි කරනවා. කෙසේවෙතත් තයිරොක්සින් හෝමෝන ඌනතාවයක් තිබෙන මවක් එම හෝමෝන ලබාගත යුතුයි. ඊට හේතුව කළලයට එම හෝමෝන ලැබෙන්නේ මවගෙන් පමණක් වීමයි.

^ 9 ඡේ. T3 යනු ට්‍රයි අයඩෝතයිරොනින් සහ T4 යනු තයිරොක්සීන්. මෙහි 3 සහ 4 යන ඉලක්කම්වලින් යොමු දක්වන්නේ හෝමෝනයක තිබෙන අයඩින් අණු ප්‍රමාණයයි. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් කැල්සිටොනින් යන හෝමෝනයද නිපදවයි. මෙය රුධිරයේ කැල්සියම් ප්‍රමාණය සමබර කිරීමට දායක වෙයි.

^ 17 ඡේ. පිබිදෙව්! විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. ඔබ මෙම රෝගයෙන් පෙළෙන බවට යම් සැකයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්ව හමු වන්න.

^ 17 ඡේ. හිසට හා ගෙල ප්‍රදේශයට විකිරණ ප්‍රතිකාර ගනු ලබන අයට පිළිකාව වැලඳීමේ ප්‍රවණතාව වැඩියි. එමෙන්ම කලින් පිළිකාවක් වැලඳී තිබෙනවා නම් හෝ පවුලේ කෙනෙකුට තයිරොයිඩ් පිළිකාවක් තිබුණා නම් එය වැලඳීමේ ප්‍රවණතාව වැඩියි.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පරිවෘත්තිය ක්‍රියාවලිය හෙවත් සෛල තුළ සිදු වන රසායනික ප්‍රතික්‍රියාව මගින් ශක්තිය හා අලුත් පටක නිපදවීමට තයිරොයිඩ් හෝමෝන දායක වෙයි

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගී තත්වයක් ඇති වන්නේ නොදැනුවත්වමයි. කෙනෙකුට මෙම රෝගී තත්වය අවුරුදු ගණනාවක් පුරා තිබිය හැකියි

[28වන පිටුවේ කොටුව/පින්තූරය]

පොදු ලක්ෂණ

අධික්‍රියාකාරිත්වය: අනවශ්‍ය ලෙස කලබල වීම, හේතුවක් නොමැතිව කෙට්ටු වීම, හෘද ස්පන්දනය වේගවත් වීම, නිතර නිතර මලපහ කිරීමට අවශ්‍ය වීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, කනස්සල්ල, ඇස් පිටතට නෙරා ඒම, මාංස පේශී දුර්වල වීම, නින්ද නොයෑම හා වියළි කෙස් ඇති වීම. *

අවක්‍රියාකාරිත්වය: මානසිකව හා ශාරීරිකව අලසකමක් දැනීම, හේතුවක් නොමැතිව මහත් වීම, හිස කෙස් හැලීම, මලබද්ධය, සාමාන්‍ය ශීතල දරාගත නොහැකි වීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, ආතතිය, කටහඬ ගොරෝසු වීම, අමතක වීම හා තෙහෙට්ටුවක් දැනීම.

[පාදසටහන]

^ 36 ඡේ. මෙම රෝග ලක්ෂණ වෙනත් රෝග ඇති වීමේදීද දැකිය හැකියි. රෝගය නිශ්චිතව දැනගැනීම සඳහා වෛද්‍යවරයෙක් හමු වන්න.

[28වන පිටුවේ කොටුව]

 අලුත උපන් බිලිඳුන්ට කළ යුතු පරීක්ෂණය

රුධිර පරීක්ෂාවක් කිරීමෙන් අලුත උපන් බිලිඳාට තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධයක් තිබෙනවාද කියා දැනගත හැකියි. එම රුධිර පරීක්ෂාවෙන් යම් දෝෂයක් තිබෙන බව පෙනී ගියොත් වෛද්‍යවරයෙකුට හැකියි ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට. බිලිඳෙකුට තයිරොයිඩ් හෝමෝනයේ ඌනතාවක් තිබෙනවා නම් ශාරීරිකව හා මානසිකව වර්ධනය අඩාළ විය හැකියි. එම රෝගී තත්වය හඳුන්වන්නේ ක්‍රෙටිනතාව ලෙසයි. මෙම පරීක්ෂාව කරනු ලබන්නේ බිලිඳෙකු ඉපදී දින කිහිපයක් ඇතුළතයි.

[29වන පිටුවේ කොටුව/පින්තූරය]

ඔබ ගන්නේ සමබර ආහාර වේලක්ද?

සමබර ආහාර වේලක් ගැනීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග වළක්වා ගත හැකියි. ඔබේ ආහාර වේලට අයඩින් එක් කරගැනීම ඉතා වැදගත් වන්නේ තයිරොයිඩ් හෝමෝනය නිපදවීමට එය අවශ්‍ය නිසයි. ඉස්සෝ, කකුළුවෝ හා මුහුදු මාළු වැනි ආහාරවල අයඩින් බහුලව තිබෙනවා. එළවළුවල අයඩින් අඩංගු වන්නේ පසෙහි අයඩින් ප්‍රමාණය අනුවයි. අයඩින් ඌනතාව වළක්වාගැනීම සඳහා සමහර රටවල රජය මගින් ලුණුවලට අයඩින් එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

තයිරොක්සින් හෝමෝනය වන T4 මගින් T3 හෝමෝනය නිපදවීමට අවශ්‍ය එන්සයිමයේ සෙලීනියම් නම් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. මෙම මූලද්‍රව්‍ය එළවළුවලින්, මස් වර්ගවලින් හා කිරිවලින් ලැබෙන්නේ එක් එක් ප්‍රදේශයේ තිබෙන පස්වල ඇති අයඩින් ප්‍රමාණය අනුවයි. මුහුදු මාළු හා රතු ළුණූවල සෙලීනියම් බහුලව තිබෙනවා. ඔබට තයිරොයිඩ් ග්‍රන්ථියේ යම් ගැටලුවක් තිබෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වන්න. ඔබේ පෞද්ගලික මත අනුව ප්‍රතිකාර නොගන්න.

[28වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ස්වාසනාළය

ස්වරාලය

තයිරොයිඩ් ග්‍රන්ථිය

ස්වාසනාළය