Skip to content

පටුනට යන්න

යේසුස් මෙන් ප්‍රේමය පෙන්වමු

යේසුස් මෙන් ප්‍රේමය පෙන්වමු

යේසුස් මෙන් ප්‍රේමය පෙන්වමු

“ඔහු මෙතෙක් ප්‍රේම කර තිබුණු, ලෝකයේ සිටි තමාගේම අයට අවසානය දක්වාම ප්‍රේම කළේය.”—යොහ. 13:1.

1, 2. (අ) ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් යේසුස් හොඳම ආදර්ශය වන්නේ ඇයි? (ආ) අප මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ ප්‍රේමය පෙන්විය හැකි කුමන පැති ගැනද?

ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය යේසුස්. ඔහු කළ කී දේවලින්, ඔහු ඉගැන්වූ ආකාරයෙන් හා ජීවිතය පූජා කිරීමෙන් පැහැදිලි වුණේ ඔහු තුළ තිබූ ප්‍රේමයයි. ඔහු පොළොව මත ගත කළ ජීවිතය අවසන් වන තුරුම තමන්ට හමු වූ සියල්ලන්ට, විශේෂයෙන්ම තම අනුගාමිකයන්ට ප්‍රේම කළා.

2 යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමෙන් අන් අයට, විශේෂයෙන්ම අපගේ සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වීමට අප තුළත් පෙලඹීමක් ඇති වෙනවා. මෙම ලිපියේ අප සාකච්ඡා කරන්නේ බරපතළ වරදක් කර ඇති කෙනෙකු සමඟ කටයුතු කරන විට යේසුස් පෙන්වූ ප්‍රේමය වැඩිමහල්ලන්ට අනුකරණය කළ හැකි ආකාරය ගැනයි. එමෙන්ම මෙම අවසාන දවස්වලදී ආර්ථික ගැටලු, ස්වභාවික විපත් හා අසනීපවලට මුහුණ දෙන අයට ප්‍රේමය පෙන්වීමේදී යේසුස්ව අනුකරණය කළ හැකි ආකාරයද අප සලකා බලනවා.

3. පේතෘස් බරපතළ වරදක් කළත් යේසුස් ඔහුට සැලකුවේ කොහොමද?

3 යේසුස් මිය යෑමට පෙර දින රාත්‍රියේදී පේතෘස් ඔහුව හඳුනන්නේ නැති බව තුන් වතාවක්ම පැවසුවා. (මාක් 14:66-72) නමුත් ඔහු පසුතැවිලි වී නැවත හැරී ආ විට යේසුස් ඔහුට සමාව දුන්නා. එමෙන්ම භාරදූර වගකීම්ද ඔහුට ලබා දුන්නා. (ලූක් 22:32; ක්‍රියා 2:14; 8:14-17; 10:44, 45) බරපතළ වරදක් කළ කෙනෙකු සම්බන්ධයෙන් අපට තිබිය යුතු ආකල්පය ගැන යේසුස්ගේ ආදර්ශයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

වැරදි කර ඇති අයට ප්‍රේමය පෙන්වමු

4. යේසුස් මෙන් ප්‍රේමය පෙන්වීමට අපට හැකි විශේෂ අවස්ථාවක් සඳහන් කරන්න.

4 සාතන්ගේ පාලනයේ අවසානය ළඟා වෙත්ම මේ ලෝකයේ සදාචාර ප්‍රමිති හා මිනිසුන්ගේ ගුණාංග එන්න එන්නම පහත් අඩියට වැටෙමින් තිබෙනවා. හරි වැරැද්ද පිළිබඳව බොහෝදෙනා ලිහිල් ආකල්පයක් දරන අතර තවත් සමහරුන් ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා බාල මහලු ක්‍රිස්තියානීන් සෑමදෙනාටමත් එවන් ආකල්ප බලපෑ හැකියි. එමගින් හරි දේ කිරීමට ඔවුන් ගෙන ඇති අධිෂ්ඨානය දුර්වල වීමට ඉඩ තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ පවුලේ කෙනෙකුගේ හෝ සෙසු ක්‍රිස්තියානියෙකුගේ අතින් බරපතළ වරදක් සිදු විය හැකියි. පළමු සියවසේදී එවැනි සමහරුන්ව සභා ඇසුරෙන් ඉවත් කළ අතර තවත් අයට අවවාද කළා. අද දිනත් ක්‍රිස්තියානි සභාව තුළ එම ක්‍රමයම අනුගමනය කරනවා. (1 කොරි. 5:11-13; 1 තිමෝ. 5:20) එය ඉතා වේදනාකාරී අද්දැකීමක් වුණත් විශේෂයෙන්ම එවැනි අවස්ථාවලදී යේසුස් මෙන් ප්‍රේමය පෙන්වීම ඉතා වැදගත්. එවැනි තත්වයක් හසුරුවන වැඩිමහල්ලන් ඔවුන්ට ප්‍රේමය පෙන්වනවා නම්, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී ඒමට එය ඔවුන්ට විශාල රුකුලක් වෙනවා.

5. වරදක් කළ කෙනෙකු සමඟ කටයුතු කරන විට වැඩිමහල්ලන්ට යේසුස්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

5 වැඩිමහල්ලන් යේසුස් මෙන් සැමවිටම යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ඉතා උසස් කොට සැලකිය යුතුයි. ඒ තුළින් ඔවුන් පෙන්වන්නේ ඔවුන් දෙවිගේ මෘදුකම, කරුණාවන්තකම සහ ප්‍රේමය විදහා පෙන්වන බවයි. කෙනෙක් තමා කළ බරපතළ වරද නිසා ‘බිඳුණු සිතක්’ හා ‘තැළුණු හදවතක්’ ඇතුව, අවංකව පසුතැවිලි වෙනවා නම් “මෘදුකමින් එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒම” වැඩිමහල්ලන්ට දුෂ්කර දෙයක් නොවිය හැකියි. (ගීතා. 34:18 නව ලොව පරිවර්තනය, NW; ගලා. 6:1) නමුත් කෙනෙක් තමන් කළ වරද ගැන එතරම් තැකීමක් නොකරනවා නම් හෝ මුරණ්ඩු ස්වභාවයක් පෙන්වනවා නම් වැඩිමහල්ලන් ඔහු සමඟ කටයුතු කළ යුත්තේ කොහොමද?

6. වැරදි කළ කෙනෙක් සමඟ කටයුතු කරද්දී වැඩිමහල්ලන් වැළකී සිටිය යුත්තේ කුමකින්ද? ඒ ඇයි?

6 බරපතළ වරදක් කළ කෙනෙක් ශුද්ධ ලියවිල්ලෙන් ලබා දෙන මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවා නම් හෝ වරද තව කෙනෙකු මත පටවන්න උත්සාහ කරනවා නම් වැඩිමහල්ලන්ට හා ඒ ගැන දන්නා අනික් අයට ඒ ගැන යම් කෝපයක් ඇති විය හැකියි. ඔහු කළ වරද නිසා ඇති වී තිබෙන හානිය ගැන දන්නා ඔවුන්, ඔහු ගැන තම පෞද්ගලික අදහස් පළ කිරීමට පෙලඹිය හැකියි. මෙහිදී මතක තබාගත යුතු දෙයක් වන්නේ කෝප වීමෙන් කෙනෙකුට “ක්‍රිස්තුස්ගේ මනස” ඇතුව ක්‍රියා කළ නොහැකි බවයි. (1 කොරි. 2:16; යාකොබ් 1:19, 20 කියවන්න.) යේසුස් සමහර අයට ඇතැම් අවස්ථාවලදී ඍජු උපදෙස් ලබා දුන්නත් ඔවුන්ව වේදනාවට පත් කරන අරමුණින් නිග්‍රහාත්මක ලෙස කතා කළේ නැහැ. (1 පේතෘ. 2:23) ඒ වෙනුවට වරද කළ පුද්ගලයාට නැවතත් පසුතැවිලි වී යෙහෝවා දෙවි වෙතට පැමිණීම සඳහා ඔහු මාර්ගය විවෘත කළා. යේසුස් පොළොවට පැමිණීමට ප්‍රධාන හේතුවක් වුණේද ‘පව්කාරයන්ව ගලවාගැනීමයි.’—1 තිමෝ. 1:15.

7, 8. බරපතළ වරදක් කළ කෙනෙකු සම්බන්ධයෙන් කටයුතු කරන විට වැඩිමහල්ලන්ට තිබිය යුතු ආකල්පය කුමක්ද?

7 විනිශ්චය කමිටුවක් මගින් හික්මවීමක් ලබා දී ඇති කෙනෙකු ගැන අපට තිබිය යුතු ආකල්පය කුමක්ද? එවන් හික්මවීමක් ලබා දීමෙහි ප්‍රධාන අරමුණ වන්නේ සභාව ආරක්ෂා කරගැනීම හා වරද කළ තැනැත්තාට පසුතැවිලි වී නැවත සභාවට පැමිණීමට උපකාර කිරීම බව අප මතක තබාගත යුතුයි. (2 කොරි. 2:6-8) නමුත් පසුතැවිලි නොවන අයව සභා ඇසුරෙන් ඉවත් කිරීමට සිදු වීම කණගාටුවට හේතුවක්. කෙසේවෙතත් ඔවුන්ගෙන් විශාල පිරිසක් පසුතැවිලි වී නැවතත් යෙහෝවා දෙවි වෙතට හැරී ඒම අපට මහත් ප්‍රීතියක්! එලෙස ඔවුන්ට දෙවි වෙතට හැරී ඒමට පහසුවක් වන්නේ වැඩිමහල්ලන් ක්‍රිස්තුස් මෙන් ඔවුන් සමඟ ප්‍රේමණීයව ක්‍රියා කිරීමයි. එසේ පැමිණෙන සමහර අයට වැඩිමහල්ලන් කලින් ලබා දුන් ශුද්ධ ලියවිලිමය උපදෙස් සියල්ලක්ම මතකයේ නොතිබිය හැකියි. නමුත් වැඩිමහල්ලන් ඔවුන්ට පෙන්වූ ගෞරවය හා ප්‍රේමණීය සැලකිල්ල නම් ඔවුන්ට කවදාවත් අමතක වන්නේ නැහැ.

8 වරද කළ තැනැත්තා උපදෙස් පිළි නොගන්නා විටදී පවා වැඩිමහල්ලන්, දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග විදහා පෙන්විය යුතුයි. විශේෂයෙන්ම එහිදී ඔවුන් ප්‍රේමය පෙන්විය යුත්තේ යේසුස් ප්‍රේමය පෙන්වූ ආකාරයටයි. (ගලා. 5:22, 23) එමෙන්ම ඔවුන් කිසිවිටෙකවත් වරද කළ තැනැත්තාව සභා ඇසුරෙන් ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතුයි. ඒ වෙනුවට ඔහු නැවතත් තම වරද නිවැරදි කරගෙන දෙවි වෙතට හැරෙනවා දැකීම තමන්ගේ ආශාව බව වැඩිමහල්ලන් ඔහුට දැනෙන්න සලස්වන්න අවශ්‍යයි. ඔහු පසුතැවිලි වී නැවත හැරී එන විට යෙහෝවා දෙවිටත් ඒ සඳහා තමාට උපකාර කළ ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්ටත්’ ඔහු බොහෝ සේ ස්තුතිවන්ත වෙයි.—එෆී. 4:8, 11, 12.

අවසාන කාලයේ ප්‍රේමය පෙන්වමු

9. යේසුස් තම ප්‍රේමය විශේෂ ආකාරයකින් පෙන්වූ අවස්ථාවක් ගැන සඳහන් කරන්න.

9 යේසුස් තම ප්‍රේමය විශේෂ ආකාරයකින් පෙන්වූ අවස්ථාවක් ගැන ලූක් පොතේ වාර්තා වෙනවා. රෝම හමුදාව පැමිණ කිසිවෙකුට පලා යා නොහැකි ලෙස යෙරුසලම වටලන බව යේසුස් දැන සිටියා. තම අනුගාමිකයන්ට තිබූ ප්‍රේමය නිසා ඔහු ඔවුන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “සේනාවන් කඳවුරු බැඳ යෙරුසලම වටලා සිටිනවා ඔබ දකින කල, ඇගේ පාළු කිරීම ළං වී තිබෙන බව දැනගන්න.” ඉන්පසු ඔහු ගැලවීම සඳහා කළ යුතු දේ ගැන මෙසේ පැවසුවා. “යුදයේ සිටින අය කඳුවලට පලා යන්න. නුවර තුළ සිටින අය පිටත්ව යන්න. ගම්බද පළාත්වල සිටින අය නුවරට ඇතුල් නොවන්න. මන්ද, ලියා තිබෙන සියල්ල ඉටු වන පිණිස, ඒ කාලයේදී යුක්තිය ඉටු කරන්නේය.” (ලූක් 21:20-22) ක්‍රිස්තු වර්ෂ 66දී යේසුස් පැවසූ ලෙස රෝම හමුදාව යෙරුසලම වට කළ අතර යේසුස්ට කීකරු වූ අය ඔහු දුන් පැහැදිලි උපදෙස්වලට අනුවම ක්‍රියා කළා.

10, 11. යෙරුසලමෙන් පලා යන විට ක්‍රිස්තියානීන් එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වූ ආකාරය ‘මහත් පීඩාවට’ මුහුණ දීමට අපව සූදානම් කරන්නේ කොහොමද?

10 යේසුස්ට කීකරු වූ අය යෙරුසලමෙන් පලා යද්දී ඔහු තමන්ට පෙන්නුවා හා සමාන ප්‍රේමයක් එකිනෙකාට පෙන්වීමේ අවශ්‍යතාවක් ඇති වුණා. ඔවුන්ට තිබූ සෑම දෙයක්ම අන් අය සමඟ බෙදාගත් බවත් නිසැකයි. එදා යේසුස් පැවසූ එම අනාවැකියට ඉතා පුළුල් ඉටු වීමක් තිබෙනවා. ඒ ගැන යේසුස් පැවසුවේ “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය” කියායි. (මතෙ. 24:17, 18, 21) ඒ ‘මහත් පීඩාවට’ පෙර හා ඒ අතරතුර අපටත් දැඩි දුෂ්කරතා හා අගහිඟකම්වලට මුහුණ දීමට සිදු වන බව නිසැකයි. එවැනි අවස්ථාවලදී යේසුස් පෙන්නුවා හා සමාන ප්‍රේමයක් පෙන්වමින් ක්‍රියා කළොත් ඒ තත්වය දරාගැනීමට අවශ්‍ය ශක්තිය ලබාගත හැකියි.

11 පාවුල් ඒ සම්බන්ධයෙන් දුන් උපදෙස මෙයයි. ‘අපි එකිනෙකා, තම තමාගේ අසල්වැසියාගේ වැඩි දියුණුවට දායක වන යහපත් දෙයින් ඔහුව සතුටු කරමු. මන්ද ක්‍රිස්තුස් පවා තමාවම සතුටු කර නොගත්තේය. ඉතින්, විඳදරාගැනීම සහ සැනසිල්ල දෙන දෙවි ඔබට ක්‍රිස්තුස් යේසුස්ට තිබුණාවූ මානසික ආකල්පයම ඇතුව සිටින්න ඉඩ දේවා!’—රෝම 15:2, 3, 5.

12. මේ කාලයේදී අප කුමනාකාර ප්‍රේමයක් ඇතුව සිටීම අවශ්‍යද? ඒ ඇයි?

12 යේසුස් පෙන්වූ ප්‍රේමයෙන් ප්‍රයෝජන ලැබූ පේතෘස් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “කුහකකමින් තොර සහෝදර ස්නේහය” වර්ධනය කරගැනීමට හා “සත්‍යයට කීකරු” වන්න කියායි. එමෙන්ම “හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කරන්න” කියාද ඔහු උනන්දු කළා. (1 පේතෘ. 1:22) අද දින එවන් ගුණාංග වර්ධනය කරගැනීම වෙන කවරදාටත් වඩා අවශ්‍ය දෙයක්. දෙවිගේ සියලුම සේවකයන්ට මේ ලෝකයෙන් එල්ල වන පීඩනය වැඩි වෙමින් පවතිනවා. ඉන් මිදීම සඳහා අප කිසිවෙක් පහවෙමින් පවතින මේ ලෝකය මත අපගේ බලාපොරොත්තු නොතැබිය යුතුයි. අද දින කඩා වැටෙමින් පවතින ආර්ථික තත්වයෙන්ද ඒ බව පැහැදිලි වෙනවා. (1 යොහන් 2:15-17 කියවන්න.) ඒ වෙනුවට දුෂ්ට සමාජයේ අවසානය ළඟා වෙත්ම යෙහෝවා දෙවිටත් සෙසු ක්‍රිස්තියානීන්ටත් අප වැඩි වැඩියෙන් ළං වී ඔවුන් සමඟ කිට්ටු ඇසුරක් පවත්වා ගැනීම අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් පාවුල් උපදෙස් දුන්නේ මෙසේයි. “සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතුව සිටින්න. එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) ඒ බව තවත් තහවුරු කරමින් පේතෘස් පැවසුවේ “සියල්ලට වඩා, එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. මන්ද, ප්‍රේමය පව් රාශියක් වසා දමන්නේය” කියායි.—1 පේතෘ. 4:8.

13-15. විපතට පත් වූ සහෝදරයන්ට සෙසු සාක්ෂිකරුවන් ප්‍රේමය පෙන්වා තිබෙන්නේ කොහොමද?

13 යේසුස් මෙන් අන් අයට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හොඳ නමක් දිනාගෙන සිටිනවා. වර්ෂ 2005දී ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට පැමිණි දරුණු චණ්ඩ මාරුතය නිසා විපතට පත් වූ අයට උපකාර ඉල්ලා සිටි අවස්ථාවේදී සාක්ෂිකරුවන් ප්‍රතිචාරය දැක්වූ ආකාරය සලකා බලන්න. විපතට පත් සෙසු සහෝදරයන්ට උපකාර කිරීම සඳහා 20,000කට අධික පිරිසක් ඉදිරිපත් වූ අතර ඉන් වැඩි පිරිසක් හොඳ වැටුපක් ලබන ස්ථිර රැකියා අත්හැර පැමිණි අයයි.

14 චණ්ඩ මාරුතය නිසා මුහුදු ජලය මීටර් 10ක් පමණ උසට, කිලෝ මීටර් 80ක් තරම් රට ඇතුළට ගලා ආවා. පසුව ජලය බැස යද්දී නිවාස හා අනිකුත් ගොඩනැඟිලිවලින් තුනෙන් එකක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒවා නැවත ගොඩනැඟීම සඳහා විවිධ දක්ෂතා ඇති බොහෝ සාක්ෂිකරුවන් විවිධ රටවලින් පැමිණි අතර ඔවුන් අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා ගොඩනැඟිලි ද්‍රව්‍යද රැගෙන ආවා. අවශ්‍ය ඕනෑම උපකාරයක් පිරිනැමීමටද ඔවුන් සූදානමින් සිටියා. වැන්දඹුවන් වන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් ඔවුන්ගේ බඩුමුට්ටුත් ට්‍රක් රථයකට පටවාගෙන කිලෝමීටර් 3,000ක් දුර ගෙවා විපතට පත් වූ අයට උපකාර කරන්න පැමිණියා. ඔවුන්ගෙන් එක්කෙනෙක් තවමත් එම රටේ සහනාධාර කමිටුවට උපකාර කරමින් ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා.

15 උපකාරයට පැමිණි අය සාක්ෂිකරුවන්ගේ හා අනිකුත් අයගේ නිවෙස් අලුත් වැඩියා කර දුන් අතර සමහර ඒවා අලුතින්ම ඉදි කළා. එම සංඛ්‍යාව 5,600කටත් වඩා වැඩියි. ඔවුන් පෙන්වා තිබෙන ප්‍රේමය ගැන ඒ ප්‍රදේශයේ සහෝදර සහෝදරියන්ට හැඟෙන්නේ කොහොමද? සිදු වූ ව්‍යසනය නිසා එක් සහෝදරියකට ජීවත් වීමට සිදු වුණේ ගෙයක් ලෙස භාවිත කළ හැකි පරණ වාහනයකයි. එහි වහලය දිරා පත් වී තිබූ අතර කෑම පිසින්න තිබූ ලිපත් හොඳටම අබලන් වී තිබුණා. නමුත් සාක්ෂිකරුවන් ඇයට ප්‍රමාණවත් පහසුකම් තිබෙන නිවසක් ඉදි කර දුන්නා. ඒ නව නිවස දෙස බලා සිටි ඇගේ දෙනෙත් කඳුළින් පිරී ගියා. ඊට හේතුව යෙහෝවා දෙවි හා සෙසු සහෝදරයන් පෙන්වූ ප්‍රේමය ගැන ඇයට දැනුණු හෘදයාංගම අගයයි. අවතැන් වූ තවත් සහෝදර සහෝදරියන්, ඔවුන් වෙනුවෙන් ඉදි කළ නිවෙස්වලට නොගොස් ඔවුන් සිටි තාවකාලික නිවෙස්වලම අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් රැඳී සිටින්න කැමති වුණා. ඊට හේතුව ඔවුන්ගේ නව නිවෙස්, උපකාරයට පැමිණි සහෝදර සහෝදරියන්ට නවාතැන් ගැනීමට දී තිබූ නිසයි. ඔවුන් යේසුස්ට තිබූ ආකල්පය මොන තරම් කදිමට විදහා පෙන්නුවාද!

අසනීපවලින් පෙළෙන අයට ප්‍රේමය පෙන්වමු

16, 17. අසනීප වී සිටින අයට යේසුස් මෙන් සැලකිල්ල දක්වන්න අපට පුළුවන් කොහොමද?

16 ඉහත සඳහන් ආකාරයේ විපත්වලට මුහුණ දීමට සිදු වී ඇත්තේ අපගෙන් ඉතා සුළු පිරිසකටයි. ඒ වුණත් පොදුවේ හැමෝටම අසනීපවලට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි කෙනෙකු ගැන අප දැරිය යුතු ආකල්පය සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක්. ඔහු තුළ තිබූ ප්‍රේමය නිසා ඔහු අනුකම්පාවෙන් පෙලඹී අසනීප වී සිටි ‘සියල්ලන්ව සුව කළා.’—මතෙව් 8:16; 14:14.

17 අද සිටින ක්‍රිස්තියානීන්ට යේසුස් මෙන් සුව කිරීමේ හැකියාව නැති වුණත් අසනීප වූ අයට අනුකම්පාවෙන් සලකන්න හැකියාව තිබෙනවා. උදාහරණයකට යේසුස්ව ආදර්ශයට ගන්නා වැඩිමහල්ලන් සභාවේ සිටින එවැනි අයට අවශ්‍ය උපකාර සැපයීමට විශේෂ සැලසුම් යොදා තිබෙනවා. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන්නේ මතෙව් 25:39, 40හි (කියවන්න.) සඳහන්ව ඇති ප්‍රතිපත්තියයි. *

18. සහෝදරියන් දෙදෙනෙක් අවශ්‍යතා ඇති අයට ප්‍රේමය පෙන්නුවේ කොහොමද? එහි ප්‍රතිඵලය කුමක්ද?

18 අන් අයට යහපත්කම් කිරීමට කෙනෙකු වැඩිමහල්ලෙක් විය යුතුම නැහැ. ඒ සම්බන්ධයෙන් ෂැරන් හා නිකොලෙට් යන සහොදරියන් දෙදෙනාගේ ආදර්ශය සලකා බලන්න. ෂාලීන් නමැති 44 හැවිරිදි සහෝදරිය පිලිකාවක් නිසා අසාධ්‍ය තත්වයෙන් පසු වුණා. වෛද්‍යවරුන් පැවසුවේ ඇය ජීවත් වන්නේ තව දින දහයක් පමණක් බවයි. ඇයව රැකබලා ගැනීමට ඇගේ ස්වාමිපුරුෂයා මොන තරම් වෙහෙසක් දරනවාද කියා එම සහෝදරියන් දෙදෙනා දුටුවා. ඒ නිසා ඇයව බලාගැනීමට ඔවුන් තම සම්පූර්ණ කාලය කැප කළා. ඔවුන් දෙදෙනා දින දහයකට පමණක් නොව සති හයක් පුරා එනම්, ඇය මිය යන තුරුම ඇයව ආදරයෙන් රැකබලා ගත්තා. ඒ ගැන ෂැරන් මෙසේ පවසනවා. “එයා වැඩි කල් ජීවත් වෙන්නේ නැහැයි කියලා දැනගත්තාම ඒක අපිට දරාගන්න අමාරු වුණා. ඒ වුණත් යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කළා. මේ අද්දැකීම නිසා අපිට දෙවි සමඟත් එකිනෙකා සමඟත් තිබුණු බැඳීම තවත් ශක්තිමත් වුණා.” ෂාලීන්ගේ ස්වාමිපුරුෂයා ඒ ගැන පවසන දේ බලන්න. “මේ සහෝදරියන් දෙන්නා අපිට කරපු උදව් නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ ආදරණීය ෂාලීන්ට ඇගේ ජීවිතයේ අමාරුම කාලයේදී ඔවුන් පෙන්නූ අවංක සැලකිල්ල නිසා ඒකට මුහුණ දෙන්න ඇයට පුළුවන් වුණා. ඒ වගේම ඔවුන්ගේ උපකාර නිසා මට අවශ්‍ය වෙලා තිබුණ මානසික සහනය හා විවේකය මට ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඔවුන් කළ කැප කිරීම් නිසා මට යෙහෝවා දෙවි කෙරෙහි තිබූ විශ්වාසයත් මගේ සහෝදරයන් කෙරෙහි තිබූ ප්‍රේමයත් තවත් ශක්තිමත් වුණා.”

19, 20. (අ) අප මෙතෙක් සලකා බැලුවේ යේසුස් පෙන්වූ කුමන ගුණාංගද? (ආ) ඔබගේ අධිෂ්ඨානය කුමක්ද?

19 අප මෙම ලිපියෙන් හා කලින් ලිපි දෙක තුළින් සලකා බැලුවේ යේසුස් අන් අය සමඟ කටයුතු කරන විට විදහා පෙන්වූ ගුණාංග පහක් ගැන සහ එය අපටත් වර්ධනය කරගත හැකි ආකාරය ගැනයි. එමනිසා අපත් ‘මෘදු ගුණැති නිහතමානී සිතක් ඇතිව’ සිටීමට උත්සාහ කරමු. (මතෙ. 11:29) අපි අන් අයගේ අඩුපාඩුකම් දුටුවත් ඔවුන්ට කරුණාවන්තව සලකමු. එමෙන්ම පීඩා හා දුෂ්කරතා හමුවේ පවා ධෛර්යවත්ව යෙහෝවා දෙවිට කීකරු වීමට අදිටන් කරගනිමු.

20 යේසුස් මෙන් අපත් අපගේ සියලුම සහෝදරයන්ට “අවසානය දක්වාම” ප්‍රේම කරමු. එය අප ඔහුගේ අනුගාමිකයන් බවට සාක්ෂියක්. (යොහ. 13:1, 34, 35) එනිසා ‘ඔබේ සහෝදර ප්‍රේමය දිගටම පවත්වාගන්න.’ (හෙබ්‍රෙ. 13:1) යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙන එමටත් අන් අයට උපකාර කිරීමටත් අපි අපේ උපරිමය කරමු. ඔබගේ වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා නිසැකයි.

[පාදසටහන]

^ 17 ඡේ. වර්ෂ 1987 ජූලි 1මුරටැඹ කලාපයේ පළ වූ “උණුහුම් වෙයල්ලා, කෑම කා තෘප්තියට පැමිණියල්ලා කීමට වැඩි යමක් ඉටු කරන්න” යන ලිපිය බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• වැරදි කළ අය සම්බන්ධයෙන් වැඩිමහල්ලන් යේසුස්ව අනුකරණය කරන්නේ කොහොමද?

• අවසාන කාලයේදී යේසුස් මෙන් ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍ය ඇයි?

• අසනීප වූ අයට යේසුස් මෙන් සැලකිල්ලක් දක්වන්න අපට පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

වැරදි කළ අය නැවතත් දෙවි වෙතට හැරී ඒම වැඩිමහල්ලන්ගේ ආශාවයි

[18වන පිටුවේ පින්තූරය]

යෙරුසලමෙන් පලා ගිය ක්‍රිස්තියනීන් යේසුස් මෙන් ප්‍රේමය පෙන්නුවේ කොහොමද?

[19වන පිටුවේ පින්තූරය]

යේසුස් මෙන් අන් අයට ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හොඳ නමක් දිනාගෙන සිටිනවා