Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

කුරුළු පියාපතෙන් පාඩමක්

කුරුළු පියාපතෙන් පාඩමක්

ගුවන්යානා පියාසර කරද්දී ඇති වන විශාල වායු සුළි නිසා ලොකු ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අසලින් පියාසර කරන ගුවන්යානාවලටත් ඒ වායු සුළි බලපාන්න පුළුවන්. පියාසර කරද්දී විතරක් නෙමෙයි ගුවන්පථයේදීත් එක ගුවන්යානයක් ගුවන් ගත කළාට පස්සේ ඒකෙන් ඇති වෙන වායු සුළි නැති වී යනකම් ඊළඟ යානය ගුවන් ගත කරන්නත් බැහැ.

ගුවන්යානා ඉන්ජිනේරුවන් ඒ ගැටලු මඟ හරවා ගන්න ක්‍රමයක් හොයාත්තා. ඔවුන් පිළියම හැටියට දැක්කේ උකුස්සන්, රාජාලීන් වැනි පක්ෂීන් පියාසර කරද්දී උන්ගේ පියාපත් පිහිටන විදිහ අනුකරණය කිරීමයි.

මේ ගැන සිතන්න: උකුස්සන්, රාජාලීන් වැනි කුරුල්ලන් පියාසර කරද්දී උන්ගේ තටු අග තියෙන පිහාටු උඩට නැවෙනවා. ගුවන්යානා ඉන්ජිනේරුවරුනුත් ගුවන්යානාවල තටු අග ඒ විදිහට නිර්මාණය කළා. ඒ යානාවල කාර්යක්ෂමතාව අනිත් ගුවන්යානාවලට වඩා 10%ක් හෝ ඊට වඩා වැඩියි කියලා ඔවුන් සොයාගත්තා. ඒකට හේතුව හැටියට එක පොතක සඳහන් කරලා තිබුණේ ඒ විදිහට තටු නිර්මාණය කළාම ඇති වෙන වායු සුළි ප්‍රමාණයෙන් කුඩා වෙන නිසා ගුවන්යානය පහසුවෙන්ම ඉදිරියට තල්ලු වෙනවා කියලයි.—Encyclopedia of Flight.

මේ හැඩය නිසා ගුවන්යානාවලට වැඩි දුරක් පියාසර කරන්නත් වැඩි බරක් අරගෙන යන්නත් පුළුවන්. තටුවල දිග අඩුවන නිසා පොඩි ඉඩ ප්‍රමාණයක නවතා තබන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2010දී ලෝකය පුරාම තියෙන එවැනි ගුවන්යානා නිසා ඉන්ධන ගැලුම් බිලියන 2ක් ඉතිරි වූ බවත් පරිසර දූෂණය විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන් වූ බවත් නාසා ආයතනය පවසනවා.

ඔබේ නිගමනය කුමක්ද? කුරුල්ලන්ගේ තටු අග ඉහළට එසවෙන ක්‍රමය ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් ඒක කාගේ හරි නිර්මාණයක්ද?