Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

දෙවියන් මොන වගේ කෙනෙක්ද?

දෙවියන් මොන වගේ කෙනෙක්ද?

දෙවියන්ට තියෙන්නේ මොන වගේ ශරීරයක්ද?

“දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.”—යොහන් 4:24.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන්ව කාටවත් පේන්නේ නැහැ. (2 කොරින්ති 3:17) ඔහුට තියෙන්නේ අපිට දකින්න, අල්ලන්න, හිතින් මවාගන්න බැරි, මිනිසුන් හැටියට අපිට වටහාගන්න බැරි විදිහේ ශරීරයක්. ඔහුව විස්තර කරන්නේ “සදාකාලික රජ්ජුරුවන් වන කිසිදා නැති වී නොයන, නොපෙනෙන”කෙනෙකු ලෙසයි. (1 තිමෝති 1:17) ඒ වගේම ‘කිසි කෙනෙක් දෙවිව කිසිදා දැක නැහැ.’—1 යොහන් 4:12.

අපේ නිර්මාතෘ දෙවියන් කොයි කොයි වගේද කියලා අපිට මනසින් මවාගන්නවත් බෑ. “දෙවිට සමාන කළ හැකි කිසිවෙකු සිටියිද? ඔහුගේ සමානත්වයට කිසිවක් සෑදිය හැකිද” කියා යෙසායා 40:18 අහන්නේ ඒ නිසයි. අහස දෙස බැලුවම අපි තුළ ඇති වෙන්නේ මහත් විස්මයක්. ඒත් බලයෙන් අති උසස් දෙවියන් ඉදිරියේ එය කිසිත් නැති දෙයක් වගේ.—යෙසායා 40:22, 26.

දෙවියන්ව දකින්නත් ඔහු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නත් පුළුවන් බුද්ධිමත් කොටසක් ඉන්නවා. අපිට නොපෙනෙන ඔවුන් ඉන්නේ ස්වර්ගයේ. (1 රාජාවලිය 22:21; හෙබ්‍රෙව් 1:7) දේවදූතයන් කියලා හඳුන්වන මේ බලවත් අය ගැන යේසුස් කිව්වේ ‘ඔවුන් නිතරම සිටින්නේ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියේ’ කියලයි.—මතෙව් 18:10.

දෙවියන් හැම තැනම වැඩ වසනවාද?

“ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි.’”—මතෙව් 6:9.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන් හැම තැනම වැඩ වසන්නේ නෑ. ඔහු සුළඟ වගේ බලවේගයක් නෙමෙයි, ඔහු පුද්ගලයෙක්. “පියාණෙනි” කියලා යේසුස් ඔහුව හැඳින්නුවෙත් ඒ නිසයි. (මතෙව් 6:9; 18:10) ඔහු ඉන්නේ ඔහුගේ “ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ.”—1 රාජාවලිය 8:43.

යේසුස් මිය යන්න කලින් මෙහෙම කිව්වා. “මම මේ ලෝකයෙන් සමුගෙන නැවතත් පියාණන් ළඟට යනවා.” (යොහන් 16:28) යේසුස් මිය ගොස් නැවත නැඟිටුණාට පසු ‘ස්වර්ගයට ඇතුල් වී දෙවි ඉදිරියේ පෙනී සිටියා.’—හෙබ්‍රෙව් 9:24.

දෙවියන් ගැන ඇති මේ තොරතුරු අපිට වැදගත් වෙන්නේ ඇයි? දෙවියන් පුද්ගලයෙක් කියලා තේරුම් අරගෙන ඔහුව හොඳින් දැන හඳුනගෙන ඔහුට ළං වෙන්න එය අපිට උදව් වෙනවා. (යාකොබ් 4:8) දෙවියන් ගැන සත්‍යය දන්න නිසා පණ නැති රූපවලට වන්දනාමාන කිරීම වගේ දේවලින් වළකින්නත් අපිට පුළුවන්. “ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් වැළකී සිටින්න” කියා බයිබලයෙත් අපිට කියන්නේ ඒ නිසයි.—1 යොහන් 5:21.

මිනිසාව සෑදුවේ දෙවියන්ගේ මොන ගතිලක්ෂණ ඇතුවද?

“දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.”—උත්පත්ති 1:27.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව වැනි දෙවියන්ට තියෙන ගතිලක්ෂණ පෙන්වීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියන්නේ. ‘ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න. එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න.’—එෆීස 5:1, 2.

දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ තීරණ ගැනීමේ නිදහස ඇතුව. ඒ නිසා හරි වැරැද්ද මොකක්ද කියලා තීරණය කරන්න, ප්‍රේමය පෙන්වන්න අපිට පුළුවන්. (1 කොරින්ති 13:4-7) ඒ වගේම නිර්මාණශීලී වෙන්න, සුන්දරත්වය විඳගන්න වගේම අවට ලෝකයේ අසිරිය නරඹලා ඒ ගැන පුදුම වෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ හැමදේටම වඩා නිර්මාතෘ දෙවියන් ගැනත් ඔහුගේ කැමැත්ත ගැනත් ඉගෙනගෙන ඔහුගේ මඟ පෙන්වීම් පතන්න අපට ඇත්තේ සහජ ආශාවක්.—මතෙව් 5:3.

බයිබලයේ ඇති සත්‍යය තොරතුරු අපිට උදව් වෙන්නේ කොහොමද? අපි දෙවියන් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඔහුව අනුකරණය කරන විට දෙවියන් බලාපොරොත්තු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් වෙනවා. ප්‍රතිඵලයක් විදිහට මනසේ සාමය වගේම සතුටෙන් පිරි තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. (යෙසායා 48:17, 18) කලින් සඳහන් කළා වගේ සිත්ගන්නාසුළු ගතිලක්ෂණ තියෙන දෙවි කෙනෙකුට නමස්කාර කරන්න අවංක මිනිසුන් පෙලඹෙනවා. මේ අයට සදාකාල ජීවනය ලබාගන්නත් අවස්ථාව තියෙනවා.—යොහන් 6:44; 17:3