Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මව් කුසේදීම මිය යන ළදරුවන්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඉහත සඳහන් අද්දැකීමකට මුහුණ නොදුන් කෙනෙකුට, එවැනි කෙනෙකුගේ දුක හා වේදනාව තේරුම්ගැනීම ලෙහෙසි දෙයක් නොවෙයි. සමහර දෙමාපියන් ඒ ගැන දැඩි සේ ශෝක වෙනවා. එක් මවකගේ පළමුදරුවන් පස්දෙනාම ඇගේ කුසේදීම මිය ගියා. නමුත් පසුව ඇයට සෞඛ්‍ය සම්පන්න පුතුන් දෙදෙනෙක් ලැබුණා. ඒ වුණත් ඇයට කලින් දරුවන් පස්දෙනාගේම අහිමි වීම ඉතා හොඳින් මතකයි. ඔවුන් ජීවතුන් අතර සිටියා නම් ඔවුන්ගේ වයස කීයද කියා පැවසීමට ඇය දැන සිටියා. එවැනි දෙමාපියන්ට තම ළදරුවන් නැවත නැඟිටියි කියා බලාපොරොත්තුවක් තබාගත හැකිද?

බයිබලයේ ඒ ගැන කිසිවක් සඳහන් වී නැති නිසා ඊට පැහැදිලි පිළිතුරක් දෙන්න අපට බැහැ. ඒ වුණත් මෙම ප්‍රශ්නයට අදාළ ප්‍රතිපත්ති කිහිපයක් බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඒවා සලකා බැලීමෙන් එවැනි දෙමාපියන්ට යම් සහනයක් ලබාගත හැකියි.

දැන් අපි ඒ හා සම්බන්ධ ප්‍රශ්න දෙකක් සලකා බලමු. පළමුවැන්න නම් පුද්ගලයෙකුගේ ජීවිතයේ ආරම්භය ලෙස යෙහෝවා දෙවි සලකන්නේ ඔහු මව් කුසේ පිළිසිඳගත් අවස්ථාවද නැත්නම් ඔහු මෙලොව එළිය දකින අවස්ථාවද? දෙවැන්න නම් දෙවි නූපන් දරුවෙකුව සලකන්නේ අද්විතීය පුද්ගලයෙක් හැටියටද නැත්නම් මව් කුස තුළ තිබෙන සෛල හා පටකවල එකතුවක් හැටියටද? මේ ප්‍රශ්න දෙකටම පැහැදිලි පිළිතුරක් දෙන බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් දැන් අපි සලකා බලමු.

මනුෂ්‍යයෙකුගේ ජීවිතය ආරම්භ වන්නේ ඔහු උපත ලබන අවස්ථාවේදී නොව ඊට පෙර බව දෙවි මෝසෙස්ට දුන් නීතියේ පැහැදිලිව සඳහන් වෙනවා. එය තේරුම්ගැනීමට මෙය සලකා බලන්න. යම් පුද්ගලයෙකු මවකගේ කුසේ සිටින දරුවෙකුව මරණයට පත් වන ආකාරයේ යමක් සිදු කළොත් ඒ වෙනුවට කළ යුතු දේ ගැන දෙවි දුන් මෙම අඥාව ගැන කල්පනා කර බලන්න. ‘ඔබ ජීවිතයකට ජීවිතයක් වන්දියක් ලෙස දිය යුතුයි.’ * (නික්. 21:22, 23, නව ලොව පරිවර්තනය, NW) ඉන් පැහැදිලි වන්නේ මව් කුසේ දරුවෙකු පිළිසිඳගත් මොහොතේ සිටම දෙවි එම කලලය ජීවිතයක් ලෙස සලකන බවයි. එය තේරුම්ගැනීම නිසා දෙවි බරපතළ පාපයක් ලෙස සලකන ගබ්සාවෙන් වැළකී සිටීමට මිලියන ගණනක් ක්‍රිස්තියානීන්ට හැකි වී තිබෙනවා.

යෙහෝවා දෙවිට නූපන් දරුවෙකුව කොතරම් වටිනවාද? නූපන් ජීවිතයක් විනාශ කළ කෙනෙකුට මරණ දඬුවම ලබා දීමෙන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිට එම නූපන් බිලිඳා ඉතා වටිනා කෙනෙකු බවයි. ඒ වගේම බිලිඳා මව් කුසේ සිටින විට පවා දෙවි ඔහුව පුද්ගලයෙක් හැටියට දකින බව බයිබල් පද ගණනාවකින් දැකගත හැකියි. උදාහරණයකට දාවිත් දෙවිගේ බලයෙන් පෙලඹී මෙසේ පැවසුවා. ‘ඔබ මාව මව් කුසෙහි සඟවා තැබුවෙහිය. මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ පොතෙහි ලියා තිබිණ.’—ගීතා. 139:13-16NW; යෝබ් 31:14, 15.

නූපන් දරුවෙකු සතු හැකියාවන් මෙන්ම අනාගතයේදී ඒවා ඔහුට ප්‍රයෝජනවත් විය හැකි ආකාරයත් දෙවි දකිනවා. එය තහවුරු කරන මේ උදාහරණය බලන්න. ඊසාක්ගේ බිරිඳ රෙබෙකා ගර්භණීව සිටි විට ඇගේ කුසේ පොරබදමින් සිටි නිවුන් දරුවන් ගැන දෙවි අනාවැකියක් පැවසුවා. දෙවි ඉන් අදහස් කළේ ඔවුන් අනාගතයේදී බොහෝ පිරිසකට බලපෑමක් ඇති කරන බවයි.—උත්. 25:22, 23; රෝම 9:10-13.

යොහන් බව්තීස්ත මව් කුසේ සිටයදීත් එවැනි දෙයක් සිදු වුණා. ඒ ගැන ලූක් වාර්තා කරන්නේ මෙසේයි. ‘එලිසබෙත්ට මරියාගේ ආචාරය ඇසුණු විගස ඇගේ කුසෙහි සිටි ළදරුවා පැනනැංගේය. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] පූර්ණ විය.’ (ලූක් 1:41) වෛද්‍යවරයෙකු වූ ලූක් එලිසබෙත්ගේ කුසේ සිටි යොහන්ව විස්තර කිරීමට භාවිත කළ ග්‍රීක වචනයම පසුව ගවමඩුවේ සිටි ළදරු යේසුස් සඳහාද භාවිත කළා.—ලූක් 2:12, 16; 18:15.

ඉන් පැහැදිලි වන්නේ නූපන් දරුවෙකු හා උපන් දරුවෙකු අතර වැඩි වෙනසක් නැති බව බයිබලයේ පවසන බවයි. එය නවීන විද්‍යාවෙන්ද සනාථ කර තිබෙනවා. පර්යේෂකයන් පවසන්නේ කුසේ සිටින බිලිඳාට ඉන් පිටත සිදු වන දේවල් දැනෙන අතර ඔහු ඊට ප්‍රතිචාර දක්වන බවයි. මවක් තම දරුවා කුස තුළ සිටින කාලයේ සිටම ඔහු සමඟ එතරම් කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට හේතුව අපට පැහැදිලියි.

දැන් අපි මේ ප්‍රශ්නය ගැන සලකා බලමු. එක් මවකට තම දරුවා බිහි කිරීමේ නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර දරුවා ලැබෙනවා. නමුත් ඊට දින කිහිපයකට පසු එම දරුවා මිය යනවා. තවත් මවක් නියමිත කාලය සම්පූර්ණ වීමෙන් පසු දරුවා බිහි කරනවා. නමුත් ඒ වන විටත් දරුවා මිය ගිහින්. දැන් මේ දෙදෙනාගෙන් නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තබාගත හැක්කේ කොයි මවටද?

බයිබලය පැහැදිලිව පවසන්නේ දරුවෙකුගේ ජීවිතය ආරම්භ වන්නේ ඔහු මව් කුසේ පිළිසිඳගත් අවස්ථාවේ සිට බවයි. එමෙන්ම යෙහෝවා දෙවි ඔහුව සලකන්නේ අද්විතීය මෙන්ම වටිනා පුද්ගලයෙක් ලෙසයි. අප මෙතෙක් සලකා බැලූ ශුද්ධ ලියවිලි ප්‍රතිපත්තිවලට අනුව ඉපදෙන්න පෙරමිය යන දරුවන්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් නැතැයි සිතීම තර්කානුකූල නොවන බව සමහරුන්ට සිතෙන්න පුළුවන්. එමෙන්ම එවැනි දරුවන්ට නැවත නැඟිටීමක් නැතැයි කියා සිතීම මගින් ගබ්සාව පිළිබඳව අප දරන ස්ථාවරය ලිහිල් විය හැකි බවද ඔවුන්ට සිතෙන්න පුළුවන්.

මීට පෙර පළ වූ මුරටැඹ කලාප කිහිපයකම මෙම විෂය හා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්ම සාකච්ඡා කර තිබුණා. ඉන් එකක් නම් ගබ්සාවක් සිදු වූ ස්ත්‍රියකට පාරාදීස පොළොවේදී දෙවි නැවතත් එම කලලය ඇගේ කුසේ වැඩෙන්න සලස්වයි කියා සිතන්න පුළුවන්ද යන්නයි. උපදින්න පෙර මිය ගිය දරුවන් ගැන නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තබාගත හැකිද යන්න ගැන එවැනි ප්‍රශ්න මගින් සැක ඇති කළා. කෙසේනමුත් යාච්ඤාවෙන් දෙවිගේ උපකාර පැතීමෙන් හා ඒ ගැන කරන ලද අධ්‍යයනයෙන් පාලක මණ්ඩලය නිගමනයකට පැමිණියා. එය නම් එවැනි ළදරුවන් නැවත නැඟිටීමක් ලබනවාද නැද්ද යන්න තීරණය කිරීමට එවන් ප්‍රශ්න පදනමක් නොවන බවයි. “දෙවිට සියල්ල කළ හැකි” බව යේසුස් පැවසුවා. (මාක් 10:27) යේසුස් සම්බන්ධයෙන්ද එය සත්‍යයක්. දෙවි, යේසුස්ගේ ජීවිතය කන්‍යාවක් වූ මරියාගේ කුස තුළ වැඩෙන්න සැලැස්සුවා. එය මනුෂ්‍යයන්ට නම් සිතාගන්නවත් බැරිදෙයක්.

එසේනම් ඉන් පැහැදිලි වන්නේ උපදින්න පෙර මිය ගිය දරුවන්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙන බවද? ඊට බයිබලයේ සෘජු පිළිතුරක් දී නැති නිසා ස්ථිර නිගමනයකට එන්න අපට පදනමක් නැහැ. මේ විෂය සම්බන්ධයෙන් කෙළවරක් නැති විවිධාකාර ප්‍රශ්න රාශියක් මතු විය හැකියි. එමනිසා සුදුසුම දේ වන්නේ අනුමාන කිරීමෙන් වැළකී සිටීමයි. එම කාරණය ගැන අප දන්නේ මෙපමණයි. එය තීරණය කරන්නේ ප්‍රේමණීය කරුණාවෙන් හා දයාවෙන් පූර්ණ යෙහෝවා දෙවියි. (ගීතා. 86:15) ඔහුගේ බලවත් ආශාව වන්නේ මරණය නිසා මිනිසාට ඇති වූ හානිය, නැවත නැඟිටීම මගින් ඉවත් කිරීමයි. (යෝබ් 14:14, 15) එමෙන්ම යෙහෝවා දෙවි නිතරම හරි දේ කරන බව අපිට ස්ථිරයි. නුදුරු අනාගතයේදී අපි මෙම දුෂ්ට සමාජයෙන් විඳි සෑම දුක් වේදනාකටම නිමාව ගෙන එමින් දෙවි තම පුත් මාර්ගයෙන් ‘යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීමට’ නියමිතයි.—1 යොහ. 3:8.

[පාදසටහන]

^ 6 ඡේ. මෙම බයිබල් පදය සමහර පරිවර්තනවල දක්වා තිබෙන්නේ, මරණ දඬුවම ලැබෙන්නේ යම් කෙනෙකුගේ අතින් ගැබිනි මව මිය ගියොත් පමණක් බවයි. නමුත් මුල් හෙබ්‍රෙව් ලියවිලිවලට අනුව මව හෝ නූපන් දරුවා යන දෙදෙනාගෙන් කවුරුන් මිය ගියත් මරණ දඬුවම ලැබිය යුතු වුණා.

[13වන පිටුවේ පින්තූරය]

වේදනාකාරී කටුක අද්දැකීම්වලට යෙහෝවා දෙවි නිමාවක් ගෙනෙනවා