Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | ෆෙඩ්‍රික් ඩිම්‍යුලන්

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාසයි

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාසයි

වසර 10කට වඩා වැඩි කාලයක් පුරා ෆෙඩ්‍රික් ඩිම්‍යුලන්, බෙල්ජියමේ ජීන්ට් විශ්වවිද්‍යාලයේ ඖෂධ පිළිබඳ පර්යේෂකවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. දෙවියන්ව විශ්වාස නොකළ ඔහු පසු කාලයේදී දෙවියන්ව විශ්වාස කරන්න පටන්ගත්තා. ඔහු දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. අපි ඔහුගේ විශ්වාසය ගැනත් ඔහුගේ රැකියාව ගැනත් අහලා බැලුවා.

පොඩි කාලේ ඔයා ආගමට ළැදි කෙනෙක්ද?

ඔව්. මගේ අම්මා කතෝලික. ඒත් ක්‍රිස්තියානි ආගම්වල අය කරපු යුද්ධ සහ එයාලා කරලා තියෙන අසාධාරණ දේවල් ගැන කියෙව්වට පස්සේ මට ආගම එපා වුණා. මං ක්‍රිස්තියානි නොවන ආගම් ගැනත් හොයලා බැලුවා. ඒවායෙත් හොඳක් දැක්කේ නැහැ. ආගම්වල සිදු වෙන ඒ දූෂිත දේවල් නිසා මට හිතුණා දෙවි කෙනෙක් නැහැ කියලා. එතකොට මට අවුරුදු 14යි. ඉස්කෝලෙදි පරිණාමවාදය ගැන ඉගෙනගත්තම ඒක ඇත්ත වෙන්න ඇති කියලා මට හිතුණා.

විද්‍යාව ගැන උනන්දුවක් ඇති වුණේ කොහොමද?

මට අවුරුදු 7ක් විතර වෙනකොට අන්වීක්ෂයක් ලැබුණා. ඒක තමයි මගේ ආසම සෙල්ලම් බඩුව. ඒකෙන් මං සමනල්ලු, කෘමීන් සහ තවත් දේවල් බලලා ඉගෙනගත්තා.

ජීවීන්ගේ ආරම්භය ගැන ඔයාට උනන්දුවක් ඇති වුණේ කොහොමද?

අවුරුදු 22දී විතර මට විද්‍යාඥවරියක් මුණ ගැහුණා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. එයා විශ්වාස කළේ දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලයි. ඒ ගැන මං පුදුම වුණා. එයාගේ විශ්වාසය තේරුමක් නැති දෙයක් කියලා ලේසියෙන්ම ඔප්පු කරන්න පුළුවන් වෙයි කියලයි මං හිතුවේ. ඒත් එයා මං අහපු හැම ප්‍රශ්නයකටම හොඳ පදනමක් තියෙන උත්තර දුන්නා. ඒ නිසා මිනිස්සු ඇයි දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ කියලා හොයලා බලන්න මට හිතුණා.

මාස කීපයකට පස්සේ මට තවත් සාක්ෂිකරුවෙක්ව මුණ ගැහුණා. එයාටත් විද්‍යාව ගැන හොඳ දැනුමක් තිබුණා. එයාගේ විශ්වාසයන් ගැන කතා කරද්දීත් මට ඕන වුණේ එයා මුළාවෙලා ඉන්නවා කියලා පෙන්නන්නයි.

ඒ දේ කරන්න පුළුවන් වුණාද?

බැරි වුණා. හැබැයි මම ජීවයේ ආරම්භය ගැන තියෙන ඉගැන්වීම් හොයන්න පටන්ගත්තා. පුදුමේ කියන්නේ කුඩාම සෛලයක් වුණත් කොච්චර සංකීර්ණද කියනවා නම් පොළොවේ තියෙන යමකින් ඒක බිහි වුණා කියලා විශ්වාස කරන්න අමාරුයි කියලා සමහර ප්‍රසිද්ධ විද්‍යාඥයන් පවා කියනවා. තවත් අය හිතන්නේ ඒක වෙනත් ග්‍රහලෝකයකින් ආවා කියලයි. ජීවීන්ගේ ආරම්භය ගැන විද්‍යාඥයන් අතර පවා තියෙන්නේ එකිනෙකට වෙනස් අදහස්.

එකඟතාවක් ඇත්තෙම නැද්ද?

අජීවී දෙයකින් ජීවය ඉබේම හටගත්තා කියලා විද්‍යාඥයන් හුඟදෙනෙක් කියනවා. හැබැයි එයාලට ඒක පැහැදිලි කරන්න බැහැ. ‘නිර්මාතෘ කෙනෙක් නැතුව ඉබේම ජීවය ඇති වුණ විදිහ එයාලට පැහැදිලි කරන්න බැරි නම් ඒක ඒ විදිහටමයි වුණේ කියලා එයාලා කියන්නේ කොහොමද’ කියලා මං කල්පනා කළා. ඒ නිසා මම ජීවයේ ආරම්භය ගැන බයිබලයේ කියලා තියෙන දේ හොයලා බැලුවා.

බයිබලය ගැන ඔයාට මොනවාද හිතුණේ?

බයිබලය ගැන ඉගෙනගන්න ඉගෙනගන්න ඒකේ තියෙන දේවල් ඇත්ත කියලා මට පැහැදිලි වුණා. උදාහරණයකට විශ්වයට ආරම්භයක් තියෙනවා කියලා විද්‍යාඥයන් හොයාගත්තේ මෑතකදී. ඒත් අවුරුදු 3,500කට කලින් ලියවුණු බයිබලයේ මුල්ම වචන පේළියේ සඳහන් වෙන්නේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියලයි. * ඒ වගේම බයිබලයේ සඳහන් වෙලා තියෙන හැම විද්‍යාත්මක තොරතුරක්ම නිවැරදියි.

බයිබලයේ සඳහන් වෙලා තියෙන හැම විද්‍යාත්මක තොරතුරක්ම නිවැරදියි

විද්‍යාව ගැන ඔයාට තියෙන දැනුම දෙවියන්ව විශ්වාස කරන්න බාධාවක් වුණාද?

නැහැ. මං දෙවියන් ගැන විශ්වාස කරන්න පටන්ගද්දීත් විශ්වවිද්‍යාලයේ අවුරුදු තුනක්ම විද්‍යාව ඉගෙනගෙන තිබුණා. මං ජීවීන් ගැන වැඩිදුර ඉගෙනගද්දී නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕන කියන එක තව තවත් පැහැදිලි වුණා.

ඒ ගැන උදාහරණයක් දෙන්න පුළුවන්ද?

ඔව්. පුළුවන්. රුධිරය මගින් ශරීරයට ඇතුල් වන ඖෂධ හා හානිකර දේවල් ක්‍රියා කරන විදිය ගැන මම අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයේදී අපේ රුධිරය හරහා හානිකර දේවල් හා බැක්ටීරියා මොළයට ඇතුල් වෙන්න නොදී පුදුමාකාර විදිහට එය ආරක්ෂා වෙනවා කියලා මං දැනගත්තා.

ඇයි ඒක පුදුමාකාර දෙයක් කියලා කියන්නේ?

අපේ ලේවලට යමක් ඇතුල් වුණොත් ඒක ශරීරයේ හැම තැනකටම ගියත් මොළේටයි සුෂුම්නාවටයි යන්නේ නැහැ කියලා මීට අවුරුදු 100කට කලින් විද්‍යාඥයන් හොයාගෙන තිබුණා. ඒක හරි පුදුම දෙයක්. මොකද රුධිර කේශනාලිකා විශාල ප්‍රමාණයක් මොළයේ සෑම සෛලයකටම රුධිරය අරගෙන යනවා. මොළයේ සෛලවලට ඔක්සිජන් හා අවශ්‍ය පෝෂණය ලැබෙන්නෙත් ඒවා පිරිසිදු වෙන්නෙත් ඒ රුධිරයෙන්. එහෙම නම් රුධිරයේ අඩංගු හැම දෙයක්ම මොළයේ සෛලවලට යන්නේ නැත්තේ ඇයි? අවුරුදු ගණනාවක් යන කල් ඒක අභිරහසක් වෙලයි තිබුණේ.

කොහොමද එහෙම දෙයක් වෙන්නේ?

රුධිර කේශනාලිකාවල බිත්ති හැදිලා තියෙන්නේ සෛලවලින්. ඒ සෛල හරහා රුධිරයේ තියෙන නොයෙකුත් දේවල් ඉන්ද්‍රියන්වලටත් ඉන්ද්‍රියන්වලින් නිකුත් වන දේවල් රුධිරයටත් හුවමාරු වෙනවා. හැබැයි මොළයට රුධිරය ගෙන යන කේශනාලිකා බිත්තිවල සෛල ඊට වඩා වෙනස්. ඒ සෛල වෙනත් කේශනාලිකා බිත්තිවල සෛලවලට වඩා එකිනෙකට තදින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ නිසා ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ්, ග්ලූකෝස් වගේ දේවල් හැර රුධිරයේ තියෙන වෙන කිසිම දෙයක් මොළයේ සෛලවලට යන්නේ නැහැ. මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක හිතාගන්නවත් බෑ. ඒ නිසා මේ දේවල් ඉබේ ඇති වෙන්න බැහැ කියලා මට හොඳටම පැහැදිලි වුණා.