Skip to content

පටුනට යන්න

දස දෙසින්

යුරෝපය ගැන විපරමක්

යුරෝපය ගැන විපරමක්

යුරෝපීය ජාතිකයන් කාලයක් ආගමට ළැදිව හිටියත් දැන් එහෙම නැහැ. ඒ කොහොමවුණත් යුරෝපයේ සිද්ධ වෙන සමහර දේවල් දිහා බලද්දී බයිබලයේ කියලා තියෙන දේවල් කොච්චර ඇත්තද කියලා ඔයාටත් හිතෙයි.

අම්මාගේ කටහඬ

ගර්භණී කාලය සම්පූර්ණ වෙන්න කලින් ඉපදුණ දරුවන්ට අම්මාගේ කටහඬ ඇහෙන්න සැලැස්වීමෙන් දරුවාගේ සෞඛ්‍යයට යහපතක් වෙනවා කියලා ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් හොයාගත්තා. ඔවුන් ඒ හඬ ඇහෙන්න සැලැස්සුවේ නොමේරූ ළදරු ඒකකයේදී දරුවාගේ මැණික්කටුවට සවි කරපු කුඩා උපකරණයක් මාර්ගයෙන්. දරුවා කුසේ ඉද්දී අම්මාගේ කටහඬ ඇහෙනවා හා සමානව මේ උපකරණය මගින් දරුවාට අම්මාගේ හඬ ඇහෙනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “කිරි වැරූ දරුවෙකු මව් තුරුලේ සිටින්නා සේ මමද සන්සුන්ව සිටිමි.”—ගීතාවලිය 131:2.

ඔයාගේ දරුවා අනිත් අයට වඩා විශේෂයිද?

නෙදර්ලන්තයේ දරුවන් 565දෙනෙක් යොදාගෙන කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ “තමන් අනිත් අයට වඩා විශේෂයි” කියලා දෙමාපියන්ගෙන් ප්‍රශංසාව ලබපු දරුවන් සහ ඕනෑවට වඩා දෙමාපියන්ගේ සැලකිල්ල ලබපු දරුවන් උඩඟු වෙනවා කියලයි. ඒ වගේම තමන්ට ඕනම දෙයක් කරන්න අයිතිය තියෙනවා කියලත් ඒ දරුවෝ හිතනවා. ඒ ගැන එක් කර්තෘ කෙනෙක් මෙහෙම කිව්වා. “අනිත් අයට වඩා තමන් විශේෂයි කියලා දෙමාපියන් දරුවන්ට හැඟෙන්න සලස්වද්දී දරුවන් ඒක විශ්වාස කරනවා. ඒකෙන් දරුවන්ටත් සමාජයටත් වෙන්නේ අයහපතක්.”

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න කියාය. ඒ වෙනුවට . . . හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.”—රෝම 12:3.

100 සැපිරුවත් ජීවත් වෙන්න ආසයි

වයස අවුරුදු 100ක් සපුරපු අය තවත් කාලයක් ජීවත් වෙන්න ආසයි කියලා ජර්මනියේ එක් විශ්වවිද්‍යලයකින් කරපු සමීක්ෂණයකින් හෙළි වුණා. සමීක්ෂණයට සහභාගි වුණු අයගෙන් 4න් 3දෙනෙක්ම කිව්වේ මොන අසනීප තිබුණත් තවත් කාලයක් සතුටින් ජීවත් වෙන්න කැමතියි කියලයි. ජීවිතයට අරමුණක් තියෙනවා කියලා තේරුම් අරගෙන හිටපු ඔවුන් විවිධ ඉලක්ක ජය ගනිමින්, ජීවිතය ගැන ශුභවාදීව බලපු, ආගම දහමට ළැදි අයයි.

ටිකක් හිතන්න. දේශනාකාරයා 3:11 කියන විදිහට මිනිසුන්ට සදාකාලයටම ජීවත් වීමේ ආශාව තියෙනවා. ඒ නිසා ඔවුන්ට එහෙම හැඟෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ නේද?