Skip to content

පටුනට යන්න

පීඩා යටතේ යෙහෝවා දෙවිට සේවය කිරීම

පීඩා යටතේ යෙහෝවා දෙවිට සේවය කිරීම

පීඩා යටතේ යෙහෝවා දෙවිට සේවය කිරීම

මාර්ජි ඩි යොං වැන් ඩෙන් හියුවෙල්

මගේ වයස අවුරුදු 98යි. මම අවුරුදු 70ක් පුරා දෙවිට සේවය කරනවා. ඒ කාලය තුළ බොහෝ පීඩාවලටද මුහුණ දීලා තියෙනවා. දෙවන ලෝක මහා යුද්ධය අතරතුර මට ගාල් කඳවුරකත් ඉන්න සිදු වුණා. මම ගොඩක් අධෛර්යයට පත් වුණ අවස්ථාවක ගත්ත තීරණයක් නිසා පසු කාලයේදී හුඟක් දුක් වුණා. ඉන්පස්සේ මට ලොකු වේදනාවක් ගෙන දෙන තවත් අද්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණා. පීඩා යටතේ වුණත් දෙවිට සේවය කරන්න මට ලැබුණ අවස්ථාව ගැන මම දෙවිට ස්තුතිවන්ත වෙනවා.

මගේ ජීවිතයේ ප්‍රබල වෙනසක් 1940දී සිදු වුණා. මම ජීවත් වුණේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට ගිනිකොන දෙසට කිලෝමීටර් 24ක් ඈතින් තියෙන හිල්වර්සම් කියන ගමෙයි. ඒ කාලයේදී නෙදර්ලන්තය තිබුණේ නාට්සි පාලනය යටතෙයි. ඒ වෙද්දී මම යාප් ඩි යොං එක්ක විවාහ වෙලා අවුරුදු පහයි. අපේ දුව විලීට අවුරුදු තුනයි. අපේ අල්ලපු ගෙදර හිටියේ දුප්පත් පවුලක්. ඒ පවුලේ ළමයි අටදෙනෙක් හිටියා. ඒ වුණත් එයාලා තවත් යෞවනයෙකුට කෑම හා නවාතැන් දුන්නා. ‘ඇයි එයාලා තවත් බරක් දරන්නේ’ කියලා මට නිතරම හිතුණා. දවසක් මම කෑමක් හදලා එයාලට දෙන්න ගියා. එතකොටයි මම දැනගත්තේ ඒ යෞවනයා පුරෝගාමියෙක් කියලා. ඔහු මට දේවරාජ්‍යය ගැනත් ඉන් ලැබෙන ආශීර්වාද ගැනත් කතා කළා. මම එයා කිව්ව දේවල් සත්‍යය කියලා පිළිගත්තා. ඒ අවුරුද්දේම මම බව්තීස්ම වුණා. ඊළඟ අවුරුද්දේ මගේ ස්වාමිපුරුෂයාත් බව්තීස්ම වුණා.

මට බයිබලය ගැන එතරම් දැනුමක් නොතිබුණත් සාක්ෂිකරුවෙක් වෙනවා කියන්නේ තහනම් සංවිධානයක සාමාජිකයෙක් වෙනවා කියන එක මම දැනගෙන හිටියා. ඒ වගේම ශුභාරංචිය ගැන කතා කළ නිසා සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට සිරගත වෙන්න සිදු වෙලා තියෙනවා කියලත් මම දැනගෙන හිටියා. ඒ වුණත් හැමෝටම මම ශුභාරංචිය ප්‍රකාශ කළා. මායි මගේ මහත්තයයි අපේ ගෙදර පුරෝගාමීන්ටයි සංචාරක සේවකයන්ටයි නවාතැන් දුන්නා. සහෝදර සහෝදරියන් ඇම්ස්ටර්ඩෑම්වල ඉඳලා ගෙනාපු පොත් පත් ගබඩා කළේ අපේ ගෙදරයි. ඒ අය පොත් පත් අරන් ආවේ බයිසිකල්වල ගැටගහලා කැන්වස් රෙද්දකින් වහලයි. සහෝදර සහෝදරියන් වෙනුවෙන් එයාලා ඔවුන්ගේ ජීවිත පවා අනතුරේ දැම්මා. ඒ අයට තිබුණේ මොන තරම් ප්‍රේමයක් හා ධෛර්යයක්ද!—1 යොහ. 3:16.

“ඔයා ඉක්මනට එනවද අම්මේ?”

මම බව්තීස්ම වෙලා මාස හයකට විතර පස්සේ පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් අපේ ගෙදරට ආවා. එයාලා අපේ ගේ සෝදිසි කළා. පොත් හංගලා තිබුණු තැන හොයාගන්න බැරි වුණත් ඇඳ යට තිබුණ පොත් කිහිපයක් ඔවුන් හොයාගත්තා. ඒ වෙලාවේම එයාලාත් එක්ක හිල්වර්සම් පොලිස් ස්ථානයට එන්න කියලා මට කිව්වා. මම මගේ දුවට “ගිහිල්ලා එන්නම්” කියද්දී “ඔයා ඉක්මනට එනවද අම්මේ” කියලා දුව ඇහැව්වා. “ඔව් දුවේ මම ඉක්මනට එනවා” කියලා මම කිව්වා. නමුත් මට ආයෙත් මගේ දුවව දකින්න මාස 18ක් ඉන්න සිද්ධ වුණා.

පොලිස් නිලධාරියෙක් මගෙන් ප්‍රශ්න කරන්න මාව ඇම්ස්ටර්ඩෑම්වලට අරන් ගියා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තුන්දෙනෙක්ව අඳුරනවාද කියලා දැනගන්න එයාලට ඕන වුණා. මම කිව්වා “එක් කෙනෙක් නම් අපේ ගෙදරට කිරි ගේනවා. හැබැයි එයා සාක්ෂිකරුවෙක්ද කියලා දැනගන්න වෙන්නේ එයාගෙන්ම තමයි.” මම තව මුකුත් කියන්න අකමැති වුණ නිසා එයාලා මගේ මුහුණට ගහලා, එතරම් ඉඩ නැති පොඩි සිරකුටියකට මාව දැම්මා. මම ඒකේ මාස දෙකක් හිටියා. මම ඉන්න තැන මගේ මහත්තයා දැනගත්තාට පස්සේ එයා මට ඇඳුම් සහ කෑම අරගෙන ආවා. පස්සේ 1941 අගෝස්තු මාසයේදී මාව ජර්මනියේ බර්ලින්වලින් උතුරට කිලෝමීටර් 80ක් විතර එහායින් තියෙන රාවන්ස්බෲක් ගාල් කඳවුරට යැව්වා. ඒක නම් කාන්තාවන්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි.

“දුක් වෙන්න එපා”

අපි කඳවුරට ආව ගමන් අපිට ලියුමක් දුන්නා අත්සන් කරන්න කියලා. අත්සන් කළොත් අපිට ගෙදර යන්න පුළුවන් කියලා එයාලා කිව්වා. ඒකේ ලියලා තිබුණේ අපි අපේ විශ්වාසය අත්හරිනවා කියලයි. නමුත් මම අත්සන් කළේ නැහැ. ඒ වෙනුවට මං අරගෙන ආව බඩු ටික එයාලට භාර දීලා එයාලා මට දුන්න දම්පාට ත්‍රිකෝණයක් මහලා තිබ්බ ඇඳුම ඇඳගත්තා. කඳවුරේදී අපිට පිඟානක් සහ හැන්දක් දුන්නා. එදා රෑ අපි හිටියේ තාවකාලික සිරකරුවන් රඳවන කඳවුරකයි. මාව අත්අඩංගුවට ගත්තාට පස්සේ මුල්ම වතාවට ඒ වෙලාවේදී මට ඇඬුණා. “මට මොනවා වෙයිද? මම කොතරම් කාලයක් මෙහෙ ඉඳියිද” කියලා මම හිතුවා. මම බයිබලය ගැන ඉගෙනගෙන තිබුණේ මාස කිහිපයක් විතරයි. ඒ නිසා ඒ වෙලාවේදී මගේ විශ්වාසය ටිකක් අඩු වුණා. මම දුකෙන් ඉන්න බව දැනගත්ත ඕලන්ද සහෝදරියක් පහුවදා උදේ අපේ නම් කතා කරන වෙලාවේදී මට කිව්වා “දුක්වෙන්න එපා, දුක් වෙන්න එපා, අපිට කරදර කරන්න කාටවත් බැහැ” කියලා.

අපේ නම් කතා කළාට පස්සේ අපිව වෙන සිරකුටියකට දැම්මා. එතැන ජර්මනියේ සහ නෙදර්ලන්තයේ සහෝදරියන් සිය ගණනක් හිටියා. ඒගොල්ලන් අපිව සාදරයෙන් පිළිගත්තා. සමහර ජර්මානු සහෝදරියන් එතැනට ඇවිල්ලා තියෙන්නේ අවුරුද්දකටත් කලිනුයි. එයාලත් එක්ක හිටිය නිසා මට ශක්තියක් ලැබුණා. කලින් සහෝදරිය කිව්වා වගේ මගේ දුක නැතුව ගියා. අපේ සහෝදරියන් හිටිය සිරකුටිවල පිරිසිදුකම දැකලා මට පුදුම හිතුණා. පිරිසිදුකම විතරක් නෙවෙයි ඒ සිරකුටිවල රණ්ඩු, හොරකම් වගේ දේවල් සිදු වුණෙත් නැහැ. මුළු කඳවුරේම සිදු වූ අමානුෂික දේවල් එක්ක බලද්දී අපි හිටිය සිරකුටි හරියට අපිරිසිදු මුහුදක් මැද තියෙන පිරිසිදු දූපතක් වගේයි.

කඳවුරේ ජීවිතය

කඳවුරේ ගොඩක් වැඩ තිබුණත් කන්න දුන්නේ බොහොම ටිකයි. අපි උදේ පහට ඇහැරෙනවා. ඒ එක්කම අපේ නම් කතා කරනවා. වැස්ස තිබුණත් අව්ව තිබුණත් අපිට පැයක් විතර එළියේ හිටගෙන ඉන්න සිදු වුණා. හවස පහට ආයෙත් අපේ නම් කතා කරනවා. ඊටපස්සේ අපිට සුප් ටිකකුයි පාන් කෑල්ලකුයි දෙනවා. පස්සේ හොඳටම මහන්සි වෙලා ඉන්න අපි නින්දට යනවා.

ඉරිදා හැර හැම දවසකම මට ගොවිපොළවල්වල වැඩ කරන්න සිදු වුණා. මම ගොවිපොළේ තිරිඟු කැපුවා. යන්ත්‍රයකින් කානු කැපුවා. ඌරු කොටු පිරිසිදු කළා. මම වැඩ කළේ අපිරිසිදු තැන්වලයි. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නත් මට සිදු වුණා. ඒ වුණත් මම ශක්තිමත්ව හිටිය නිසාත් තරුණ නිසාත් ඒ වැඩ කරන්න මට පුළුවන් වුණා. මම වැඩ කරන ගමන් ගීතිකා ගායනා කළ නිසා ඒක මට ශක්තියක් වුණා. ඒ කෙසේවෙතත් මගේ මහත්තයාවයි දරුවාවයි බලන්න තියෙන ආශාව නම් අඩු වුණේ නැහැ.

අපිට කෑම ලැබුණේ ටිකක් වුණත් ඉරිදාට බයිබලය ගැන සාකච්ඡා කරන වෙලාවට ඕන නිසා අපිට ලැබෙන පාන්වලින් ටිකක් ඉතුරු කරගත්තා. අපිට සංවිධානයේ පොත් පත් තිබුණේ නැහැ. නමුත් වයසින් වැඩි ජර්මානු සහෝදරියන් බයිබලය ගැන සාකච්ඡා කරද්දී මම උනන්දුවෙන් අහගෙන හිටියා. අපි යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයත් පැවැත්තුවා.

පීඩන, පසුතැවීම සහ දිරිගැන්වීම

නාට්සි හමුදාවට සම්බන්ධ වැඩ කරන්න කියලා අපිට අණ කළා. නමුත් අපි දේශපාලනයට හවුල් වෙන්නේ නැති නිසා කිසිම සහෝදරියක් ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා මාත් හමුදාවට සම්බන්ධ වැඩ ප්‍රතික්ෂේප කළා. අපි එහෙම කළ නිසා අපිට කෑම දුන්නේ නැහැ. ඒ වගේම පැය ගණන් හිටගෙන ඉන්නත් සිදු වුණා. ඒ විතරක් නෙවෙයි සීතල කාලයක උණුසුම ලබා දීමට කිසිම ක්‍රමයක් නැති කාමරයක අපිව දවස් 40ක් සිර කර තැබුවා.

අපි තවදුරටත් සාක්ෂිකරුවන් නොවන බවට සඳහන් ලියවිල්ලට අත්සන් කළොත් අපිව නිදහස් කරන බව නිතර නිතර අපිට කිව්වා. රාවන්ස්බෲක්වල අවුරුද්දක් විතර හිටියට පස්සේ මම ගොඩක් අධෛර්යයට පත් වුණා. මගේ මහත්තයාවයි දරුවාවයි බලන්න තියෙන දැඩි ආශාව නිසා මම නිලධාරියෙක් ළඟට ගිහිල්ලා ඔවුන් ළඟ තිබුණු ලියවිල්ල ඉල්ලගෙන මම තවදුරටත් බයිබල් ශිෂ්‍යයෙක් නෙවෙයි කියලා ලියලා තිබුණු ලියවිල්ලට අත්සන් කළා.

මම කළ දේ අනිත් සහෝදරියන්ට ආරංචි වුණාම සමහර අය මාත් එක්ක කතා කළේ නැහැ. නමුත් වයසක ජර්මානු සහෝදරියන් දෙන්නෙක් වන හෙට්වික් සහ ගර්ට්‍රඩ් මාත් එක්ක කතා කරලා අපි ඔයාට තවමත් ආදරෙයි කියලා මට කිව්වා. යෙහෝවා දෙවිට දිගටම විශ්වාසවන්තව ඉන්න එක මොන තරම් වැදගත්ද කියලත් අපි දෙවිට තියෙන විශ්වාසය කිසිවිටකත් නැති කරගන්න නරකයි කියලත් ඒ තුළින් දෙවිට ප්‍රේම කරන බව පෙන්වන්න පුළුවන් කියලත් ඌරු කොටුවේ වැඩ කරන ගමන් ඒ දෙන්නා මට කිව්වා. අම්මා කෙනෙක් වගේ එයාලා මං ගැන දක්වපු සැලකිල්ල මට ගොඩක් බලපෑවා. * මම කළේ වරදක් කියලා මම දන්නවා. මම අත්සන් කළ ලියවිල්ල අවලංගු කරන්න මට ඕන වුණා. මම ඒක සහෝදරියකට කිව්වා. නිලධාරියෙක් ඒක අහගෙන හිටිය නිසා වෙන්න ඇති මාව පහුවදාම නෙදර්ලන්තයට යැව්වේ. මම පිට වෙලා යන්න කලින් එක් කෙනෙක් කියපු දෙයක් මට තාමත් මතකයි. “ඔයා තාමත් බයිබල් ශිෂ්‍යයෙක්. ඒක වෙනස් වෙන්නේ නැහැ.” එතකොට මම කිව්වා “ඔව්, මම හැමදාමත් එහෙමයි” කියලා. නමුත් ඒ ලියවිල්ලට අත්සන් කළේ ඇයි කියලා මම නිතරම කල්පනා කළා.

මං අත්සන් කළ ලියවිල්ලේ එක තැනක මෙහෙම තිබුණා. “මා මින් ඉදිරියට කිසිම දිනක ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සංගමයේ ක්‍රියාශීලී සාමාජිකයෙක් නොවන බවට සහතික වෙමි.” ඒ නිසා කරන්න ඕනේ මොනවාද කියලා මට තේරුණා. මම 1943 ජනවාරි මාසයේදී ගෙදර ආවාට පස්සේ දේවසේවයේ යන්න පටන්ගත්තා. දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයත් එක්ක කතා කරන නිසා ආයෙත් මාව අත්අඩංගුවට ගත්තොත් මට ලැබෙන දඬුවම ඉතා බරපතළයි කියලා මම දැනගෙන හිටියා.

යෙහෝවා දෙවිට තියෙන මගේ විශ්වාසවන්තකම ඔහුට පෙන්නන්න ඕනෙ නිසා මායි මගේ මහත්තයායි ආයෙත් අපේ ගෙදර සංචාරක සේවකයන්ට සහ බයිසිකල්වලින් පොත් පත් අරගෙන ආව අයට නවාතැන් දුන්නා. යෙහෝවා දෙවිටත් ඔහුගේ සෙනඟටත් මම කොච්චර ආදරේද කියලා පෙන්නන්න මට ලැබුණු අවස්ථාව ගැන මම ගොඩක් සතුටු වෙනවා.

වේදනාත්මක අවස්ථාවක්

යුද්ධය අවසන් වෙන්න මාස කිහිපයකට කලින් මටයි මගේ මහත්තයාටයි ගොඩක් වේදනාවක් ගෙන දෙන අද්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණා. අපේ දුව 1944 ඔක්තෝබර් මාසයේදී හදිසියේ අසනීප වුණා. එයාට ගලපටලය හැදුණා. එයාගේ තත්වය එන්න එන්නම දරුණු වුණා. දවස් තුනකට පස්සේ එයා මැරුණා. එතකොට එයාගේ වයස අවුරුදු හතයි.

අපේ දුව නැති වෙච්ච වෙලාවේ ඇති වුණ දුක මට වචනවලින් විස්තර කරන්න බැහැ. රාවන්ස්බෲක්වල මුහුණ දුන්න පීඩාවලදී දැනුණු දුකට වඩා දුකක් අපේ දුව මැරුණ වෙලාවේ දැනුණා. කොහොමවුණත් “යෙහෝවා දෙවි සැමවිටම මා ඉදිරියේ සිටිනවා කියා මම විශ්වාස කරමි. ඔහු මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි” කියා ගීතාවලිය 16:8හි සඳහන් වචන අපිට මහත් සැනසීමක් වුණා. යෙහෝවා දෙවිගේ පොරොන්දුවක් වන නැවත නැඟිටීම ගැන මටයි මගේ මහත්තයාටයි ලොකු විශ්වාසයක් තිබුණා. අපි දිගටම උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කළා. ඒ වගේම සත්‍යය තුළ ක්‍රියාශීලීව හිටියා. මගේ මහත්තයා 1969දී මිය යන තුරුම යෙහෝවා දෙවිට සේවය කරන්න මට උපකාර කළා.

සතුට සහ ආශීර්වාද

පසුගිය දශක කිහිපය පුරා සතුටු වීමට තිබුණ කාරණයක් වන්නේ පූර්ණකාලීනව දෙවිට සේවය කරන අය සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ලැබුණ අවස්ථාවයි. යුද්ධය පැවති කාලය වගේම ඉන්පස්සෙත් සංචාරක සේවකයන් හා ඔවුන්ගේ භාර්යාවන්ට අපි නවාතැන් දුන්නා. සංචාරක සේවය කළ මාර්ටන් සහ නෙල් කාප්ටින් යුවළ අපේ ගෙදර අවුරුදු 13ක් නැවතිලා හිටියා. නෙල් බරපතළ ලෙස අසනීප වුණාට පස්සේ ඇය මිය යන තුරු මාස තුනක් ඇයව බලාගන්න මට පුළුවන් වුණා. ඔවුන් දෙන්නත් එක්ක වගේම අනිත් සහෝදර සහෝදරියන් එක්කත් ආශ්‍රය කරද්දී මට දැනුණේ හරියට මම පාරාදීසයක ඉන්නවා වගේයි. දැනටත් මට දැනෙන්නේ එහෙමයි.

වර්ෂ 1995දී රාවන්ස්බෲක් කඳවුර නරඹන්න මට ආරාධනාවක් ලැබුණා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් වුණා. ඒ නිසා මීට අවුරුදු 50කට කලින් මාත් එක්ක ඒ කඳවුරේ හිටපු සහෝදරියන්ව මුණගැහෙන්න මට පුළුවන් වුණා. එකිනෙකාව දිරිගන්වන්නත් ශක්තිමත් කරන්නත් ලැබුණු ඒ අවස්ථාව කිසිදාක අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මිය ගිය අයව දැකගැනීමේ ආශාවත් අපි සියලුදෙනාටම තිබුණා.

“අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි” කියලා රෝම 15:4හි පාවුල් පැවසුවා. ඒ බලාපොරොත්තුව ලබා දීම ගැන මම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. පීඩා යටතේ දෙවිට සේවය කිරීමට ඒ බලාපොරොත්තුව මට විශාල උපකාරයක් වී තිබෙනවා.

[පාදසටහන]

^ 19 ඡේ. ඒ කාලයේදී මූලස්ථානය සමඟ ඔවුන්ට කිසිම සම්බන්ධයක් නොතිබූ නිසා යුද්ධයට සම්බන්ධ නොවීම ගැන කාරණා සහෝදරයන් හැසිරවූයේ පෞද්ගලිකවයි. කඳවුරේ සිටි සහෝදරියන් මාර්ජි ඩි යොං කළ දේ ගැන විවිධ ආකල්ප දැරුවේ ඒ නිසයි.

[10වන පිටුවේ පින්තූරය]

යාප් සමඟ 1930දී

[10වන පිටුවේ පින්තූරය]

අපේ දුව වයස අවුරුදු හතේදී

[12වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1995දී කඳවුර නරඹද්දී, ඉදිරි පේළියේ වමේ සිට දෙවෙනියා