දස දෙසින්
දස දෙසින්
රටවල් 26ක සිටින පුද්ගලයන් 13,000ක් සමඟ BBC මාධ්‍ය ආයතනය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වුණේ අද දිලිඳුකම විශාල ගැටලුවක් වී තිබුණත් “ලොව පුරා මිනිසුන් දූෂණය ගැන වැඩියෙන් කතාබහ කරන” බවයි.—BBC NEWS, BRITAIN.
“පසුගිය වසරවල එක්සත් ජනපදය පුරාම ජේසු බිලින්දාගේ පිළිම සොරකම් කළ නිසා පල්ලිවලින් එම පිළිම නැවත සොයාගැනීම සඳහා GPS නමැති කුඩා උපකරණ ඒවාට සවි කරනවා.”—THE WEEK, U.S.A.
“එක් උපදේශක කමිටුවක් පවසන්නේ ලේ දන් දීමේදී, අධික ලෙස තෙහෙට්ටු වීමේ රෝගය (chronic fatigue syndrome) ඇති අයගෙන් ලේ නොගන්නා ලෙසයි.”—THE WALL STREET JOURNAL, U.S.A.
විෂබීජ නසන්න අලුත්ම ක්‍රමයක්
ස්කොට්ලන්තයේ එක් විශ්වවිද්‍යාලයක් මගින් විෂබීජ විනාශ කිරීමට නව ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. පිරිසිදු කිරීමෙන්වත් සාමාන්‍ය විෂබීජ නාශකවලින්වත් ඉවත් කළ නොහැකි විෂබීජ, ආලෝකය මගින් විනාශ කළ හැකියි. එක් මහාචාර්යවරයෙක් වන ජෝන් ඇන්ඩර්සන් එය මෙසේ පැහැදිලි කරනවා. “නිශ්චිත තීව්රතාවකින් යුත් කුඩා ආලෝක කදම්භයක් යොදාගනිමින් බැක්ටීරියාවේ තිබෙන අංශු නැති කරනු ලබනවා. එමගින් බැක්ටීරියාව මිය යනවා.”
මැලේරියා මදුරුවන්ට නිවහනක්
බ්‍රසීලයේ විවිධ ප්‍රදේශවල කරන ලද අධ්‍යයනවලින් හෙළි වී තිබෙන්නේ වනාන්තර එළි කිරීම නිසා මැලේරියා රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50කින් ඉහළ ගොස් ඇති බවයි. මෙම වාර්තාව ඉදිරිපත් කළ සාරා ඕල්සන් පවසන්නේ “වනාන්තර එළි කිරීමෙන් වතුර එකතු වෙන ස්ථානවලට ප්‍රමාණවත් හිරු එළිය වැටීම නිසා එය මදුරුවන්ට හොඳ වාසස්ථානයක් වන” බවයි. මැලේරියා රෝගයට හේතු වන්නේ ඇනෝෆිලස් නමැති මදුරුවායි.
පියාඹන දැල්ලා
සමහර දැල්ලන් විශේෂ ජලයෙන් ඉහළට පියාඹන බව ඡායාරූප මගින් හෙළි වී තිබෙනවා. ජීව විද්‍යාඥයන් පවසන්නේ මෙයයි. “අඟල් අටක් තරම් කුඩා මේ දැල්ලා, ජලයෙන් ඉහළට අඩි හයකටත් වඩා පනිනවා. ඒත් සමඟම උගේ කුඩා වරල් ගසන නිසා අඩි 33ක් පමණ ඉදිරියට පියාඹා යා හැකියි.” මුලින්ම මෙම දැල්ලන් ඇති තරම් ජලය ශරීරගත කරගන්නවා. ඉන්පසු අධික පීඩනයකින් එය පිට කරන අතර එමගින් ඌට ජලයෙන් ඉහළට ඒමට අවශ්‍ය තල්ලුව ලැබෙනවා. පසුව ඉදිරියට යෑම සඳහා උගේ වරල් තටු ලෙස භාවිත කරනවා.