සැමදා ජීවත් වෙන්න ඔබ කැමතිද?
සැමදා ජීවත් වෙන්න ඔබ කැමතිද?
“මම මැරෙන්න භය නැහැ. ඒත් මට දුක මගේ මල් පැළ ටික දාලා යන්න වෙන එක ගැනයි” කියා එක් වයසක ජපන් ජාතික කාන්තාවක් පැවසුවා. ඇගේ නිවසට ගිය එක් ක්‍රිස්තියානි දේවසේවකයෙකුට ඇය එසේ පැවසීමට හේතුව වටහාගන්න අපහසු වුණේ නැහැ. මන්ද ඇයට ලස්සන මල් වත්තක් තිබුණා. අද බොහෝදෙනෙක් මැරෙන්න භය නැහැයි කියා පවසනවා. නමුත් ඔවුන් පරිසරයේ තිබෙන දේවල් භුක්ති විඳින්න ආසයි. ඒ නිසා ඔවුන්ගේ සිත්වල සැමදා ජීවත් වීමේ ආශාව තියෙන්න පුළුවන්.
සැමදා ජීවත් වෙන්න පුළුවන්ද? බොහෝදෙනෙක් එවැනි සිතුවිලි ගණන් ගන්නේවත් නැහැ. තවත් සමහරු තමන්ට සදාකාලයටම ජීවත් වීමට ආශාවක් නැති බව පැවසිය හැකියි. ඇයි සමහරුන්ට එහෙම හිතෙන්නේ?
සදාකාල ජීවිතය නිරස වේවිද?
සැමදා ජීවත් වෙන එක නිරස එකක් කියා ඔප්පු කිරීම සඳහා සමහරු විශ්‍රාම ගිය අයගේ ජීවන රටාව සමඟ එය සන්සන්දනය කරන්න පුළුවන්. එවැනි අයට කරන්න දෙයක් නැති නිසා රූපවාහිනිය ඉදිරිපිට ඉඳගෙන ඒ දිහා ඔහේ බලාගෙන ඉන්නවා. ඔවුන්ගේ ජීවිත හරිම ඒකාකාරීයි. සදාකාල ජීවිතයත් නිරස එකක් ලෙසද ඔබට හැඟෙන්නේ? එසේනම් තාරකා විද්‍යාඥයෙක් වන රොබට් ජැස්ට්රෝගේ අදහස සලකා බලන්න. සදාකල් ජීවත් වීම වටිනා යමක්ද එහෙමත් නැත්නම් එය පලක් නැති යමක්ද කියා ඇසූ විට ඔහු පැවසුවේ මෙසේයි. “දිගටම අධ්‍යයනය කරන්න පිපාසයක් හා කාරණා දැනගැනීමට කුතුහලයක් ඇති මිනිසුන්ට නම් සදාකාල ජීවිතය වටිනා යමක්. එවැනි අයට දැනුම ලබාගැනීමට සදාකාලයක් තියෙනවා යන සිතුවිල්ල ලොකු සහනයක් වේවි. නමුත් තමන්ට ඉගෙනගන්න ඕනේ හැමදෙයක්ම ඉගෙනගෙන ඉවරයි කියා සිතන හා තවත් ඉගෙනගැනීමට ආශාවක් නැති අයට නම් සදාකාල ජීවිතය පලක් නැති යමක් වේවි. ඊට හේතුව නම් ඔවුන් සදාකාලයෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියා දන්නේ නැති නිසයි.”
සදාකාල ජීවිතය ඔබට නිරස එකක් වෙයිද නැද්ද යන්න බොහෝවිට රඳා පවතින්නේ ඔබේ ආකල්පය මතයි. ඔබට “දිගටම අධ්‍යයනය කරන්න පිපාසයක් හා කාරණා දැනගැනීමට කුතුහලයක්” තියෙනවා නම් ඔබට මොන තරම් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයිද කියා හිතා බලන්න. ඔබට චිත්‍ර කලාව, සංගීතය, ගෘහ නිර්මාණය, ගෙවතු වගාව හෝ ඔබට ප්‍රයෝජනවත් විය හැකි ඕනෑම ක්ෂේත්රයක් ගැන ඉගෙනගන්න පුළුවන් වෙයි. පොළොව මත සදාකල් ජීවත් වන්න ඔබට පුළුවන් නම් විවිධ ක්ෂේත්‍රයන්වල ඔබේ හැකියාවන් දියුණු කරගැනීමට මං සැලසෙනවා නියතයි.
සැමදා ප්‍රේම කිරීමටත් ප්‍රේමය ලැබීමටත් තිබෙන ප්‍රස්තාව ඇත්තෙන්ම සදාකාලික ජීවිතය තෘප්තිමත් එකක් කරනවා නොඅනුමානයි. අපව මවා තිබෙන්නේ අන් අයට ප්‍රේමය පෙන්වීමේ එම හැකියාව ඇතුවයි. ඒ වගේම අන් අය අපට ප්‍රේම කරන බව දැනගත්තාම අප ප්‍රීතියෙන් ඉපිල යන්නේ නැද්ද? අප එකිනෙකා අතර අවංක ප්‍රේමයක් තිබෙනවා නම් එය අපට තෘප්තියක් ගෙන දෙන අතර එම තෘප්තිය කිසිදාක නැති වී නොයයි. සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව තිබෙන විට සෙසු ජනයා කෙරෙහි පමණක් නොව දෙවි කෙරෙහිද ඇති අපේ ප්‍රේමය වැඩි කරගැනීමට බොහෝ අවස්ථා උදා වෙනවා. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා. “යමෙක් දෙවිට ප්‍රේම කරන්නේ නම්, දෙවි ඔහුව දන්නේය.” (1 කොරින්ති 8:3) මේ ගැන සිතා බලන්න. අපට විශ්වයේ පරමාධිපතිව දැනගන්න ලැබීමත් ඔහු අපව පෞද්ගලිකව දැන හඳුනා ගෙන සිටීමත් මොන තරම් සතුටට කරුණක්ද! ඒ වගේම අපේ ප්‍රේමණීය මැවුම්කරු ගැන දැනගැනීමට සීමාවක් නැහැ. එහෙමනම් සදාකාල ජීවනය නිරස හා ප්‍රයෝජනයක් නැති කාලයක් වෙන්නේ කොහොමද?
ආයුෂ කාලය කෙටි නිසාද ජීවිතය වටින්නේ?
ජීවිතය වටින්නේ එය කෙටි නිසා බවයි සමහරුන්ගේ මතය. ඔවුන් ජීවිතය රත්තරන් හා සසඳන්න පුළුවන්. රත්තරන් තිබෙන්නේ සීමිත
ප්‍රමාණයයි. ඔවුන් තර්ක කරන්නේ රත්තරන් සෑම තැනකම තිබුණොත් එහි අගය අඩු විය හැකි බවයි. නමුත් රත්තරන් කොතරම් තිබුණත් එහි අලංකාරය කවදාවත් අඩු වන්නේ නැහැ. ජීවිතය සම්බන්ධයෙන්ද එම දෙයම අදාළ වෙනවා.අපි සදාකාල ජීවිතය භුක්ති විඳීම වාතාශ්‍රය බහුලව තියෙන තැනක් හා සන්සන්දනය කරමු. මුහුද යට හිර වී තිබෙන සබ්මැරීනයක සිටින නැවියන්ට ඔක්සිජන් වායුව ඉතා අනර්ඝයි. ඔවුන්ව එයින් මුදවා වාතාශ්‍රය බහුල තැනකට ගෙනාවොත් ඔවුන් ඒක අගය කරන්නේ නැතුව දොස් නඟයි කියා ඔබ හිතනවාද? කිසිසේත් නැහැ!
එම නැවියන් මෙන් අපවද ගලවාගත හැකියි. එය ඊටත් වඩා ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුවක් ඇති සදාකාල ජීවනය සඳහායි. “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයය. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය” යැයි ප්‍රේරිත පාවුල් පැවසුවා. (රෝම 6:23) යේසුස්ගේ මිදීමේ යාගයේ පදනම කරණකොටගෙන දෙවි මනුෂ්‍යයාගේ අසම්පූර්ණකම හා මරණය සම්පූර්ණයෙන්ම ඉවත් කරන අතර කීකරු ජනයා සඳහා සදාකාල ජීවිතය දානය කරයි. එවැනි ප්‍රේමණීය සැලසුමකට අප කොතරම් කෘතඥපූර්වක විය යුතුද!
එතකොට ඔබේ නෑදෑ හිතමිතුරන්?
‘එතකොට මගේ නෑදෑ හිතමිතුරන්ට මොකද වෙන්නේ? ඒ අය මාත් එක්ක නැත්නම් මට සදාකල් ජීවත් වෙලා වැඩක් නැහැ’ කියා සමහර අය හිතන්න පුළුවන්. සමහරවිට ඔබ බයිබලය අධ්‍යයනය කිරීමෙන් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට හැකි බව දැනගෙන සිටිනවා විය හැකියි. (ලූක් 23:43; යොහන් 3:16; 17:3) ඔබ පාරාදීසයේ භුක්ති විඳින්න බලාපොරොත්තු වන සතුට ඔබේ පවුලේ අය මෙන්ම නෑදෑ හිතමිතුරන්ද භුක්ති විඳිනවා දැකීමට ඔබ තුළ ආශාවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.—2 පේතෘස් 3:13.
නමුත් ඔබේ යහළුවන් හා නෑදෑයන් පාරාදීසයක සදාකල් ජීවත් වීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත්නම්? අධෛර්යයට පත් වෙන්න එපා. ශුද්ධ ලියවිලිවල ඇති දැනුම දිගටම ලබාගන්න. ඒවා ජීවිතයට අදාළ කරගන්න. ප්‍රේරිත පාවුල් මෙසේ සඳහන් කළා. “[ක්‍රිස්තියානි] භාර්යාව, ඔබට ඔබේ ස්වාමිපුරුෂයාව ගලවාගැනීමට නොහැකි වන්නේයයි ඔබ දන්නේ කෙසේද? නැත්නම්, [ක්‍රිස්තියානි] ස්වාමිපුරුෂය, ඔබට ඔබේ භාර්යාව ගලවාගැනීමට නොහැකි වන්නේයයි ඔබ දන්නේ කෙසේද?” (1 කොරින්ති 7:16) මිනිස්සු වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ක්‍රිස්තියානි ධර්මයට මුලින් විරුද්ධ වූ මනුෂ්‍යයෙක් පසුව ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙක් බවට පත් වුණා. ඔහු මෙසේ පැවසුවා. “මගේ ආදරණීය පවුලට මම ගොඩාක් ණයගැතියි. මම කොච්චර විරුද්ධ වුණත් ඔවුන් දිගටම බයිබල් ප්‍රතිපත්තිවලට පක්ෂපාතව සිටියා.”
දෙවි ඔබගේ මෙන්ම ඔබේ නෑදෑ හිතවතුන්ගේ ජීවිත ගැනත් ගොඩාක් සැලකිලිමත් වෙනවා. ඇත්ත වශයෙන්ම ‘යෙහෝවා සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට කැමති නැහැ.’ (2 පේතෘස් 3:9) යෙහෝවා දෙවිට අවශ්‍ය කරන්නේ ඔබ හා ඔබේ නෑදෑ හිතවතුන් සදාකල් ජීවත් වෙනවා දකින්නයි. ඔහුගේ ප්‍රේමය අසම්පූර්ණ මනුෂ්‍යයන්ගේ ප්‍රේමයට වඩා උතුම්. (යෙසායා 49:15) එහෙමනම් ඔබ දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කර නොගන්නේ මන්ද? ඔබ එසේ කරනවා නම් ඔබේ නෑදෑ හිතවතුන්ටත් ඒ දේම කරන්න උපකාර කරන්න ඔබට හැකි වේවි. ඔවුන්ට දැනට සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුවක් නැති වුණත්, ඔබ බයිබලයේ නිවැරදි දැනුම ලබාගෙන ඒ අනුව ක්‍රියා කරනවා දකිද්දී ඔවුන්ගේ ආකල්ප වෙනස් වෙන්න පුළුවන්.
මරණය නිසා ඔබට අහිමි වී ගිය ඔබේ නෑදෑ හිතවතුන්ට මොකද වෙන්නේ? මරණයට පත් වී ඇති මිලියන සංඛ්‍යාතයකට බයිබලයේ දී තිබෙන මහඟු බලාපොරොත්තුව නම් නැවත නැඟිටීමෙන් පසුව පාරාදීස පොළොවක ජීවත් වීමයි. යේසුස් පොරොන්දු වූයේ මෙසේයි. ‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන් . . . පිටතට එන පැය පැමිණෙන්නේය.’ (යොහන් 5:28, 29) දෙවි ගැන දැනුමක් නොලබා මිය ගිය අය පවා නැවත ජීවනයට පැමිණෙයි. “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන” බව බයිබලයේ පොරොන්දු වෙනවා. (ක්‍රියා 24:15) එවැනි අයව නැවත අප අතරට පිළිගැනීමට ලැබීම මොන තරම් හද උණුසුම් කරවන අවස්ථාවක් වේවිද!
සදාකාල ජීවිතය ප්‍රීතිමත් බලාපොරොත්තුවක්!
අද ලෝකයේ පවතින්නාවූ සියලුම දුක් කරදර මධ්‍යයේ වුවත් ඔබට ප්‍රීතියට හා සෑහීමට පත් වෙන්න පුළුවන් නම්, පාරාදීස පොළොවේ සදාකල් ජීවිතය භුක්ති විඳින්න ඔබට නියත වශයෙන්ම පුළුවන්. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් සදාකාල ජීවිතයේ ආශීර්වාද ගැන පෙන්වා දුන් විට එක් කාන්තාවක් පැවසුවේ මෙසේයි. “මට සදාකල් ජීවත් වෙන්න ඕනේ නැහැ. මට අවුරුදු 70ක් හරි 80ක් හරි ජීවත් වෙන්න ලැබුණොත්
ඇති.” එතන සිටි එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ඇගෙන් මෙහෙම ඇහුවා. “ඔබ මැරුණාම ඔබේ දරුවන්ට කොහොම හැඟෙයිද කියලා ඔබ හිතලා තියෙනවාද?” ඔවුන්ට ඔවුන්ගේ මව නැති වුණාම කොතරම් ශෝකයක් දැනෙයිද කියා ඇය කල්පනා කළාට පස්සේ ඇගේ කම්මුල් දිගේ කඳුළු කඩා හැළුණා. “මම කොච්චර ආත්මාර්ථකාමීද කියලා මට තේරුණේ එතකොටයි.” ඉන්පසු ඇය මෙසේ පිළිගත්තා. “සදාකල් ජීවත් වීම ආත්මාර්ථකාමී බලාපොරොත්තුවක් නොවෙයි. එයින් අදහස් වෙන්නේ අනිත් අය වෙනුවෙන් ජීවත් වීමයි.”සමහර අය හිතන්න පුළුවන් ඔවුන් ජීවත් වුණත් මැරුණත් ඒක කාටවත් ප්‍රශ්නයක් නොවෙයි කියා. නමුත් ඒක අපේ ජීවිත දායකයාණන්ට බලපානවා. ඒකට හේතුව ඔහු මෙසේ පවසා තිබීමයි. “දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස ඔහුගේ මරණයට [මම] කැමති නොවෙමි.” (එසකියෙල් 33:11) දෙවි දුෂ්ට අය ගැනත් එතරම් සැලකිල්ලක් දක්වනවා නම් දෙවි කෙරෙහි ප්‍රේමයක් දක්වන අය කෙරෙහි ඊට වඩා කොතරම් සැලකිලිමත් වෙයිද!
ඉපැරණි ඊශ්‍රායෙලයේ විසූ දාවිත් රජුට යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල ගැන ලොකු විශ්වාසයක් තිබුණා. එක අවස්ථාවකදී දාවිත් මෙසේ පැවසුවා. “මාගේ පියාද මව්ද මා අත්හැරියෝය; නමුත් යෙහෝවා මා පිළිගන්නේය.” (ගීතාවලිය 27:10) දාවිත්ට තම දෙමව්පියන්ගේ ආදරය ගැන විශ්වාසයක් තිබෙන්න ඇති. නමුත් ඔහුගේ ළඟම ඥාතීන් වන ඔහුගේ දෙමව්පියන් ඔහුව අතහැරියත් දෙවි ඔහුව අතහරින්නේ නැති බව ඔහු දැනගෙන සිටියා. අපට තිබෙන ප්‍රේමය හා සැලකිල්ල නිසා යෙහෝවා අපිට සදාකාල ජීවනය හා ඔහු සමඟ සැමදාටම මිත්‍රත්වයක් පවත්වාගැනීමට අවස්ථාවක් දී තිබෙනවා. (යාකොබ් 2:23) අපට දෙවි ලබා දෙන මෙම ත්‍යාගයන් අප සතුටින් පිළිගත යුතු නැද්ද?
[7වන පිටුවේ පින්තූරය]
දෙවිට හා අසල්වාසීන්ට අප ප්‍රේම කරනවා නම් සදාකල් ජීවනය වටින එකක් වේවි