Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ දෙදාහක් පමණ පිරිසක් යොදාගෙන ජර්මනියේ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ වයස අවුරුදු 14ත් 19ත් අතර සිටින යෞවනයන්ගෙන් සියයට 40ක්ම තම ප්‍රේම සබඳතා නවත්වන්නේ කෙටි පණිවිඩයක් හෝ ඊ-මේල් පණිවිඩයක් මගින් බවයි. නමුත් එය වයස අවුරුදු 50 හෝ ඊට වැඩි අයගෙන් සියයට 80ක්ම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ.—FRANKFURTER NEUE PRESSE, GERMANY.

▪ වර්ෂ 2008දී ලොව පුරා කෙටි පණිවිඩ ට්‍රිලියන 2.3ක් හුවමාරු කර තිබෙන බව ගණන් බලා තිබෙනවා.—HITU NEWS, TAHITI.

▪ “දුම්පානය හේතුවෙන් කෙනෙකුගේ ජීවිත කාලය කොතරම් කෙටි වෙනවාද? සාමාන්‍යයක් ලෙස අවුරුදු පහත් දහයත් අතර කාලයක්.”—UC BERKELEY WELLNESS LETTER, U.S.A.

▪ ඇමරිකාවේ රැකියා ස්ථානවල භාවිත කරන පරිගණකවලින් සියයට 60ක්ම නොසැලකිලිමත්කම නිසා රෑ එළිවෙන තෙක් ක්‍රියාත්මක වන බව සොයාගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම විදුලි බලාගාරවලින් කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 14.4ක් වායු ගෝලයට එක් වෙනවා.—WORLD WATCH, U.S.A.

දෙවි කෙනෙක් නැද්ද?

ලන්ඩන් නුවර බස් රථ 200කත් රට පුරා තවත් බස් රථ 600කත් දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබෙනවා. එය ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් වීථියේත් දැවැන්ත පුවරු දෙකකද දැකගත හැකියි කියා එක් පුවත්පතක පළ වුණා. එම දැන්වීම මෙයයි. “සමහරවිට දෙවි කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා භය නැතුව ජීවිතය භුක්ති විඳින්න.” එම ප්‍රචාරණ කටයුත්ත දියත් කළ අය පැවසුවේ දෙවිව විශ්වාස නොකරන අයට නිරයක දුක් විඳින්න සිදු වෙනවා යන ආගමික ඉගැන්වීමට විරෝධය පෑමක් ලෙස තමන් එය කළ බවයි. එහි තවත් අරමුණක් වුණේ දෙවිව විශ්වාස නොකරන අයට තම අදහස් විවෘතව පළ කිරීමට දිරිගැන්වීමයි. එම දැන්වීමේ “සමහරවිට” යන යෙදුම භාවිත කර තිබෙන්නේ ඔප්පු කළ නොහැකි යමක් පවසන නිසයි. එනම් දෙවි කෙනෙක් නැහැ යන අදහස එහි පළ කර ඇති නිසයි.—එම පුවත්පත The Guardian.

නිසි කලට පෙර දරු උපත් . . .

සිසේරිය සැත්කම තුළින් හෝ කෘතිම ලෙස ප්‍රසව වේදනාව ඇති කිරීම මගින් නිසි කලට පෙර දරුවන්ව බිහි කිරීම ඇමරිකාවේ එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. කෙසේනමුත් එක් සඟරාවක මෙවැනි අදහසක් පල වුණා. “දරුවා මව් කුස තුළ සිටින අවසාන සති කිහිපය අප කලින් සිතුවාටත් වඩා වැදගත්කමකින් යුක්තයි.” අලුත උපන් බිලිඳුන් 15,000ක් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකින් හෙළි වුණේ 32වන සතියේ සිට 39වන සතිය දක්වා ඇති සෑම සතියක්ම දරුවාට ඉතා වැදගත් බවයි. ඒ තුළින් අපස්මාරය, සෙංගමාලය, ශ්වසන ගැටලු හා මොළයේ අභ්‍යයන්තර ලේ ගැලීම් ඇති වීමට තිබෙන ඉඩකඩ සියයට 23කින් අඩු කරගත හැකියි. අනික් අතට සති 32 සිට සති 36 අතර කාලයේදී උපදින දරුවන්, හැසිරීමේ මෙන්ම යම් දේවල් අවබෝධ කරගැනීමේ ගැටලුවලට මුහුණ දීමේ අවධානමක පසු වෙනවා කියාද එම සඟරාවේ සඳහන් වෙනවා. ඒ නිසා ‘සෞඛ්‍යමය හේතුවක් හැරෙන්න සති 39ට පෙර’ දරුවා බිහි කිරීමට උත්සාහ නොකරන්න කියා ඇමරිකාවේ එක් සෞඛ්‍ය ආයතනයක් අවධාරණය කරනවා.—එම සඟරාව The Wall Street Journal.

සෞඛ්‍යයට හිතකර ව්‍යායාමයක්

“පඩි නැඟීම යහපත් සෞඛ්‍යයකට දායක වන” බව බ්‍රිතාන්‍යයේ සඟරාවක පළ වුණා. ශරීරයට කිසිම ව්‍යායාමයක් නොලැබෙන රැකියා කරන්නන් 69දෙනෙකුව යොදාගෙන එක් කණ්ඩායමක් සමීක්ෂණයක් කළා. රැකියා ස්ථානයේදී විදුලි සෝපානය භාවිත නොකර පඩි පෙළ පමණක් භාවිත කරන්න කියා ඔවුන් එම කණ්ඩායමට පැවසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊට සති 12කට පසුව ඔවුන්ගේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සියයට 8.6කින් ඉහළ ගියා. එමෙන්ම මාරාන්තික රෝගවලට ගොදුරු වීමේ අවදානම සියයට 15කින් අඩු වුණා. එම කණ්ඩායම තවදුරටත් පැවසුවේ එම 69දෙනාගේ “රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, බර, මේදය හා ඉණේ ප්‍රමාණය ඉතා හොඳ මට්ටමකට පැමිණි” බවයි.