Skip to content

පටුනට යන්න

ක්‍රියාවෙන් පමණක් නොව දෙවිගේ මහත් කරුණාවෙන් අප ලබන ගැලවීම

ක්‍රියාවෙන් පමණක් නොව දෙවිගේ මහත් කරුණාවෙන් අප ලබන ගැලවීම

ක්‍රියාවෙන් පමණක් නොව දෙවිගේ මහත් කරුණාවෙන් අප ලබන ගැලවීම

“ඔබ ඇදහිල්ල මාර්ගයෙන් ගැලවී සිටින්නහුය. . . . කිසිවෙකුට ආඩම්බරයෙන් කතා කිරීමට පදනමක් නොතිබෙන පිණිස, එය ක්‍රියා නිසා නොවන්නේය.”—එෆීස 2:8, 9.

1. මිනිස් සමාජයට වඩා ක්‍රිස්තියානීන් වෙනස් විය යුත්තේ කවර පැතිවලින්ද? ඒ ඇයි?

අද මිනිස් සමාජය දෙස බැලුවොත් මිනිසුන් තමුන් අත් කරගන්නා දේ ගැන ඉතා ආඩම්බරයෙන් කතා කරනවා. ක්‍රිස්තියානීන් මෙයින් වැළකී සිටිය යුතුයි. තමුන් අත් කරගන්නා ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා සිතීමෙන් ඔවුන් ආරක්ෂා විය යුතුයි. මෙය යෙහෝවාට ඔවුන් කරන සේවය සම්බන්ධයෙන්ද සැබෑවක් වෙනවා. මෙහිදී තමන් පෞද්ගලිකව ඉටු කරන දේට වඩා යෙහෝවාගේ සේවකයන් සමස්තයක් හැටියට ඉටු කරන දේ ගැන සතුටු වීමට ඔවුන් පුරුදු වී සිටිනවා. එයට හේතුව පෞද්ගලික හැකියාවන්ට වඩා යෙහෝවාට පිරිසිදු චේතනාවෙන් සේවය කිරීම වැදගත් බව ඔවුන් දන්නා නිසයි. ඔවුන් තේරුම්ගෙන සිටින්නේ යමෙකුට සදාකාල ජීවනය නමැති ත්‍යාගය ලැබෙන්නේ ඔහුගේ පෞද්ගලික හැකියාවන් පදනම් කරගෙන නොව, නමුත් ඔහුගේ ඇදහිල්ල හා දෙවිගේ මහත් කරුණාව හේතුකොටගෙන බවයි.—ලූක් 17:10; යොහන් 3:16.

2, 3. පාවුල් ඉහළින් කතා කළේ කුමක් සම්බන්ධයෙන්ද? ඒ ඇයි?

2 පාවුල් මෙම කාරණය හොඳින් අවබෝධ කරගත්තා. තමාට නිතරම වධ දුන් ‘මාංසයේ කටුවකින්’ යම් සහනයක් ඉල්ලමින් තුන් වතාවක් යාච්ඤා කිරීමෙන් පසු යෙහෝවාගේ පිළිතුර වූයේ “මගේ මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය. මන්ද, දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය” කියායි. යෙහෝවාගේ තීරණයට නිහතමානීව යටත් වූ පාවුල් පැවසුවේ “ක්‍රිස්තුස්ගේ බලය කූඩාරමක් මෙන් මා කෙරෙහි පිහිටන පිණිස, මගේ දුර්වලකම් ගැන ඉතා සතුටින් ආඩම්බරයෙන් කියමි” කියායි. අපද පාවුල්ගේ එම ආදර්ශය අනුකරණය කළ යුතුයි.—2 කොරින්ති 12:7-9.

3 පාවුල් ඉතා කැපීපෙනෙන ආකාරයකින් යෙහෝවාට සේවය කළත් ඔහු කළ දේවල් ඔහුගේම හැකියාවෙන් නොකළ බව ඔහු දැනගෙන සිටියා. ඔහු නිහතමානීව පැවසුවේ “ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු තැනැත්තා වූ මට මේ මහත් කරුණාව දෙන ලද්දේ ක්‍රිස්තුස්ගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන ශුභාරංචිය මා අන්‍යජාතීන්ට ප්‍රකාශ කරන පිණිස” කියායි. (එෆීස 3:8) මෙහිදී ඔහු අන් අයට වඩා හොඳයි කියන හැඟීමක්වත් ආඩම්බරකමක්වත් ඔහු තුළ දකින්න නැහැ. “දෙවි උඩඟු අයට විරුද්ධව සිට, යටහත් අයට මහත් කරුණාව දෙන්නේය” කියන කාරණය ඔහු පිළිගත් බව පැහැදිලියි. (යාකොබ් 4:6; 1 පේතෘස් 5:5) අපිත් පාවුල් වගේද? අපගේ සහෝදරයන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා අප සුළුයි කියා අපටත් ඇත්තටම හැඟෙනවාද?

“ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින්”

4. අපට වඩා අන් අය උතුම්යයි සැලකීම ඇතැම්විට අමාරු විය හැක්කේ ඇයි?

4 පාවුල් ක්‍රිස්තියානීන්ට කිව්වේ “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත් පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න” කියායි. (ෆිලිප්පි 2:3) විශේෂයෙන්ම යම් වගකීම් හෝ නිලතල දරන අයට මෙම උපදෙස අනුගමනය කිරීම අභියෝගයක් විය හැකියි. එයට හේතුව අවට සමාජයේ දක්නට ලැබෙන තරඟකාරී ස්වභාවයයි. ඇතැම්විට අපගේ ළමා කාලයේදී, පාසැලෙන් සහ පවුලෙන් අපට දිරිගැන්නුවේ අන් අයට වඩා කැපීපෙනෙන්න විය හැකියි. උදාහරණයක් හැටියට පාසැලේ දක්ෂතම ශිෂ්‍යයා වීමේ හෝ හොඳම ක්‍රීඩකයා වීමේ ඉලක්කය අප ඉදිරියේ තැබුවා විය හැකියි. මින් අදහස් කරන්නේ අපේ උපරිමය කිරීමට අප උත්සාහ නොකළ යුතු බව නම් නොවෙයි. වැරදි දේ වන්නේ තමාටම අවධානය ඇදගැනීමයි. ක්‍රිස්තියානීන් හැටියට අප යම් දෙයක් කරන්නේ අප කරන දෙයින් හැකි තරම් ප්‍රයෝජන ලබාගැනීමට සහ හැකි නම් අන් අයටත් එයින් ප්‍රයෝජන ලබා දීමටයි. නමුත් හැමවිටම ප්‍රථමයා වීමට උත්සාහ කරමින් සියල්ලන්ගේ ප්‍රශංසාව ගෞරවය ලැබීමට වෑයම් කිරීම අනතුරුදායකයි. එයට හේතුව කුමක්ද?

5. අප තරඟකාරී ස්වභාවය පාලනය කරන්නේ නැත්නම් කුමක් සිදු විය හැකිද?

5 කෙනෙක් හිස උදුම්මාගෙන දිගටම තරඟකාරී ස්වභාවයකින් ක්‍රියා කරනවා නම්, ඔහු අන් අයට ගෞරවය කරන්නේ නැතුව උඩඟු ආකාරයෙන් හැසිරෙන්න පටන්ගත හැකියි. අන් අයට තිබෙන දේවල් හා ඔවුන්ගේ හැකියාවන් ගැන ඊර්ෂ්‍යා කරන්න වුණත් ඔහුට පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් තමාට අයිති නැති දේ වුණත් ලබාගන්න උත්සාහ කරනවා. ඒ ගැන හිතෝපදේශ 28:22හි සඳහන් වන්නේ මෙසේයි. “වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි; කවදා හරි හිඟකමට පැමිණෙන බව ඔහු නොදනියි.” තමා කරන දේ හරියි කියා පෙන්වීමට ඔහු අනුන්ව විවේචනය කරන්න හෝ ඔවුන් ගැන කොඳුරන්න වුණත් පුරුදු වෙන්න පුළුවන්. (යාකොබ් 3:14-16) මේ විදිහට අපත් සිතනවා නම් එය ක්‍රිස්තියානීන්ට කොහෙත්ම සුදුසු නැති දෙයක් බව මතක තබාගත යුතුයි. තමා ගැන පමණක් සිතන පුද්ගලයෙකු වීමේ අන්තරායට අපත් හසු වෙන්න පුළුවන්.

6. තරඟකාරී ස්වභාවයක් ඇති කරගැනීම ගැන බයිබලයේ අනතුරු අඟවා තිබෙන්නේ කොහොමද?

6 එමනිසා ක්‍රිස්තියානීන් වන අපට බයිබලයේ උනන්දු කර තිබෙන්නේ “අපි හිස උදුම්මා නොගනිමු. එකිනෙකා සමඟ තරඟකාරිත්වයක් ඇති කර නොගනිමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු” කියායි. (ගලාති 5:26) මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව තුළත් එවැනි වැරදි ආකල්ප දැරූ අය සිටියා. ඔවුන්ගෙන් කෙනෙක් ගැන යොහන් මෙසේ පැවසුවා. “මම සභාවට යම් දෙයක් ලියා එව්වෙමි. නමුත් ඔවුන් අතරේ මුල් තැන ලබාගැනීමට කැමති දියොත්‍රෙෆස්, අපෙන් වූ කිසිවක් ගෞරවයෙන් පිළිගන්නේ නැත. එහෙයින්, මා ආවොත්, ඔහු අපට දුෂ්ට වචනවලින් දිගින් දිගටම දොස් තබමින් කරන ක්‍රියා ගැන සිහි කරවන්නෙමි.” අද දිනත් ක්‍රිස්තියානියෙක් මෙවැනි ක්‍රියාකලාපයකට හසු වුවහොත් එය කොතරම් කනගාටුදායකද!—3 යොහන් 9, 10.

7. අද දින පවතින ව්‍යාපාර ලෝකයේ තිබෙන කවර ආකල්පවලින්ද ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුත්තේ?

7 ජීවිතයේ ඇතැම් පැතිවලදී ක්‍රිස්තියානියෙකුට තරඟකාරිත්වයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය නොහැකි බව මතක තබාගත යුතුයි. උදාහරණයකට ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුට තමා නිෂ්පාදනය කරන හෝ සපයන දේම කරන තවත් ව්‍යාපාරිකයන් සමඟ තරඟ වදින්න සිදු වෙනවා. ඒ වුණත් ක්‍රිස්තියානියෙක් තම ව්‍යාපාරික කටයුතුවල යෙදිය යුත්තේ ගෞරවනීය ආකාරයකින්. ඔහු තුළ වෛරයක්ද ඇති නොවිය යුතුයි. කරන දේ අන් අයට හානියක් නොවන ආකාරයකින්ද කළ යුතුයි. ඒ නිසා ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ දේ සහ නීතිවිරෝධී දේ කිරීමෙන් ඔහු වැළකී සිටිය යුතුයි. අද තිබෙන ව්‍යාපාරික ලෝකය හරියට බලු පොරයක් හා සමානයි. ක්‍රිස්තියානීන් මෙම තත්වයට නොවැටෙන්න වගබලා ගත යුතුයි. මොනවා කළත් ප්‍රථමයා වෙන්න ඕනේ කියන හැඟීම ඔහු තුළ නොතිබිය යුතුයි. මෙය ව්‍යාපාරික ක්ෂේත්‍රයට අදාළ වනවා නම් ඊට වඩා කොපමණ වැඩියෙන් සභාවේ කටයුතුවලටත් අදාළ විය යුතුද!

“එකිනෙකා සමඟ සැසඳීම් නොකර”

8, 9. (අ) එකිනෙකා හා තරඟ වදින්නට ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට අවශ්‍ය නැත්තේ ඇයි? (ආ) පළමුවන පේතෘස් 4:10හි උපදෙස දෙවිගේ සියලු සේවකයන්ට අදාළ වන්නේ ඇයි?

8 සභාවේ කටයුතුවලදී ක්‍රිස්තියානීන්ට තිබිය යුතු ආකල්පය දේවවචනයෙහි මෙසේ සඳහන් වෙනවා. “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.” (ගලාති 6:4) වැඩිමහල්ලන් මෙම උපදෙස ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. වැඩිමහල්ලන් කිහිපදෙනෙක් සභාවේ එකට වැඩ කරද්දී ඔවුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතුයි. ඔවුන් එකිනෙකා අතර තරඟයක් නොතිබිය යුතුයි. ඔවුන් හැමෝම තමාගේ කොටස කරද්දී එය සභාවේ වර්ධනයට දායක වන අයුරු දැක ඔවුන් එකා මෙන් සතුටු වෙනවා. එනිසා සභාවේ බෙදීම් ඇති වන්නේ නැහැ. මෙය සභාවේ සියලුම සාමාජිකයන්ට සමඟියෙන් සිටීම සඳහා කදිම ආදර්ශයක්.

9 සමහර වැඩිමහල්ලන්ගේ වයස, අද්දැකීම් හෝ පෞද්ගලික හැකියාවන් නිසා ඔවුන්ට අන් අයට වඩා දේවල් හොඳින් කරන්න පුළුවන්. එසේ නැත්නම් එක් කෙනෙකුට වඩා යම් යම් කාරණා ගැන තවත් කෙනෙකුට තියුණු අවබෝධයක් තිබෙන්න පුළුවන්. යෙහෝවාගේ සංවිධානයේ වැඩිමහල්ලන්ට විවිධාකාර වගකීම් ලබා දී තිබෙන්නේ එනිසයි. නමුත් ඔවුන් සැසඳීම් කරන්නේ නැහැ. ඔවුන් මෙම උපදෙස සිතේ තබාගත යුතුයි. “විවිධ ආකාරවලින් පෙන්වන ලද දෙවිගේ මහත් කරුණාවේ යහපත් භාරකරුවන් මෙන්, එකිනෙකාට ලැබී තිබෙන දීමනාවේ හැටියට එකිනෙකාට සේවය කරන්න.” (1 පේතෘස් 4:10) ඇත්තටම අප වැඩිමහල්ලන් වුවත් නැතත් අපි සියලුදෙනාටම නිවැරදි දැනුමක් ලැබී තිබෙනවා වගේම දේවසේවයේ හවුල් වීමේ වරප්‍රසාදය තුළින් සතුටක්ද ලබනවා. එමනිසා අපි හැමෝටම එම උපදෙස අදාළයි.

10. යෙහෝවා සතුටු වන්නේ මොන වගේ සේවයක් ගැනද?

10 අප යෙහෝවා දෙවිට කරන සේවය ගැන ඔහු සතුටු වන්නේ එය අපි මුළු සිතින්, ප්‍රේමයෙන් හා භක්තියෙන් කළොත් පමණයි. අපි කැපීපෙනෙන්න දේවල් කළොත් දෙවි සතුටු වන්නේ නැහැ. එමනිසා අප කරන සේවය ගැන සමබර ආකල්පයක් තිබීම අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් අපට බැහැ අන් අයව විනිශ්චය කරන්න. නමුත් යෙහෝවා “සිත් කිරා බලන” බව අප මතක තබාගත යුතුයි. (හිතෝපදේශ 24:12; 1 සාමුවෙල් 16:7) ඉතින් අන් අය ගැන සිතනවා වෙනුවට ‘මම යෙහෝවාට සේවය කරන්නේ මොන චේතනාවක් ඇතුවද’ කියා විටින් විට අපගෙන්ම අසාගැනීම සුදුසුයි.—ගීතාවලිය 24:3, 4; මතෙව් 5:8.

අප කරන දේ ගැන නිසි ආකල්පයක් දැරීම

11. අපගේ සේවය ගැන සාධාරණව අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

11 අප කරන ඕනෑම දෙයකදී අපේ චේතනාව යෙහෝවා සැලකිල්ලට ගන්න නිසා අපේ සේවය ගැන කොතරම් දුරට අප සැලකිලිමත් විය යුතුද? අපගේ සේවය හරි චේතනාවෙන් කරන තාක් කල් අප කොතරම් සේවයක් කරනවාද යන්න ගැන වාර්තා කිරීම අවශ්‍ය දෙයක්ද? මෙවැනි ප්‍රශ්න අපගෙන් අසාගැනීම සුදුසුයි. එයට හේතුව අප කරන ප්‍රමාණයට වඩා කරන දේ ඇදහිල්ලෙන් කිරීමට උත්සාහ කරන නිසයි. ඒ වගේම අපගේ සේවයේ ඉහළින්ම සලකන්නේ හොඳ වාර්තාවක් දැමීම පමණක් නොවන නිසයි.

12, 13. (අ) අපගේ සේවය වාර්තා කිරීමට හේතු සඳහන් කරන්න. (ආ) අපගේ ලෝක ව්‍යාප්ත සේවය පිළිබඳ වාර්තාව දෙස බලන විට ප්‍රීතිවීමට තිබෙන හේතු මොනවාද?

12 යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වූ සෙනඟක් යන පොතෙහි මේ සම්බන්ධයෙන් සඳහන් දේ සැලකිල්ලට ගන්න. “යේසුස් ක්‍රිස්තුස්ගේ මුල් ගෝලයෝ දේශනා සේවයෙහි තමන් ඉටු කළ දේ ගැන යම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට උනන්දු වුණා. (මාක් 6:30) ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන් මතට දෙවිගේ බලය වගුරුවනු ලැබූ විට එහි 120දෙනෙකු සිටි බවයි ක්‍රියා පොතෙහි සඳහන් වන්නේ. වැඩි කලක් නොගොස් ඒ ගණන 3,000 දක්වාද, පසුව 5,000 දක්වාද වැඩි වුණා. (ක්‍රියා 1:15; 2:5-11, 41, 47; 4:4; 6:7) මෙම වර්ධනය සංඛ්‍යාවලින් දුටු ගෝලයන් මොන තරම් දිරිගැන්වීමක් ලබන්නට ඇද්ද!” අද දිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරා කරන සේවයේදී ඉටු කරන දේ පිළිබඳව නිවැරදි වාර්තා තබාගන්නට උත්සාහ කරන්නේ ඒ හේතුව නිසාමයි. අපගේ සේවය පිළිබඳ වාර්තා ලැබෙද්දී ලොව පුරා සිදු වන දේ ගැන පැහැදිලි චිත්‍රයක් ලබාගන්න පුළුවන්. වැඩියෙන් සේවය කළ යුතු ප්‍රදේශ මොනවාද කියාත්, ඒ ප්‍රදේශවලට අවශ්‍ය පොත් පත් සහ අවශ්‍ය ප්‍රමාණයද එම වාර්තාවලින් දැනගත හැකියි. අපගේ සේවයෙන් යේසුස් පැවසූ මෙම අනාවැකිය ඉටු වෙනවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.

13 අප කරන සේවය ගැන පැහැදිලි වාර්තාවක් ලබාදෙන විට ශුභාරංචිය වඩාත් කාර්යක්ෂමව දේශනා කරන්න අපට හැකි වෙනවා. අනිත් රටවල අපගේ සහෝදරයන් ඉටු කරන සේවය ගැන දැනගන්න ලැබීමෙනුත් අපට කොතරම් දිරිගැන්වීමක් ලැබෙනවාද! ලොව පුරාම සිදු වන වර්ධනය ගැන දැනගන්න ලැබෙන විට අපට ඇති වන්නේ පුදුම ප්‍රීතියක්. අපගේ සේවයට යෙහෝවාගේ ආශීර්වාදය ඇති බව එයින් සනාථ වන අතර, ඔහු වෙනුවෙන් වැඩි සේවයක් කරන්නත් අපි පෙලඹෙනවා. අප පෞද්ගලිකව කළ සේවයත් ලෝක ව්‍යාප්ත වාර්තාවට එකතු කර තිබීම අපට කොතරම් සතුටක්ද! මුළු එකතුව සමඟ සසඳද්දී අප කළ දේ කුඩා දෙයක් වුණත් යෙහෝවා දෙවි එය අගය කරන බව අපි දන්නවා. (මාක් 12:42, 43) ඔබේ වාර්තාව නැතිව ලෝක ව්‍යාප්ත වාර්තාව සම්පූර්ණ වෙන්නේ නැති බව මතක තබාගන්න.

14. අපගේ දේශනා සේවයට අමතරව අපගේ නමස්කාරයට ඇතුළත් වන වෙනත් දේවල් සඳහන් කරන්න.

14 අපගේ දේශනා සේවය වාර්තා කිරීමෙන් වැදගත් කාර්යයක් ඉටු වුණත් අප ඒ ගැන සාධාරණව සිතිය යුතුයි. යෙහෝවාගේ කැපවූ සේවකයෙකු හැටියට සාක්ෂිකරුවෙකු කරන බොහෝ දේවල් ඔහුගේ වාර්තාවේ සඳහන් වන්නේ නැහැ. උදාහරණයකට බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ගත කරන කාලය, රැස්වීමට යෑම සහ සහභාගි වීම සඳහා දරන උත්සාහය, සභාවේ වගකීම් වෙනුවෙන් ගත කරන කාලය, සෙසු සහෝදරයන්ට උපකාර කරන්න දරන වෑයම, යෙහෝවාගේ සංවිධානයේ ලෝක ව්‍යාප්ත වැඩවලට සම්මාදම් කරන මුදල් ප්‍රමාණය ආදිය ගැන කිසිම වාර්තාවක් අපි තබාගන්නේ නැහැ. ඉතින් අපගේ වාර්තාව, අප කරන සේවය අඩු නොකර දිගටම උද්‍යෝගයෙන් කිරීමට උපකාරයක් වුණත්, අප වාර්තා කරන ප්‍රමාණයෙන් අප සදාකාල ජීවනය ලබන්න සුදුසු අයද යන්න තීරණය වන්නේ නැති බව මතක තබාගත යුතුයි.

“යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත් වූ” සෙනඟක්

15. ක්‍රියාවලින් පමණක් ගැලවීම ලබාගන්න බැරි වුණත් ක්‍රියා අවශ්‍ය වන්නේ ඇයි?

15 ක්‍රියාවලින් පමණක් අපට ගැලවීම ලබාගන්න බැරි වුණත්, ඒවාවලින් වැදගත් කාර්යයක් ඉටු වන බව අප මතක තබාගත යුතුයි. ක්‍රිස්තියානීන්ව “යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත් වූ, [දෙවිට] පමණක් අයත් වූ සෙනඟක්” ලෙස හඳුන්වා තිබෙන්නෙත්, “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත්” වීමට උනන්දු කර තිබෙන්නෙත් එමනිසයි. (තීතස් 2:14; හෙබ්‍රෙව් 10:24) වැදගත්ම දේ පැහැදිලිව අවධාරණය කරමින් බයිබල් ලේඛකයෙකු වූ යාකොබ් කියන්නේ “හුස්ම නැති ශරීරය මැරී තිබෙන්නාක් මෙන්ම, ක්‍රියා නැති ඇදහිල්ලද මැරී තිබේ” කියායි.—යාකොබ් 2:26.

16. ක්‍රියාවලට වඩා වැදගත් වන්නේ කුමක්ද? අප පරෙස්සම් විය යුත්තේ කුමකින්ද?

16 අප කරන යහපත් දේවල් වැදගත් වගේම ඒවා කිරීමේ චේතනාව ඊට වඩා වැදගත්. එමනිසා විටින් විට අපගේ චේතනා ගැන සෝදිසියක් කිරීම නුවණට හුරුයි. අපට අන් අයගේ සිතේ තිබෙන දේවල් ගැන නිවැරදිව දැනගන්න හැකියාවක් නැති නිසා ඔවුන්ව විනිශ්චය කිරීමෙන් වැළකිය යුතුයි. “වෙන කෙනෙකුගේ නිවසෙහි වැඩ කරන සේවකයෙකුව විනිශ්චය කිරීමට ඔබ කවුද?” යන ප්‍රශ්නය අසා තිබෙන්නේ අපගෙන්. ඊට පිළිතුර පැහැදිලියි: “ඔහු සිටගෙන සිටියත් වැටුණත් ඒක අයිති ඔහුගේ ස්වාමියාටය.” (රෝම 14:4) සියලුදෙනාගේ ස්වාමියා වන්නේ යෙහෝවා දෙවියි. අපව විනිශ්චය කිරීමට ඔහු යේසුස් ක්‍රිස්තුස්ව පත් කර තිබෙනවා. ඔවුන් අපව විනිශ්චය කරන්නේ අප කරන ක්‍රියා ගැන පමණක් නොව අපගේ චේතනා, අපට ඇති අවස්ථා, අපගේ ප්‍රේමය සහ අපගේ භක්තිය ගැන පැහැදිලි ඇගයීමක් කළායින් පසුවයි. පාවුල් පැවසුවේ “සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු ලෙස, දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට හැකි උපරිමය කරන්න” කියායි. අපගේ උපරිමය කුමක්ද කියා නිවැරදිව විනිශ්චය කළ හැක්කේ යෙහෝවා දෙවිට සහ යේසුස් ක්‍රිස්තුස්ට පමණයි.—2 තිමෝති 2:15; 2 පේතෘස් 1:10; 3:14.

17. අපගේ උපරිමය කරන අතරම, අප යාකොබ් 3:17හි සඳහන් උපදෙස සිහියේ තබාගත යුත්තේ ඇයි?

17 යෙහෝවා අපගෙන් බලාපොරොත්තු වන දේ ගැන සාධාරණව සිතන දෙවි කෙනෙක්. යාකොබ් 3:17ට අනුව “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” “සාධාරණය.” මේ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිව අනුගමනය කිරීම ඥානවන්ත දෙයක් නොවේද? එමනිසා අප අපගෙනුත් අන් අයගෙනුත් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු නොවීමට උත්සාහ කළ යුතුයි.

18. යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව ගැන හා අප කරන සේවය ගැන සමබර ආකාරයකින් සිතන විට අපට කුමක් අපේක්ෂා කළ හැකිද?

18 යෙහෝවාගේ සේවකයන් නිතරම සිටින්නේ ප්‍රීතියෙන්. අපත් යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව ගැන හා අප ඇදහිල්ලෙන් කරන සේවය ගැන සමබර ආකාරයකින් හිතනවා නම් අපටද එම ප්‍රීතිය භුක්ති විඳිය හැකියි. (යෙසායා 65:13, 14) පෞද්ගලිකව අපට කළ හැකි දේ මොනවා වුණත්, යෙහෝවා සමස්තයක් හැටියට ඔහුගේ සේවකයන්ට ආශීර්වාද කරන ආකාරය දැකීම අපට ඉමහත් සන්තෝෂයක් ගෙන දෙනවා. අපගේ උපරිමය කිරීම සඳහා “ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන්” අපගේ ඉල්ලීම් දෙවිට දන්වන්න පුළුවන්. එවිට “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් [අපගේ] සිත්ද, මනස්ද ආරක්ෂා” වන අයුරු අප අද්දකිනවා නිසැකයි. (ෆිලිප්පි 4:4-7) අපගේ ක්‍රියාවෙන් පමණක් නොව යෙහෝවාගේ මහත් කරුණාවෙන් අපට ගැලවීම ලැබිය හැකි බව දැනගැනීම අපට මොන තරම් සැනසීමක්ද! මොන තරම් දිරිගැන්වීමක්ද!

ක්‍රිස්තියානීන් . . .

• පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටින්නේ ඇයි?

• තරඟකාරී ස්වභාවයකින් වැළකී සිටින්නේ ඇයි?

• දේවසේවය ගැන වාර්තා කරන්නේ ඇයි?

• සෙසු ක්‍රිස්තියානීන්ව විනිශ්චය නොකරන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

“මගේ මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය”

[16, 17වන පිටුවේ පින්තූර]

සභාවේ වර්ධනයට එකිනෙකා දායක වන අයුරු දකින වැඩිමහල්ලෝ සතුටට පත් වෙනවා

[18, 19වන පිටුවේ පින්තූර]

ඔබේ වාර්තාව නැතිව ලෝක ව්‍යාප්ත වාර්තාව සම්පූර්ණ වෙන්නේ නැහැ