පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
“ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න” කියා රෝම 12:19හි සඳහන් කරද්දී, ක්‍රිස්තියානීන් කෝප නොවිය යුතු බව ප්‍රේරිත පාවුල් අඟවමින් සිටියාද?
ප්‍රේරිත පාවුල් මෙහිදී කතා කරමින් සිටියේ දෙවිගේ උදහස ගැනය. එමනිසා ඉහත සඳහන් ප්‍රශ්නයට පිළිතුර නැත යන්නයි. කෙසේවෙතත්, ක්‍රිස්තියානීන් කෝප වුණත් නැතත් ප්‍රශ්නයක් නැති බව මින් අදහස් නොකෙරේ. උදහස් වීමට එරෙහිව බයිබලයෙහි පැහැදිලි උපදෙස් අන්තර්ගතය. ඉන් කිහිපයක් සලකා බලමු.
“තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.” (ගීතාවලිය 37:8) “තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය.” (මතෙව් 5:22) “මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ” යන ඒවාය. (ගලාති 5:19, 20) “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.” (එපීස 4:31) “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.” (යාකොබ් 1:19) හිතෝපදේශ පොතේද උදහස් නොවීම ගැනත්, මනුෂ්‍යයන් අතින් සිදු වන සුළු සුළු වැරදි හෝ ප්‍රමාද දෝෂයන් ගැන කෝපයට පත් නොවීම ගැනත් උපදෙස් රාශියක් ඇත.—හිතෝපදේශ 12:16; 14:17, 29; 15:1; 16:32; 17:14; 19:11, 19; 22:24; 25:28; 29:22.
රෝම 12:19හි අවට පාඨ සම්බන්ධය ගත් කල, එය ඉහත සඳහන් උපදෙස්වලට අනුකූල බව පැහැදිලිය. පාවුල් දුන් උපදෙස් මෙලෙස දැක්විය හැක. අපගේ ප්‍රේමය වංචා රහිත එකක් විය යුතුය. අපට පීඩා කරන්නන්ට අප අහිතක් නොපැතිය යුතුය. නිතරම අන්‍යයන්ගේ යහපත් ගුණාංග දෙස බැලීමට වෑයම් කළ යුතුයි. නපුරට නපුර නොකළ යුතුය. සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමට වෙර දැරිය යුතුය. ඊළඟට ඔහු උනන්දු කළේ මෙසේය. ‘ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය, මම විපාක දෙමියි යෙහෝවා කියන්නේයයි ලියා තිබේ.’—රෝම 12:9, 14, 16-19.
පළිගැනීමට මඟ පාදමින් කෝපය පැසවීමට ඉඩ නොදිය යුතු බව මින් පැහැදිලි වේ. අප කාරණය සම්පූර්ණයෙන්ම අවබෝධ කර නොගත්තා විය හැක. එමෙන්ම යුක්තිය ඉටු කිරීමේදී අප කවුරුත් අසමබරව කටයුතු කරන බවට සැකයක් නැත. කෝපය පැසවන්න ඉඩහැර පළිගැනීමට නැඹුරු වෙනවා නම්, අප වරදට හසු වනවා නිසැකය. එවිට අප දෙවිගේ සතුරු සාතන්ගේ ග්‍රහණයට ලක් වනු ඇත. මේ අනුව පාවුල් මෙලෙසද උපදෙස් දුන්නේය. “කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න. යක්ෂයාට ඉඩ නොදෙන්න.”—එපීස 4:26, 27.
පළිගැනීමේ කාර්යය දෙවිට භාර කිරීම අවශ්‍යය. මෙය ඥානවන්තම මෙන්ම හොඳම ක්‍රියාමාර්ගය වේ. රෝම 12:19දී පාවුල් ද්විතීය කථාව 32:35, 41ට යොමු දක්වයි. එම පදයෙහි “පළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය” කියා සඳහන්ව තිබේ. එමනිසා පාවුල් ගෙනහැර දැක්වීමට උත්සාහ කරන කාරණය කුමක්දැයි පැහැදිලි වේ. එනම් දෙවි පළිගන්නා විට, එසේ කරන්නේ කාරණය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙනය. තවද ප්‍රතිඵල දෙන විට, පූර්ණ යුක්තියක් ඉටු වී ඇති බවත් අපට විශ්වාස කළ හැකිය. (හෙබ්‍රෙව් 10:30 සසඳන්න.) එමනිසා ග්‍රීක් පාඨය රෝම 12:19හි සඳහන් උදහස සම්බන්ධයෙන් දෙවිට යොමු නොදැක්වුවද, නූතන පරිවර්තන කිහිපයකම “උදහස” යන අදහසට දෙවිව සම්බන්ධ කර ඇත. උදාහරණ කිහිපයක් සලකා බලමු. “පළිගැනීමට දෙවිට ඉඩ දෙන්න.” (ද කොන්ටෙම්පරරි ඉංග්ලිෂ් වර්ෂන්) “දේව උදහස ක්‍රියා කිරීමට ඉඩහරින්න.” (නව අනුවාදය) “දෙවි කැමති නම්, ඔහුගේ දඬුවමට ඉඩහරින්න.” (ද නියු ටෙස්ටමන්ට් ඉන් මොඩන් ඉංග්ලිෂ්) “දිව්‍ය විනිශ්චයට අවනත වන්න.”—ද නියු ඉංග්ලිෂ් බයිබල්.
යෙහෝවා දෙවි ගැන මෝසෙස්ට මෙම විස්තරය ලැබිණ. ‘යෙහෝවා, යෙහෝවා, ඔහු අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. ඔහු දහස් ගණනකට කරුණාව පවත්වන්නේය. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන්නේය.’ (නික්මයාම 34:6, 7, ඇල අකුරු අපගේය.) එසේ නම් සත්‍යයට සතුරුකම්පාන්නන් අතින් අප සරදමට හා පීඩාවට ලක් වෙද්දී, ඉහත විස්තරයට අනුව ක්‍රියා කරන යෙහෝවා දෙවි දෙස අපට නිසැකකමින් යුතුව බලා සිටිය හැක.