Skip to content

පටුනට යන්න

ඉවසීම නැත්තේ ඇයි?

ඉවසීම නැත්තේ ඇයි?

හොස්ස ළඟින් මැස්සෙක් ගියත් මිනිසුන්ට දැන් කේන්ති යනවා. ඉවසීමේ ගුණාංගය ඇත්තෙම නැති තරම්. මිනිසුන්ගේ ඉවසීමේ තරම දකින්න පුළුවන් වාහන තදබදයකදී එහෙම නැත්නම් තමන්ගේ වාරය එනතුරු පෝලිමේ බලං ඉන්න වෙලාවකදී. ඒත් අපේ ආච්චිලා සීයලාට නම් හොඳ ඉවසීමක් තිබුණා. ඇයි මේ අලුත් පරම්පරාවේ අයට ඉවසීම නැත්තේ? ඒ ගැන විද්වතුන් කියන දේ දැනගත්තොත් ඔයා පුදුම වෙයි.

සමහර විද්වතුන් කියන හැටියට මූලිකම හේතුව නවීන තාක්ෂණයයි. එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. ‘අද හැම දෙයක්ම මිනිසුන් කරන්නේ ඩිජිටල් තාක්ෂණයෙන්. නොයෙකුත් මාදිලියේ ජංගම දුරකථන, කැමරා, පරිගණක වැනි දේවල් ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි. බොත්තමක් එබූ සැණින් සියල්ල සිදු වෙයි. හැම දෙයක්ම ක්ෂණිකව කරගැනීමට හැකි නිසා ජීවිතේ අනිකුත් දේවල්ද ඉක්මණින් කරගන්න මිනිසුන් පුරුදු වෙලා.’—The Gazette of Montreal, Canada.

මනෝවෛද්‍යවරියක් වන ජෙනිෆර් හාට්ස්ටයින් තමන් නිරීක්ෂණය කළ දේ ගැන මෙසේ පවසනවා. “දැන් බිහි වෙලා තියෙන්නේ තමන්ට අවශ්‍ය දේ ක්ෂණිකව, කාර්යක්ෂමව සහ තමන්ට ඕනේ විදිහට ඉටු කරගන්න සමාජයක්. ඒ විදිහට දේවල් වෙන්නේ නැති කොට කේන්ති යනවා, කලකිරෙනවා. සන්සුන්ව දේවල් වෙනකම් බලාගෙන ඉන්න පුරුද්ද දැන් අපිට නැහැ.”

සමහරුන් කියන්නේ වැඩි කල් යන්න කලින් ඊ-මේල් යවන එකත් නතර වෙයි කියලා. මොකද ඊ-මේල් එකක් යැව්වොත් පිළිතුරක් ලැබෙන්න ටිකක් වෙලා යනවනේ. ඒවගේම ඊ-මේල් එකක් ලියන්නෙත් ලියුමක් වගේ. ආමන්ත්‍රණයකුත් අවසානයකුත් තියෙනවා. මිනිසුන් හිතන්නේ ඒ වගේ ලියන එක කාලය කා දැමීමක් කියලයි. ඒගොල්ලන්ට ඕනේ ඉක්මනින්ම පිළිතුරු ලබාගන්න පුළුවන් පණිවිඩ ක්‍රම. ඒකෙන් පෙනෙන්නේ අද මිනිසුන්ට මිත්‍රශීලීව යමෙකුට ආමන්ත්‍රණය කරන්න කාලය දීමට තරම්වත් ඉවසීමක් නැහැ කියලයි. ඒ විතරක් නෙවෙයි තමන් ලියපු දේ හරිද වැරදිද කියලා නැවත කියවලා බලන්නවත් කාලය ගන්නේ නැහැ. සමහරවිට පණිවිඩය යවන්නේ අදාළ පුද්ගලයාට නෙවෙයි වෙනත් කෙනෙකුටයි.

පොතක පතක විස්තරයක් කියවන්න තරම්වත් මිනිසුන්ට ඉවසීමක් නැහැ

ක්ෂණිකව යමක් ඉටු කරගැනීමට මිනිසුන් තුළ පෙලඹීමක් තියෙන්නේ පණිවිඩ හුවමාරුවේදී විතරක් නෙවෙයි. උදාහරණයකට අද මිනිසුන් කතා කරන්නේ කන්නේ බොන්නේ කලබලෙන්. වාහනයක් පදවන්නෙත් පමණට වඩා වේගයෙන්. මුදල් අතට ආ සැණින් අනිත් අතට වියදම් කරනවා. අඩුම තරමින් ලිෆ්ට් එක එනකම්වත්, මාර්ග සංඥා එළිය නිවෙන කල්වත්, පරිගණකය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න කල්වත් ඉවසීමක් නැහැ.

විද්වතුන් කියන විදිහට අද මිනිසුන්ගේ ඉවසීම මොන තරම් නැති වෙලාද කිව්වොත් පොතක පතක තියෙන විස්තරයක් කියවන්න තරම්වත් ඔවුන්ට ඉවසීමක් නැහැ. මොකද ඔවුන් දැන් පුරුදු වෙලා තියෙන්නේ වෙබ් පිටුවල තියෙන මූලික කරුණු කියවන්න විතරයි.

ඇයි අද මිනිසුන්ට ඉවසීම නැත්තේ? විද්වතුන්ට පැහැදිලි පිළිතුරක් දෙන්න හැකි වෙලා නැහැ. ඉවසීම නැතිකම සමහරවිට බොහෝ හානිදායක දේවල්වලට මුල පුරන්න පුළුවන්. ඊළඟ ලිපියෙන් කතා කරන්නේ එවැනි හානිදායක පැති හා ඉවසිලිවන්තව කටයුතු කරන්න මොනවද කරන්න ඕනේ කියලයි.

බොහෝදෙනෙක් දැන් පුරුදු වෙලා තියෙන්නේ වෙබ් පිටුවල තියෙන මූලික කරුණු කියවන්න විතරයි