යෙහෝවාව ඔබේ විශ්වාසය කරගන්න
යෙහෝවාව ඔබේ විශ්වාසය කරගන්න
“ස්වාමි වූ යෙහෝවා, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයසේ පටන් මාගේ විශ්වාසය ඔබය.”—ගීතාවලිය 71:5.
1. දාවිත් නම් එඬේර කොලුවා මුහුණ දුන්නේ කිනම් අභියෝගයටද?
සීරුවෙන් සිටගෙන සිටි ඒ මිනිසාගේ උස මීටර් තුනකට ආසන්නය. ඊශ්‍රායෙල්හි යුධ පෙරමුණේ සිටි සියලු හේවායන් ඔහුට මුහුණ දීමට භයෙන් තැතිගෙන සිටීම පුදුමයක් නොවේ! සතියක් සතියක් පාසා සෑම උදෑසනකම හා සැන්දෑවකම ගොලියත් නම් වූ මේ පිලිස්තිය යෝධයා ඊශ්‍රායෙල් හමුදාවට නින්දා කළේ තමා සමඟ සටන් කිරීමට ශූරයෙකුව එවන මෙන් අභියෝග කරමිනි. අන්තිමේදී එම අභියෝගය භාර ගනු ලැබුවේ හේවායෙකු විසින් නොව කොලු ගැටයෙකු විසිනි. එඬේර කොලුවෙකු වූ දාවිත්ව ඔහුගේ එදිරිවාදියාට පෙනුණේ අඟුටුමිට්ටෙකු විලසිනි. ඔහුගේ බර ගොලියත්ගේ යුධ ඇඳුම් හා යුධ අවිවල බර තරම්වත් නැතුවා වන්නට ඇති! එහෙත්, එම තරුණයා ඒ යෝධයාට මුහුණ දී ධෛර්යයේ සදාතනික සංකේතයක් බවට පත් විය.—1 සාමුවෙල් 17:1-51.
2, 3. (අ) දාවිත්ට එතරම්ම නිසැකකමකින් යුතුව ගොලියත්ට මුහුණ දීමට හැකි වූයේ මන්ද? (ආ) අප සාකච්ඡා කරනු ඇත්තේ යෙහෝවාව අපගේ විශ්වාසය කරගැනීමට අවශ්‍ය කිනම් පියවර දෙක ගැනද?
2 දාවිත්ට එවන් ධෛර්යයක් ලබා දුන්නේ කුමක් මගින්ද? වසර ගණනාවකට පසුව දාවිත් විසින් ලියන ලද සමහරක් වචන ගැන සලකා බලන්න. “ස්වාමිවූ යෙහෝවා, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයසේ පටන් මාගේ විශ්වාසය ඔබය.” (ගීතාවලිය 71:5) එසේය, යෞවනයෙකු වශයෙන් දාවිත් යෙහෝවා කෙරෙහි දැක්වූයේ දැඩි විශ්වාසයකි. ඔහු ගොලියත්ට මුහුණ දුන්නේ මෙසේ කියමිනි. “ඔබ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි ඔබ නින්දා කළ ඊශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල යෙහෝවාගේ නාමයෙන් ඔබ ළඟට එමි.” (1 සාමුවෙල් 17:45) ගොලියත්ගේ විශ්වාසය රැඳී තිබුණේ ඔහුගේම ශක්තිය හා ඔහුගේ යුධ අවි කෙරෙහිය. නමුත් දාවිත්ගේ විශ්වාසය රැඳී තිබුණේ යෙහෝවා කෙරෙහිය. විශ්වයේ පරමාධිපති ස්වාමියාණන් තමාගේ පැත්තේ සිටිද්දී, කොතරම් විශාල වුවද, කොතරම් අවි සන්නද්ධව සිටියද, නිකම්ම මිනිසෙකුට දාවිත් භය වන්නේ කුමකටද?
3 ඔබ දාවිත් ගැන කියවද්දී, යෙහෝවා කෙරෙහි ඇති ඔබේ විශ්වාසයත් එලෙසම ශක්තිමත් කරගැනීමට
හැකි නම් කොපමණ හොඳදැයි ඔබට හැඟුණාද? අපෙන් බොහෝදෙනෙකුට එසේ හැඟීමට ඉඩ කඩ තිබේ. එසේනම්, යෙහෝවා අපගේ විශ්වාසය කරගැනීමට අපට ගත හැකි පියවර දෙකක් ගැන අපි පරීක්ෂා කර බලමු. පළමුව, එවන් නිසැකකමක් ඇති කරගැනීමට නම්, එක්තරා පොදු බාධකයකින් ජයගෙන එම තත්වය අප පවත්වාගෙන යා යුතුය. දෙවනුව, යෙහෝවා කෙරෙහි විශ්වාසයක් තැබීම කීමෙන් අදහස් කරන දෙය හරියටම අප ඉගෙනගත යුතුය.යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට එරෙහි වන පොදු බාධකයකින් ජයගැනීම
4, 5. බොහෝදෙනෙකුට දෙවි කෙරෙහි විශ්වාසයක් තැබීම දුෂ්කර වී තිබෙන්නේ මන්ද?
4 දෙවි කෙරෙහි විශ්වාසයක් තැබීමට මිනිසුන්ට බාධා කරන්නේ කුමක්ද? බොහෝවිට, නරක දේවල් සිදු වෙන්නේ ඇයි යනුවෙන් ඇතමුන් තුළ ඇති වන වියවුලයි. බොහෝදෙනෙකුට උගන්වනු ලැබ තිබෙන්නේ දුක් විඳීම්වලට වගකිව යුත්තා දෙවි බවයි. යම් විපතක් සිදු වූ විට, ඊට ගොදුරු වූ අයව දෙවි “ගත්තා” කියා පූජකයන් කියනවා විය හැකියි. එපමණක්ද නොව, බොහෝ ආගමික නායකයන් උගන්වන්නේ දෙවි බොහෝ කලකට පෙර සියල්ලම නියම කළ බවයි. එනම්, මේ ලෝකයේ සිදු වන සියලුම විපත් සහ දුෂ්ට ක්‍රියා කලින්ම නියම කළ ඒවා බවය. එවැනි කිසිම හැඟීමක් නැති, සිත් පිත් නොමැති දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීම උගහටය. නොඇදහිලිකාරයන්ගේ මනස් අන්ධ කරවන සාතන්, ‘භූතයන්ගේ සියලු ඉගැන්වීම්වලට’ උඩ ගෙඩි දෙන්නට ඉතා උනන්දුවෙන් සිටී.—1 තිමෝති 4:1, NW; 2 කොරින්ති 4:4.
5 සාතන්ට වුවමනා වන්නේ මිනිසුන් යෙහෝවා කෙරෙහි විශ්වාසය නැති කරගන්නවා දැකීමටයි. දෙවිගේ මෙම සතුරාට වුවමනා වන්නේ මිනිසා විඳින දුක් වේදනාවල නියම හේතුව අප විසින් හඳුනා නොගැනීමට සැලැස්වීමටයි. ඇරත්, දුක් වේදනාවලට පාදක වන ශුද්ධ ලියවිලිමය හේතු අප ඉගෙනගෙන තිබෙනවා නම්, අපට ඒවා අමතක වී යනවාට සාතන් කැමතිය. එමනිසා, ලෝකයේ දුක් වේදනා පැවතීමට තුඩු දෙන මූලික හේතු තුන වරින් වර අප විසින් විමසා බැලීම ප්‍රඥාගෝචරය. එසේ කිරීමෙන්, අප ජීවිතය තුළ අද්දකින ගැටලුවලට යෙහෝවා වගකිව යුතු නැති බව අපගේ හදවත්වලම තව තවත් තහවුරු කරගැනීමට එය අපට මහෝපකාරී වේවි.—පිලිප්පි 1:9, 10.
6. සැබෑ ක්‍රිස්තියානීන් අතර දුක් වේදනා පැවතීමට එක් හේතුවක් 1 පේතෘස් 5:8හි පෙන්වා දෙන්නේ කෙසේද?
6 මිනිසුන් දුක් විඳීමට එක් හේතුවක් නම්, යෙහෝවාගේ විශ්වාසවන්ත ජනයාගේ අඛණ්ඩතාව බිඳ දැමීමට සාතන්ට ඇති වුවමනාවය. යෝබ්ගේ අඛණ්ඩතාව කඩා දැමීමටද ඔහු උත්සාහ කළේය. ඒ අවස්ථාවේදී සාතන් අසමත් වුණත්, ඔහු තම ප්‍රයත්නය අත්හැර නැත. මේ ලෝකයේ පාලකයා වශයෙන්, ඔහු උත්සාහ කරන්නේ යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ව ‘ගිල දමන්නයි.’ (1 පේතෘස් 5:8) අපි එක් එක්කෙනාද ඊට ඇතුළත් වෙමු! සාතන්ට වුවමනා වන්නේ අප යෙහෝවාට සේවය කිරීම නතර කරන්නයි. මෙසේ, බොහෝ අවස්ථාවලදී පීඩාවල් අවුස්සන්නේ ඔහුයි. එවන් පීඩාවන් වේදනාකාරී වුවද, ඒවා විඳදරාගැනීමට අපට හොඳ හේතු තිබේ. එසේ කිරීමෙන්, සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට අප දායක වන අතර, මෙසේ අපි යෙහෝවාව සතුටු කරන්නෙමු. (යෝබ් 2:4; හිතෝපදේශ 27:11) පීඩා විඳදරාගැනීමට යෙහෝවා අපව ශක්තිමත් කරත්ම, ඔහු කෙරෙහි වූ අපේ විශ්වාසය තව තවත් වැඩෙයි.—ගීතාවලිය 9:9, 10.
7. ගලාති 6:7 අපට උපකාරවත් වෙන්නේ දුක් වේදනාවල කිනම් හේතුව වටහාගැනීමටද?
7 දුක් වේදනාවන් පැවතීමට දෙවන හේතුව මෙම ප්‍රතිපත්තිය තුළ දැකිය හැකියි. එනම්, “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය” යන්නයි. (ගලාති 6:7, NW) සමහරක් විටෙක, මිනිසුන් වපුරන්නේ වැරදි තීරණ ගනිමින්ය. එහි ප්‍රතිඵල ලෙස නෙළාගන්නේ දුක් වේදනාය. ඔවුහු ඇතැම්විට වාහන පදවන්නේ නොසැලකිල්ලෙනි. ප්‍රතිඵලය හදිසි අනතුරකි. තවත් බොහෝදෙනා දුම්වැටි උරති. එය අවසන් වෙන්නේ හෘදයාබාධයකින් හෝ පෙණහලු පිළිකාවකිනි. ලිංගික දුරාචාරමය හැසිරීමේ නියැලෙන අය තමාවම නොයෙක් උවදුරුවල හෙළාගනිති. තම පවුල් සම්බන්ධතා විනාශ වීම, ආත්ම ගෞරවය අහිමි කරගැනීම, ලිංගිකව බෝ වෙන රෝග සහ අනවශ්‍ය ගැබ්ගැනීම් ඒවායේ ප්‍රතිඵල අතර වෙයි. එවන් දුක් වේදනා නිසා මිනිසුන් උත්සාහ කරන්නේ දෙවිට දොස් තැබීමටයි. නමුත් යථාර්ථය නම්, මිනිසුන් තමන්ගේම වැරදි තීරණවල ගොදුරු බවට පත්වීමය.—හිතෝපදේශ 19:3.
8. දේශනාකාරයා 9:11 පවසන පරිදි මිනිසුන් දුක් විඳින්නේ මන්ද?
8 දුක් වේදනාවන් විඳීමෙහි තුන්වෙනි හේතුව දේශනාකාරයා 9:11හි සඳහන් වී තිබේ. “මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් [කලින් දැකිය නොහැකි සිදුවීම්ද, NW] ඔවුන් සියල්ලන්ට සිද්ධ වෙන බව දුටිමි.” ඇතැම් අවස්ථාවලදී, ජනයා සිටින්නේ වැරදි තැන වැරදි වේලාවේය. අපගේ පෞද්ගලික ශක්තිය හෝ දුර්වලකම් කුමක් වුවද, ඕනෑම වේලාවක නොසිතූ විරූ ලෙස අපගෙන් ඕනෑම කෙනෙකුට යම් දුකක් හෝ මරණයක් පවා සිදු විය හැකියි. නිදසුනක් වශයෙන්, යේසුස් විසූ කාලයේදී යෙරුසලමේ කුලුනක් කඩා වැටී 18දෙනෙක් මරුමුවට පත් වූහ. මේ අය කලින් කළ පව්වලට දෙවි දඬුවම් කළා නොවේය කියා යේසුස් පෙන්වා දුන්නේය. (ලූක් 13:4) මේ අනුව, එවන් ඛේදවාචකයන් සම්බන්ධයෙන් යෙහෝවාට දොස් පැවරිය නොහැක.
9. පවතින දුක් වේදනාවන් පිළිබඳව බොහෝදෙනෙකු වටහාගෙන නැත්තේ කුමක්ද?
9 දුක් වේදනාවන්ට හේතු පාදක වන කරුණු සමහරක් වටහාගැනීමත් වැදගත්ය. කෙසේවෙතත්, බොහෝදෙනෙකුට තේරුම්ගැනීමට අමාරු එක්තරා පැත්තක් මේ කාරණයේ තිබේ. එය නම් මෙයයි. එනම්, යෙහෝවා දෙවි දුක් වේදනාවන්ට ඉඩහරින්නේ මන්ද යන්නයි.
යෙහෝවා දුක් වේදනාවන්ට ඉඩහරින්නේ මන්ද?
10, 11. (අ) රෝම 8:19-22ට අනුව ‘මුළු මැවිල්ලට’ සිදු වූයේ කුමක්ද? (ආ) මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කළේ කවුදැයි නිශ්චය කිරීමට අපට හැකි වෙන්නේ කෙසේද?
10 ප්‍රේරිත පාවුල් විසින් රෝමවාසීන්ට ලියන ලද ලිපියේ එක්තරා කොටසක මෙම වැදගත් විෂය ගැන යමක් හෙළි කරයි. පාවුල් ලීවේ මෙසේයි. “දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම ගැන මැවිල්ල මහත් ආශාවෙන් බලා සිටී. මන්දයත් මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබුවේ, මැවිල්ලේම කැමැත්ත නිසා නොව, නමුත් බලාපොරොත්තුව පදනම් කරගෙන එසේ යටත් කළ තැනැත්තා නිසාය. එනම් ඒ මැවිල්ලද දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස ලබන පිණිසය. මන්ද, මුළු මැවිල්ලම, මේ දක්වා එක්ව කෙඳිරිගාමින්ද වේදනා විඳිමින්ද සිටින බව අපි දනිමු.”—රෝම 8:19-22, NW.
11 මෙම ඡේදවල මූලික සාරය වටහාගැනීමට අප මුලින්ම එක්තරා මූලික ප්‍රශ්න කිහිපයක් විසඳාගත යුතුයි. නිදසුනක් වශයෙන්, මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කළේ කවුද? ඇතමුන් කියා සිටින්නේ සාතන් කියායි. තවත් අයගේ අදහස ඒ ආදම් යන්නයි. නමුත්, මේ දෙදෙනාගෙන් කිසිවෙකුට යටත් කිරීම කරන්නට බැරිය. ඒ මන්ද? මන්දයත් මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරන තැනැත්තා එසේ කරන්නේ “බලාපොරොත්තුව පදනම් කරගෙන” බැවිනි. එසේය, ඇදහිලිවන්තයන් අවසානයේදී ‘වහල්කමින් නිදහස් වෙන’ බවට ඔහු බලාපොරොත්තුවක් ඉදිරිපත් කරයි. ආදම්ටවත් සාතන්ටවත් එවන් බලාපොරොත්තුවක් ඉදිරිපත් කිරීමට හැකි වූයේ නැත. එසේ කරන්නට හැකි වූයේ යෙහෝවාට පමණි. එසේනම්, මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කළේ ඔහු බව පැහැදිලිය.
12. “මුළු මැවිල්ල” හඳුනාගැනීම පිළිබඳව උද්ගත වී තිබෙන වියවුල කුමක්ද? මෙම ප්‍රශ්නයට කෙසේ පිළිතුරු දිය හැකිද?
12 එනමුත්, මෙම කොටසේ සඳහන් “මුළු මැවිල්ල” කුමකට යොමු දක්වයිද? ඇතමුන් පවසන්නේ “මුළු මැවිල්ල” යොමු දක්වන්නේ සත්වයන් හා ශාක ඇතුළුව සමස්ත ස්වාභාවික ලෝකයට කියායි. එහෙත්, “දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” ලැබීමට සත්වයන්ට හා ශාකවලට බලාපොරොත්තුවක් තිබෙනවාද? නැත. (2 පේතෘස් 2:12) එසේනම්, “මුළු මැවිල්ල” යනු මිනිස් වර්ගයාට පමණක් යොමු දක්වන යෙදුමකි. ඒදන්හි කැරැල්ල නිසා පාපයේ හා මරණයේ බලපෑමට හසුව බලාපොරොත්තුවක් කෙරෙහි නෙත් අයාගෙන සිටින මැවිල්ල මෙයයි.—රෝම 5:12.
13. ඒදන් උයනේ කැරැල්ල මිනිස් වර්ගයාට සිදු කළේ කුමක්ද?
13 එසේනම්, එම කැරැල්ලෙන් මිනිස් වර්ගයාට සිදු වුණේ කුමක්ද? එක්තරා තනි වචනයකින් පාවුල් එහි ප්‍රතිඵලය විස්තර කරයි. එනම්, නිෂ්ඵලභාවය යන්නයි. * එක් ග්‍රන්ථයක පවසන පරිදි, මේ වචනයෙන් විස්තර කරන්නේ, “යම් වස්තුවක් එය නිර්මාණය කරනු ලැබූ මුල් අරමුණට අනුව ක්‍රියාත්මක නොවන විට එහි ඇති නිෂ්ඵලත්වයයි.” මිනිසුන්ව නිර්මාණය කරනු ලැබුවේ සදාකල් ජීවත් වීමටයි. පාරාදීසමය පොළොවක් රැකබලා ගනිමින් පරිපූර්ණ එක්සත් පවුලක් හැටියට එකට වැඩ කිරීමටයි. ඒ වෙනුවට, ඔවුන් ගෙවන්නේ කෙටි, වේදනාකාරී සහ බොහෝවිට කනස්සලු ජීවිතයකි. යෝබ් පැවසුවාක් මෙන්, “ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණ වූ කෙනෙක්ය.” (යෝබ් 14:1) ඇත්තවශයෙන්ම, නිෂ්ඵලකමක්ය!
14, 15. (අ) මිනිස් වර්ගයා කෙරෙහි යෙහෝවා පැමිණෙවූ දඬුවම තුළ අපට කිනම් යුක්තිසහගත හේතු දැකිය හැකිද? (ආ) මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබුවේ ‘මැවිල්ලේම කැමැත්ත නිසා නොවන’ බව පාවුල් පැවසුවේ මන්ද?
14 දැන්, අපි මෙම මූලික ප්‍රශ්නය වෙත යොමු වෙමු. එය නම්, “මුළු පොළොවේ විනිශ්චයකාරයා” මිනිස් වර්ගයාව මේ වේදනාකාරී කලකිරෙනසුලු තත්වයට පත් කළේ මන්ද? (උත්පත්ති 18:25) ඔහු එසේ කිරීම යුක්තිසහගතද? හොඳයි, අපේ මුල් දෙමාපියන් කළ දෙය සිහියට නඟන්න. දෙවිට එරෙහිව කැරලිගැසීමෙන්, ඔවුන් ගත්තේ යෙහෝවාගේ පරමාධිපත්‍යයට එරෙහිව පුළුල් අභියෝගයක් කළාවූ සාතන්ගේ පැත්තය. යෙහෝවා නොමැතිව මිනිසාට වඩාත් හොඳින් ජීවත් විය හැකිය සහ කැරලිකාර ආත්ම මැවිල්ලක මඟ පෙන්වීම යටතේ තමන්වම පාලනය කරගැනීමට හැකිය යන ප්‍රකාශයට ඔවුහු තම ක්‍රියා මගින් අනුබල දුන්හ. යෙහෝවා එම කැරලිකරුවන්ට දඬුවම් නියම කිරීමේදී ඔවුන් ඉල්ලා සිටි දෙය ඔවුන්ට දුන්නේය. සාතන්ගේ බලපෑම යටතේ තමාවම පාලනය කරගැනීමට යෙහෝවා ඔවුන්ට ඉඩහැරියේය. මෙම තත්වයන් යටතේ, බලාපොරොත්තුවක්ද සමඟින් මිනිස් වර්ගයාව නිෂ්ඵලභාවයට යටත් කරනවා හැරෙන්නට, අතිශයින්ම යුක්තිසහගත වූ වෙනත් කුමන තීරණයක්ද දෙවිට ගත හැක්කේ? ගත හැකි වෙනත් තීරණයක් නැත.
15 ඇත්තවශයෙන්ම, මෙය ‘මැවිල්ලේම කැමැත්ත’ නිසා වූවක් නොවේ. අපි පාපයේ වහලුන් ලෙස ඉපද සිටින අතර පිරිහෙමින් සිටින්නෙමු. මෙයින් බේරීමට අපටම මේ සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නැත. නමුත් යෙහෝවා තම දයාව දක්වමින් ආදම් සහ ඒවට තමන්ගේ මරණය දක්වා ජීවත් වෙන්නටත් දරුවන් උපදවන්නටත් ඉඩහැරියේය. ඔවුන්ගෙන් පැවතෙන්නන් වශයෙන් අප පාපයේ හා මරණයේ නිෂ්ඵලභාවයට යටත් වුවද, ආදම් සහ ඒව කිරීමට අසමත් වූ දේ කිරීමට අපට ප්‍රස්තාව තිබේ. යෙහෝවාගේ පරමාධිපත්‍යය ධර්මිෂ්ඨ සහ පරිපූර්ණ බවත්, ඔහුගෙන් බැහැරව පවතින මිනිස් පාලනවලින් ගෙන එන්නේ වේදනාව, කලකිරීම සහ නිෂ්ඵලභාවය පමණක් බවත් යෙහෝවාට සවන් දීමෙන් අපට ඉගෙනගත හැකියි. (යෙරෙමියා 10:23; එළිදරව් 4:11) ඇරත් සාතන්ගේ බලපෑමෙන් සිදු වෙන්නේ කාරණා තව තවත් දරුණු වීම පමණි. මිනිස් ඉතිහාසය දෙස බලන කල, මේ සියල්ල සත්‍යයක් බව මොනවට පැහැදිලිය!—දේශනාකාරයා 8:9.
16. (අ) අද දින ලොවේ අප දකින දුක් වේදනාවන්ට යෙහෝවා වගකිව යුතු නැති බව අපට සහතික විය හැක්කේ මන්ද? (ආ) ඇදහිලිවන්ත ජනයා උදෙසා යෙහෝවා ප්‍රේමණීය ලෙස සපයා ඇති බලාපොරොත්තුව කුමක්ද?
16 එසේනම්, මිනිස් වර්ගයාව නිෂ්ඵලභාවයට යටත් කිරීමට යෙහෝවාට යුක්තිසහගත පදනමක් තිබූ බව පැහැදිලිය. එහෙත්, මින් අදහස් කරන්නේ නිෂ්ඵලභාවයේ සහ අද දින අප එක් එක්කෙනා කෙරෙහි බලපාන්නාවූ දුක් වේදනාවන්වලට මූලික හේතුව යෙහෝවා බවද? අපරාධකාරයෙකුට යුක්තිසහගත දඬුවමක් පමුණුවන විනිසුරුවරයෙක් ගැන සිතන්න. අපරාධකරුවා මෙම දඬුවම හේතුවෙන් සෑහෙන දුකක් වේදනාවක් විඳින්නට පුළුවනි. නමුත් තම දුක් වේදනාවන්ට මූලික හේතුව විනිසුරුවරයා කියා චෝදනා කරන්නට හෝ බැණවදින්නට ඔහුට හැකිද? එය යුක්තිසහගතද? නැත. කොහෙත්ම නැත! එපමණක්ද නොව, යෙහෝවා කොහෙත්ම දුෂ්ටකමේ උල්පත නොවේ. යාකොබ් 1:13 [NW] මෙසේ කියයි. “නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.” මෙයත් මතක තබාගන්න. එනම්, යෙහෝවා මෙම දඬුවම ප්‍රකාශයට පත් කළේ ‘බලාපොරොත්තුව පදනම් කරගෙනය.’ ආදම් සහ ඒවගෙන් පැවතෙන ඇදහිලිවන්තයන්ට නිෂ්ඵලභාවයේ නිමාව දැකීමට ඔහු ප්‍රේමණීය ලෙස විධිවිධාන ඇති කරගෙන තිබෙන අතර, එමගින් “දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” ලැබීම තුළ ප්‍රීති වෙන්නටද හැකි කරවා තිබේ. සදාකාලය පුරාම, මුළු මැවිල්ල යළිත් වරක් නිෂ්ඵලභාවයේ වේදනාකාරී තත්වයක් තුළට රූරා වැටෙයි කියා ඇදහිලිවන්ත මිනිස් වර්ගයාට කිසිම විටෙකත් කනස්සලු වෙන්නට අවශ්‍ය නැත. යෙහෝවා විසින් මෙසේ කාරණා හරි ලෙස හසුරුවනු ලැබීම, ඔහුගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය සියලුම කාලවලට ස්ථාපිත කිරීමට හේතු පාදක වනු ඇත.—යෙසායා 25:8.
17. අද දින ලෝකයේ පවතින දුක් වේදනාවලට හේතු යළිත් පුනරීක්ෂණය කිරීම අපට කෙසේ බලපෑ යුතුද?
17 මිනිසාගේ දුක් වේදනාවලට හේතු පාදක වූ මෙම කාරණා ගැන සලකා බලන කල, පවතින දුෂ්ටකම නිසා යෙහෝවාට දොස් නඟන්නටවත් ඔහු කෙරෙහි ඇති විශ්වාසය හීන කරගන්නටවත් කිසිදු හේතුවක් අපට පෙනේද? එසේ නොව, එවන් අධ්‍යයනයකින් අපට මෝසෙස්ගේ මෙම වචන ප්‍රතිනාද කරන්නට හේතු දෙයි. “ඔහු පර්වතයය. ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය. මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවිකෙනෙක. ඔහු වනාහි ධර්මිෂ්ඨය. අවංකය.” (ද්විතීය කථාව 32:4) මෙම කාරණා මෙනෙහි කිරීමෙන්, කලින් කලට මේ පිළිබඳව අපේ අවබෝධය අලුත් කරගනිමු. එවිට, අප යම් යම් පරීක්ෂා දුක් කරදරවලට මුහුණ දෙන විට, අපගේ මනස්වල සැකයේ බීජ වැපිරීමට සාතන් ගන්නා උත්සාහයට අපි එරෙහි වෙමු. එහෙත්, මෙහි ආරම්භයේදී සඳහන් කරන ලද දෙවෙනි පියවර ගැන කුමක් කියමුද? යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට ඇතුළත් වෙන්නේ කුමක්ද?
යෙහෝවා කෙරෙහි විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරන දෙය
18, 19. යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට බයිබලය අපව දිරිගන්වන්නේ කිනම් වචන සමඟින්ද? නමුත් මේ සම්බන්ධයෙන් ඇතැමුන්ට ඇති වැරදි අදහස් මොනවාද?
18 දෙවිගේ වචනය අපෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටී. “ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු ඔබේ මාවත් සමතලා කරනවා ඇත.” (හිතෝපදේශ 3:5, 6) මේවා ඉතා කදිම, අලංකාර, අපේ බිය සැක දුරු කරන වචන වේ. ඇත්තෙන්ම, අපගේ සදාදරණීය ස්වර්ගික පියාණන් තරම් විශ්වයේ සිටින වෙන කිසිම කෙනෙකු කෙරෙහි විශ්වාසය තබන්නට බැරිය. එහෙත්, හිතෝපදේශයේ සඳහන් එම වචන ක්‍රියාවේ යෙදවීම, ඒවා කියවීම තරම් පහසු නැත.
19 යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම කීමෙන් අදහස් කරන දේ ගැන බොහෝදෙනෙකුට තිබෙන්නේ වැරදි අදහස්ය. ඇතමුන් සිතන්නේ එවන් විශ්වාසයක් යනු හුදෙක් හැඟීමක්ය, එනම් හදවතේ එකවරම පැනනඟින ප්‍රමුදිත චිත්තවේගී හැඟීමක්ය කියායි. දෙවි කෙරෙහි විශ්වාස කිරීම කියා තවත් අය අදහස් කරන බවට පෙනෙන්න තිබෙන්නේ, අපව සෑම දුෂ්කරතාවකින්ම ආරක්ෂා කිරීමත්, අපේ සෑම ගැටලුවක්ම විසඳීමත්, අප එදිනෙදා මුහුණ දෙන සෑම අභියෝගයක්ම අප බලාපොරොත්තු වෙන විදිහට එවෙලේම ජයගැනීමත් දෙවිගෙන් අපේක්ෂා කිරීමය. නමුත් එවන් මතවලට කිසිදු පදනමක් නැත. විශ්වාසය යනු හුදෙක් හැඟීමකට වඩා වැඩි යමකි. ඇරත්, එය යථාර්ථවාදී නොවන යමක් නොවේ. වැඩිහිටියන් සම්බන්ධයෙන් ගත් කල, හිතාමතා හොඳින් කල්පනා කර බලා තීරණ ගැනීම විශ්වාසයට ඇතුළත් වෙයි.
20, 21. යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? උපහැරණයකින් පැහැදිලි කරන්න.
20 හිතෝපදේශ 3:5හි කියන දේ නැවත සැලකිල්ලට ගන්න. යෙහෝවා කෙරෙහි විශ්වාස තැබීමට ප්‍රතිවිරුද්ධ දේ වන්නේ අපගේම අවබෝධය මතම රඳා සිටීම බව එහි දැක්වේ. මින් පෙනෙන්නේ අපට මේ දෙකම එකවර කරන්නට බැරි බවයි. මින් අදහස් කරන්නේ අපගේ අවබෝධය හෙවත් තේරුම්ගැනීමේ හැකියාවන් පාවිච්චි කිරීමට දෙවි ඉඩහැර නැති බවද? නැත. මන්ද, එම බලයන් අපට දානය කළ යෙහෝවා, ඔහුට සේවය කිරීමේදී ඒවා පාවිච්චි කිරීම අපෙන් අපේක්ෂා කරන බැවිනි. (රෝම 12:1, NW) නමුත් අප පිහිටා සිටින්නේ හෝ රඳා සිටින්නේ කුමක් මතද? අප අපගේ සිතිවිලි යෙහෝවාගේ සිතිවිලි සමඟ එකඟ කරන්නට අසමත් වන විට, අපට වඩා අතිශයින් උසස් වූ ඔහුගේම ප්‍රඥාව අප පිළිගන්නවාද? (යෙසායා 55:8, 9) යෙහෝවා කෙරෙහි විශ්වාස කිරීම යනු අපගේ සිතිවිලි මෙහෙයවන්නට ඔහුගේ සිතිවිලිවලට ඉඩ දීමයි.
21 මෙය මෙසේ උපහැරණය කරමු. එක් කුඩා දරුවෙකු තම දෙමාපියන් සමඟ මෝටර් රථයක ගමන් කරනවායයි සිතන්න. දෙමාපියන් ඉදිරි අසුන්වල වාඩි වී සිටින අතර, මෙම කුඩා දරුවා පිටුපස අසුනේ වාඩි වී සිටී. රථය පදවන්නේ ඔහුගේ පියාය. ගමනේදී යම් දුෂ්කරතාවකට මුහුණ දෙන විට, එනම් හරි මාර්ගය කුමක්ද කියා හෝ සමහරවිට කාලගුණය හා පාරේ තත්වය ගැන යම් ගැටලුවක් පැනනඟින විට, මේ දෙමාපියන් කෙරෙහි විශ්වාසය තබන මේ කීකරු දරුවා මෙම අවස්ථාවේදී ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? මෝටර් රථය හැසිරවිය යුතු ආකාරය ගැන මේ දරුවා පිටුපස ආසනයේ සිට කෑගසා තම පියාට යම් යම් දේවල් කියයිද? ඔහු තම දෙමාපියන්ගේ තීරණ ගැන ප්‍රශ්න කරයිද? නොඑසේනම් තම ආසනයේ පටි තද කරගෙන සන්සුන්ව සිටින්න කියා දෙමාපියන් තම දරුවාට මතක් කරන විට ඊට එරෙහි වෙයිද? නැත. තම දෙමාපියන් අසම්පූර්ණ අය වුවත්, ඔහු සාමාන්‍යයෙන් කරන්නේ කාරණා හැසිරවීමේදී තම දෙමාපියන් කෙරෙහි විශ්වාසය තැබීමයි. යෙහෝවා නම්, අපට පරිපූර්ණ පියෙකි. එසේනම්, අපි ඔහු කෙරෙහි දැඩි සේ විශ්වාසය තැබිය යුතු නැද්ද? විශේෂයෙන්ම අප අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දෙන කල, එසේ නොකළ යුතුද?—යෙසායා 30:21.
22, 23. (අ) අප ගැටලුවලට මුහුණ දෙන විට, අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ මන්ද? අපට එය කළ හැක්කේ කෙසේද? (ආ) මීළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇත්තේ මොනවාද?
22 කෙසේවෙතත්, හිතෝපදේශ 3:6 අඟවන්නේ අප දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන විට පමණක් නොව, ‘අපගේ සියලු මාර්ගවලදී ඔහුව සැලකිය යුතු’ බවය. මේ අනුව, අප එදිනෙදා ජීවිතයේ ගන්නාවූ තීරණවලදී අප යෙහෝවා කෙරෙහි දක්වන විශ්වාසය පිළිබිඹු විය යුතුය. ගැටලු පැනනඟින විට, අප කලකිරෙන්නට අවශ්‍ය නැත, කලබල වෙන්නට අවශ්‍ය නැත. එසේම, කාරණා හොඳම අන්දමින් හැසිරවිය යුතු ආකාරය සම්බන්ධයෙන් යෙහෝවාගෙන් එන මඟ පෙන්වීමට එරෙහි නොවිය යුතුය. අපට එන පරීක්ෂා යෙහෝවාගේ පරමාධිපත්‍යයට සහයෝගය දීමට ලැබෙන ප්‍රස්තාවන් ලෙස අප සැලකිය යුතුය. සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමටත්, කීකරුකම පෙන්වීමටත්, යෙහෝවාව සතුටු කරන වෙනත් ගුණාංග දියුණු කිරීමටත් ලැබෙන ප්‍රස්තාවන් ලෙසට ඒවා දෙස බැලිය යුතුයි.—හෙබ්‍රෙව් 5:7, 8.
23 අප ඉදිරියේ මොනයම් බාධාවක් පැනනැඟී ආවද, අපට යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය පෙන්වීමට හැකියි. අපගේ යාච්ඤාවලදීද, මඟ පෙන්වීම ලැබීම සඳහා යෙහෝවාගේ වචනය සහ ඔහුගේ සංවිධානය දෙස අප බලන විදිහෙන්ද අපි එසේ කරන්නෙමු. එහෙත්, විශේෂයෙන්ම, අද දින ලෝකයේ පැනනඟින ගැටලුවලට අප මුහුණ දෙන විට අපට යෙහෝවා කෙරෙහි විශ්වාසය පිළිබිඹු කළ හැක්කේ කෙසේද? අපගේ ඊළඟ ලිපිය තුළ මෙම කාරණය ගැන සාකච්ඡා කෙරෙනවා ඇති.
[පාදසටහන]
^ 13 ඡේ. “නිෂ්ඵලභාවය” යන වචනය සඳහා පාවුල් යොදාගත් ග්‍රීක් වචනයම ග්‍රීක් සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ දේශනාකාරයා පොතේ සලමොන් විසින් යළි යළිත් යොදාගත් ප්‍රකාශය ගෙනහැර දැක්වීමට යොදාගෙන තිබේ. “සියල්ල නිෂ්ඵලකමක්” යන ප්‍රකාශය මීට නිදසුනකි.—දේශනාකාරයා 1:2, 14; 2:11, 17; 3:19; 12:8, අකුරු ඇල කළේ අපය.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
• දාවිත් යෙහෝවාව තම විශ්වාසය කරගත් බවට පෙන්නුවේ කෙසේද?
• අද දින පවතින දුක් වේදනාවන්ට හේතු පාදක වන ප්‍රධාන හේතු තුන කුමක්ද? කලින් කලට මෙම හේතු යළිත් සලකා බැලීම ප්‍රඥාගෝචර වන්නේ මන්ද?
• යෙහෝවා මිනිස් වර්ගයා මතට පැමිණෙවූ දඬුවම කුමක්ද? එය යුක්තිසහගත දඬුවමක් වූයේ මන්ද?
• යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට ඇතුළත් වෙන්නේ මොනවාද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[8වන පිටුවේ පින්තූර]
දාවිත් යෙහෝවාව තම විශ්වාසය කරගත්තේය
[10වන පිටුවේ පින්තූරය]
යේසුස් පෙන්නුම් කළේ යෙරුසලමේ එක්තරා කුලුනක් කඩා වැටුණු විට යෙහෝවා ඊට වගකිව යුතු නැති බවයි