Skip to content

පටුනට යන්න

 පිළිසඳරක් | ඩේවි ලොස්

ජීව රසායන විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ජීව රසායන විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

බෙල්ජියමේ සේවය කරන වෛද්‍ය ඩේවි ලොස් රසායන විද්‍යාඥයෙක්. කාලයක් ඔහු විශ්වාස කළේ පරිණාමවාදය. ඒත් පසුව නිර්මාතෘවරයෙක්ව විශ්වාස කරන්න පටන්ගත්තා. ඔහුට ජීවයේ ආරම්භය ගැන තිබුණු අදහස වෙනස් කරගන්න හේතු වුණේ මොකක්ද කියලා අපි අහලා බැලුවා.

විද්‍යාත්මක පර්යේෂණවල නියැලෙන්න පටන්ගත්තේ කොහොමද?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා මම තෝරාගත්තේ රසායන විද්‍යාව. විශේෂයෙන්ම ප්‍රෝටීන හා නියුක්ලික් අම්ලයේ අණු ගැන ඉගෙනගනිද්දී මට ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා. විශ්වයේ තියෙන අණු අතරින් සංකීර්ණම අණු ඒවායි. සමහර අණු සූර්යාලෝකෙට දක්වන ප්‍රතිචාරය හරිම පුදුමයි.

ඔයාට දෙවියන් ගැන විශ්වාසයක් තිබුණද?

පුංචි කාලේ නං විශ්වාසයක් තිබුණා. ඒත් බෙල්ජියමේ කතෝලික විශ්වවිද්‍යාලයේදී මට ඉගැන්නුවේ හැම දෙයක්ම ඇති වුණේ පරිණාමයෙන් කියලා. ඒක ඉගැන්නුවෙත් හරිම සංකීර්ණ විදිහට. ඒවා තේරුම්ගන්න බැරි වුණත් උගන්වපු මහාචාර්යවරු ගොඩක් අද්දැකීම් තියෙන දක්ෂ විද්‍යාඥයන් නිසා මම ඒ අය කියපු හැම දෙයක්ම විශ්වාස කෙරුවා. අන්තිමේදී මට දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න අමාරු වුණා.

ජීවයේ ආරම්භය ගැන ඔයා හිතපු විදිහ වෙනස් වුණේ කොහොමද?

මාත් එක්ක ඉගෙනගත්තු යාළුවෙක් 1999දී මට හම්බ වුණා. ඒ වෙන කොට එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මම එයත් එක්ක ඒගොල්ලන්ගේ රැස්වීමකටත් ගියා. ඒ කාලයේදීම වගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ඇවිල්ලා ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ * කියන පොතකුත් දිලා ගිහිං තිබුණා.

ඒ පොත ගැන ඔයාට මොකද හිතෙන්නේ?

නියම පොතක්. ඒකේ තොරතුරු ගවේෂණය කරලා ඉදිරිපත් කරලා තිබුණ විදිහ හරිම විශිෂ්ටයි. ඒක කියෙව්වට පස්සේ ජීවයේ සැකැස්ම ගැන පරිණාමවාදයෙන් හරියටම පැහැදිලි කරලා තියෙනවද කියලා මං කල්පනා කරන්න පටන්ගත්තා.

ඔයා වැඩියෙන්ම උනන්දු වුණේ මොන ජීවියාගේ සැකැස්ම ගැනද?

ජීව රසායන විද්‍යාඥයෙක් හැටියට මං කරපු පර්යේෂණවලට සාගරයේ  වෙසෙන ඒක සෛලීය ජීවීන් වන සයනොබැක්ටීරියාගේ සැකැස්ම අධ්‍යයනය කිරීම ඇතුළත් වුණා. උන් තමන්වම පෝෂණය කරගන්නා ජීවීන් විශේෂයක්. සමහර පර්යේෂකයන් කියන්නේ මේ ජීවීන් තමයි විශ්වයේ ඇති වුණු මුල්ම ජීවීන් කියලා. මේ ක්ෂුද්‍ර ජීවියා සූර්ය ශක්තිය, ජලය හා කාබන්ඩයොක්සයිඩ් යොදාගෙන උගේ ආහාර නිපදවාගන්නවා. මේ සංකීර්ණ ක්‍රියාවලිය ගැන විද්‍යාඥයන් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන නැහැ. අනික සයනොබැක්ටීරියාවලට සූර්ය ශක්තිය උරාගැනීමට තියෙන හැකියාව හරිම පුදුමාකාරයි.

ශාක පත්‍රත් ආහාර නිෂ්පාදනයට සූර්ය ශක්තිය යොදාගන්නවනේ, මේ බැක්ටීරියාවල තියෙන විශේෂත්වය මොකක්ද?

මුහුදේ ගැඹුරට යන්න යන්න සුර්යාලෝකය ලැබෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ගැඹුරු මුහුදේ ඉන්න සයනොබැක්ටීරියා තමන්ට ලැබෙන අවම සූර්යාලෝකයේ හැම අංශු මාත්‍රයක්ම උපරිමයෙන්ම ප්‍රයෝජනයට අරගෙන උන්ගේ ආහාර නිෂ්පාදනය කරගන්නවා. මේ ජීවීන් සතු හැකියාව සූර්ය කෝෂ නිපදවන්නන් අනුකරණය කෙරුවත් සයනොබැක්ටීරියා එක්ක බලද්දී ඒවා අහලකින්වත් තියන්න බැහැ.

ඔයා ආපු නිගමනය මොකක්ද?

ඉංජිනේරුවන් ජීවීන්ගේ පුදුමාකාර සැකැස්ම අනුකරණය කරන්න වෑයම් කරනවා. එහෙමනම් ජීවීන් අහම්බෙන් ඇති වෙන්න බෑ, ඒවා දෙවියන්ගේ නිර්මාණයක් වෙන්න ඕනෙ කියලා මට හිතුණා

ඉංජිනේරුවන් ජීවීන්ගේ පුදුමාකාර සැකැස්ම අනුකරණය කරන්න වෑයම් කරනවා. එහෙමනම් ජීවීන් අහම්බෙන් ඇති වෙන්න බෑ, ඒවා දෙවියන්ගේ නිර්මාණයක් වෙන්න ඕනෙ කියලා මට හිතුණා. දෙවියන් ගැන විශ්වාසයක් ඇති වුණේ විද්‍යාව නිසාම නෙමෙයි. මං බයිබලයේ තියෙන දේවලුත් හොඳට හොයලා බැලුවා.

බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියලා ඔයාට විශ්වාසයක් ඇති වුණේ කොහොමද?

එක දෙයක් තමයි බයිබලයේ සඳහන් වෙලා තියෙන අනාවැකිවල ඉටු වීම. උදාහරණයකට යේසුස්ගේ මරණය ගැනත් දේහය තැන්පත් කරන එක ගැනත් ගොඩක් තොරතුරු යෙසායා කියන අනාගතවක්තෘවරයා කියලා තිබුණා. ඒ අනාවැකිය කිව්වේ යේසුස්ගේ මරණයට සියවස් ගණනාවකට කලින්. යෙසායා එදා ලියපු මුල් ලියවිල්ලේ පිටපතක් කුම්රාන් ප්‍රදේශයෙන් හොයාගෙන තිබුණා. ඒ පිටපත පවා ලියලා තිබුණේ යේසුස් ඉපදෙන්න අවුරුදු සියයකට විතර කලින්.

යෙසායා මේ විදිහට තමයි ඒ අනාවැකිය සඳහන් කළේ. “මිය ගිය පසු ඔහුව තැන්පත් කරනු ලැබුවේ දුෂ්ටයන් හා ධනවතුන් සමඟය.” (යෙසායා 53:9, 12) ඒකේ කියලා තියෙන විදිහටම යේසුස්ව මරණයට පත් කෙරුවේ අපරාධකරුවෙක් හැටියට වුණත් ඔහුව තැන්පත් කෙරුවේ ධනවත් පවුලකට අයිති සොහොන් ගෙයක. මේක ඉටු වෙච්ච බොහෝ අනාවැකිවලින් එකක් විතරයි. මේ වගේ අනාවැකි ඉටු වීම බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියලා විශ්වාස කරන්න මට උදව් වුණා. (2 තිමෝති 3:16) පස්සේ මමත් සාක්ෂිකරුවෙක් වුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණ එක ගැන ඔයා සතුටු වෙනවාද?

අපිට තියෙන්නේ අන්ධ විශ්වාසයක් නෙමෙයි. අපේ විශ්වාසය විද්‍යාවටත් එකඟයි

ඔව්. අපිට තියෙන්නේ අන්ධ විශ්වාසයක් නෙමෙයි. අපේ විශ්වාසය විද්‍යාවටත් එකඟයි. ඒ වගේම අපේ ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම් හැම එකක්ම ලබාගන්නේ බයිබලයෙන් විතරයි. මමත් බයිබලයේ තියෙන සැනසීම ගෙන දෙන පණිවිඩය දැන් අනිත් අයට කියනවා. ඒ වගේම එයාලට තියෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්නත් මං උදව් කරනවා.

^ par. 9 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.