Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | ආන්ටෝන්යෝ ඩෙලා ගාටා

පූජකයෙක් පල්ලියෙන් අයින් වුණේ ඇයි?

පූජකයෙක් පල්ලියෙන් අයින් වුණේ ඇයි?

අවුරුදු 9ක් රෝමයේ ඉගෙනගත්තට පස්සේ ආන්ටෝන්යෝ 1969දී පූජකයෙක් වුණා. ඊටපස්සේ ඔහු ඉතාලියේ නේපල්ස් නගරය ආසන්නයේ තියෙන පූජකාරාමයක් භාරව වැඩ කළා. එහෙදී බයිබලය අධ්‍යයනය කළ ඔහු ඒ ගැන ගැඹුරින් හිතුවා. ඒ නිසා ඔහුට තේරුණා කතෝලික ආගමේ ඉගැන්වීම් බයිබලයට එකඟ නැහැ කියලා. දෙවියන් ගැන හොයලා බලන්න දරපු වෑයම ගැන ඔහු අපිත් එක්ක මෙහෙම කිව්වා.

ඔබේ ළමා කාලය ගැන අපිට ටිකක් කියන්න පුළුවන්ද?

මම ඉපදුණේ 1943, ඉතාලියේ. මට අයියලා දෙන්නෙකුයි අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. අපි හැදුණේ වැඩුණේ පුංචි ගමක. මගේ තාත්තා ගොවිතැන් කළා. වඩු වැඩත් කළා. අපි හැමෝම කතෝලික ආගමට හරි ළැදි අය.

ඔබ පූජකයෙක් වෙන්න හිතුවේ ඇයි?

ඒ කාලේ පූජා පවත්වද්දී පූජකයන් කතා කරපු විලාශයට මං වශී වුණා. පූජාව වෙලාවේ කරන චාරිත්‍ර වාරිත්‍රවලටත් මං හරි ආසයි. මටත් පූජකයෙක් වෙන්න ඕන වුණු නිසා අම්මා මාව පූජකයන් වෙන්න ඉන්න අයව පුහුණු කරන පාසැලකට දැම්මා. එතකොට මට අවුරුදු 13යි.

ඒ පුහුණුවෙදි බයිබලය ගැනත් කියලා දුන්නද?

වැඩිය කියලා දුන්නේ නැහැ. හැබැයි අවුරුදු 15දී ගුරුවරයෙක් මට සුවිශේෂ පොත් 4 තියෙන පොතක් කියවන්න දුන්නා. ඒකෙ තියෙන්නේ යේසුස් මේ පොළොවේ ඉද්දී ගත කරපු ජීවිතය ගැන. මම ඒ පොත කීප වතාවක්ම කියෙව්වා. ඊටපස්සේ අවුරුදු 18දී මං රෝමයේ පාප්වරයා යටතේ තියෙන විශ්වවිද්‍යාල කීපයකටම ගියා. එහේදී ලතින් හා ග්‍රීක භාෂා, ඉතිහාසය, දර්ශනවාදය, මනෝ විද්‍යාව, දේවධර්මය ඉගෙනගත්තා. බයිබල් පද කටපාඩම් කරලා හයියෙන් කිව්වට, ඉරිදා පූජාවෙදි ඇහුවට අපි ඇත්තටම බයිබලය ඉගෙනගත්තේ නැහැ.

ඔබ පූජකාරාමයේ ප්‍රධානියානේ. ඔබත් ඉගැන්නුවාද?

මට භාර වෙලා තිබුණේ පරිපාලන කටයුතු. හැබැයි වතිකානු කවුන්සලයෙන් දීපු නියෝගයක් නිසා මමත් ඉගැන්නුවා.

පල්ලියේ කරන දේවල් ගැන ඔබ සැක කරන්න පටන්ගත්තේ ඇයි?

ඒකට හේතු තුනක් තිබුණා. පල්ලිය දේශපාලනයට සම්බන්ධයි. පූජකයන් සහ පල්ලි එන අය කරන වැරදි වැඩ ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ. අනික සමහර ඉගැන්වීම් ගැනත් මට සැක තිබුණා. උදාහරණයකට මට මෙහෙම හිතුණා. දෙවියන් ප්‍රේමණීය කෙනෙක් නම් කවුරු හරි මැරුණාම ඒ අයව සදහටම නිරයක දාලා දඬුවම් කරයිද? කොන්තයක් පාවිච්චි කරලා එකම දේ සිය වාරයක් කියන්න කියලා දෙවියන් කියලා තියෙනවාද? *

ඉතිං ඔබ මොනවාද කළේ?

මට මඟ පෙන්වන්න කියලා මම අඬලා දෙවියන්ට යාච්ඤා කළා. ඉතාලි භාෂාවට පරිවර්තනය කරලා තිබුණු බයිබලයක් අරගෙන කියවන්න පටන්ගත්තා. දවසක් පූජාව ඉවර වෙලා මම පූජකාරාමෙට ආපු වෙලාවේ දෙන්නෙක් එහෙට ආවා. ඒ අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා කිව්වා. එදා අපි බයිබලය ගැනයි සත්‍ය ආගම හඳුනගන්න පුළුවන් කොහොමද කියන එක ගැනයි පැයකට වඩා කතා කළා.

සාක්ෂිකරුවන් ගැන ඔයාට හිතුණේ මොනවද?

ඒ අයගේ විශ්වාසය ගැනයි කතෝලික බයිබලයෙන් ඕනම කාරණයකට උත්තර පෙන්වන්න තිබුණු හැකියාව ගැනයි මං ගොඩක් පැහැදුණා. ඊටපස්සේ මාරියෝ කියලා සාක්ෂිකරුවෙක් මාව හම්බ වෙන්න දිගටම ආවා. එයාට දෙවියන් ගැන තිබුණේ පුදුම විශ්වාසයක්. එයා හරි ඉවසිලිවන්තයි. වැස්සත් පෑව්වත් මාරියෝ හැම සෙනසුරාදාම හරියට උදේ නවයට මාව හම්බ වෙන්න පූජකාරාමයට ආවා.

ඒ ගැන අනිත් පූජකයන් මොනවද කිව්වේ?

මං ඒ අයටත් අපේ සාකච්ඡාවට එන්න කියලා කිව්වා. ඒත් එයාලාට බයිබලය ගැන දැනගන්න වුවමනාවක් තිබුණේ නැහැ. හැබැයි මට නං ලොකු සතුටක් දැනුණා. මොකද හුඟ කාලයක් තිස්සේ මට තිබුණු ප්‍රශ්නයක් තමයි දෙවියන් දුෂ්ටකම්වලට ඉඩ දීලා තියෙන්නේ ඇයි කියන එක. ඒකට මට උත්තර ලැබුණා.

ඔබේ ප්‍රධානීන් ඔබ බයිබලය ඉගෙනගන්න එක නවත්වන්න හැදුවේ නැද්ද?

මං බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් ගැන කියන්න 1975දී කීප සැරයක්ම රෝමයට ගියා. ඒත් මගේ ප්‍රධානීන් මාව වෙනස් කරන්න උත්සාහ කළත් ඒ කවුරුත් බයිබලයෙන් මට කිසිම දෙයක් පෙන්නුවේ නැහැ. අන්තිමේදී 1976 ජනවාරි 9වෙනිදා මං තවදුරටත් කතෝලික සභාවේ සාමාජිකයෙක් නෙමෙයි කියලා රෝමයට ලියුමක් යැව්වා. දවස් 2කට පස්සේ මං පූජකාරාමෙන් පිට වුණා. ඊටපස්සේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියා. ඒ මගේ පළවෙනි රැස්වීම. හැබැයි එදා මං ගිහින් තිබුණේ සමුළුවකට. කථිකයන් බයිබල් පද කියද්දී හැම කෙනෙක්ම තමන්ගේ බයිබලය හරවලා බලනවා මං දැක්කා. ඒ හැම දෙයක්ම මට අලුත්ම අද්දැකීමක් වුණා.

ඔබේ තීරණය ගැන පවුලේ අය මොනවද කිව්වේ?

පවුලේ හුඟදෙනෙක් මට තදින්ම විරුද්ධ වුණා. ඒත් මගේ මල්ලි සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා කියලා මට ආරංචි වුණා. මං එයාව බලන්න ලොම්බර්ඩියාවලට ගියා. එහේ ඉන්න සහෝදරයෝ මට ඉන්න තැනකුයි රස්සාවකුයි හොයලා දුන්නා. ඒ අවුරුද්ද අන්තිමේ මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් විදිහට බව්තීස්ම වුණා.

මං දැන් දෙවියන්ට ළං වෙලා කියලා මට දැනෙනවා

ගත්ත තීරණ ගැන ඔබ දුක් වෙනවද?

කොහොමටවත් නැහැ. මං දැන් දෙවියන්ට ළං වෙලා කියලා මට දැනෙනවා. මොකද මං දෙවියන් ගැන ඉගෙනගත්තේ පල්ලිවලින්වත් දර්ශනවාදී අදහස්වලින්වත් නෙමෙයි බයිබලයෙන්මයි. ඒ නිසා දැන් මටත් පුළුවන් හොඳ විශ්වාසයකින් අනිත් අයට දෙවියන් ගැන කියලා දෙන්න.

^ 13 ඡේ. මේ වගේ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර ලබාගන්න පුළුවන්. වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.