Skip to content

පටුනට යන්න

තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

“එවැනි සේවයක් කිරීමට ඉඩකඩ සලසාගන්නා පුද්ගලයාට එසේ කළ හැකියි.”—මතෙ. 19:12.

1, 2. (අ) යේසුස්, පාවුල් සහ වෙනත් අය තනිකඩව සිටීම සැලකුවේ කොහොමද? (ආ) සමහර අය, තනිකඩව සිටීම දීමනාවක් ලෙස නොසැලකීමට කුමන දේවල් හේතු විය හැකිද?

විවාහය දෙවිගෙන් ලැබුණු දීමනාවක්. (හිතෝ. 19:14) ඒ වගේම බොහෝ තනිකඩ ක්‍රිස්තියානීන්ද සන්තෝෂවත් සහ තෘප්තිමත් ජීවිත ගත කරනවා. අවුරුදු 95ක් වයසැති අවිවාහක සහෝදරයෙක් වන හැරල්ඩ් මෙසේ පවසනවා. “මම අනිත් අයව ආශ්‍රය කරද්දිත් ආගන්තුක සත්කාරය පෙන්වද්දිත් ඒකෙන් ප්‍රීතියක් ලබනවා. නමුත් තනියම ඉන්න කොට මට කිසිම තනිකමක් දැනෙන්නෙත් නැහැ. ඇත්තටම තනිකඩව ඉන්න මම ගත්ත තීරණය නිසා මට ගොඩක් ආශීර්වාද ලැබිලා තියෙනවා.”

2 විවාහ වීම මෙන්ම තනිකඩව සිටීමත් දීමනාවක් නැත්නම් තෑග්ගක් ලෙස යේසුස් ක්‍රිස්තුස් හා පාවුල් පෙන්වා දුන්නා. (මතෙව් 19:11, 12; 1 කොරින්ති 7:7 කියවන්න.) කෙසේවෙතත් සමහරුන් විවාහ නොවී සිටින්නේ එසේ සිටීමට ගෙන තිබෙන තීරණයක් නිසා නොවෙයි. සමහරවිට ඔවුන්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගැනීමට නොහැකි වීම ඊට හේතුව විය හැකියි. නැත්නම් කාලයක් විවාහ වී සිටියත් දික්කසාදය නිසා හෝ සහකරුගේ හෝ සහකාරියගේ මරණය නිසා ඔවුන් තනිකඩව සිටිනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් තනිකඩව සිටියත් එය දීමනාවක් ලෙස නොසලකනවා විය හැකියි. තනිකඩව සිටීම දීමනාවක් වන්නේ කොහොමද? ඒ දීමනාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් කොහොමද?

මිල කළ නොහැකි තෑග්ගක්

3. තනිකඩ ක්‍රිස්තියානීන්ට ලැබෙන අවස්ථාවන් මොනවාද?

3 විවාහක කෙනෙකුට තිබෙනවාට වඩා වැඩි නිදහසක් සහ කාලයක් බොහෝ තනිකඩ අයට තිබෙනවා. (1 කොරි. 7:32-35) ඒ නිසා ඔවුන්ගේ සේවය වැඩි කරන්නත් බොහෝදෙනෙකුට ප්‍රේමය පෙන්වන්නත් යෙහෝවා දෙවිට තවත් ළං වෙන්නත් වැඩි අවස්ථාවන් ලැබෙනවා. ඒ හේතුව නිසා බොහෝදෙනෙක් තනිකඩව සිටීමේ වටිනාකම තේරුම් ගෙන දිගටම හෝ යම් කලකට එසේ සිටීමට ‘ඉඩකඩ සලසාගන්නවා.’ තවත් අය එසේ සිටීමට තීරණය කර නොතිබුණත් ඔවුන් මුහුණ දුන් විවිධ තත්වයන් නිසා තනිකඩව සිටිනවා විය හැකියි. ඔවුන් ඒ ගැන දෙවිට යාච්ඤා කර දෙවිගේ උපකාරය ඇතුව දිගටම එසේ සිටීමට තීරණය කර තිබෙනවා.—1 කොරි. 7:37, 38.

4. තනිකඩ ක්‍රිස්තියානීන්ට දෙවිට කරන සේවයෙන් තෘප්තියක් ලබන්න පුළුවන් ඇයි?

4 යෙහෝවා දෙවි හා ඔහුගේ සංවිධානය තමන්ව වටිනා පුද්ගලයන් ලෙස සලකන්න නම් විවාහ විය යුතුයි කියා තනිකඩ ක්‍රිස්තියානීන් සිතන්නේ නැහැ. මන්ද දෙවි ඔහුගේ සියලුම සේවකයන්ට එක හා සමානව ප්‍රේම කරනවා. (මතෙ. 10:29-31) කිසිම දෙයකට මෙන්ම කිසිම කෙනෙකුට දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න බැහැ. (රෝම 8:38, 39) ඇත්තටම, අප විවාහක අය වුණත් තනිකඩ අය වුණත් දෙවිට සේවය කරමින් තෘප්තියක් ලබන්න ඕනෑ තරම් හේතු තිබෙනවා.

5. තනිකඩව සිටින ක්‍රිස්තියානියෙකුට ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් අවශ්‍ය වන්නේ කුමක්ද?

5 සංගීතයට හෝ ක්‍රීඩාවට යම් හැකියාවක් තිබෙන කෙනෙකුට ඉන් නියම ප්‍රයෝජනය ගන්න නම් ඒ සඳහා වෑයම් කරන්න අවශ්‍යයි. ඒ හා සමානව තනිකඩ ක්‍රිස්තියානීන්ද තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට වෑයම් කළ යුතුයි. තනිකඩ ක්‍රිස්තියානීන් සහෝදරයන් හෝ සහෝදරියන් වුණත් තරුණයන් හෝ වැඩිහිටියන් වුණත් තනිකඩව සිටීමට තීරණය කළ අය හෝ යම් හේතූන් නිසා තනිකඩව සිටින අය වුණත් ඒ සියලුදෙනාටම තමන් සිටින තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? පළමු ශතවර්ෂයේ තනිකඩව සිටි අයගේ ආදර්ශ කිහිපයක් සලකා බැලීමෙන් ඊට පිළිතුරු සොයාගත හැකියි.

තරුණ කාලයේ සිට තනිකඩව

6, 7. (අ) ෆිලිප්ගේ අවිවාහක දූවරුන්ට දෙවිගේ සේවය තුළ ලැබුණු වරප්‍රසාදය කුමක්ද? (ආ) තිමෝති තනිකඩව සිටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ කොහොමද සහ ඉන් ඔහු ලැබූ ආශීර්වාද මොනවාද?

6 ෆිලිප්ට ඔහු මෙන් උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කළ අවිවාහක දූවරුන් හතරදෙනෙක් සිටියා. (ක්‍රියා 21:8, 9) යෝවෙල් 2:28, 29හි සඳහන් දේ ඉටු කරමින් මේ තරුණියන් හතරදෙනා අනාවැකි පැවසුවා. අනාවැකි කීම දෙවිගේ බලය මාර්ගයෙන් ලැබුණු එක් දීමනාවක්.

7 තරුණ තිමෝතිද තමන් තනිකඩව සිටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔහුගේ මව වන යූනිස් සහ ආච්චි ලොයිස් ඔහුට ළදරු කාලයේ පටන් “ශුද්ධ ලියවිල්ල” ගැන ඉගැන්නුවා. (2 තිමෝ. 1:5; 3:14, 15) නමුත් ඔවුන් ක්‍රිස්තියානීන් වුණේ ක්‍රිස්තු වර්ෂ 47දී පමණ පාවුල් ඔවුන්ගේ ගම වන ලිස්ත්‍රාවට පැමිණි විටයි. ඉන් වසර දෙකකට පසු පාවුල් දෙවෙනි වතාවටත් එහි පැමිණි විට තිමෝති ඔහුගේ විසිගණන්වල මුල් කාලයේ පසු වන්න ඇති. ඔහු යෞවනයෙකුව සිටියත් ක්‍රිස්තියානියෙක් ලෙස නවකයෙක් වුණත් ලිස්ත්‍රාවේ සහ ඉකෝනියේ සිටි වැඩිමහල්ලන් අතර “හොඳ නමක් දිනාගෙන” සිටියා. (ක්‍රියා 16:1, 2) ඒ නිසා පාවුල් මිෂනාරි සේවය සඳහා ඔහුට ආරාධනා කළා. (1 තිමෝ. 1:18; 4:14) තිමෝති විවාහ වුණාද නැද්ද කියා නිශ්චිතව කියන්න බැහැ. නමුත් ඔහු යෞවන කාලයේදීම පාවුල් ඔහුට කළ ආරාධනය පිළිගත් බවත් බොහෝ කාලයක් තනිකඩ මිෂනාරිවරයෙක් හා වැඩිමහල්ලෙක් ලෙස ඉතා උනන්දුවෙන් මෙන්ම ප්‍රීතියෙන් සේවය කළ බවත් අප දන්නවා.—ෆිලි. 2:20-22.

8. දේවසේවය තුළ ඉලක්ක තබාගන්න මාක්ට හැකි වුණේ ඇයි? එසේ කිරීමෙන් ඔහු ලැබූ ආශීර්වාද මොනවාද?

8 යොහන් මාක්ද තනිකඩව සිටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔහු, ඔහුගේ මව මරියා සහ ඥාති සහෝදර බානබස් යෙරුසලම සභාවේ මුල් සාමාජිකයන්. මාක්ගේ පවුලේ අය පොහොසත් අය වූවා විය හැකියි. මන්ද ඔවුන්ට ඒ නගරයේ නිවසක් තිබූ අතර සේවිකාවක්ද සිටියා. (ක්‍රියා 12:12, 13) නමුත් මාක් පොහොසත් කෙනෙක් වුණත් තමා ගැන පමණක් සිතමින් ක්‍රියා කළේ නැහැ. එමෙන්ම ඔහු විවාහ වී සැප පහසු ජීවිතයක් ගත කිරීමට කල්පනා කළෙත් නැහැ. පෙනෙන ආකාරයට මාක් යේසුස්ගේ නියෝජිතයන් සමඟ ආශ්‍රය කළ නිසා ඔවුන් ඔහු තුළ මිෂනාරි සේවය සඳහා ආශාවක් ඇති කළා. ඒ නිසා ඔහු පාවුල් සහ බානබස්ගේ පළමු මිෂනාරි ගමනට ඔවුන්ගේ සහයකයෙක් ලෙස ඔවුන් සමඟ ගියා. (ක්‍රියා 13:5) පසුව ඔහු බානබස් සමඟත් සංචාරය කළා. එමෙන්ම පේතෘස් සමඟ බැබිලෝනියේද සේවය කළා. (ක්‍රියා 15:39; 1 පේතෘ. 5:13) මාක් කොතරම් කාලයක් තනිකඩව සිටියාද කියා අප දන්නේ නැහැ. නමුත් ඔහු තනිකඩව සිටි කාලයේදී අන් අයට සේවය කිරීමට කැමති කෙනෙක් මෙන්ම දෙවිගේ සේවය තුළ වැඩියෙන් යමක් කිරීමට ආශාවක් දැක්වූ කෙනෙක් ලෙස ප්‍රසිද්ධ වුණා.

9, 10. දෙවිට වැඩියෙන් සේවය කිරීමට තනිකඩ යෞවන ක්‍රිස්තියානීන්ට ලැබෙන අවස්ථා මොනවාද? උදාහරණයක් දෙන්න.

9 අද දින සභාවේ සිටින යෞවනයන් බොහෝදෙනෙක් දෙවිට සේවය කිරීම සඳහා ඉතා කැමැත්තෙන්ම තනිකඩව සිටින කාලය යොදාගන්නවා. මාක් සහ තිමෝති මෙන් ඔවුන්ද තනිකඩව සිටින කාලය ‘සිත වෙනතකට යොමු නොකර ස්වාමීන්ට නොකඩවා සේවය කිරීමට ලැබෙන ප්‍රස්තාවක්’ ලෙස සලකනවා. (1 කොරි. 7:35) ඇත්තටම ඒ කාලයෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. තනිකඩ ක්‍රිස්තියානීන්ට දෙවිට වැඩියෙන් සේවය කිරීමට අවස්ථා බොහොමයක් තිබෙනවා. ඒවා අතර පුරෝගාමි සේවය, ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවය වැඩි ප්‍රදේශයක සේවය කිරීම, වෙනත් භාෂාවක් ඉගෙනගැනීම, රාජ්‍ය ශාලා හෝ ශාඛා කාර්යාල ඉදි කිරීමට හවුල් වීම, දේවසේවා පුහුණු පාසැලට සහභාගි වීම සහ බෙතෙල් සේවය වැනි දේ සඳහන් කළ හැකියි. ඔබ අවිවාහක තරුණයෙක් හෝ තරුණියක් නම් ඔබට ලැබී තිබෙන එම අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නවාද?

10 මාක් නමැති සහෝදරයා පුරෝගාමි සේවය ආරම්භ කළේ ඔහුට වයස අවුරුදු 20ක් පිරෙන්නත් කලිනුයි. ඔහු දේවසේවා පුහුණු පාසැලටත් සහභාගි වුණා. එමෙන්ම ඔහු විවිධ පැවරුම් ඉටු කිරීමට ලොව පුරා සංචාරය කර තිබෙනවා. අවුරුදු 25ක් පුරා තමා කරමින් සිටින සේවය ගැන මාක් මෙසේ පවසනවා. “සියලුම සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කළා. ඔවුන් එක්ක දේවසේවයේ ගියා. නිවෙස්වලට ගිහිල්ලා ඔවුන්ව දිරිගැන්නුවා. කෑම වේලකට ඔවුන්ව මගේ ගෙදරට ආරාධනා කළා. ඒ වගේම සභාවේ සියලුදෙනාට විනෝද වීමට හැකි අවස්ථාවන් සැලසුම් කළා. මේ සෑම දෙයකින්ම මං ලැබුවේ ලෝකු සතුටක්.” මාක්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ දීමෙන් වැඩි සතුටක් ලැබෙන බව හා දෙවිට සේවය කිරීමට මුළු ජීවිතයම කැප කරන විට අන් අයට උපකාර කිරීමට වැඩි අවස්ථා ලැබෙන බවයි. (ක්‍රියා 20:35) යෞවනයෙනි, ඔබ උනන්දු වන දේවල්, ඔබගේ හැකියාවන් සහ ඔබ ලබා තිබෙන අද්දැකීම් කුමක් වුවත් ස්වාමීන් වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා සේවය කිරීමට ඔබට පුළුවන්.—1 කොරි. 15:58.

11. ඉක්මනින් වී විවාහ නොවීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

11 බොහෝ යෞවනයන් විවාහ වීමට අදහස් කර තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා හදිසි නොවීමට ඕනෑ තරම් හේතු තිබෙනවා. පාවුල් උනන්දු කළේ ලිංගික හැඟීම් පාලනය කිරීම අපහසු බව හැඟෙන “යොවුන් විය පසු කර” විවාහ වෙන්න කියායි. (1 කොරි. 7:36) තමන් ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමටත් තමන්ට සුදුසු කෙනා කවුද කියා අවබෝධ කරගැනීමටත් යම් කාලයක් ගත වෙනවා. විවාහ වන විට ලබා දෙන පොරොන්දුව ජීවිත කාලය පුරාම වලංගු වන නිසා විවාහය ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතුයි.—දේශ. 5:2-5.

වැඩිහිටියන් ලෙස තනිකඩව

12. (අ) ආනාගේ ජීවිතයේ සිදු වූ වෙනසින් පසු ඇය ක්‍රියා කළේ කොහොමද? (ආ) ඇයට ලැබුණ වරප්‍රසාදය කුමක්ද?

12 ආනා විවාහ වී වසර හතකින් පසුව ඇගේ ස්වාමිපුරුෂයා හදිසියේම මිය ගියා. ඇය ඒ ගැන මොන තරම් දුක් වෙන්න ඇද්ද! ඇයට දරුවන් සිටියාද කියාත් ඇය නැවත විවාහ වීම ගැන කල්පනා කළාද කියාත් අප දන්නේ නැහැ. බයිබලයේ සඳහන් කරන්නේ ආනා වයස අවුරුදු 84දීත් වැන්දඹුවක්ව සිටි බවයි. බයිබල් වාර්තාවෙන් පැහැදිලි වන්නේ ආනාගේ ජීවිතයේ සිදු වූ ඒ වෙනසින් පසුව ඇය තවත් දෙවිට ළං වීමට ක්‍රියා කළ බවයි. ඇය ‘එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා දේවමාලිගාවට පැමිණියා. ඇය නිරාහාරව සිටිමින්, කන්නලව් කරමින් දිවා රෑ දෙකෙහිම දෙවිට නමස්කාර කළා.’ (ලූක් 2:36, 37) ඇගේ ජීවිතයේ මුල් තැන හිමි වුණේ දෙවිට කරන නමස්කාරයටයි. ඇයට ඒ සඳහා විශාල ධෛර්යයක් අවශ්‍ය වූ අතර දැඩි වෑයමක් දරන්නත් සිදු වුණා. ඇයට කුඩා යේසුස්ව දැක බලා ගැනීමේ වරප්‍රසාදය ලැබුණු අතර යේසුස් තුළින් ලැබෙන ගැලවීම ගැනද අන් අය සමඟ කතා කළා.—ලූක් 2:38.

13. (අ) සභාවේ කටයුතුවලට දොර්කස් ක්‍රියාශීලීව හවුල් වූ බව පවසන්න පුළුවන් ඇයි? (ආ) දොර්කස්ගේ යහපත්කම හා කරුණාවන්තකම නිසා ඇයට ලැබුණු ආශීර්වාද මොනවාද?

13 යෙරුසලමට වයඹ දෙසින් පිහිටි යොප්පාවේ දොර්කස් නම් ස්ත්‍රියක් සිටියා. ඇයව තබිතා කියාද හඳුන්වනවා. ඇයට ස්වාමිපුරුෂයෙක් සිටි බව බයිබලයේ සඳහන් වන්නේ නැති නිසා ඇය ඒ වෙද්දී තනිකඩව සිටින්න ඇති. දොර්කස් “නිතරම අනුන්ට කරුණාව දක්වමින් නොයෙකුත් දේවල් ඔවුන්ට තෑගි කළ” ස්ත්‍රියක්. ඇය අවශ්‍යතාව ඇති වැන්දඹුවන්ට හා වෙනත් අයට ඇඳුම් මසා දුන්නා. ඒ නිසා බොහෝදෙනෙක් ඇයට ආදරය කළා. ඇය හදිසියේම අසනීප වී මිය ගිය විට මුළු සභාවම පේතෘස්ට පණිවිඩයක් යවා ඔහුව ගෙන්වාගෙන ඇයව නැවත නැඟිටුවන්න කියා පැවසුවා. ඇය නැවත නැඟිටුණු ආරංචිය මුළු යොප්පාව පුරා පැතිර ගිය විට බොහෝදෙනෙක් ක්‍රිස්තියානීන් බවට පත් වුණා. (ක්‍රියා 9:36-42) ඔවුන්ගෙන් සමහර අයට දොර්කස් උපකාර කරන්න ඇති.

14. තනිකඩ ක්‍රිස්තියානීන්ට යෙහෝවා දෙවි වෙතට ළං වීමට පොලඹවන්නේ කුමක්ද?

14 අද දින සභාවේ සිටින බොහෝදෙනාද ආනා සහ දොර්කස් මෙන් ජීවිතයේ මැදි වියට පැමිණි පසු තනිකඩව සිටීමට තීරණය කරනවා. සමහරවිට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් නොලැබීම, දික්කසාද වීම, සහකරු හෝ සහකාරිය මිය යෑම ඊට හේතු විය හැකියි. තම හැඟීම් සහ සිතුවිලි පවසන්න විවාහක සහකරුවෙක් හෝ සහකාරියක් නොමැති නිසා තනිකඩ ක්‍රිස්තියානීන් නිතරම යෙහෝවා දෙවි මත රඳා සිටීමට ඉගෙනගන්නවා. (හිතෝ. 16:3) වසර 38ක් පුරා බෙතෙල්හි සේවය කරන සිල්වියා නමැති තනිකඩ සහෝදරිය ඇය සිටින තත්වය ආශීර්වාදයක් ලෙස සලකනවා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම හැම වෙලාවෙම අනිත් අයව දිරිගන්වනවා. නමුත් මාව දිරිගන්වන්න ඉන්නේ කවුද කියලා සමහර වෙලාවට මට හිතෙනවා. නමුත් මං ගැන මට වඩා යෙහෝවා දෙවි හොඳින්ම දන්නවා කියන විශ්වාසය මාව යෙහෝවා දෙවි වෙතට ළං කරනවා. ධෛර්යය අවශ්‍ය හැම අවස්ථාවකදීම මට ඒක ලැබිලා තියෙනවා. සමහර වෙලාවට ඒක ලැබෙන්නේ කොහෙත්ම හිතන්නේ නැති විදිහටයි.” යෙහෝවා දෙවිට වඩාත් ළං වන විට අප තනි වෙලා නැහැ යන හැඟීම ලබා දෙමින් දෙවි ඉතා කාරුණිකව අපට උපකාර කරනවා.

15. වැඩි වැඩියෙන් අන් අයට ප්‍රේම කරන්න තනිකඩ ක්‍රිස්තියානීන්ට පුළුවන් කොහොමද?

15 වැඩි වැඩියෙන් ප්‍රේමය පෙන්වීමට තනිකඩ ක්‍රිස්තියානීන්ට අවස්ථා ලැබෙනවා. (2 කොරින්ති 6:11-13 කියවන්න.) වසර 34ක් පූර්ණකාලීන සේවය කළ තනිකඩ සහෝදරියක් වන ජොලින් මෙසේ පවසනවා. “මගේම වයසේ අය එක්ක විතරක් නෙවෙයි හැමෝවම මගේ කිට්ටු මිතුරන් කරගන්න මං මහන්සි වුණා. යෙහෝවා දෙවිටත් පවුලේ අයටත් සහෝදර සහෝදරියන්ටත් අසල්වාසීන්ටත් සේවය කරන්න තනිකඩව ඉන්න එක මට ලොකු උපකාරයක් වුණා. වයස යන්න යන්න තනිකඩව ඉන්න එකෙන් මට ලැබෙන ප්‍රීතිය තවත් වැඩි වෙනවා.” සභාවේ වැඩිහිටියන්, ආබාධිතයන්, දරුවන් සමඟ තනි වූ මව්වරුන් හා පියවරුන්, යෞවනයන් සහ වෙනත් අය තනිකඩ ක්‍රිස්තියානීන් ලබා දෙන උපකාරය බොහෝ සේ අගය කරනවා. ඇත්තෙන්ම අප අන් අයට ප්‍රේම කරන සෑම අවස්ථාවකම ඉන් ලොකු සතුටක් ලබනවා. අන් අය වෙනුවෙන් ඔබේ හදවතේ ඇති ප්‍රේමය “තව තවත් වැඩි” කරන්න ඔබටත් හැකිද?

ජීවිත කාලය පුරාම තනිකඩව

16. (අ) යේසුස් ජීවිත කාලය පුරාම තනිකඩව සිටියේ ඇයි? (ආ) තනිකඩව සිටි කාලයෙන් පාවුල් උපරිම ප්‍රයෝජන ගත්තේ කොහොමද?

16 යේසුස් විවාහ වුණේ නැහැ. ඊට හේතුව ඔහුට පැවරී තිබුණු විශේෂ කාර්යය සඳහා සූදානම් වෙන්නත් එය ඉටු කරන්නත් ඔහුට අවශ්‍ය වීමයි. ඔහු බොහෝ දුර ගමන් කළා. හිමිදිරියේ සිට මධ්‍යම රාත්‍රිය ආසන්න වන තුරු ඔහු සේවය කළා. අවසානයේදී ඔහුගේ ජීවිතය පූජා කළා. තනිකඩව සිටීම එම කාර්යයන් ඉටු කිරීමට ඔහුට උපකාරයක් වුණා. පාවුල්ද කිලෝමීටර් දහස් ගණනක් සංචාරය කළා. ඒ වගේම දරුණු පීඩාවලට මුහුණ දුන්නා. (2 කොරි. 11:23-27) පාවුල් කලින් විවාහ වී සිටියා විය හැකි වුණත් යේසුස් ඔහුගේ සේවය සඳහා පාවුල්ව තෝරාගන්නා විට ඔහු සිටියේ තනිකඩවයි. (1 කොරි. 7:7; 9:5) දෙවිට වැඩියෙන් සේවය කිරීම සඳහා තමන්ගේ ආදර්ශය අනුගමනය කරන්න හැකි නම් එසේ කරන්න කියා යේසුස් සහ පාවුල් අන් අයට දිරිගැන්නුවා. ඒ වුණත් දෙවිට සේවය කිරීමට විවාහ නොවී සිටිය යුතුයි කියා ඔවුන් නීතියක් දැම්මේ නැහැ.—1 තිමෝ. 4:1-3.

17. සමහර අය යේසුස්ව හා පාවුල්ව අනුකරණය කර තිබෙන්නේ කොහොමද සහ කැප කිරීම් කරන අයව යෙහෝවා දෙවි අගය කරන බව නිසැක වෙන්න පුළුවන් ඇයි?

17 දෙවිට වැඩියෙන් සේවය කිරීමට අවස්ථාවන් ලැබෙන නිසා සමහර අය තනිකඩව ඉන්න කැමැත්තෙන්ම තීරණය කර තිබෙනවා. මුලින් සඳහන් කළ හැරල්ඩ් වසර 56ක් පුරා බෙතෙල්හි සේවය කර තිබෙනවා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මම බෙතෙල් එකේ අවුරුදු දහයක් විතර ඉන්න කොට වයසක දෙමාපියන්ව රැකබලා ගන්න අවශ්‍ය නිසා හෝ අසනීප නිසා බෙතෙල් සේවය නවතා දමන විවාහක අයව මම දැක්කා. මගේ දෙමාපියන් ඒ වෙද්දී මිය ගිහිල්ලයි හිටියේ. බෙතෙල් සේවයට මම ගොඩක් කැමති නිසා විවාහ වීමෙන් එය නැති කරගන්න තියෙන අවස්ථා වැඩි කරගන්න මට ඕන වුණේ නැහැ.” වසර ගණනාවක් පූර්ණකාලීන සේවය කළ මාග්‍රට් මෙසේ පැවසුවා. “මට විවාහ වෙන්න ඕන තරම් අවස්ථා තිබුණා. නමුත් මම විවාහ වුණේ නැහැ. තනිකඩව ඉන්න නිසා ලැබුණු අමතර නිදහසින් දේශනා සේවය තුළ කාර්යබහුල වෙන්න මට පුළුවන් වුණා. ඉන් මම ලොකු සතුටක් ලැබුවා.” සැබෑ නමස්කාරය වෙනුවෙන් කැප කිරීම් කරන කිසි කෙනෙකුව යෙහෝවා දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ.යෙසායා 56:4, 5 කියවන්න.

ඔබ සිටින තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

18. තනිකඩ ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්නත් ඔවුන්ට උපකාර කරන්නත් අපට පුළුවන් කොහොමද?

18 දෙවිට සේවය කිරීමට තම උපරිමය කරන අවිවාහක ක්‍රිස්තියානීන් සියලුදෙනාම අපගේ අගයත් දිරිගැන්වීමත් ලැබීමට වටිනවා. ඔවුන් සෑමදෙනාටම අප ප්‍රේම කරනවා. ඔවුන් සභාව වෙනුවෙන් කරන දේ අප ගොඩක් අගය කරනවා. අප ඔවුන්ගේ ‘සහෝදර සහෝදරියන්, මව, පියා හෝ දරුවන්’ වෙනවා නම් ඔවුන්ට තනිකමක් දැනෙන්නේ නැහැ.මාක් 10:28-30 කියවන්න.

19. තනිකඩව සිටින ඔබට ඉන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

19 ඔබ තනිකඩව සිටීමට තීරණය කළ කෙනෙකු වුණත් යම් තත්වයක් නිසා තනිකඩව සිටින කෙනෙකු වුණත් මෙම ලිපියෙන් සලකා බැලූ ශුද්ධ ලියවිලි සහ වර්තමාන ආදර්ශ තුළින් සන්තෝෂවත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න හැකි බව නිසැකකමක් ඔබට ලැබුණු බව ස්ථිරයි. සමහර දීමනා හෝ තෑගි අප බලාපොරොත්තු වූ ඒවායි. තවත් ඒවා අප බලාපොරොත්තු නොවූ ඒවායි. සමහර ඒවා අප ඒ වෙලාවෙම සතුටින් භාරගන්නවා. තවත් ඒවායේ අගය අපට දැනෙන්නේ කලක් ගත වූ පසුවයි. ඊට අපේ ආකල්ප බොහෝදුරට බලපානවා. තනිකඩව සිටින ඔබට ඉන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවිට ළං වෙන්න. දෙවිගේ සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න. වැඩි වැඩියෙන් අන් අයට ප්‍රේම කරන්න. විවාහ වීම මෙන්ම තනිකඩව සිටීමත් ආශීර්වාදයක් වන්නේ දෙවිට මුල් තැන දෙන විටයි. එමෙන්ම ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා විටයි.

ඔබේ පිළිතුර කුමක්ද?

• තනිකඩව සිටීම දීමනාවක් වන්නේ කුමන ආකාරවලින්ද?

• යෞවන කාලයේ තනිකඩව සිටීම ආශීර්වාදයක් කියා පවසන්න පුළුවන් ඇයි?

• යෙහෝවා දෙවිට ළං වෙන්නත් බොහෝදෙනෙකුට ප්‍රේමය පෙන්වන්නත් තනිකඩ ක්‍රිස්තියානීන්ට ලැබෙන අවස්ථා මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූර]

දෙවිට සේවය කිරීමට ලැබෙන අවස්ථාවලින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නවාද?