Skip to content

පටුනට යන්න

දෙවිගේ වචනයේ පිටපත්කරුවෝ

දෙවිගේ වචනයේ පිටපත්කරුවෝ

දෙවිගේ වචනයේ පිටපත්කරුවෝ

හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි සම්පූර්ණයෙන්ම ලියා අවසන් කළේ ක්‍රි. පූ. පස්වන සියවසේ අග භාගයේදීයි. ඊට සියවස් ගණනකට පසු යුදෙව් විද්වතුන්, විශේෂයෙන්ම සොෆරිම්වරුන් හා ඔවුන්ට පසුව සිටි මැසොරෙට්වරුන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පිටපත් කිරීමේදී එහි නිරවද්‍යතාව ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වුණා. බයිබලයේ පැරණිතම පොත් ලිව්වේ සොෆරිම්වරුන් පිටත් කිරීමේ කාර්යය ආරම්භ කිරීමට අවුරුදු දහකට පෙර එනම්, මෝසෙස් හා යෝෂුවාගේ කාලයේදීයි. එම පොත් ලියා තිබුණේ දිරාපත්වන දේවල්වල නිසා ඒවා නැවත නැවත පිටපත් කරන්න සිදු වුණා. පුරාණයේ විසූ ලියන්නන් කියාද හඳුන්වනු ලබන පිටපත්කරුවන් ගැන අපට දැනගැනීමට තිබෙන තොරතුරු මොනවාද? ඉපැරණි ඊශ්‍රායෙලයේ දක්ෂ පිටපත්කරුවන් සිටියාද?

මෙතෙක් සම්බ වී තිබෙන පැරණිතම බයිබල් අත් පිටපත් වන්නේ මළ මුහුදේ ලියවිලියි. මින් සමහර ලියවිලි ක්‍රි. පූ. 2 වන හා 3වන සියවස තරම් පැරණියි. ඊටත් වඩා පැරණි ලියවිලි සම්බ වී නැති බව පෙරදිග භාෂාවන් හා පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලන් ආර්. මිලර්ඩ් පවසනවා. එම මහචාර්යවරයා තව දුරටත් මෙසේ පැවසුවා. “පුරාණයේ විසූ පිටපත් කරන්නන්ගේ කාර්යය ගැන යම් තොරතුරු පෙරදිග රටවල සංස්කෘතීන්ගෙන් හෙළි වෙනවා. එම තොරතුරු දැනගැනීමෙන් බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලි හා ඒවායේ ඉතිහාසය ගැන යම් නිගමනවලට එලඹිය හැකියි.”

ඉපැරණි ලියන්නන්ගේ කාර්යය

අවුරුදු හාරදහකට පෙර මෙසපොතේමියාවේ ඉතිහාසය, ආගම, නීතිය සම්බන්ධ කාරණා, අධ්‍යාපනය හා සාහිත්‍ය ගැන පොත් පත් ලියනු ලැබුවා. මේ කාලයේදී පිටපත්කරුවන්ව පුහුණු කළ පාසැල් රාශියක් තිබුණු අතර මුල් පිටපතේ තිබෙන කරුණු ඒ ආකාරයටම පිටපත් කිරීම ගැන ඔවුන්ට විශේෂ පුහුණුවක් දුන්නා. සහස්‍රයකටත් වැඩි කාලයක් පුරා බැබිලෝනියේ ලියවිලි නැවත නැවත පිටපත් කර තිබුණද ඒවායේ තිබෙන්නේ ඉතා සුළු වැරදි කිහිපයක් පමණක් බව විශේෂඥයන් පවසනවා.

මෙලෙස පිටපත් කිරීමේ කලාවට දක්ෂ අය සිටියේ මෙසපොතේමියාවේ පමණක් නෙවෙයි. එක්තරා විශ්වකෝෂයක සඳහන් වන්නේ “ක්‍රි. පූ. 1500 ගණන්වල සිටි බැබිලෝනියේ පිටපත්කරුවන් මෙසපොතේමියාවේ, සිරියාවේ, කානාන් හා ඊජිප්තුවේ සිටි පිටපත්කරුවන් භාවිත කළ ක්‍රම හොඳින් දැන සිටියා” කියායි. *The Oxford Encyclopedia of Archaeology in the Near East.

මෝසෙස්ගේ කාලයේදීත් මෙම පිටපත්කරුවන්ට සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණා. මෙම පිටපත්කරුවන් නිතරම සාහිත්‍යමය කෘති පිටපත් කළා. ඊජිප්තුවේ තිබෙන අවුරුදු හාරදහකට වඩා පැරණි සොහොන් ගෙවල්වල දක්නට තිබෙන සටහන්වලින් ඒ බව පැහැදිලි වෙනවා. මේ කාලයේ විසූ පිටපත්කරුවන් ගැන කලින් සඳහන් කළ විශ්වකෝෂයේ තවදුරටත් මෙසේ පවසා තිබෙනවා. “ක්‍රිස්තු පූර්ව දෙවන සහස්‍රයේදී (ක්‍රි.පූ.1999-1001) ඔවුන් සාහිත්‍ය කෘති එකතු කර ග්‍රන්ථ සමූහයක් නිර්මාණය කළ අතර එහි මෙසපොතේමියාවේ හා ඊජිප්තුවේ දියුණු ශිෂ්ටාචාරය ගැන විස්තර කර තිබුණා. ඒ වගේම රැකියාවක් ලෙස පිටපත් කිරීම කළ අයට නීති පද්ධතියක්ද එහි සඳහන් වී තිබුණා.”

එම ග්‍රන්ථයේ අවසාන පිටුවේ එය පිටපත් කළ තැනැත්තාගේ නම, ගල් හෝ මැටි පුවරුව අයිති තැනැත්තාගේ නම, එහි දිනය, පිටපත් කිරීමට යොදාගත් මූලාශ්‍රය සහ එහි වචන හා පේළි කීයක් අඩංගුද කියාත් සඳහන් කළ යුතු වුණා. බොහෝ අවස්ථාවලදී පිටපත් කරන්නා “මෙය මුල් පිටපතට අනුව ලියා තිබෙන බවත් එය මුල් පිටපත සමඟ සන්සන්දනය කර ඇති” බවත් සඳහන් කළා. මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ පිටපත්කරුවන් නිරවද්‍යයතාව ගැන මහත් සැලකිල්ලක් දැක් වූ බවයි.

කලින් සඳහන් කළ මහචාර්යය මිලර්ඩ් මෙසේද පවසනවා. “පිටපත් කිරීමේදී ඔවුන් අනුගමනය කරන යම් පිළිවෙළක් තිබුණා. එයට සන්සන්දනය කිරීම හා නිවැරදි කිරීම ඇතුළත් වුණා. මේ නිශ්චිත ක්‍රමය නිසා පිටපත්වල අඩු පාඩු තිබුණේ නැති තරම්. මින් සමහර ක්‍රමවලට පේළි ගණන් කිරීම හෝ වචන ගණන් කිරීමද ඇතුළත් වුණා. මේ ක්‍රමය මෙසරෙට්වරුන්ද අනුගමනය කළා.” මෝසෙස්ගේ හා යෝෂුවාගේ කාලයේදී පවා මැද පෙරදිග පිහිටි ප්‍රදේශවල විසූ පිටපත් කරන්නන් නිවැරදිව පිටපත් කිරීම ගැන බොහෝ සේ සැලකිලිමත් වුණා.

ඊශ්‍රායෙල්වරුන් අතර දක්ෂ පිටපත්කරුවන් සිටියාද? බයිබලයේ සඳහන් දෙයින් එය තහවුරු වී තිබෙන්නේ කොහොමද?

ඉපැරණි ඊශ්‍රායෙලයේ පිටපත්කරුවන්

මෝසෙස් හැදී වැඩුණේ පාරාවෝගේ නිවසේදීයි. (නික්මයාම 2:10; ක්‍රියා 7:21, 22) ඊජිප්තු දේශය ගැන අධ්‍යයනය කළ අය පවසන්නේ මෝසෙස් ලැබූ අධ්‍යාපනයට ඊජිප්තු භාෂාව කියවීම හා ලිවීම මෙන්ම යම් ප්‍රමාණයකට පිටපත් කිරීම ගැන ඉගෙනගැනීමත් ඇතුළත් වූ බවයි. එක් මහාචාර්යවරයෙක් මෙසේ පැවසුවා. “මෝසෙස්ට යම් සිද්ධීන් මෙන්ම ගමන් මාර්ග වාර්තා කර තැබීම ඇතුළුව වෙනත් දේවල් වාර්තා කර තැබීමේ හැකියාව තිබූ බව බයිබලයේ සඳහන් දේවලින් පෙනී යනවා.” *Israel in Egypt, James K. Hoffmeier.

පුරාණ ඊශ්‍රායෙලයේ සිටි පිටපත් කිරීමේ හැකියාව තිබූ තවත් අය ගැනද බයිබලයේ සඳහන් වෙනවා. එක් මූලාශ්‍රයකට අනුව මෝසෙස් “ලිවීමේ හා කියවීමේ හැකියාව තිබෙන අයව, ගන්නා ලද තීරණ වාර්තා කිරීමටත් වගකීම් පවරා දුන් ආකාරය ගැන ලියා ගැනීමටත්” තෝරා ගත්තා (The Cambridge History of the Bible) මෙසේ පවසන්නේ ද්විතීය කථාව 1:15හි සඳහන් මෙම වදන් පදනම් කරගෙනයි. “එහෙයින් මම [මෝසෙස් ]ප්‍රඥාවන්ත වූ ප්‍රසිද්ධ වූ මුලාදෑනීන් ඔබගේ ගෝත්‍රවලින් තෝරාගෙන ඔබගේ ගෝත්‍ර හැටියට සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් ඔබ කෙරෙහි අධිපතීන් හා මුලාදෑනීන් පත් කළෙමි.” මේ “මුලාදෑනීන්” වූයේ කවුද?

මෝසෙස්ගේ හා යෝෂුවාගේ කාලය ගැන කතා කරද්දී බයිබලයේ ‘මුලාදෑනියා’ සඳහා තිබෙන හෙබ්‍රෙව් වචනය කිහිපවතාවක් පාවිච්චි කර තිබෙනවා. මෙම වචනයෙන් අදහස් කරන්නේ “වාර්තා තබා ගන්න ලේකම්වරයෙක්” හෝ “විනිශ්චයකාරයාට ලියවිලි වැඩවලට උපකාර කළ නිලධාරියෙක්” කියායි. එවැනි ලේකම්වරුන් බොහෝදෙනෙක් සිටිය බවත් ඔවුන් ඊශ්‍රායෙල් ජාතියේ පරිපාලනය හා සම්බන්ධ වැදගත් කාර්යයන් රැසක් ඉටු කළ බවත් එම හෙබ්‍රෙව් වචනය නිතර නිතර සඳහන් වීමෙන් පෙනී යනවා.

ඊශ්‍රායෙලයේ විසූ පූජකයන් ගැන දැන් සලකා බලමු. ‘මොවුන් ඉටු කළ ආගමික හා වෙනත් කටයුතු සලකා බැලීමේදී පෙනී යන්නේ මොවුන්ට කියවීමේ හා ලිවීමේ හැකියාව තිබූ බවයි’ කියා එක් මූලාශ්‍රයක සඳහන් වෙනවා (Encyclopaedia Judaica). මෝසෙස් ලෙවීවරුන්ට දුන් මේ ආඥාවෙන් ඒ බව පෙනී යනවා. “එක එක හත්වෙනි අවුරුද්දේ කෙළවර . . . මුළු ඊශ්‍රායෙල් ඉදිරිපිට මේ ව්‍යවස්ථාව කියවන්න.” (ද්විතීය කතාව 31:10, 11) ව්‍යවස්ථාව හෙවත් දෙවි මෝසෙස්ට දුන් නීතියේ නිල පිටපත තිබුණේ පූජකයන්ගේ භාරයේයි. එයින් තවත් පිටපත් ලිවීමේ කාර්යය සිදු වුණේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේයි.—ද්විතීය කතාව 17:18, 19; 31:10, 11.

පළමු වතාවට නීතියේ පිටපත සෑදු ආකාරය ගැන සලකා බලන්න. මේ සම්බන්ධයෙන් මෝසෙස් ඔහුගේ ජීවිතයේ අවසාන මාසයේ මෙසේ පැවසුවා. “ඔබේ දෙවි වූ යෙහෝවා ඔබට දෙන දේශයට යොර්දානෙන් ඔබ එතෙර වන දවසේ ලොකු ගල් ගොඩනඟා එහි බදාම ගා . . . මේ ව්‍යවස්ථාවෙහි සියලු වචන ඒ පිට ලියන්න.” (ද්විතීය කතාව 27:1-4) යෙරිකෝ හා හායි නගර විනාශ කිරීමෙන් පසු ඊශ්‍රායෙල්වරුන් ඒබාල් කන්ද අසල රැස් වුණා. එය පිහිටා තිබුණේ පොරොන්දු දේශයේයි. ගල්වලින් සෑදු පූජාසනය මත යෝෂුවා ‘මෝසෙස් විසින් ලියන ලද ව්‍යවස්ථාව ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි එහි ගල් පිට ලිව්වා.’ (යෝෂුවා 8:30-32) මෙලෙස පිටපත් කළේ මිනිසුන්ට කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණු නිසයි. මෙයින් පෙනී යන්නේ ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ ශුද්ධ ලියවිලි නිවැරදිව පිටපත් කර තබා ආරක්ෂා කරගැනීමේ හැකියාව තිබූ බවයි.

ලියවිලිවල නිරවද්‍යතාව

මෝසෙස්ගේ හා යෝෂුවාගේ කාලයෙන් පසුවද ශුද්ධ ලියවිල්ලට අයත් වෙනත් හෙබ්‍රෙව් ලියවිලි නිමවූ අතර ඒවායින්ද අත් පිටපත් සාදනු ලැබුවා. මෙම අත් පිටපත් පුස් බැඳෙන නිසත් දිරාපත් වන නිසත් ඒවා නැවත පිටපත් කිරීමට සිදු වුණා. මේ ආකාරයට පිටපත් කිරීම සියවස් ගණනාවක් පුරා පැවතුණා.

බයිබලය පිටපත් කළ අය කොතරම් සැලකිලිමත්ව ඒ දේ කළත් නොවැළක්විය හැකි සුළු වැරදි කිහිපයක් ඒවායේ ඇතුළත් වී තිබෙනවා. පිටපත්කරුවන් අතින් සිදු වූ මේ වැරදි බයිබලයට ලොකු හානියක් සිදු කළාද? කිසිසේත් නැහැ. මේවායේ තිබෙන වැරදි එතරම් ගණන් ගත යුතු වැරදි නෙවෙයි. ඒවා බයිබලයේ නිරවද්‍යතාවයට කිසිසේත් බලපාන්නේ නැහැ. මේ බව පැරණි අත් පිටපත් සමඟ සන්සන්දනය කළ අය තහවුරු කර තිබෙනවා.

යේසුස් ක්‍රිස්තුස් පැරණි ලියවිලිවලින් උපුටා දැක්වීම් කර තිබෙන නිසා එහි නිරවද්‍යතාව ක්‍රිස්තියානීන්ට තවත් තහවුරු වෙනවා. “මෝසෙස්ගේ පොතෙහි සඳහන් . . . වාර්තාවේ ඔබ කියෙව්වේ නැද්ද?” සහ “මෝසෙස් ඔබට නීතිය දුන්නා නොවේද?” කියා යේසුස් පැවසීමෙන් පැහැදිලි වන්නේ ඔහු පොළොවේ සිටි කාලයේදී තිබූ අතින් ලියන ලද පිටපත් පිළිගත් බවයි. (මාර්ක් 12:26; යොහන් 7:19) එපමණක් නෙවෙයි මුළු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ඇති නිරවද්‍යතාව යේසුස් තහවුරු කළ බව ඔහු පැවසූ මේ වචනවලින් පෙනී යනවා. “මෝසෙස්ගේ නීතියෙත් අනාගතවාක්‍යයෙත් ගීතාවලියෙත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුය.”—ලූක් 24:44.

මේ කරුණු සලකා බලන විට ශුද්ධ ලියවිල්ලේ සඳහන් සියලුම දේ නිවැරදිව පිටපත් කර තිබෙන බවට සාක්ෂි තිබෙනවා. අනාගතවක්තෘ යෙසායා පැවසූ මේ වදන් සමඟ ඉහත කරුණු මොනතරම් කදිමට ගැලපෙනවාද! “තණකොළ වියලෙයි; මල පරවේ; එහෙත් අපේ දෙවිගේ වචනය සදාකල් පවතින්නේය.”—යෙසායා 40:8.

[පාදසටහන්වල]

^ 6 ඡේ. ක්‍රිස්තු පූර්ව 1500 ගණන්වල ජීවත් වූ යෝෂුවා කානාන් දේශයේ පිහිටි “කිරියත්සේපෙර්” නම් නගරයක් ගැන පවසා තිබෙනවා. එහි තේරුම නම් “පොත් ආරක්ෂා කළ නගරය” හෝ “පිටපත්කරුවන්ගේ නගරය” යන්නයි.—යෝෂුවා 15:15, 16.

^ 12 ඡේ. මෝසෙස් නීතිමය කාරණා ගැන වාර්තා කර ඇති ආකාරය නික්මයාම 24:4, 7; 34:27, 28; ද්විතීය කතාව 31:24-26 දැකිය හැකියි. ද්විතීය කතාව 31:22හි පවසන්නේ ඔහු ගීතිකාවක් ලියූ බවයි. ඒ වගේම ඔහු පාළුකරයේ ගිය ගමන් මාර්ගය ගැන ගණන් කතාව 33:22හි සඳහන් කර තිබෙනවා.

[18වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුවේ පිටපත්කරුවෙක්

[19වන පිටුවේ පින්තූරය]

බයිබලයේ පැරණිතම පොත් ලියැවුණේ මෝසෙස්ගේ කාලයේදීයි