Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

රැකියාව

රැකියාව

බයිබලය හුඟක් පැරණි පොතක් වුණත් ඒකෙ තියෙන ප්‍රතිපත්ති අදටත් ගැළපෙනවා. ඒ නිසා වැඩ කරන එක ගැන බයිබලයේ කියලා තියෙන දේවල් අද කාලෙටත් අදාළයි.

රැකියාව ගැන තියෙන්න ඕන හරි ආකල්පය මොකක්ද?

සමහර මිනිස්සු කියන්නේ මෙහෙමයි.

රස්සාවක් හොයාගන්න එක ලේසි නැති නිසා තියෙන රස්සාව රැකගන්න ඕනම දෙයක් කරන්න වෙනවා. එහෙම හිතන අය පවුලේ වගකීම් විතරක් නෙමෙයි තමන්ගේ සෞඛ්‍යය ගැන පවා සැලකිලිමත් වෙන්නේ නැතුව රස්සාවට සම්පූර්ණ කාලයම දෙනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

කඩිසරව වැඩ කරන අයව බයිබලයේ ප්‍රශංසා කරන අතර කම්මැලි අයව හෙළාදකිනවා. (හිතෝපදේශ 6:6-11; 13:4) අනිත් අතට වැඩවලට වහල් වෙන එකත් බයිබලයේ අනුමත කරන්නේ නැහැ. ඉඳලා හිටලා පොඩි විවේකයක් ගන්න එකේ තියෙන ප්‍රයෝජන ගැන බයිබලයේ මෙහෙම කියනවා. “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.” (දේශනාකාරයා 4:6) ඒ විදිහට බලද්දී වැඩ කරන එක ගැන බයිබලයේ කියන දේ හරිම සාධාරණයි. ඒ නිසා පවුලේ වගකීම් අතපසු වෙන තරමට හා සෞඛ්‍යයට හානියක් වෙන තරමට මුළු කාලය හා ශක්තිය රැකියාවට යොදවන එක නුවණට හුරු නැහැ.

“මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත.”දේශනාකාරයා 2:24.

තෝරගන්නේ මොන වගේ රැකියාවක්ද කියන එක වැදගත්ද?

සමහර මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සල්ලි හම්බ වෙනවා නම් ඕන රස්සාවක් කළාට කමක් නැහැ. එහෙම හිතන අය ලේසියෙන් මුදල් හොයන උගුල්වලට අහු වෙලා වංක ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නත් නීති විරෝධී රැකියාවල් කරන්නත් පෙලඹිලා තියෙනවා.

තව අය ආස කරන්නේ ‘පුංචි කාලේ ඉඳලම හීන මවපු රස්සාව’ කරන්නයි. එහෙමත් නැත්නම් ‘තමන්ට සතුටක් ලැබෙන රස්සාවක්’ කරන්නයි. තමන්ට අකමැති රස්සාවක් කරන්න වුණොත් ඔවුන් කිසිම තෘප්තියක් ලබන්නේ නැහැ. කරන්නන් වාලේ වැඩ කරනවා මිසක් මහන්සි වෙලා වැඩ කරන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි හොඳ රැකියා අවස්ථා හම්බ වුණත් ‘මේක නම් මට හරි යන්නේ නැහැ’ කියලා හිතනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

වංක විදිහට මුදල් හම්බ කරන එක හා අනිත් අයට හානියක් වෙන විදිහට මුදල් හම්බ කරන එක බයිබලයේ අනුමත කරන්නේ නැහැ. (ලෙවී කතාව 19:11, 13; රෝම 13:10) කෙනෙක් කරන්නේ ඒ වගේ රැකියාවක් නෙමෙයි නම් ඒකෙන් අනිත් අය ප්‍රයෝජන ලබනවා විතරක් නෙමෙයි රැකියාව කරන කෙනාටත් “නිදොස් හෘදය සාක්ෂියක්” ඇතුව ඉන්න පුළුවන් වෙනවා.—1 පේතෘස් 3:16.

රස්සාවෙන් සතුටක් ලබන එක වැරදි නැහැ. ඒත් ඔයා රස්සාවක් කරන එකේ මූලික අරමුණ වෙන්නේ තමන්ගේ හා පවුලේ අයගේ එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීමයි. ඒ නිසා තමන්ගේ සතුට ගැන හිතනවාට වඩා ඒ අරමුණ ගැන හිතන්න.

“මගේ තාත්තා හරිම කාර්යබහුල කෙනෙක්. අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා රස්සාවට අමතරව තාත්තට සභාවේ වැඩත් කරන්න තියෙනවා. තාත්තා එයාගේ වැඩ කවදාවත් අතපසු කරන්නේ නෑ. කොච්චර වැඩ තිබුණත් අක්කටයි මටයි අම්මටයි අවශ්‍ය කාලය දෙනවා. මගේ තාත්තා හැම දෙයක්ම සමබරව කරන කෙනෙක්.”අලානා.

ආර්ථික ප්‍රශ්න ඇති වෙද්දී හා බඩු මිල ඉහළ යද්දී ජීවිතය ගැටගහගන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් බයිබලයේ කියන්නේ ‘කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් ඒ දේවලින් සෑහීමට පත් වෙන්න’ කියලයි. (1 තිමෝති 6:8) ඒකෙන් අදහස් කරන්නේ අපි තාපසයන් වගේ ජීවත් වෙන්න ඕනෙ කියන එක නෙමෙයි. අපිට තියෙන වත්කම්වලට අනුව සීමාවන් දැනගෙන වැඩ කරන්න ඕනෙ කියන එකයි.—ලූක් 12:15.

අදාළ කරගන්න පුළුවන් පැති.

වැඩ කඩිසරව කරන්න. ආසාවෙන් කරන්න. සමහර වෙලාවට ඔයාට කරන්න වෙන්නේ වැඩිය පිළිගැනීමක් නැති, ඔයා වැඩිය දක්ෂ නැති වැඩක් වෙන්න පුළුවන්. ඒ වුණත් දක්ෂතා වැඩි කරගන්න මහන්සි වෙන්න. එතකොට ඔයාට රැකියාවෙන් තෘප්තියක් ලබන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කඩිසරව වැඩ කරනවා නම් යමක් ඉටු කළා කියන හැඟීමත් ඔයාට තියෙයි.

ඒ වගේම ඉඳහිට විවේකයක් ගන්නත් අමතක කරන්න එපා. හුඟක් මහන්සි වෙලා වැඩ කළාට පස්සේ විවේකයක් ගන්නවා නම් ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්. කෙනෙක් තමන්ගේ අවශ්‍යතා සපුරාගනිද්දී හොඳ හැඟීමක් ඇති වෙනවා වගේම ඒ කෙනාට අනිත් අයගේ ගෞරවයත් ලැබෙනවා.—2 තෙසලෝනික 3:12.

“‘කන්නේ බොන්නේ මොනවාද’ කියාවත් ‘අඳින්නේ මොනවාද’ කියාවත් සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න. . . . ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න.”මතෙව් 6:31, 32.