Skip to content

පටුනට යන්න

ප්‍රේමයෙන් වැඩෙන්න

ප්‍රේමයෙන් වැඩෙන්න

ප්‍රේමයෙන් වැඩෙන්න

‘නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ යෙහෝවාට නුඹ ප්‍රේම කළ යුතුය.’—මතෙව් 22:37.

1. (අ) ක්‍රිස්තියානියෙකු විසින් වර්ධනය කරගත යුතු දේවල් සමහරක් මොනවාද? (ආ) වැදගත්ම ක්‍රිස්තියානි ගුණාංගය කුමක්ද? එසේ පවසන්නේ මන්ද?

 බලපෑමෙන් යුත් දේවසේවකයෙකු වීම සඳහා ක්‍රිස්තියානියෙකු බොහෝ දේවල් වර්ධනය කරගැනීමට වෑයම් කරයි. ඒ සඳහා දැනුම, අවබෝධය හා ප්‍රඥාව යනාදියෙහි තිබෙන වැදගත්කම හිතෝපදේශ පොතේ කැපීපෙනෙන්න සලස්වා තිබේ. (හිතෝපදේශ 2:1-10) ශක්තිමත් ඇදහිල්ලක් හා නොසැලෙන බලාපොරොත්තුවක් ඇතුව සිටීමේ අවශ්‍යතාව ගැනද ප්‍රේරිත පාවුල් සාකච්ඡා කළේය. (රෝම 1:16, 17; කොලොස්සි 1: 3ආ, 5; හෙබ්‍රෙව් 10:39) විඳදරාගැනීම මෙන්ම ආත්ම දමනය තිබීමද ඉතාමත් වැදගත්ය. (ක්‍රියා 24:25; හෙබ්‍රෙව් 10:36NW) කෙසේවෙතත් කලින් සඳහන් කළ සියලුම ගුණාංග යමෙකු තුළ තිබුණත්, ප්‍රේමය නමැති වැදගත් ගුණාංගය ඔහු තුළ නොමැති නම්, ඒ සියලුම ගුණාංගවල කිසිදු වටිනාකමක් නැත.—1 කොරින්ති 13:1-3, 13.

2. යේසුස් ප්‍රේමයේ තිබෙන වැදගත්කම පෙන්වා දුන්නේ කෙසේද? එය සැලකිල්ලට ගැනීමේදී කිනම් ප්‍රශ්න මතු වේද?

2 “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත” කියා පැවසීමෙන් යේසුස් ප්‍රේමය නමැති ගුණාංගයේ තිබෙන වැදගත්කම පෙන්වා දුන්නේය. (යොහන් 13:35) සැබෑ ක්‍රිස්තියානියෙකුව හඳුනාගැනීමේ ලක්ෂණය ප්‍රේමය වන නිසා අප අපෙන්ම මෙම ප්‍රශ්න අසාගත යුතුයි. ප්‍රේමය යනු කුමක්ද? සිය ගෝලයන්ව හඳුනාගැනීමේදී වෙනත් කිසිදු ලක්ෂණයකට වඩා ප්‍රේමය නමැති ගුණාංගය වැදගත් කියා යේසුස් පැවසුවේ මන්ද? අපට ප්‍රේමය වර්ධනය කරගත හැක්කේ කෙසේද? අප ප්‍රේම කළ යුත්තේ කාටද? අපි දැන් මේ ප්‍රශ්න සලකා බලමු.

ප්‍රේමය යනු කුමක්ද?

3. ප්‍රේමය විස්තර කළ හැක්කේ කෙසේද? ප්‍රේමය විදහා පෙන්වීමේදී මනස මෙන්ම හදවත සම්බන්ධ වන්නේ කෙසේද?

3 එක් විස්තර කිරීමකට අනුව ප්‍රේමය යනු ‘පුද්ගලයන් එකිනෙකා සමඟ බැඳී සිටීම හෝ එකිනෙකා කෙරෙහි ගැඹුරු සෙනෙහසක්, ඇල්මක් හෝ ප්‍රියතාවක් ඇතුව සිටීම නිසා ඇති වන උණුසුම් හැඟීමකි.’ ඇතැම් අවස්ථාවලදී පෞද්ගලිකව විශාල කැප කිරීම් පවා සිදු කරමින් අන් අයගේ ශුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමට මිනිසුන්ව පොලඹවන්නේද ප්‍රේමයයි. බයිබලයෙහි විස්තර කර තිබෙන ආකාරයට ප්‍රේමය විදහා පෙන්වීමේදී, එයට මනස මෙන්ම හදවතද සම්බන්ධ වේ. යමෙකු ප්‍රේම කරන්නේ තමන් මෙන්ම තමන් ප්‍රේම කරන අය තුළත් දුර්වල ගුණාංග මෙන්ම සිත්ගන්නාසුලු ගුණාංගද තිබෙන බවට වූ අවබෝධය ඇතුවය. මෙයින් පැහැදිලි වන්නේ, ප්‍රේම කිරීමේදී මනස නොහොත් බුද්ධිය මගින් වැදගත් කාර්යයක් සිදු කෙරෙන බවයි. ඇතැම්විට යම් අයට ප්‍රේමය පෙන්වීමට යමෙකු තුළ ස්වභාවික නැඹුරුවාවක් නොමැති වුවත්, සියලුදෙනාටම ප්‍රේම කිරීම දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වන බව බයිබලයෙන් දැන සිටින නිසා ඔහු එම ස්වභාවික නැඹුරුවාවට යටපත් නොවේ. මෙයින් පැහැදිලි වන්නේද ප්‍රේම කිරීම හා මනස අතර සම්බන්ධයක් තිබෙන බවයි. (මතෙව් 5:44; 1 කොරින්ති 16:14) එහෙත් ප්‍රේමයේ උල්පත හදවතය. බයිබලයෙහි විස්තර කර තිබෙන පරිදි අව්‍යාජ ප්‍රේමය හුදෙක් බුද්ධිය හා බැඳි යමක් නොවේ. මෙවන් ප්‍රේමයක් සම්පූර්ණයෙන්ම අවංකය. එය ගැඹුරු හැඟීම් මුසු වූ බැඳීමකි.—1 පේතෘස් 1:22.

4. ප්‍රේමය ශක්තිමත් බැඳීමක් ඇති කරවන්නේ කෙසේද?

4 ආත්මාර්ථකාමී අයට අන් අය සමඟ අව්‍යාජ ප්‍රේමය මත ගොඩනැඟුණු සබඳතාවක් ඇති කරගැනීම දුෂ්කරය. මන්ද අන් අයට ප්‍රේම කරන කෙනෙකු තමා කැමති දේවලට වඩා අන් අය කැමති දේවලට මුල් තැන දෙන නිසාය. (පිලිප්පි 2:2-4) “ගැනීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබේ” යනුවෙන් යේසුස් පැවසූ වදන් විශේෂයෙන්ම සැබෑවක් වන්නේ ප්‍රේමය මගින් පෙලඹී දෙන විටය. (ක්‍රියා 20:35NW) ප්‍රේමය ශක්තිමත් බැඳීමක් ඇති කරවයි. (කොලොස්සි 3:14) බොහෝ අවස්ථාවලදී මිත්‍රත්වයක් ඇති කරගැනීමට හේතු වන්නේද ප්‍රේමයයි. එහෙත් ප්‍රේමය මගින් ඇති වන බැඳීම මිත්‍රත්වයකට වඩා ශක්තිමත් වේ. ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක අතර ඇති ආලවන්ත හැඟීම විස්තර කරන්නේද ප්‍රේමය කියාය. එහෙත් වර්ධනය කරගැනීම සඳහා බයිබලය අපව දිරිගන්වන ප්‍රේමය, ශාරීරික ආකර්ෂණය මගින් ඇති වන ප්‍රේමයට වඩා දිගු කල් පවතී. යුවළක් අතර අව්‍යාජ ප්‍රේමයක් පවතින විට, මහලු වියේදී ඇති වන ශාරීරික ආබාධ නිසා හෝ ඔවුන්ගෙන් කෙනෙකු තුළ ඇති දුබලතාවක් නිසා කායික සබඳතා තවදුරටත් පැවැත්විය නොහැකි වුවත්, දෙදෙනා අතර තිබෙන බැඳීම නොවෙනස්ව දිගටම පවතී.

ප්‍රේමය—තිබිය යුතුම ගුණාංගයකි

5. ප්‍රේමය ක්‍රිස්තියානියෙකු තුළ තිබිය යුතුම ගුණාංගයක් වන්නේ මන්ද?

5 ප්‍රේමය ක්‍රිස්තියානියෙකු තුළ තිබිය යුතුම ගුණාංගයක් වන්නේ මන්ද? මෙයට ප්‍රධානතම හේතුව වන්නේ, එකිනෙකාට ප්‍රේම කරන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ආඥා කර තිබීමයි. මේ සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසුවේය. “මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය. මේ දේවල් මා නුඹලාට අණකරන්නේ නුඹලා එක් එක්කෙනාට ප්‍රේමකරන පිණිසය.” (යොහන් 15:14, 17) දෙවන හේතුව වන්නේ, ප්‍රේමයේ ප්‍රතිරූපය යෙහෝවා වන නිසා ඔහුගේ නමස්කාරකයන් වශයෙන් අප ඔහුව අනුකරණය කළ යුතු වීමයි. (එපීස 5:1; 1 යොහන් 4:16) යෙහෝවා සහ යේසුස් පිළිබඳ දැනුම ලබාගැනීම සදාකාල ජීවනයට මඟ පාදන බව බයිබලයේ සඳහන් වේ. දෙවිව අනුකරණය කිරීමට අප වෑයම් කරන්නේ නැත්නම් අප දෙවිව හඳුනනවා කියා පැවසිය හැකිද? මේ ගැන ප්‍රේරිත යොහන් මෙසේ තර්කානුකූලව කරුණු ගෙනහැර දැක්වුවේය. “ප්‍රේම නොකරන්නා [දෙවිව] නාඳුනයි; මක්නිසාද [දෙවි] ප්‍රේමයය.”—1 යොහන් 4:8.

6. ප්‍රේමය අපේ ජීවිතයේ විවිධ කාරණාවලදී සමබරතාව ඇති කර දෙන්නේ කෙසේද?

6 ප්‍රේමය වැදගත් ගුණාංගයක් වීමට බලපාන තුන්වන හේතුව වන්නේ, අපේ ජීවිතයේ විවිධ පැති සමබර කරගැනීමටත්, යහපත් චේතනාවෙන් යුතුව දේවල් කිරීමටත් ප්‍රේමය අපට උපකාරවත් වන නිසාය. උදාහරණයක් හැටියට, දෙවිගේ වචනය පිළිබඳ දැනුම දිගටම ලබාගැනීම වැදගත් වන අතර, ක්‍රිස්තියානියෙකුට එම දැනුම ආහාරයක් වැනිය. මේරූභාවය කරා වර්ධනය වීමටත් දෙවිගේ කැමැත්තට එකඟව දේවල් කිරීමටත් එය ඔහුට උපකාරවත් වේ. (ගීතාවලිය 119:105; මතෙව් 4:4; 2 තිමෝති 3:15, 16) කෙසේවෙතත්, පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වේය. “දැනුම උඩඟුකම උපදවයි. නමුත් ප්‍රේමය ගොඩනංවයි.” (1 කොරින්ති 8:1NW) ඇත්තෙන්ම, නිවැරදි දැනුම ලබාගැනීමෙහි කිසිදු වරදක් නැත. ගැටලුව තිබෙන්නේ පව්කාර නැඹුරුවාවක් තිබෙන අප තුළයි. (උත්පත්ති 8:21) සමබර ලෙස කටයුතු කිරීමට සලස්වන ප්‍රේමයක් යමෙකු තුළ නැත්නම්, අන් අයට වඩා තමා යහපත් කෙනෙකු කියා සිතමින් උඩඟු වීමට එවන් පුද්ගලයෙකු තුළ තිබෙන දැනුම හේතු විය හැක. දැනුම ලබාගැනීමට ඔහු තුළ පෙලඹවීමක් ඇති කළේ ප්‍රේමය නම් එවන් දෙයක් සිදු නොවේ. මන්ද “ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත.” (1 කොරින්ති 13:4, 5) ප්‍රේමය මගින් පෙලඹී දැනුම ලබාගන්න ක්‍රිස්තියානියෙකු තමන් කොතරම් දැනුමක් ලබා සිටියත් උඩඟු නොවේ. නිහතමානි පුද්ගලයෙකු වීමට ප්‍රේමය ඔහුට උපකාර කරයි. කීර්තියට පත්වීමට තිබෙන ආශාව ඔහු තුළ තිබෙන ප්‍රේමය මගින් මැඩපවත්වයි.—ගීතාවලිය 138:6; යාකොබ් 4:6.

7, 8. වඩාත් වැදගත් දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ප්‍රේමය අපට උපකාරවත් වන්නේ කෙසේද?

7 පාවුල් පිලිප්පිවරුන්ට මෙසේ ලීවේය. “නිවැරදි දැනුම සහ විචාර බුද්ධිය සමඟ නුඹලා අතර තිබෙන ප්‍රේමය තව තවත් වැඩි වන පිණිසත් වඩා වැදගත් දේවල් මොනවාද යන්න ගැන සහතික වීමට නුඹලාට හැකි වන පිණිසත් මම නොකඩවා යාච්ඤා කරමි.” (පිලිප්පි 1:10, 11NW) වඩා වැදගත් දේවල් මොනවාද යන්න ගැන සහතික වීම සම්බන්ධයෙන් දී තිබෙන එම දිරිගැන්වීමට අනුව කටයුතු කිරීමට අපට උපකාර කරන්නේ ක්‍රිස්තියානි ප්‍රේමයයි. නිදසුනකට පාවුල් තිමෝතිට පැවසූ මේ වචන සලකා බලන්න. “යමෙක් අවේක්ෂකයෙකු ලෙස සේවය කරන්න ආශා වන්නේ නම්, ඔහු යහපත් වැඩකට ආශා වන කෙනෙකි.” (1 තිමෝති 3:1NW) පසුගිය 2000 සේවා වසර තුළ ලොව පුරා සභා ගණන 1,502කින් වැඩි විය. මේ අනුව ලොව පුරා තිබෙන මුළු සභා ගණන 91,487ක් වේ. මේ නිසා වැඩිමහල්ලන් සඳහා මහත් අවශ්‍යතාවක් තිබේ. මෙම වරප්‍රසාදය සඳහා සුදුසුකම් අත් කරගැනීමට වෑයම් කරන අයව පැසසුමට ලක් කළ යුතුය.

8 කෙසේවෙතත්, අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීම සඳහා සුදුසුකම් අත් කරගැනීමට වෑයම් කරන අයට, තම වරප්‍රසාදය කෙරෙහි සමබර ආකල්පයක් ඇතුව සිටිය හැක්කේ එම වරප්‍රසාදය තමන්ට ලැබී තිබීමේ අරමුණ මනසේ තබාගැනීමෙනි. වැදගත් දෙය වන්නේ හුදෙක් බලතල දැරීම හෝ අන් අය ඉදිරියෙහි කැපීපෙනීම නොවේ. යෙහෝවාව සතුටු කිරීමට වෑයම් කරන වැඩිමහල්ලන්ව පොලඹවනු ලබන්නේ යෙහෝවා කෙරෙහිත් තමන්ගේ සහෝදරයන් කෙරෙහිත් තිබෙන ප්‍රේමයයි. කැපීපෙනීමට හෝ අන් අය කෙරෙහි බලය පෑමට ඔවුහු තැත් නොකරති. තම වගකීම කෙරෙහි යහපත් ආකල්පයක් ඇතුව සිටීම සම්බන්ධයෙන් සභා වැඩිමහල්ලන්ට උපදෙස් දීමෙන් පසු, ප්‍රේරිත පාවුල් ‘යටහත් මනසක් ඇතුව සිටීමේ [NW]’ අවශ්‍යතාව අවධාරණය කළේය. එමෙන්ම‘දෙවිගේ බලවත් හස්තයට යටත් වන්න’ කියා ඔහු සභාවල සිටින සියලුදෙනාටම උපදෙස් දුන්නේය. (1 පේතෘස් 5:1-6) වෙහෙස මහන්සි වී වැඩ කරන නිහතමානි වැඩිමහල්ලන් බොහෝදෙනෙකු ලොව පුරා සභාවල සේවය කරන අතර, ඔවුන් සභාවලට මහත් ආශීර්වාදයකි. වැඩිමහල්ලන් ලෙස සේවය කිරීම සඳහා සුදුසුකම් අත් කරගැනීමට වෑයම් කරන අයට එම වැඩිමහල්ලන්ගේ ආදර්ශය සැලකිල්ලට ගැනීමෙන් ප්‍රයෝජන ලබාගත හැක.—හෙබ්‍රෙව් 13:7.

යහපත් චේතනාව විඳදරාගැනීමට අපට උපකාර කරයි

9. ක්‍රිස්තියානීන් යෙහෝවා පොරොන්දු වී තිබෙන ආශීර්වාද සිහිපත් කරන්නේ මන්ද?

9 ප්‍රේමය නමැති යහපත් චේතනාව ඇතුව සිටීමේ වැදගත්කම තවත් ආකාරයකින් දැකගත හැක. ප්‍රේමය මගින් පෙලඹී දේවභක්තික ජීවිතයක් ගත කරන අය මේ කාලයේදී මහඟු ආශීර්වාද භුක්ති විඳිනවා පමණක් නොව, අනාගතයේදීද සිතාගත නොහැකි මවිතකර ආශීර්වාද භුක්ති විඳින බව බයිබලයේ පොරොන්දු වී තිබේ. (1 තිමෝති 4:8) මෙම පොරොන්දු කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතුව සිටිමින්, යෙහෝවා ඔහුව “සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බව” ඒත්තුගෙන සිටින ක්‍රිස්තියානියෙකුට ඇදහිල්ලේ ස්ථිරව සිටිය හැක. (හෙබ්‍රෙව් 11:6) අපගෙන් බොහෝදෙනෙක් දෙවිගේ පොරොන්දු ඉටු වන කාලය දෙස මහත් ආශාවෙන් බලා සිටිති. “ආමෙන්! ස්වාමි වූ යේසුස් එන්න” යනුවෙන් ප්‍රේරිත යොහන් හැඟීමෙන් යුතුව පැවසූ වදන් ඔවුන්ද පවසයි. (එළිදරව් 22:20NW) “තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය” ගැන සිතීමෙන් යේසුස්ට විඳදරාගැනීමට හැකි වූවාක් මෙන්, ඇදහිලිවන්තව සිටීමේ ප්‍රතිඵලයක් හැටියට අනාගතයේදී අප භුක්ති විඳින ආශීර්වාද ගැන සිතීමෙන් විඳදරාගැනීම සඳහා අපට අවශ්‍ය ශක්තිය ලැබේ.—හෙබ්‍රෙව් 12:1, 2.

10, 11. යෙහෝවා කෙරෙහි තිබෙන ප්‍රේමය විඳදරාගැනීමට අපව පොලඹවන්නේ කෙසේද?

10 යෙහෝවාට සේවය කිරීමේ අපේ මූලික චේතනාව වන්නේ නව ලොවේ ජීවත් වීමට තිබෙන ආශාව නම්, ඒ ගැන කුමක් කිව හැකිද? අප තුළ එවන් චේතනාවක් තිබුණොත්, දුෂ්කර කාලවල් පැමිණෙන විට හෝ අප බලාපොරොත්තු වන ආකාරයට හෝ කාලයට දේවල් සිදු නොවන විට, අප පහසුවෙන්ම නොඉවසිලිමත්ව කටයුතු කිරීමට ඉඩ තිබේ. එමෙන්ම අප කලකිරීමටද පත් විය හැකියි. මෙවන් තත්වයක අප සිටින විට ටිකෙන් ටික සත්‍යයයෙන් ඉවත් වීමේ භයානක අනතුරටද අප ලක් විය හැකියි. (හෙබ්‍රෙව් 2:1; 3:12) කලක් තමා සමඟ ඇසුරු කර, පසුව තමාව අත්හැරිය දේමස් ගැන පාවුල් කතා කළේය. දේමස් පාවුල්ව ඇසුරු කිරීම අත්හැරියේ මන්ද? හේතුව, ඔහු ‘මේ ලෝකයට ආලය වීමයි.’ (2 තිමෝති 4:10) ආත්මාර්ථකාමී චේතනා ඇතුව සේවය කරන අය සිටින්නේද, දේමස් මෙන් ලෝකයට ආලය වීමේ අනතුරේය. එවැනි අය මේ ලෝකයේ තිබෙන ඉක්මනින් වාසි ප්‍රයෝජන ගෙන දෙන අවස්ථා උදා වන විට ඒවාට ඇදී යති. අනාගත ආශීර්වාද අමතක කර දැමීම නිසා වර්තමානයේදී යම් කැප කිරීම් කිරීමටද ඔවුහු අකමැති වෙති.

11 අනාගත ආශීර්වාද භුක්ති විඳීම සඳහා මහත් ආශාවක් ඇතුව සිටීම හෝ දැන් මුහුණ දෙමින් සිටින පීඩාවලට සහනයක් බලාපොරොත්තු වීම සුදුසු දෙයක් මෙන්ම සාමාන්‍ය දෙයක් වුවත්, ජීවිතයේ වැදගත්ම දෙය සඳහා අගයක් අප තුළ ඇති කරන්නේ ප්‍රේමයයි. වැදගත්ම දෙය වන්නේ යෙහෝවාගේ කැමැත්ත මිස අපේ කැමැත්ත නොවේ. (ලූක් 22:41, 42) ප්‍රේමය අපව ගොඩනංවයි. යෙහෝවා අපට සපයන ආශීර්වාද කුමක් වුවත් ඒවායින් සෑහීමට පත් වෙමින්, ඔහු පොරොන්දු කර තිබෙන සෑම දෙයක්ම හා ඊට අමතරව තවත් දේවල් ඔහුගේ නියමිත කාලයේදී අපට භුක්ති විඳීමට හැකි වන බව නිසැකයි. එම නිසැකකම ඇතුව ඉවසිලිවන්තව යෙහෝවා දේවල් සිදු කරන තෙක් බලා සිටීමට අපට උපකාර කරන්නේ ප්‍රේමයයි. (ගීතාවලිය 145:16; 2 කොරින්ති 12:8, 9) ‘ප්‍රේමය තමාගේම කාරණා [ශුභ සිද්ධිය, NW] සොයන්නේ නැති’ නිසා යෙහෝවාගේ පොරොන්දුවල ඉටුවීම අද්දකින කාලය දක්වා පරාර්ථකාමී චේතනාවෙන් යුතුව දිගටම සේවය කිරීමට එය අපට උපකාර කරයි.—1 කොරින්ති 13:4, 5.

ක්‍රිස්තියානීන් ප්‍රේමය පෙන්විය යුත්තේ කාටද?

12. යේසුස් පැවසූ පරිදි, අප ප්‍රේම කළ යුත්තේ කාටද?

12 යේසුස් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් මතු දැක්වෙන ප්‍රකාශ දෙක උපුටා දැක්වූ අවස්ථාවේදී, අප ප්‍රේම කළ යුත්තේ කාටද යන්න ගැන තීරණය කිරීමේදී බලපාන මූලික ප්‍රතිපත්තියක් පෙන්වා දුන්නේය. ‘නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ යෙහෝවාට නුඹ ප්‍රේම කළ යුතුය.’ එමෙන්ම ‘නුඹට මෙන් නුඹේ අසල්වැසියාට නුඹ ප්‍රේම කළ යුතුය.’—මතෙව් 22:37-39.

13. අපට යෙහෝවාව දැකිය නොහැකි වුවත් ඔහුට ප්‍රේම කරන්න අපට ඉගෙනගත හැක්කේ කෙසේද?

13 අප ප්‍රේමය පෙන්වීමේදී මුල් තැන දිය යුත්තේ යෙහෝවාට බව යේසුස් පැවසූ වදන්වලින් පැහැදිලි වේ. එහෙත්, අප ඉපද සිටින්නේ යෙහෝවා කෙරෙහි පූර්ණ ලෙස වර්ධනය වූ ප්‍රේමයක් ඇතුව නොවේ. එය අප විසින්ම වර්ධනය කරගත යුතු දෙයකි. අපට මුලින්ම ඔහු ගැන දැනගන්න ලැබුණු අවස්ථාවේදී, ඔහු කෙරෙහි අපේ සිත ඇදී ගියේය. ඔහු මනුෂ්‍යවර්ගයාට ජීවත් වීම සඳහා පොළොව සකස් කළ ආකාරය ගැන අපි කල් ගතවීමත් සමඟ ඉගෙනගත්තෙමු. (උත්පත්ති 2:5-23) පාපය මුළු මිනිස් පවුලම වෙළාගත් අවස්ථාවේදී අපට අනුකම්පාව දක්වා, අපව පාපයෙන් මුදවාගැනීම සඳහා පියවර ගනිමින් ඔහු මනුෂ්‍යවර්ගයා සමඟ කටයුතු කර තිබෙන ආකාරය ගැන අපි ඉගෙනගත්තෙමු. (උත්පත්ති 3:1-5, 15) ඔහු ඇදහිලිවන්තයන්ට කරුණාව දක්වමින් කටයුතු කළ අතර, අපේ පාපවලට සමාව ලබාගැනීමට මාර්ගයක් සපයමින් සිය ඒකජාතක පුත්‍රයාව පූජාවක් හැටියට ලබා දුන්නේය. (යොහන් 3:16, 36) අප ක්‍රමානුකූලව ලබාගත් මෙම දැනුම මගින් යෙහෝවා කෙරෙහි තිබෙන අපේ අගය වැඩි විය. (යෙසායා 25:1) යෙහෝවාගේ ප්‍රේමනීය සැලකිල්ල නිසා තමන් යෙහෝවාට ප්‍රේම කළ බව දාවිත් රජ පැවසුවේය. (ගීතාවලිය 116:1-9) අදදින යෙහෝවා අපව රැකබලා ගනියි. අපට මඟ පෙන්වයි. අපව ශක්තිමත් කරයි. අපව දිරිමත් කරයි. අප ඔහු ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්න විට ඔහු කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය තව තවත් වර්ධනය වෙයි.—ගීතාවලිය 31:23; ශෙපනියා 3:17; රෝම 8:28.

අපේ ප්‍රේමය පෙන්විය හැක්කේ කෙසේද?

14. දෙවි කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය අව්‍යාජ එකක් බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

14 තමන් දෙවිට ප්‍රේම කරන බව ලෝකයේ සිටින බොහෝදෙනෙකු කියා සිටියත් ඔවුන්ගේ ක්‍රියාවලින් එය දක්නට නොලැබේ. අප ඇත්තටම යෙහෝවාට ප්‍රේම කරන බව අප පෙන්වන්නේ කෙසේද? යාච්ඤාවෙන් ඔහු සමඟ කතා කරමින් අපට හැඟෙන ආකාරය ගැන ඔහුට පැවසිය හැක. ඔහු කෙරෙහි සැබෑ ප්‍රේමයක් අප තුළ තිබෙන බව අප ජීවත් වන ආකාරයෙන් පෙන්වීමටද අපට පුළුවන. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත යොහන් මෙසේ පැවසුවේය. ‘යමෙක් [දෙවිගේ] වචනය පවත්වන්නේද, එම තැනැත්තා තුළ සැබෑවටම දෙවි කෙරෙහි ප්‍රේමය සම්පූර්ණ වී තිබේ. අපි ඔහු තුළ සිටින බව එයින් දනිමුව.’ (1 යොහන් 2:5; 5:3) එකිනෙකාව ඇසුරු කරන්න කියාත් දෙවිගේ උසස් සදාචාර ප්‍රමිති අනුව ජීවත් වන්න කියාත් දෙවිගේ වචනය අපට පවසයි. අපි කුහකකම සම්පූර්ණයෙන් හෙළා දකිමු. එකිනෙකා සමඟ සැබෑව කතා කරමු. පවිත්‍ර සිතුවිලි ඇතුව සිටිමු. (2 කොරින්ති 7:1; එපීස 4:15; 1 තිමෝති 1:5; හෙබ්‍රෙව් 10:23-25) දිළිඳු අයට ද්‍රව්‍යමය ලෙස උපකාර කිරීමෙන් අපි ප්‍රේමය පෙන්වමු. (1 යොහන් 3:17, 18) රාජ්‍යයේ ශුභාරංචිය ලොව පුරා දේශනා කිරීමෙහි හවුල් වෙමින් යෙහෝවා ගැන අන් අයට පැවසීමෙන් අපව වැළැක්වීමට කිසිවකට ඉඩ නොදෙමු. (මතෙව් 24:14; රෝම 10:10) දෙවිගේ වචනයට කීකරු වෙමින් ඉහත සඳහන් දේවල් කිරීමෙන් අප පෙන්වන්නේ යෙහෝවා කෙරෙහි අප තුළ තිබෙන ප්‍රේමය අව්‍යාජ එකක් බවයි.

15, 16. යෙහෝවා කෙරෙහි තිබෙන ප්‍රේමය පසුගිය වසරේදී බොහෝදෙනෙකු තුළ ඇති කළේ කිනම් බලපෑමක්ද?

15 යහපත් තීරණ ගැනීමට යෙහෝවා කෙරෙහි තිබෙන ප්‍රේමය මිනිසුන්ට උපකාර කරයි. යෙහෝවා කෙරෙහි තිබෙන ප්‍රේමය නිසා පසුගිය වසරේ 2,88,907දෙනෙක් ඔවුන්ගේ ජීවිත ඔහුට කැප කිරීමට තීරණය කර, එය වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළහ. (මතෙව් 28:19, 20) ඔවුන්ගේ කැපවීම අර්ථවත් එකකි. ඔවුන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් සිදු කර ඇති බව එමගින් සංකේතවත් විය. මේ අද්දැකීම සලකා බලන්න. ගාස්මන්ඩ්, ඇල්බේනියාවේ සුප්‍රසිද්ධ පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඔහුත් ඔහුගේ බිරිඳත් අවුරුදු කිහිපයක් තිස්සේ බයිබලය පාඩම් කරමින් සිටියහ. ඔවුන්ට නොයෙකුත් බාධා තිබුණත්, ඒවායින් ජයගෙන රාජ්‍ය ප්‍රචාරකයන් වශයෙන් සේවය කිරීමට පසුව ඔවුහු සුදුසුකම් ලැබූහ. පසුගිය 2000 සේවා වසරේ ඇල්බේනියාවේ බව්තීස්ම වූ 366දෙනා අතර ගාස්මන්ඩ්ද සිටියේය. එක් පුවත්පතක ඔහු ගැන ලිපියක් පළ කර තිබූ අතර එහි මෙසේ සඳහන් විය. “ඔහුගේ ජීවිතයට අරමුණක් තිබේ. මේ නිසා ඔහුත් ඔහුගේ පවුලත් වෙන කිසිදාකටත් වඩා සන්තෝෂයෙන් ජීවත් වෙයි. දැන් ඔහුගේ ජීවිතයේ වැදගත් දෙය වන්නේ තමාට හැකි සෑම දෙයක්ම ලබාගැනීම නොව, නමුත් අන් අයට උපකාර කිරීම සඳහා ඔහුට කළ හැකි සෑම දෙයක්ම කිරීමයි.”

16 මේ හා සමානව, ගුවාම්හි ඉන්ධන සමාගමක රැකියාවක් කළ අලුත බව්තීස්ම වූ සහෝදරියකට උසස් තනතුරක් පිළිගන්න කියා ආරාධනා කරන ලදි. ඇය අවුරුදු ගණනාවක් පුරා රැකියා ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු අත් කරගනිමින් සිටියාය. පසුව මෙම සමාගමේ උපසභාපතිනිය ලෙස සේවය කරන මුල්ම කාන්තාව වීමේ අවස්ථාව ඇයට උදා විය. එහෙත්, ඒ වන විට ඇය ඇගේ ජීවිතය යෙහෝවාට කැප කර තිබිණ. මෑතකදී බව්තීස්ම වී මෙම සහෝදරිය ඇගේ ස්වාමිපුරුෂයා සමඟ මේ ගැන සාකච්ඡා කිරීමෙන් පසු, එම තනතුර භාරගත්තේ නැත. ඒ වෙනුවට පුරෝගාමියක ලෙස සේවය කිරීමට හැකි වන පරිදි ඇය අර්ධ කාලීනව වැඩ කිරීමට තීරණය කළාය. මේ ලෝකයේ ද්‍රව්‍යමය වස්තු ලුහුබඳිනවා වෙනුවට පුරෝගාමියක ලෙස සේවය කිරීමට ඇය තුළ පෙලඹීමක් ඇති කළේ යෙහෝවා කෙරෙහි තිබූ ප්‍රේමයයි. පසුගිය 2000 සේවා වසරේ, ලොව පුරා 8,05,205දෙනෙකුව පුරෝගාමි සේවයේ විවිධ අංගවල හවුල් වීමට පෙලඹුවේ ප්‍රේමයයි. එම පුරෝගාමින් ප්‍රේමය සහ ඇදහිල්ල පෙන්වීමේදී තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක්ද!

යේසුස් කෙරෙහි තිබෙන ප්‍රේමයෙන් පෙලඹී

17. ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් යේසුස් තැබූ විශිෂ්ට ආදර්ශය කුමක්ද?

17 ප්‍රේමය මගින් පෙලඹී ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය සපයන්නේ යේසුස්ය. ඔහු මිනිසෙකු ලෙස පොළොවේ ජීවත් වීමට කලින් ඔහුගේ පියාටත් මනුෂ්‍යවර්ගයාටත් ප්‍රේම කළේය. ප්‍රඥාවේ ප්‍රතිරූපය වන ඔහු මෙසේ පැවසුවේය. ‘මම [යෙහෝවා] වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි. සෑම කල්හිම ඔහු ඉදිරියෙහි නිතර සන්තෝෂ වෙමින් දවසින් දවස ඔහුගේ ප්‍රීතිය වීමි. ඔහු මැවූ වාසයට යෝග්‍ය වූ පොළොව ගැන සන්තෝෂ වෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීති වුණෙමි.’ (හිතෝපදේශ 8:30, 31) ස්වර්ගයේ බලවත් ආත්ම පුද්ගලයෙකු ලෙස වාසය කිරීම අත්හැර අසරණ ළදරුවෙකු ලෙස මෙලොවෙහි උපත ලැබීමට ඔහුව පෙලඹුවේ ඔහු තුළ තිබූ ප්‍රේමයයි. ඔහු මොළොක් ගුණැති සාමාන්‍ය ජනයා සමඟ ඉවසිලිවන්තව හා කාරුණිකව ක්‍රියා කළ අතර, අවසානයේදී යෙහෝවාගේ සතුරන්ගේ වධ හිංසාවලට ලක්ව වධ කණුවක් මත මිය ගියේය. (යොහන් 3:35; 14:30, 31; 15:12, 13; පිලිප්පි 2:5-11) යහපත් චේතනාවෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව මොනතරම් කදිම ආදර්ශයක්ද!

18. (අ) යේසුස් කෙරෙහි ප්‍රේමයක් අපට වර්ධනය කරගත හැක්කේ කෙසේද? (අ) අප යේසුස්ට ප්‍රේම කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

18 යහපත් හෘදයක් තිබෙන අය යේසුස්ගේ පොළොව මත ජීවිතය ගැන සුවිශේෂ පොත්වල සඳහන් වාර්තාව කියවමින්, යේසුස්ගේ ඇදහිලිවන්ත ක්‍රියාමාර්ගය නිසා ඔවුන්ට අත් වන ආශීර්වාද ගැන මෙනෙහි කරන විට, ඔහු කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ඔවුන් තුළ වර්ධනය වෙන්න පටන්ගනියි. පේතෘස් මෙම වදන් මගින් ඇමතූ අයට අදදින සිටින අපත් සමාන වේ.“නුඹලා [යේසුස්ව] නුදුටු නුමුත් [ඔහුට] ප්‍රේම කරන්නහුය.” (1 පේතෘස් 1:8) අප ඔහු කෙරෙහි ඇදහිල්ල තබමින් ඔහුගේ ආත්ම පරිත්‍යාගී ජීවන රටාව අනුකරණය කරන විට ඔහු කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය පෙන්නුම් කෙරේ.(1 කොරින්ති 11:1; 1 තෙසලෝනික 1:6; 1 පේතෘස් 2:21-25) වසර 2000 අප්‍රියෙල් 19වනදා පවත්වනු ලැබූ යේසුස්ගේ මරණය සිහි කිරීමට 1,48,72,086දෙනෙකු පැමිණ සිටියහ. අප යේසුස්ට ප්‍රේම කළ යුතු වීමට හේතු එහිදී ඔවුන්ට සිහිගන්වනු ලැබීය. සිහි කිරීමට පැමිණ සිටි සංඛ්‍යාව මොනතරම් විශාලද! යේසුස්ගේ ජීවිත පූජාව මගින් අත් වන ගැළවීම ගැන දැනගැනීමට බොහෝදෙනෙකු උනන්දු වනවා දකින විට එය අපට මොනතරම් ශක්තියක්ද! යෙහෝවා සහ යේසුස් අපට දක්වා තිබෙන ප්‍රේමයෙන් සහ අප ඔවුන් කෙරෙහි දක්වන ප්‍රේමයෙන් අපව ගොඩනැංවෙන බවට කිසිම සැකයක් නැත.

19. ඊළඟ ලිපියේදී සාකච්ඡා කරනු ලබන්නේ ප්‍රේමය පෙන්වීම හා සම්බන්ධ කුමන ප්‍රශ්නද?

19 අපේ මුළු හෘදයෙන්ද, ආත්මයෙන්ද, මනසින්ද ශක්තියෙන්ද අප යෙහෝවාට ප්‍රේම කළ යුතුයි කියා යේසුස් පැවසුවේය. එමෙන්ම අපට මෙන් අපේ අසල්වැසියාටත් අප ප්‍රේම කළ යුතුයි කියාද ඔහු පැවසුවේය. (මාර්ක් 12:29-31) අපේ අසල්වැසියා වන්නේ කවුද? සමබරතාව පවත්වාගැනීමටත්, යහපත් චේතනා ඇතුව සිටීමටත් අසල්වැසියා කෙරෙහි තිබෙන ප්‍රේමය අපට උපකාරවත් වන්නේ කෙසේද? මේ ප්‍රශ්න ඊළඟ ලිපියේදී සාකච්ඡා කරනු ඇත.

ඔබට මතකද?

• ප්‍රේමය අතිවැදගත් ගුණාංගයක් වන්නේ මන්ද?

• යෙහෝවාට ප්‍රේම කරන්න අපට ඉගෙනගත හැක්කේ කෙසේද?

• අප යෙහෝවාට ප්‍රේම කරන බව අපේ හැසිරීමෙන් පෙන්විය හැක්කේ කෙසේද?

• යේසුස් කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය අපට පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10, 11වන පිටුවේ පින්තූර]

සහනයක් ලැබෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටීමට ප්‍රේමය අපට උපකාර කරයි

[12වන පිටුවේ පින්තූරය]

යේසුස් කළ මහත් පරිත්‍යාගය නිසා ඔහුට ප්‍රේම කිරීමට අප පෙලඹේ