Skip to content

පටුනට යන්න

එය සැලකිලිමත්කමින් හා නැණවත්ව භාවිත කරන්න

එය සැලකිලිමත්කමින් හා නැණවත්ව භාවිත කරන්න

එය සැලකිලිමත්කමින් හා නැණවත්ව භාවිත කරන්න

විසිගණන්වල පසුවන කැතරින් නමැති යෞවනිය තම රැකියා ස්ථානයේ පරිගණකයක් භාවිත කරන අතර නිවසේත් ඇයට පරිගණකයක් තිබෙනවා. නිවසේ සිටින සෑම අවස්ථාවකදීම වගේ ඇය කාලය ගත කරන්නේ පරිගණකය ඉදිරියේයි. අන්තර්ජාලය හරහා යම් දේවල් මිල දී ගැනීමටත් ඊ-මේල් පණිවිඩ කියවීමටත් ඇය බොහෝ කාලයක් වැය කරනවා. නමුත් ඇය තම රැකියා ස්ථානයේ සිටින වෙනත් අය තරම්ම පරිගණකය භාවිත කරන්නේ නැහැ. ඇය තාක්ෂණික උපකරණ පරිහරණය කළත් ඒ ගැන එතරම්ම සතුටු වන්නේ නැති අවස්ථාද තිබෙනවා. ඊට හේතුව ඇගේ රැකියා ස්ථානයේ අයගෙන් වැල නොකැඩී ලැබෙන කෙටි පණිවිඩයි. ඒ නිසා ඇය මෙසේ අසනවා. “ඇයි ඒ අයට බැරි මගේ ජංගම දුරකථනයට කතා කරන්න?”

තාක්ෂණික උපකරණ මගින් අපට බොහෝ පහසුකම් ලබාගත හැකි බව ඇත්තයි. ඒ වුණත් එවන් උපකරණ මගින් මිනිසුන් අතර අර්ථවත් බැඳීම් ඇති කරගත හැකි බව පැවසිය නොහැකියි. කෙසේනමුත් එවන් උපකරණ භාවිතයේදී අප සමබර වීම අවශ්‍යයි. ඒ සඳහා උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් දැන් අපි සලකා බලමු.

“අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12) ජංගම දුරකථන හා පරිගණක භාවිතයේදී අපි යේසුස්ගේ එම උපදෙස සැලකිල්ලට ගන්නවා නම් අන් අය ගැනත් අප සැලකිලිමත් වෙනවා. ඈන් නමැති කාන්තාව තමන් දුටු සිද්ධියක් මෙසේ වාර්තා කළා. “දවසක් මමයි මගේ මහත්තයයි අවන්හලකට ගියා. ඒ ළඟම තිබුණ මේසයේ පිරිමි දෙන්නෙක් කෑම ගනිමින් හිටියා. ඔවුන්ගෙන් එක් කෙනෙක් කෑම ගනිමින් දුරකථනයෙන් කතා කරකර හිටිය නිසා අනික් කෙනා කෑම කෑවේ තනියෙන්මයි. අපිට ඒ කෙනා ගැන ගොඩක් දුක හිතුණා.” ඒ පුද්ගලයා ඔබ නම් ඒ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? දුක හිතෙයිද නැත්නම් කේන්ති යයිද? ඉන් එක් දෙයක් පැහැදිලියි. අපිට ඕනෑම තැනක ඕනෑම වෙලාවක ජංගම දුරකථනය භාවිත කරන්න අයිතියක් තිබෙනවා වුණත් අපි යේසුස්ගේ උපදෙස සිතට ගන්නවා නම් එය භාවිත කරන ආකාරය ගැන වඩාත් සැලකිලිමත් වෙනවා.

‘ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.’ (එෆීස 5:15, 16) කාලය, යෙහෝවා දෙවිගෙන් ලද අනර්ඝ ත්‍යාගයක්. එමනිසා අප එය නාස්ති නොකළ යුතුයි. නවීන උපකරණ මගින් කාලය ඉතුරු කරගත හැකි බව ඇත්තයි. උදාහරණයකට නිවසේ සිටම අන්තර්ජාලය හරහා යම් දේවල් ගවේෂණය කරන්න, බැංකු කටයුතු මෙන්ම යම් දේවල් මිල දී ගැනීමටද පුළුවන්. නමුත් පාලනයකින් තොරව එය භාවිත කළොත් එය අපගේ කාලය සොරාගනියි.

කාලය සොරාගන්නා තවත් දෙයක් නම් එකවර වැඩ රාශියක් කිරීමට දරන උත්සාහයයි. උදාහරණයකට පරිගණකය භාවිත කරන අතරතුරම රූපවාහිනිය නරඹමින් දුරකථනයෙන් කතා කිරීම හෝ ඊ-මේල් පණිවිඩයක් යවමින් වෙනත් කාර්යයක නියැලීම සඳහන් කළ හැකියි. එය සිතන තරම් ප්‍රතිඵලදායක නැහැ. ඒ ඇයි?

ස්නායු පිළිබඳ හදාරණ විද්‍යාඥයෙක් වන ජෝඩන් ග්‍රාෆ්මන් වරක් මෙසේ පැවසුවා. “එකවිට වැඩ රාශියක් කිරීමෙන් සිදු වන්නේ එක වැඩක්වත් නිසි ආකාරයෙන් ඉටු කිරීමට නොහැකි වීමයි.” අපට එකවර වැඩ කිහිපයකට අවධානය දෙන්න බැහැ. ඉන් සිදු වන්නේ සමහර දේවල් අතපසු වීමයි. එමෙන්ම “යම් දෙයක් පිළිවෙලකට කරනවාට වඩා දෙගුණයක් කාලය ඊට වැය වෙයි” කියා එක් සඟරාවක වාර්තා වුණා. එමනිසා එකවර වැඩ රාශියක් පටන්ගන්න පෙර දෙවරක් සිතන්න.—එම සඟරාව Time magazine.

“සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න. මන්ද යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.” (ලූක් 12:15) අපට මොන තරම් ධන සම්පත් තිබුණත් ජීවිතයවත් සැබෑ සතුටවත් ලබා දෙන්න ඒවාට නොහැකියි. එය ලබා දිය හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. “තම ආත්මික අවශ්‍යතාව [දෙවිගේ මඟ පෙන්වීම්] ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 5:3) නමුත් අද අපට දස දෙසින් ඇසෙන්නේ මෙයයි. ‘ගන්න, ගන්න, අලුත්ම එක ගෙදර අරගෙන යන්න.’ ඉන් පෙන්වන්න උත්සාහ කරන්නේ සතුටින් පිරි ජීවිතයක් සඳහා ධන සම්පත් නැතුවම බැරි බවයි. නමුත් රැවටෙන්න එපා! ඒ වෙනුවට ඥානවන්ත වන්න. ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් දී යමක් මිල දී ගැනීමට පෙර එය ඔබට ඇත්තටම අවශ්‍යද කියාත් එය ඔබ ගන්නේ ඇයි කියාත් කල්පනා කර බලන්න. ඒ වගේම එවන් උපකරණවල වටිනාකම ඉතා වේගයෙන් පහළ බසින බවත් මතක තබාගන්න. ඔබ යම් උපකරණයක් මිල දී ගැනීමට පෙර ‘මම අලුත්ම එක ගන්න ඕනෙද’ කියා කල්පනා කරන්න. ඔබ මිල දී ගන්නා උපකරණයේ බොහෝ පහසුකම් තිබුණත් ඔබ ඉන් භාවිත කරන්නේ කිහිපයක් විය හැකියි. එහෙත් ඔබ ඒ සියලුම පහසුකම් සඳහා මුදල් ගෙවන බව අමතක නොකරන්න!

එය නැණවත් ලෙස භාවිත කරන්න

මෙම ලිපියේ මුලින් සඳහන් කළ කැතරින් ගැන නැවත සලකා බලන්න. ඇගේ පරිගණකය පසු කාලයකදී ක්‍රියා විරහිත වුණා. එය නැති පාඩුව ඇයට විශාල මානසික පීඩනයක් ගෙන දුන්නා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මුලදී නම් මට ඒක ලොකු කම්පනයක් වගේ දැනුණා. නමුත් අලුත් එකක් ගන්න එක මම ටිකක් කල් දැම්මා. මාසයක් විතර ගියාට පස්සේ මට ලොකු සැහැල්ලුවක් දැනුණා වගේම පොත් පත් කියවන්නත් වෙලාව තිබුණා. යාළුවන්ට ඊ-මේල් යවන්න, මම වැඩ වෙලාවෙන් පස්සේ වැඩපොළේ පරිගණකය පාවිච්චි කරනවා. දැන් මට ඉස්සර වගේ පීඩනයක් දැනෙන්නේ නැහැ. තවදුරටත් පරිගණකය මාව පාලනය කරන්නේ නැහැ.”

නවීන තාක්ෂණික උපකරණ නිසා ඔබේ කාලය හා ශක්තිය ඉතුරු කරගත හැකියි. එමනිසා අවශ්‍ය නම් ඒවා භාවිත කරන්න ඔබට පුළුවන්. ඒ වුණත් එසේ කිරීමේදී සැලකිලිමත්කමින් හා වගකීමෙන් යුතුව එය භාවිත කරන්න. ඒ කෙසේද? උපකරණවලට වඩා පුද්ගලයන්ට තැන දෙන්න. එමෙන්ම ඔබගේ වටිනා කාලය හා මුදල් නිකරුණේ නාස්ති කරන උපකරණ මිල දී ගැනීමෙන් වළකින්න. අන්තර්ජාලය හෝ වෙනත් මාධ්‍යයන් හරහා පිළිකුල් සහගත මෙන්ම සැහැසික දර්ශන නැරඹීමෙන් වළකින්න. සංනිවේදන උපකරණ භාවිතයට “ඇබ්බැහි” වෙන්න එපා. “ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි. දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 2:6NW) එමනිසා එහි සඳහන් උපදෙස් අදාළ කරගැනීම ඉතා ඥානවන්තයි.

[9වන පිටුවේ කොටුව]

අන් අය ගැන සැලකිලිමත් විය හැකි අයුරු

තාක්ෂණික උපකරණ භාවිතයේදී සැලකිලිමත් විය හැකි කරුණු මොනවාද? ඒ ගැන යෝජනා කිහිපයක් පහත දැක්වේ.

▪ අන් අයට බාධාවක් වන අවස්ථාවලදී ජංගම දුරකථනය භාවිතයෙන් වළකින්න. අවශ්‍ය නම් එය ක්‍රියා විරහිත කරන්න.

▪ අත්‍යවශ්‍යම කාරණයකදී හැරෙන්න කෙනෙකු සමඟ මුහුණට මුහුණ ලා ඔබ කරන කතාබහට බාධා කිරීමට ඔබේ ජංගම දුරකථනයට ඉඩ නොදෙන්න.

▪ ඔබ දුරකථනයෙන් අමතන පුද්ගලයාට සම්පූර්ණ අවධානය දෙන්න.

▪ ජංගම දුරකථනයකින් ඔබ වෙනත් කෙනෙකුගේ ඡායාරූපයක් ගැනීමේදී ඔහු හෝ ඇය අපහසුතාවට පත් වේ නම් හෝ එය එතරම් විනීත ක්‍රියාවක් නොවෙයි නම් ඉන් වළකින්න.

▪ ඔබට ලැබෙන “රසවත්” යැයි හැඟෙන සෑම ඊ-මේල් පණිවිඩයක්ම වෙනත් අයට යැවීමෙන් වළකින්න. එය ලබන කෙනා ඊට උනන්දුවක් නොදක්වනවා විය හැකියි.