Skip to content

පටුනට යන්න

ඔබේ හෘදය සාක්ෂිය රැකගන්න

ඔබේ හෘදය සාක්ෂිය රැකගන්න

ඔබේ හෘදය සාක්ෂිය රැකගන්න

වැරදි දත්ත ඇතුළත් කළ පරිගණකයකින් පාලනය වන ගුවන් යානයක ගමන් කිරීම ගැන සිතීම පවා බියජනකය. එසේ නැතහොත්, යම් කෙනෙකු ගුවන් යානයට මඟ පෙන්වීම් සපයන පද්ධතියේ දත්ත රහසින් වෙනස් කර තිබුණා නම් හෝ හිතාමතාම වැරදි තොරතුරු ඇතුළත් කර තිබුණා නම් මුහුණ පෑමට සිදු වන අනතුර ගැන සිතා බලන්න. මේ හා සමාන දෙයක් ඔබේ හෘදය සාක්ෂියට කරන්න යම් කෙනෙක් තැත් කරමින් සිටියි. සදාචාරය පිළිබඳව මඟ පෙන්වීම් සපයන ඔබේ හෘදය සාක්ෂිය විනාශ කිරීමට ඔහු දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරයි. ඔහුගේ අභිප්‍රාය ඔබ දෙවි සමඟ ගැටීමක් ඇති කරගන්නවා දැකීමයි.—යෝබ් 2:2-5; යොහන් 8:44.

මෙම දරුණු පුද්ගලයා කවුද? බයිබලයෙහි ඔහුව හඳුන්වා තිබෙන්නේ “මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද පුරාණ සර්පයා” ලෙසය. (එළිදරව් 12:9, අකුරු ඇල කළේ අපය.) මොහු මුල්ම රැවටීම කළේ ඒදන් උයනේදීය. එහිදී ඔහු දක්ෂ ලෙස බොරුව ඇත්ත කර පෙන්වමින් ඒවව නොමඟ යැව්වේය. මෙසේ ඇය හරියි කියා දැන සිටි දෙය නොසලකා හරිමින් දෙවිට අකීකරු වීමට ඇයව නම්මවාගත්තේය. (උත්පත්ති 3:1-6, 16-19) එදා සිට මිනිසුන් සහ දෙවි අතර එදිරිවාදිකමක් ඇති කිරීමේ අරමුණින් ඔවුන්ව මුළා කරවීම සඳහා සාතන් විවිධ සංවිධාන ඇති කර තිබේ. මෙම සංවිධාන අතරින් මිනිසුන්ව මුළා කිරීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයට ලක් විය යුතු සංවිධානය වන්නේ බොරු ආගම්ය.—2 කොරින්ති 11:14, 15.

බොරු ආගම් හෘදය සාක්ෂිය දූෂ්‍ය කරවයි

බයිබලයේ එළිදරව් නමැති පොතෙහි සංකේතමය වේශ්‍යාවක් ලෙස සඳහන් කර තිබෙන බොරු ආගම් මහා බබිලෝනිය කියාද හඳුන්වා ඇත. ඇගේ ඉගැන්වීම් මගින් සදාචාරය පිළිබඳව බොහෝදෙනෙකුගේ හැඟීම් විකෘති කොට තිබෙන අතර, වෙනස් ආගමික විශ්වාසයන් ඇති අය කෙරෙහි වෛරයක් ඇති කරගැනීමටත්, ඔවුන්ට කෲර ලෙස සැලකීමටත් මිනිසුන්ව පොලඹවා තිබේ. දෙවිට නමස්කාර කරන අය ඇතුළු “පොළොවේ මරනලද සියල්ලන්ගේ” ලේවලට බොරු ආගම් මූලිකව දෙවිට ගණන් දිය යුතු බව එළිදරව් පොතේ සඳහන් වේ.—එළිදරව් 17:1-6; 18:3, 24.

බොරු ආගම් කොතරම් දුරකට සමහරුන්ගේ සදාචාර ප්‍රමිති විකෘති කොට දක්වයිද කියා අනතුරු අඟවමින් යේසුස් සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් [දෙවිට] කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.” එවැනි දරුණු පුද්ගලයෝ සිටින්නේ සදාචාරාත්මකව මොනතරම් අන්ධ තත්වයකද! ඔවුන් ගැන යේසුස් තවදුරටත් මෙසේ පැවසුවේය. ‘ඔවුහු පියාවත් මාවත් නාඳුනති.’ (යොහන් 16:2, 3 අකුරු ඇල කළේ අපය.) යේසුස් එම වදන් පවසා වැඩි දවසක් යන්න කලින් ඇතැම් ආගමික නායකයන්ගේ නියෝගය මත යේසුස්ව ඝාතනය කරන ලදි. තමන් කළ එම අපරාධය සාධාරණීකරණය කිරීමට ඔවුහු තම හෘදය සාක්ෂියට ඉඩ දුන්හ. (යොහන් 11:47-50) මීට හාත්පසින්ම වෙනස්ව, සිය සැබෑ අනුගාමිකයන්ව හඳුනාගනු ලබන්නේ ඔවුන් අතර පවතින ප්‍රේමය මගින් බව යේසුස් පැවසුවේය. තම සතුරන්ට පවා ප්‍රේම කිරීමට තරම් ඔවුන්ගේ ප්‍රේමය ඉතා පුළුල්ය.—මතෙව් 5:44-48; යොහන් 13:35.

ජනප්‍රිය දේවලට අනුකූලව තමන්ගේ සදාචාර ප්‍රමිති සකස් කරගැනීමට ජනයාට අනුබල දීමෙන් බොරු ආගම් බොහෝදෙනෙකුගේ හෘදය සාක්ෂිය විනාශ කර තිබේ. මේ ගැන පුරෝකථනය කරමින් ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේය. “ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් [තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාව, නව අනුවාදය] ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් [රැස් කරගන්නා] . . . කාලය පැමිණෙන්නේය.”—2 තිමෝති 4:3, 4.

අද සිටින ආගමික නායකයෝ විවාහයෙන් පිටත ලිංගික සබඳතා දෙවි අනුමත කරනවා ඇති කියා පවසමින් මිනිසුන් අසන්න රිසි දේවලින් ඔවුන්ගේ සවන් පිනවති. තවත් සමහරු සමලිංගික ක්‍රියාවල වරදක් නැතැයි පවසති. ඇතැම් පූජකයෝ පවා සමලිංගික සේවනයේ නිරත වෙති. “සමලිංගික සේවනයේ යෙදෙන්නන් බවට ප්‍රසිද්ධ වී සිටින පූජකයන් දහතුන්දෙනෙක්” එංගලන්ත සභාවේ දේවගැති මණ්ඩලයට තේරී පත් වී සිටින බව බ්‍රිතාන්‍යයේ පළ වන ද ටයිම්ස් පුවත්පතේ ලිපියක සඳහන් විය. පල්ලිවල නායකයෝ බයිබලයේ සඳහන් සදාචාර ප්‍රමිති නොසලකා හරින විට හා එම පල්ලි ඔවුන් ගැන කිසිම පියවරක් නොගන්න විට, ඒවායේ සාමාජිකයන්ට තෝරාගැනීමට ප්‍රමිති තිබේවිද? සදාචාර ප්‍රමිති සම්බන්ධයෙන් බොහෝදෙනෙකු ව්‍යාකූලත්වයට පත්වීම ගැන පුදුම විය යුතු නැත.

බයිබලයෙහි සඳහන් ආලෝක සංඥා බඳු සදාචාරමය හා අධ්‍යාත්මික සත්‍යයන් මගින් මඟ පෙන්වීම ලැබීම කොතරම් හොඳද! (ගීතාවලිය 43:3; යොහන් 17:17) නිදසුනක් වශයෙන්, වේශ්‍යාකම්කරන්නන් හා පරදාර සේවනයේ යෙදෙන්නන් ‘[දෙවිගේ] රාජ්‍යය උරුම කරගන්නේ නැති’ බව බයිබලයේ සඳහන් වේ. (1 කොරින්ති 6:9, 10) ‘තමන්ගේ ස්වාභාවික ව්‍යවහාරය වෙනස් කරගන්න’ පුරුෂයන් හා ස්ත්‍රීන් දෙවිගේ ඇස් හමුවෙහි ‘අශෝභන දේ කරන’ බව බයිබලය අපට පවසයි. (රෝම 1:26, 27, 32) මෙම සදාචාරාත්මක සත්‍යයන් අසම්පූර්ණ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ඒවා නොවේ. දෙවිගේ ආනුභාවයෙන් ලැබී තිබෙන එම ප්‍රමිති සදහටම වලංගුය. (ගලාති 1:8; 2 තිමෝති 3:16) සාතන් හෘදය සාක්ෂිය විනාශ කර දැමීමට තවත් මාධ්‍යයක් යොදාගනියි.

විනෝදාස්වාදයන් තෝරා බේරාගන්න

නරක දෙයක් කිරීමට යමෙකුව නම්මවාගැනීම වැරදිය. එමෙන්ම නරක දෙයක් කිරීම සඳහා යමෙකු තුළ ආශාවක් ඇති කිරීම ඊටත් වඩා වැරදි ක්‍රියාවකි. “ලෝකයේ අධිපතියා” වන සාතන්ගේ ඉලක්කය මිනිසුන්ව එවන් තත්වයකට පත් කිරීමයි. සෑම දෙයක්ම විශ්වාස කරන අනුවණ අයගේ, විශේෂයෙන්ම යෞවනයන්ගේ මනස් හා හදවත්වලට තමන්ගේ නරක සිතුවිලි ඇතුල් කිරීම සඳහා සාතන් නුසුදුසු පොත් පත්, චිත්‍රපට, සංගීතය, පරිගණක ක්‍රීඩා හා අන්තර් ජාලයේ තිබෙන කාමුක වෙබ් අඩවි යොදාගනියි.—යොහන් 14:30; එපීස 2:2.

“ගණන් බැලීම්වලට අනුව, [අමෙරිකා එක්සත් ජනපදයේ] යෞවනයෝ සෑම වසරකම සාහසික ක්‍රියා 10,000ක් පමණ නරඹති. වඩාත්ම සාහසික ක්‍රියා දැකගත හැක්කේ රූපවාහිනියේ ළමා වැඩසටහන්වලයි” කියා එක් සඟරාවක (Pediatrics) වාර්තා විය. “ලිංගිකත්වය හා සම්බන්ධ දර්ශන, ද්විත්ව අර්ථ ඇති කතා මෙන්ම විහිළු ඇතුළත් දර්ශන 15,000කට ආසන්න ගණනක් යෞවනයන් සෑම වසරකම නරඹන” බව එම වාර්තාවෙන් හෙළි විය. වැඩිදෙනෙක් රූපවාහිනිය නරඹන වේලාවන්වලදී පවා “පැයකට ලිංගික දර්ශන අටකට වැඩියෙන් දැකිය හැකියි. මෙය 1976ට වඩා හතර ගුණයක වැඩිවීමක්” කියා එම වාර්තාවේම සඳහන් විය. “අසභ්‍ය භාෂාවද වේගයෙන් වර්ධනය වෙමින් පවතින” බව එම අධ්‍යයනයෙන් අනාවරණය වීම පුදුමයක් නොවේ. එවන් දූෂිත දේවලට නිතර නිරාවරණය වීමෙන් මිනිසුන් ඉතාමත් නරක දේවල් කිරීමට නැඹුරු වන බව බයිබලය මෙන්ම විද්‍යාත්මක අධ්‍යයනයන් බොහොමයක් අනතුරු අඟවයි. දෙවිව සතුටු කරමින් අනතුරුවලින් වැළකී සිටින්න ඔබට සැබෑ වුවමනාවක් තිබෙනවා නම්, හිතෝපදේශ 4:23හි සඳහන් මෙම උපදේශයට අවනත වන්න. “සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.”—යෙසායා 48:17.

ජනප්‍රිය සංගීතයෙන් වැඩි ප්‍රමාණයක් හෘදය සාක්ෂිය දූෂ්‍ය කරවයි. බටහිර රටවල් බොහොමයක ජනප්‍රිය වී සිටින ගායකයෙක් “තැතිගැන්මක් ඇති කරවන දේවල් කිරීම සඳහා දරන විශේෂ වෑයමක්” සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පළ වන පුවත්පතක (The Sunday Mail) මෙසේ අනතුරු ඇඟවීමක් කර තිබේ. “ඔහුගේ ගීතවලින් මත්ද්‍රව්‍ය, ව්‍යභිචාරය හා ස්ත්‍රී දූෂණය වර්ණනා කරයි. තම බිරිඳව මරා ඇගේ සිරුර ඇළකට විසි කර දැමීම ගැන ගීතයක් ඔහු ගායනා කරයි” කියා එම ලිපියේ සඳහන් වේ. එම ගීතවල ඇතුළත් සමහර වචන සඳහන් කරන්න බැරි තරමටම පිළිකුල්සහගතය. එහෙත් මෙම ගායකයාට සම්මාන හිමි වී තිබේ. සංගීතය මාර්ගයෙන් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන එවැනි තුච්ඡ අදහස් ඔබේ මනසට හා හදවතට ඇතුල් වෙනවා දකින්න ඔබ කැමතිද? නැතැයි කියා අපි සිතමු. මන්ද එවන් දේවලට නිරාවරණය වීමෙන් තමන්ගේ හෘදය සාක්ෂිය දූෂ්‍ය කරගන්න අය තුළ අවසානයේදී, දෙවිගේ සතුරන් වීමට මඟ පෑදිය හැකි ආකාරයේ “නපුරු සිතක්” ඇති වන බැවිනි.—හෙබ්‍රෙව් 3:12; මතෙව් 12:33-35.

එමනිසා විනෝදාස්වාදයන් නැණවත් ලෙස තෝරා බේරාගන්න. බයිබලය අපව මෙසේ උනන්දු කරවයි. “යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.”—පිලිප්පි 4:8.

ආශ්‍රිතයන් ඔබේ හෘදය සාක්ෂියට බලපායි

නීල් හා ෆ්‍රාන්ස් කුඩා කාලයේදී යහපත් ක්‍රිස්තියානි ඇසුරක් භුක්ති වින්දාහ. a නමුත් කලක් ගත වූවාට පසු “මම නරක යාළුවන් එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්තා” කියා නීල් පැවසුවේය. එහි ප්‍රතිඵලයක් හැටියට, ජීවිතයේ කනගාටුදායක දේවල් අද්දකින්න ඔහුට සිදු විය. අපරාධවලට හවුල් වීම නිසා ඔහුව සිරගත කරන ලදි. ෆ්‍රාන්ස්ට කියන්න තිබෙන්නේද ඒ හා සමාන අද්දැකීමකි. “ලෝකයේ යෞවනයන්ගේ නරක බලපෑම්වලට හසු වෙන්නේ නැතුව ඒ අයව ආශ්‍රය කරන්න පුළුවන් කියලයි මම හිතුවේ. ඒ වුණත් ගලාති 6:7 කියනවා වගේ ‘දෙවිට සරදම් කරන්ට කාටවත් බැහැ. මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නවා.’ මම වැරදියි, යෙහෝවා හරියි කියලා මට ඉගෙනගන්න වුණේ මගේම වේදනාකාරි අද්දැකීම්වලින්. මම කරපු වැරදිවලට ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් විඳින්න මට සිදු වෙලා තියෙනවා” කියා ඔහු ශෝකයෙන් පැවසුවේය.

නීල් හා ෆ්‍රාන්ස් වගේ අය අපරාධ කරන්න පෙලඹුණේ එක රැයකින් නොවේ. මුලදී ඔවුන් ඒවා ගැන කොහොමටවත් නොසිතන්න ඇති. නරක දේවලට යොමු වන්නේ පියවරෙන් පියවරය. මුල්ම පියවර වන්නේ නරක මිතුරන්ගේ ඇසුරට වැටීමයි. (1 කොරින්ති 15:33) ඔවුන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කිරීම දෙවන පියවර විය හැක. හෘදය සාක්ෂිය “මත් පැන් සමඟ දිය වී යන පෞද්ගලිකත්වයේ කොටසක්” කියා යෝග්‍ය ලෙස විස්තර කර තිබේ. මත්පැන් පානය කළ පුද්ගලයෙකු අපරාධ කිරීමට හා දුරාචාරයේ යෙදීමට පහසුවෙන්ම නැඹුරු වෙයි.

අවසන් ප්‍රතිඵල අනතුරුදායක නිසා, මුල්ම පියවර ගැනීමෙන් වැළකී සිටීම නුවණට හුරු දෙයක් නොවේද? දෙවිට අවංක ප්‍රේමයක් තිබෙන නැණවත් අයව ආශ්‍රය කිරීමට තෝරාගන්න. බොහෝ වේදනාවලින් ඔබව ආරක්ෂා කරමින් ඔබට නිසි මඟ පෙන්වීම ලබා දීමට හැකි වන පරිදි ඔබේ හෘදය සාක්ෂිය රැකගැනීමට ඔවුන් ඔබට උපකාර කරනු ඇත. (හිතෝපදේශ 13:20) හෘදය සාක්ෂිය කියන්නේ නිසි ලෙස පුහුණු කරමින් ආදරයෙන් රැකබලා ගත යුතු දෙවිගෙන් ලැබී තිබෙන ත්‍යාගයක් බව සිර දඬුවම් විඳින නීල් හා ෆ්‍රාන්ස් දැන් තේරුම්ගෙන සිටිති. එපමණක්ද නොව, තමන්ගේ දෙවි වන යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීමට ඔවුහු මහත් වෑයමක් දරති. නැණවත්ව, ඔවුන්ගේ වැරදිවලින් ඉගෙනගන්න.—හිතෝපදේශ 22:3.

ඔබේ හෘදය සාක්ෂිය රැකගන්න

දෙවි කෙරෙහි ප්‍රේමයක් හා ඇදහිල්ලක් මෙන්ම යහපත් බියක් වර්ධනය කරගැනීමෙන් අපේ හෘදය සාක්ෂිය රැකගැනීමට අපට සැබෑ වුවමනාවක් තිබෙන බව පෙන්වමු. (හිතෝපදේශ 8:13; 1 යොහන් 5:3) එවන් ගුණාංගවල බලපෑමට ලක් නොවන හෘදය සාක්ෂියක සදාචාරය හා සම්බන්ධ ස්ථිර ප්‍රතිපත්ති දැකිය නොහැක. නිදසුනක් වශයෙන්, ‘යෙහෝවා නැතැයි’ කියා එවන් අය සිතින් කියාගන්න බව ගීතාවලිය 14:1හි සඳහන් වේ. මෙසේ දෙවි කෙරෙහි ඇදහිල්ලක් නොමැතිකම ඔවුන්ගේ හැසිරීමට බලපාන්නේ කෙසේද? “ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය” කියා එම වගන්තියේ ඊළඟ කොටසෙහි සඳහන් වේ.

දෙවි කෙරෙහි සැබෑ ඇදහිල්ලක් නොමැති අයට යහපත් අනාගතයක් පිළිබඳ ස්ථිර බලාපොරොත්තුවක්ද නැත. එනිසා ඔවුන් තමන්ගේ ආශාවන් පිනවාගනිමින් ජීවත් වන්නේ අද ගැන පමණක් සිතමිනි. ඔවුන්ගේ දර්ශනය වන්නේ, “හෙට මැරෙන බැවින් කමු, බොමු” යන්නයි. (1 කොරින්ති 15:32) අනිත් අතට, සදාකාල ජීවිතය නමැති ත්‍යාගය දෙස තමන්ගේ නෙත් යොමා සිටින අය ලෞකික වින්දනය පසුපස හඹා නොයති. සියයට සියයක් නිවැරදි දත්ත ඇතුළත් කර තිබෙන ගුවන් යානයක තිබෙන පරිගණකයක් හා සමානව පුහුණු කර තිබෙන ඔවුන්ගේ හෘදය සාක්ෂිය දෙවිට පක්ෂපාතව කීකරු වීමට ඔවුන්ට මඟ පෙන්වයි.—පිලිප්පි 3:8.

නිවැරදි මඟ පෙන්වීම් ලබා දීමට ඔබේ හෘදය සාක්ෂියට තිබෙන හැකියාව දිගටම පවත්වාගැනීම සඳහා නිතිපතාම දේවවචනයේ මඟ පෙන්වීම්වලට යටත් වීම අවශ්‍ය වේ. එවන් මඟ පෙන්වීම් ලබාගත හැකි බව විචිත්‍රවත් ලෙස බයිබලයෙහි මෙසේ සඳහන් වේ. “නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.” (යෙසායා 30:21) මේ නිසා දිනපතා බයිබලය කියවීමට නිශ්චිත කාලයක් වෙන් කරන්න. හරි දෙය කිරීම සඳහා ඔබ දැඩි සටනක නියැලී සිටින විට හෝ කාංසාවෙන් ඔබ වට වී සිටින අවස්ථාවලදී ඔබව ශක්තිමත් කිරීමට හා දිරිමත් කිරීමට බයිබලයට හැකි වනු ඇත. ඔබ යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තබනවා නම්, ඔහු ඔබට සදාචාරමය ලෙස හා අධ්‍යාත්මිකව මඟ පෙන්වන බවට නිසැක විය හැක. මෙම වදන් පැවසූ ගීතිකාකරුව අනුකරණය කරන්න. “[යෙහෝවාව] නිතර මා ඉදිරියෙහි තබාගතිමි. [ඔහු] මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි.”—ගීතාවලිය 16:8; 55:22.

[පාදසටහන]

a සැබෑ නම් නොවේ.

[5වන පිටුවේ පින්තූර]

බොහෝදෙනෙකුගේ හෘදය සාක්ෂිය අසංවේදී තත්වයට පත් කිරීම ගැන “මහා බබිලෝනිය” යනුවෙන් බයිබලයෙහි හඳුන්වන බොරු ආගම් වගකිව යුතුයි

[හිමිකම් විස්තර]

හමුදාවට ආශීර්වාද කරන පූජකයා: U.S. Army photo

[6වන පිටුවේ පින්තූර]

ප්‍රචණ්ඩකාරි හා දුරාචාරමය ක්‍රියා නැරඹීමෙන් ඔබේ හෘදය සාක්ෂියට හානි පැමිණෙයි

[7වන පිටුවේ පින්තූරය]

දේවවචනයෙන් නිතිපතා මඟ පෙන්වීම ලබාගැනීමෙන් ඔබේ හෘදය සාක්ෂිය රැකගත හැක