Skip to content

පටුනට යන්න

දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන

දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන

දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන

දෙවි අනුමත කරන සත්‍යය කුමක්ද කියා පොළොවේ වෙසෙන මිනිසුන් විසින් දැන ගැනීමට නම්, දෙවි තම ප්‍රමිති මොනවාද කියා මිනිසුන්ට හෙළි කළ යුතුයි. අනෙක ඔහු එය කළ යුත්තේ පොළොවේ වෙසෙන සියලු මිනිසුන්ට දැනගත හැකි වන අන්දමටයි. එසේ නැතුව දෙවි අනුමත කරන නමස්කාරය කුමක්ද, මූලික ඉගැන්වීම් මොනවාද හා මිනිසා හැසිරිය යුතු අන්දම කුමක්ද කියා දැන ගත හැක්කේ කොහොමද? දෙවි එවන් තොරතුරු මිනිස් වර්ගයාට දැනුම් දී තිබෙනවාද? එසේ නම්, ඒ කුමන ආකාරයෙන්ද?

අවුරුදු හැට හැත්තෑවක් ජීවත් වන මිනිසෙකුට පොළොවේ සෑම තැනම ඇවිද දෙවිගෙන් ලැබෙන තොරතුරු ජනයාට බෙදා දෙන්නට හැකිකම තිබෙනවාද? නැහැ. නමුත් ස්ථිරවම ලියන ලද යම් පොතකින් එසේ කරන්නට පුළුවන්. එමනිසා දෙවිගෙන් ලැබෙන තොරතුරු පොතක් මාර්ගයෙන් දැනුම් දීම වඩාත් සාධාරණයි සහ උචිතයි. ඒ විදිහට දෙවිගෙන් පැමිණි පොතක් බවට කියා සිටින්නේ බයිබලයයි. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය” කියා බයිබලයේම කියනවා. (2 තිමෝති 3:16) දැන් අපි බයිබලය ගැන කිට්ටු අවධානයක් දී එහි සත්‍යය තිබෙනවාද කියා සොයා බලමු.

බයිබලය කොතරම් පැරණිද?

ලෝකයේ ප්‍රධාන ආගමික පොත් අතුරින් පැරණිම පොත බයිබලයයි. එහි මුල් කොටස ලියනු ලැබුවේ මීට වසර 3,500කට පමණ ඉහතදීයි. මෙම පොත ලියා සම්පූර්ණ කරනු ලැබුවේ ක්‍රි.ව. 98දීයි. මිනිසුන් 40 දෙනෙකු විසින් වසර 1,600ක පමණ කාලයක් පුරා මෙය ලීවත්, එහි පොත්වල ලියා ඇති දේවල් එකකට එකක් එකඟයි. එය එසේ වන්නේ එහි කර්තෘ දෙවි වන නිසයි.

ඉතිහාසය පුරා වැඩියෙන්ම බෙදා හැර තිබෙන පොත බයිබලයයි. සෑම වසරකම මුළු බයිබලයම හෝ එය කොටස් වශයෙන් සාමාන්‍යයෙන් මිලියන 60ක් පමණ පිටපත් බෙදා හැරෙනවා. මුළු බයිබලය හෝ එහි කොටස් වශයෙන් භාෂා හා උප භාෂා 2,300කට පරිවර්තනය කර තිබෙනවා. ලෝක ජනගහනයෙන් සියයට 90කට මුළු බයිබලය හෝ අඩුම තරමින් එහි කොටස්වත් තමන්ගේම භාෂාවෙන් ලබා ගත හැකියි. පුද්ගලයෙකුගේ රට, ජාතිය, ගෝත්‍රය කුමක් වුණත් මෙම පොත ඔහුගේ හෝ ඇගේ හදවත ස්පර්ශ කරයි කියා පවසන්න පුළුවන්.

බයිබලය සකස් කර ඇති ආකාරය

ඔබ ළඟ බයිබලයක් තිබෙනවාද? එසේ නම්, එය සකස් කර ඇති ආකාරය දැක ගැනීමට එය පෙරළා බලන්න. * පළමුව බයිබලයේ පොත් අඩංගු වී ඇති අනුපිළිවෙළ සැලකිල්ලට ගන්න. බයිබල් වැඩි ගණනක මෙම අනුපිළිවෙළ සඳහන් කර ඇති අතර එක් එක් පොතේ නමත් පිටු අංකයත් සඳහන් කර තිබෙනවා. බයිබලය යනු තනි පොත් කිහිපයක එකතුවක් බවත් ඒ එක් එක් පොතට සුවිශේෂී නමක් තිබෙන බවත් ඔබට පෙනේවි. පළමු පොත උත්පත්ති පොතයි. අන්තිම පොත එළිදරව් පොතයි. මෙම පොත් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කර තිබෙනවා. පළමු පොත් 39 හැඳින්වෙන්නේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල කියායි. මන්ද ඒවා වැඩි වශයෙන් ලියනු ලැබුවේ හෙබ්‍රෙව් භාෂාවෙන් නිසා. ඊළඟ පොත් 27 ග්‍රීක් භාෂාවෙන් ලියා තිබෙන නිසා එය ග්‍රීක් ශුද්ධ ලියවිල්ල කියා හැඳින්වෙනවා. සමහරක් අය මෙම කාණ්ඩ දෙක හඳුන්වන්නේ පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම හැටියටයි.

බයිබලයේ අඩංගු පොත්, පරිච්ඡේද සහ පදවලට බෙදා තිබෙන නිසා ඒවා පෙරළා කියවන්න ලෙහෙසියි. මෙම සඟරාවේ බයිබල් පද සඳහන් වෙන විට, මුලින්ම සඳහන් වෙන්නේ බයිබල් පොතේ නමයි. ඊළඟට පරිච්ඡේදයේ අංකය සහ ඊළඟට පදය. උදාහරණයක් හැටියට අපි “2 තිමෝති 3:16” කියන පදය ගනිමු. ඉන් අදහස් කරන්නේ දෙවන තිමෝති පොතේ 3වන පරිච්ඡේදයේ 16වන පදය යන්නයි. දැන් බලන්න ඔබට ඒ පදය සොයා ගන්න පුළුවන්ද කියලා.

බයිබලය ගැන දැනගන්න තිබෙන හොඳම ක්‍රමය එය නිතිපතා කියවීමයි. සමහරු මුලින්ම කියවන්නේ ග්‍රීක් ලියවිල්ලයි. එය පටන් ගන්නේ මතෙව් කියන පොතෙන්. දවසකට පරිච්ඡේද තුනක් හතරක් කියනවා නම්, ඔබට අවුරුද්දක් ඇතුළත මුළු බයිබලයම කියවලා ඉවර කරන්න පුළුවන්. නමුත් බයිබලයෙන් ඔබ කියවන දෙය, ඇත්තටම දෙවිගේ අදහස්මයි කියලා ඔබට සහතික වන්න පුළුවන් කොහොමද?

බයිබලය විශ්වාස කරන්න ඔබට පුළුවන්ද?

මුළු මහත් මිනිස් සංහතිය සඳහාම ලියනු ලැබූ දෙවි දුන් පොතක, මිනිසුන් ජීවත් විය යුතු ආකාරය ගැන වෙනස් නොවන අවවාද උපදෙස් තිබීම අවශ්‍යයි. මිනිසා ජීවත් වූ සෑම පරම්පරාවකටම ගැළපෙන සේ මිනිසාගේ ස්වභාවය ගැන සත්‍යය අවබෝධ කර දෙන්නේ බයිබලයයි. අනික එහි තිබෙන ප්‍රතිපත්ති ඒවා ලියවුණු කාලයට ප්‍රයෝජනවත් වුණා වගේම අදටත් ප්‍රයෝජනයි. ක්‍රිස්තියානි මාර්ගය ලොවට හඳුන්වා දුන් යේසුස් ක්‍රිස්තුස් දුන් දේශනාව දෙස බලද්දී මෙය අපට පැහැදිලිව දැක ගන්නට පුළුවන්. එය වාර්තා වී තිබෙන්නේ මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවල. එය හඳුන්වන්නේ කන්ද උඩ දේශනාව නමින්. සැබෑ සන්තෝෂය ලබා ගන්නේ කොහොමද, මත භේද විසඳා ගන්නේ කොහොමද, යාච්ඤා කරන්නේ කොහොමද, කෑම බීම ඉඳුම් හිටුම් ගැන සමබරව සිතන්නේ කොහොමද යනාදී බොහෝ දේවල් ගැන මේ දේශනාවේ අපට පෙන්වා දී තිබෙනවා. අප සිටින තත්වයට අනුව දෙවිව සතුටු කරන්න ඕනෑ මොනවාද වළකින්න ඕනෑ මොනවාවලින්ද කියලා මේ දේශනාවේ ඉතිරි කොටසේදී වගේම බයිබලයේ අනික් පොත්වලත් සඳහන් කරනවා.

බයිබලය විශ්වාස කරන්න පුළුවන් තවත් හේතුවක් තමයි, මෙම පැරණි පොතේ විද්‍යාත්මක කාරණා ගැන කතා කරන කොට කියා ඇති දේ හරිම නිවැරදියි. උදාහරණයක් හැටියට, එක කාලයක වැඩිදෙනෙක් පොළොව පැතලි වස්තුවක් කියලා විශ්වාස කරන කොට, බයිබලය එය “පෘථිවිචක්‍රය” කියලා හැඳින්නුවා. * (යෙසායා 40:22 පැරණි අනුවාදය) සුප්‍රකට විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ග්‍රහ ලෝක ගුරුත්වාකර්ෂණය මගින් හිස් අවකාශයේ රැඳී තිබෙන බව කියන්න වසර 3,000කට පමණ ඉහත පොළොව ‘අවකාශයෙහි එල්ලා තබා’ ඇති බව බයිබලයේ කාව්‍යමය ආකාරයෙන් සඳහන් කර තිබුණා. (යෝබ් 26:7) මීට වසර 3,000කට පමණ ඉහතදී පොළොවේ ජල චක්‍රය ගැන කාව්‍යමය ආකාරයෙන් දුන් විස්තර ගැනද සලකා බලන්න. එහි කියන්නේ මෙයයි. “සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනටම නැවත වතුර යයි.” (දේශනාකාරයා 1:7, නව අනුවාදය) ඇත්තෙන්ම විශ්වයේ මැවුම්කරුවා බයිබලයේ කර්තෘද වෙයි.

බයිබලයේ සඳහන් ඉතිහාසය ගැන පරීක්ෂා කරන විට එය ඉතා නිවැරදියි. මේ අනුව එය දෙවිගෙන් පැමිණි පොතක් බවට ඔප්පු වෙනවා. බයිබලයේ සඳහන් යම් යම් සිද්ධීන් මිථ්‍යා කථා නොවෙයි. ඒවා සිදු වුණු ස්ථාන, ඒවාට සම්බන්ධ පුද්ගලයන් ගැන හා දින වකවානු ද පැහැදිලිව එහි සඳහන් වෙනවා. උදාහාරණයක් වශයෙන්, “ටයිබීරියස් සීසර්ගේ පාලන සමයෙහි පහළොස්වන අවුරුද්දේදී, පොන්තියුස් පිලාත් යුදයෙහි ආණ්ඩුකාරයා වශයෙන්ද හෙරොද් ගලීලයෙහි දේශාධිපති වශයෙන්ද” ජීවත් වූ බව ලූක් 3:1හි පැහැදිලිව දක්වා තිබෙනවා.

සාමාන්‍යයෙන් ලෞකික ඉතිහාසය ගැන සඳහන් වන පොත්පත්වල තිබෙන්නේ එම රටවල පාලකයන්ගේ ජයග්‍රහණයන් හා ඔවුන් කළ හොඳ වැඩ ගැන පමණයි. නමුත් බයිබල් ලේඛකයන් තමුන්ගේම වැරදි හා අඩු පාඩු ගැනත් විවෘතව අවංකව වාර්තා කර තිබෙනවා. නිදසුනක් හැටියට, ඊශ්‍රායෙලයේ විසූ දාවිත් රජ තමා කළ පාපය ගැන කිව්වේ මෙසේයි. “මම මේ දේ කිරීමෙන් බොහෝ කොට පව් කළෙමි. . . ඉතා අඥාන ලෙස ක්‍රියා කළෙමි” කියා තමන්ගේ වැරදි අවංකව පිළිගත්තා. මෙය බයිබලයේ වාර්තා කර තිබෙනවා. (2 සාමුවෙල් 24:10) ඒ වගේම බයිබලයේ පොත් කිහිපයක් ලියූ මෝසෙස් සැබෑ දෙවි කෙරෙහි තමන්ගේ විශ්වාසය පළ නොකළ යම් අවස්ථාවක් ගැන ඔහුම ලියා තිබෙනවා.—ගණන් කතාව 20:12.

බයිබලය දෙවිගෙන් ලැබූ පොතක් බවට තවත් පැහැදිලි සාක්ෂියක් තිබෙනවා. ඒ තමයි, එහි කලින්ම ලියා ඇති, දැනටමත් ඉෂ්ට වී තිබෙන අනාවැකි. මේවායින් සමහරක් ලියා තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් ගැනයි. උදාහරණයක් වශයෙන්, යේසුස් ඉපදෙන්නට වසර 700කට පමණ පෙරාතුව, පොරොන්දු වූ ගැලවුම්කරු “යුදයෙහි පිහිටි බෙත්ලෙහෙමෙහි” උපදින බව හෙබ්‍රෙව් ලියවිලිවල පැහැදිලිව කියා තිබුණා.—මතෙව් 2:1-6; මීකා 5:2.

තවත් උදාහාරණයක් සැලකිල්ලට ගන්න. බයිබලයේ දෙවෙනි තිමෝති 3:1-5හි බයිබලයේ මෙහෙම විස්තරයක් දෙනවා. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය.” අද දින ජීවත් වන මිනිසුන්ගේ මානසික තත්වය ගැන මේ විස්තරයෙන් අපූරුවට කියා පාන්නේ නැද්ද? මේ වචන ලියා තිබෙන්නේ මීට වසර 1,900කට විතර පෙර ක්‍රි.ව. 65දීයි.

බයිබලයෙන් අපට උගන්වන දෙය

ඔබ බයිබලය කියවන්නට පටන් ගනිත්ම බයිබලය යනු ඉතා උසස් ප්‍රඥාවක් ගැබ් වූ පොතක් බව ඔබට පැහැදිලිව තේරුම් යාවි. එහි මේ වගේ ප්‍රශ්නවලට සෑහීමට පත් විය හැකි පිළිතුරු දෙනවා. දෙවි කියන්නේ කවුද? යක්ෂයා කියා සැබෑවටම පුද්ගලයෙක් ඉන්නවාද? යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද? දුක් වේදනා පවතින්නේ ඇයි? අප මැරෙන කොට අපට මොකක්ද වෙන්නේ? මෙම ප්‍රශ්නවලට ඔබ වෙනත් අයගෙන් ලබන පිළිතුරු එකිනෙකට වෙනස්. හරියට ඔවුන්ගේ විශ්වාසයන් හා චාරිත්‍ර වාරිත්‍ර එකිනෙකට වෙනස් වගේමයි. නමුත් බයිබලයේ මේවා ගැන සහ වෙනත් බොහෝ කාරණා ගැන සැබෑ සත්‍යය පැහැදිලිව හෙළි කරනවා. ඒ විතරක් නොවෙයි, වෙනත් අය එක්ක සහ අපට ඉහළින් සිටින යම් යම් අධිකාරීන් සමඟ කටයුතු කළ යුත්තේ සහ හැසිරිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියාත් බයිබලයේ අපට පෙන්වා දෙනවා. මේ අනුව බයිබලය අපට දෙන මඟ පෙන්වීමේ වටිනාකම කියා නිම කරන්නට බැහැ. *

පොළොව හා මිනිස් වර්ගයා සම්බන්ධව දෙවිගේ අරමුණ ගැන බයිබලයේ හෙළි කරන්නේ මොනවාද? එහි මේ වගේ පොරොන්දුවක් සඳහන් වෙනවා. “තව ටික කලකින් දුෂ්ටයා නැත්තේය. . . . එහෙත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය.” (ගීතාවලිය 37:10, 11) “දෙවිම [මිනිසා] සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:3, 4) “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය.”—ගීතාවලිය 37:29.

තවද, යුද්ධ, අපරාධ, සාහසිකකම් හා දුෂ්ටකමත් ඉතා ළඟදීම මේ පොළොවෙන් තුරන් වෙනවා කියලත් බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. අසනීප, මහලු වයස මෙන්ම මරණයත් තවත් තියෙන්නේ නැහැ. පාරාදීස පොළොවක සදාකාල ජීවිතයක් මිනිසුන්ට ලැබෙනවා. එය මොනතරම් ප්‍රබෝධජනක අපේක්ෂාවක්ද! මේ සියල්ල දෙස බැලුවාම මිනිස් සංහතිය උදෙසා දෙවි පෙන්වන ප්‍රේමය කොතරම් හොඳින් ඒ මගින් දක්නට තිබෙනවාද!

දැන් ඔබ මොකක්ද කරන්නේ?

බයිබලය යනු මැවුම්කරුගෙන් අපට ලැබුණු පුදුමාකාර ත්‍යාගයක්. මේ පොත සැලකිය යුත්තේ කොහොමද? දෙවිගෙන් මුළු මිනිස් සංහතියටම හෙළිදරව් වන දෙයක් තිබේ නම් එය මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයේ පටන්ම මිනිසාට දැන ගැනීමට සලස්වා තිබිය යුතු එකක් බව එක්තරා හින්දු භක්තික පුද්ගලයෙක් විශ්වාස කළා. බයිබලයේ සමහරක් කොටස් ඉපැරණි හින්දු පොත්, එනම් වේදා පොත්වලටත් බොහෝ කලකට පෙර ලියනු ලැබූ බව වටහාගත් ඔහු බයිබලයේ තිබෙන දේවල් කියවා බලා ඒ ගැන සෝදිසියක් කිරීමට තීරණය කළා. * එක්සත් ජනපදයේ සරසවියක එක්තරා මහාචාර්යවරයෙක්ද පැහැදිලිව තේරුම් ගත් දෙයක් නම්, ලොවේ වැඩියෙන්ම බෙදා හැර ඇති මේ පොත ගැන යම් මතයක් ගොඩනඟන්නට පෙර එය කියවිය යුතු බවයි.

බයිබලය කියවා එහි උගන්වා ඇති දේ ඔබ අදාළ කරගත්තොත් ඔබට මහත් ප්‍රයෝජන අත් වෙනවා සහතිකයි. බයිබලයේම මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නාවූ, ඔහුගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵල වෙයි.” * (ගීතාවලිය 1:2, 3) බයිබලය පාඩම් කිරීමෙන් සහ එහි පවසන දේ ගැන මෙනෙහි කිරීමෙන් ඔබට සැබෑ සතුටක් අද්දැකිය හැකියි. මන්ද ඒ මගින් දෙවි ගැන සෙවීමට ඔබ තුළ ඇති ආශාව සපුරාලන නිසයි. (මතෙව් 5:3) තවද වඩාත් පලදායක ජීවිතයක් ගත කරන අන්දමත් ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන ආකාරයත් බයිබලයෙන් ඔබට දැන ගන්නට පුළුවන්. “ඒවා [බයිබලයේ සඳහන් දෙවිගේ නීති] පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.” (ගීතාවලිය 19:11) එපමණක්ද නොව, දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමෙන් ඔබට දැනුත් මහත් ප්‍රයෝජන ලැබෙන අතර අනාගතය උදෙසා දීප්තිමත් බලාපොරොත්තුවක්ද ඒ මගින් ඔබට ලැබෙනවා නියතයි.

බයිබලය අපට උනන්දු කරන්නේ මෙසේයි. “අලුත උපන් ළදරුවන් මෙන්, දෙවිගේ වචනයේ අමිශ්‍ර කිරිවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න.” (1 පේතෘස් 2:2) බිලිඳෙක් ජීවත් වෙන්නේ කිරි නිසා. කිරි ලැබෙන තුරු බිලිඳා අඬනවා ඔබ දැක ඇති. ඒ හා සමානව අපේ ජීවිතය පවතින්නෙත් දෙවිගෙන් ලැබෙන දැනුම නිසයි. එසේ නම්, ඔහුගේ වචනය වන බයිබලය සඳහා දැඩි ආශාවක් වර්ධනය කරගන්න. බයිබලය යනු සත්‍යය සොයා ගත හැකි වූද දෙවිගෙන් පැමිණියා වූද පොතක්. එය නිතිපතා අධ්‍යයනය කිරීමට ඉලක්ක කරගන්න. ඔබේ ප්‍රදේශයේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එය අධ්‍යයනය කිරීමට ඔබට උපකාර කරාවි. ඔවුන්ව හමුවෙන ලෙසට අපි ඔබට ආරාධනා කරමු. නැත්නම් මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්නත් ඔබට පුළුවන්.

[පාදසටහන්වල]

^ 8 ඡේ. ඔබ ළඟ බයිබලයක් නැත්නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමතියි ඔබට බයිබලයක් ලබා දෙන්න.

^ 13 ඡේ. යෙසායා 40:22හි “චක්‍රය” හෝ “මණ්ඩලය” ලෙස පරිවර්තනය කර ඇති මුල් හෙබ්‍රෙව් වචනය “ගෝලය” ලෙසද පරිවර්තනය කළ හැකියි.

^ 19 ඡේ. මෙම විෂයන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ සාකච්ඡා කර තිබෙනවා.

^ 23 ඡේ. වේදාහි ලියා ඇති මුල්ම කවි මීට වසර 3,000කට පෙර රචනා කර ඇති බවත් ඒවා මුඛ පරම්පරාවෙන් පැමිණි බවත් විශ්වාස කෙරෙනවා. “වේදාහි කවි, ලේඛනගත කළේ ක්‍රි.ව. දහහතරවන සියවසේදී” බව පී.කේ. සරත්කුමාර් නැමැත්තා ඉන්දියාව පිළිබඳ ඉතිහාසයක් නමැති තම පොතක සඳහන් කරනවා.—සිංහලෙන් නැත.

^ 24 ඡේ. යෙහෝවා යනු බයිබලයේ සඳහන් පරිදි දෙවිගේ නාමයයි. බොහෝ බයිබල් පරිවර්තනවල එය ගීතාවලිය 83:17 වන පදයේ සොයා ගත හැකියි.

[7වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනය උදෙසා “දැඩි ආශාවක් වර්ධනය කරගන්න.” බයිබලය නිතිපතා අධ්‍යයනය කරන්න

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

NASA photo