Skip to content

පටුනට යන්න

විවාහය දෙවිගෙන් ලද ත්‍යාගයක්

විවාහය දෙවිගෙන් ලද ත්‍යාගයක්

විවාහය දෙවිගෙන් ලද ත්‍යාගයක්

“මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.”—උත්. 2:24.

1. අපගේ ගෞරවය ලැබීමට යෙහෝවා දෙවි වටින්නේ ඇයි?

විවාහ සැලැස්ම ආරම්භ කළ යෙහෝවා දෙවි අපගේ ගෞරවය ලබන්න වටිනවා. අපගේ නිර්මාතෘ, සියල්ල පාලනය කිරීමට අයිතිය ඇති තැනැත්තා හා ස්වර්ගික පියා ලෙස යෙහෝවා දෙවි “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” අපට දී තිබෙනවා. (යාකො. 1:17; එළි. 4:11) විවාහ සැලැස්ම ඇති කිරීම තුළින්ද ඔහු අපට ප්‍රේමය පෙන්වා තිබෙනවා. (1 යොහ. 4:8) ඔහු අපට උගන්වන, අපගෙන් ඉල්ලන සහ අපට ලබා දෙන සෑම දෙයකින්ම ප්‍රයෝජන ලබන්නේ අපයි.—යෙසා. 48:17.

2. මුල් විවාහ යුවළට යෙහෝවා දෙවි ලබා දුන් මඟ පෙන්වීම් මොනවාද?

2 විවාහයත් දෙවිගෙන් ලද යහපත් තෑග්ගක්. දෙවි පළමු විවාහය සිදු කළ අවස්ථාවේදී එය සාර්ථක කරගැනීමට අවශ්‍ය නිශ්චිත මඟ පෙන්වීම් ආදම් සහ ඒවට ලබා දුන්නා. (මතෙව් 19:4-6 කියවන්න.) ඔවුන් එම මඟ පෙන්වීම් පිළිගත්තා නම් සදාකාලික සන්තෝෂයක් භුක්ති විඳීමේ අවස්ථාව ඔවුන්ට තිබුණා. කෙසේවෙතත් ඔවුන් ඉතා අඥාන ලෙස ඊට අකීකරු වූ නිසා බරපතළ ඵල විපාකවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණා.—උත්. 3:6-13, 16-19, 23.

3, 4. (අ) යෙහෝවා දෙවිව හා ඔහු ඇති කළ විවාහ සැලැස්මට සමහරුන් අගෞරව කර තිබෙන්නේ කොහොමද? (ආ) මෙම ලිපියෙන් අප සලකා බලන්නේ කුමන ආදර්ශ ගැනද?

3 ආදම් සහ ඒව මෙන් අද සිටින බොහෝදෙනාද විවාහ ජීවිතයේදී තීරණ ගන්නේ දෙවිගේ ප්‍රමිති ගැන එතරම් සැලකිල්ලක් නොදක්වායි. එසේත් නැත්නම් ඒ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වායි. සමහර අය විවාහ නොවී එකට ජීවත් වන අතර තවත් අයට බොහෝ සහකරුවන් හෝ සහකාරියන් සිටිනවා. එපමණක්ද නොව සමලිංගික විවාහයන් අනුමත කරන අය මෙන්ම විවාහය සදාකාලික බැඳීමක් ලෙස නොසිතන අයද සිටිනවා. (රෝම 1:24-32; 2 තිමෝ. 3:1-5) විවාහය දෙවිගෙන් ලද තෑග්ගක් ලෙස නොසලකමින් ඊට අගෞරව කරන ඔවුන් ඒ තුළින් එම තෑග්ග ලබා දුන් දෙවිටද අගෞරව කරනවා.

4 දෙවිගේ සමහර සේවකයන් පවා විවාහය ගැන දෙවි ලබා දී ඇති උසස් ප්‍රමිති සැහැල්ලුවට ගන්නවා. ඔවුන් කිසිම ශුද්ධ ලියවිලි පදනමක් නොමැතිව වෙන්ව සිටීමට හෝ දික්කසාද වීමට තීරණය කරනවා. එවැනි දෙයක් වළක්වාගන්නේ කොහොමද? උත්පත්ති 2:24හි දෙවි ලබා දුන් මඟ පෙන්වීම් අදාළ කරගෙන විවාහය ශක්තිමත් කරගන්න ක්‍රිස්තියානීන්ට පුළුවන් කොහොමද? එමෙන්ම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා සූදානම් වෙන්න පුළුවන් කොහොමද? එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා බයිබලයේ සඳහන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ යුවළයන් තුනකගේ ආදර්ශ සලකා බලමු. සාර්ථක විවාහයක් සඳහා දෙවිගේ ප්‍රමිති රැකීම මොන තරම් වැදගත්ද කියා ඉන් වටහාගත හැකියි.

විශ්වාසවන්තකම රැකගන්න

5, 6. සෙකරියාට සහ එලිසබෙත්ට මුහුණ දීමට ඉඩ තිබුණේ කුමන අවදානම් තත්වයටද? ඔවුන් එකිනෙකාට විශ්වාසවන්තව සිටීමෙන් ආශීර්වාද ලැබුවේ කොහොමද?

5 සෙකරියා සහ එලිසබෙත් නිවැරදි තීරණ ගත් යුවළක්. ඔවුන් විවාහ වීමට පෙර සිටම දෙවිට ළැදිව සිටි දෙදෙනෙක්. සෙකරියා පූජකයෙක් ලෙස ඔහුගේ කාර්යය ඉතා විශ්වාසවන්තව ඉටු කළ අතර යුවළක් ලෙස ඔවුන් හැකි උපරිමයෙන් දෙවිට සේවය කළා. යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වීමට ඔවුන්ට බොහෝ හේතු තිබුණා. නමුත් ඔබ ඔවුන්ගේ නිවසට ගියා නම් එහි යම් අඩුවක් දකින බවට කිසිම සැකයක් නැහැ. ඔවුන්ට දරුවන් සිටියේ නැහැ. එලිසබෙත් වඳ ස්ත්‍රියක් වූ අතර ඔවුන් දෙදෙනා සිටියේ මහලු වයසෙයි.—ලූක් 1:5-7.

6 සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල්වරුන්ගේ පවුල්වල බොහෝ දරුවන් සිටියා. විවාහක යුවළකට දරුවන් සිටීම ඔවුන් සැලකුවේ ආශීර්වාදයක් ලෙසයි. (1 සාමු. 1:2, 6, 10; ගීතා. 128:3, 4) ඒ කාලයේ සමහර ඊශ්‍රායෙල්වරු තම භාර්යාව වඳ නම් කපටි ලෙස ඇගෙන් දික්කසාද වීමට මං සෙව්වා. නමුත් සෙකරියා එසේ කළේ නැහැ. එමෙන්ම එලිසබෙත්ද සෙකරියාට විශ්වාසවන්තව සිටියා. දරුවන් නොමැති වීම නිසා ඔවුන් දුකෙන් සිටියත් ඔවුන් දිගටම යුවළක් ලෙස එකිනෙකාටත් යෙහෝවා දෙවිටත් විශ්වාසවන්තව සිටියා. කාලයක් ගත වූ පසු, මේ මහලු යුවළට යෙහෝවා දෙවි දරුවෙක් ලබා දීමෙන් ආශීර්වාද කළා.—ලූක් 1:8-14.

7. එලිසබෙත් තම ස්වාමිපුරුෂයාට විශ්වාසවන්ත වූ තවත් ආකාරයක් කුමක්ද?

7 එලිසබෙත් තවත් ආකාරයකින් සිය ස්වාමිපුරුෂයාට ඇගේ විශ්වාසවන්තකම පෙන්නුවා. ඔවුන්ට පුතෙක් ලැබෙන බව දේවදූතයා පැවසූ විට සෙකරියා එය විශ්වාස කළේ නැහැ. ඒ නිසා දඬුවමක් ලෙස දරුවා ලැබෙන තුරු ඔහුට කතා කිරීමට නොහැකි වන බව දේවදූතයා පැවසුවා. කෙසේවෙතත් දේවදූතයා දරුවාට තබන්න කියා පැවසූ නම “යොහන්” බව සෙකරියා යම් විදිහකින් එලිසබෙත්ට පවසන්න ඇති. නමුත් නෑදෑ හිතමිතුරන්ට අවශ්‍ය වුණේ දරුවාට ඔහුගේ පියාගේ නම තබන්නයි. තම ස්වාමිපුරුෂයාට විශ්වාසවන්තව සිටි එලිසබෙත් මෙසේ පැවසුවා. “එහෙම කරන්න එපා! ඔහුට යොහන් යන නම තබන්න.”—ලූක් 1:59-63.

8, 9. (අ) විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට එකිනෙකාට විශ්වාසවන්තව සිටීම උපකාරවත් වන්නේ කොහොමද? (ආ) ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට තම විශ්වාසවන්තකම පෙන්විය හැකි සමහර පැති මොනවාද?

8 සෙකරියා හා එලිසබෙත් මෙන් අද දින සිටින විවාහක යුවළයන්ද විටින් විට අධෛර්යයට පත් වෙනවා. එමෙන්ම විවිධ අභියෝගවලට මුහුණ දීමටද ඔවුන්ට සිදු වෙනවා. නමුත් ඔවුන් අතර විශ්වාසවන්තකම නොමැති නම් ඔවුන්ගේ විවාහය කල්පවතින්නේ නැහැ. විවාහයෙන් පිටත අය සමඟ ආලවන්තකම් පෑම, කාමුක දර්ශන නැරඹීම, වේශ්‍යාකම සහ වෙනත් හේතූන් නිසා දෙදෙනා අතර තිබෙන විශ්වාසවන්තකම නැවත ගොඩනඟන්න බැරි ආකාරයට පලුදු විය හැකියි. එවිට ප්‍රේමයත් නිරායාසයෙන්ම අඩු වෙනවා. විශ්වාසවන්තකම ආරක්ෂක වැටකට සමාන කරන්න පුළුවන්. නිවසට එන සොර සතුරන්ගෙන් ආරක්ෂා වීමට වැටක් බොහෝ සේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ හා සමානව විවාහය ආරක්ෂා කරගැනීමට එකිනෙකාට විශ්වාසවන්තව සිටීම ඉතා වැදගත්. භාර්යාව හා ස්වාමිපුරුෂයා එකිනෙකාට විශ්වාසවන්තව සිටින විට ඔවුන්ට ආරක්ෂාවක් දැනෙන අතර ඔවුන්ට හැඟෙන දේ විවෘතව පැවසීමටත් හැකි වෙනවා. එවිට ඔවුන් අතර තිබෙන ප්‍රේමය තවත් වර්ධනය වෙනවා. ඇත්තටම සාර්ථක විවාහ ජීවිතයකට විශ්වාසවන්තකම අත්‍යවශ්‍යයි.

9 “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය” කියා යෙහෝවා දෙවි ආදම්ට පැවසුවා. (උත්. 2:24) ඉන් අදහස් කරන්නේ කුමක්ද? දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ නෑදෑයන් සමඟ තිබූ බැඳීම් හා වගකීම්වල යම් වෙනසක් කරන්න දෙදෙනාටම සිදු වෙන බවයි. මුලින්ම ඔවුන් දෙදෙනා තම කාලය හා අවධානය ලබා දිය යුත්තේ තම සහකරුට හෝ සහකාරියටයි. විවාහක යුවළක් ඔවුන්ගේ විවාහ ජීවිතයට බාධාවක් වන අයුරින් ඔවුන්ගේ පවුලේ අයට හෝ මිත්‍රයන්ට මුල් තැන දීම සුදුසු නැහැ. එමෙන්ම එකඟ නොවීම් ඇති වන විටත් පවුලට අදාළ තීරණ ගන්නා විටත් ඒවාට බලපෑම් කරන්න දෙමාපියන්ට ඉඩ නොදිය යුතුයි. ඔවුන් දෙදෙනා එකිනෙකාට ඇලුම්ව සිටිය යුතුයි කියා දෙවි දුන් මඟ පෙන්වීමෙන් අදහස් කරන්නේ එයයි.

10. විවාහක යුවළකට විශ්වාසවන්තකම වර්ධනය කරගන්න උපකාරවත් වන්නේ කුමක්ද?

10 දෙවිට සේවය නොකරන සහකරුවෙක් හෝ සහකාරියක් සිටින විටදී පවා ඔහුට හෝ ඇයට විශ්වාසවන්තව සිටීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. එවැනි තත්වයක සිටින සහෝදරියක් මෙසේ පවසනවා. “මගේ ස්වාමිපුරුෂයාට යටත්ව ඉන්නත් ඔහුට ගෞරව කරන්නත් මට ඉගැන්වීම ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා. එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න නිසා අපිට අවුරුදු 47ක් පුරා ප්‍රේමයෙන් හා ගෞරවයෙන් අපගේ පවුල් ජීවිතය ගත කරන්න හැකියාව ලැබුණා.” (1 කොරි. 7:10, 11; 1 පේතෘ. 3:1, 2) ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය තුළ ඔබ ගැන විශ්වාසයක් ගොඩනඟන්න වෑයම් කරන්න. ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් තැනැත්තා ඔහු හෝ ඇය බව ඔබේ වචනවලින් හා ක්‍රියාවෙන් පෙන්වන්න. ඒ සඳහා වගකීම තිබෙන්නේ ඔබටයි. ඒ නිසා කිසිම දෙයකට හෝ කිසිම කෙනෙකුට ඔබ දෙදෙනා අතරට පැමිණීමට ඉඩ නොදෙන්න. (හිතෝපදේශ 5:15-20 කියවන්න.) වසර 35ක් පුරා සන්තෝෂවත් විවාහ ජීවිතයක් ගත කරන රොන් සහ ජෙනට් මෙසේ පවසනවා. “අපි දෙවිටත් එකිනෙකාටත් විශ්වාසවන්තව ඉන්න නිසා සන්තෝෂවත් වගේම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා.”

එක්සත්කම බැඳීම ශක්තිමත් කරයි

11, 12. ප්‍රිසිලා සහ අකිලා (අ) නිවසේදී, (ආ) රැකියාවේදී සහ (ඇ) දේවසේවයේදී සහයෝගයෙන් වැඩ කළේ කොහොමද?

11 ප්‍රිසිලා සහ අකිලා පාවුල්ගේ සමීපතම මිතුරන් වුණා. පාවුල් අකිලා ගැන සඳහන් කරන සෑම අවස්ථාවකදීම ප්‍රිසිලා ගැනත් සඳහන් කළා. භාර්යාව සහ පුරුෂයා “එක් කෙනෙකු මෙන් වන්නෝය” කියා දෙවි පැවසූ දේට මේ යුවළ කදිම නිදසුනක්. (උත්. 2:24) ඔවුන් ගෙදර වැඩ කළෙත් රැකියාවේ නියැලුණෙත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල හවුල් වුණෙත් එකටයි. පාවුල් කොරින්තියට පැමිණි මුල්ම අවස්ථාවේදී එම යුවළ පාවුල්ට ඔවුන්ගේ නිවසේ නවාතැන් දුන්නා. පාවුල් එම ප්‍රදේශයේ සේවය කරන අතරතුර යම් කාලයකට නවාතැන් ගත්තේ එම නිවසෙයි. පසු කලෙක ප්‍රිසිලා සහ අකිලා එෆීසයට ගිය විටත් රැස්වීම් පැවැත්වීම සඳහා ඔවුන්ගේ නිවස ලබා දුන් අතර අපොලොස් වැනි නවකයන්ට දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබාගැනීමට උපකාර කළා. (ක්‍රියා 18:2, 18-26) පසුව ඔවුන් රෝමයට ගිය අතර එහිදීත් රැස්වීම් පැවැත්වීම සඳහා ඔවුන්ගේ නිවස ලබා දුන්නා. නැවතත් ඔවුන් එෆීසයට පැමිණි අතර එහි සිටි සහෝදරයන්ව ශක්තිමත් කළා.—රෝම 16:3-5.

12 ප්‍රිසිලා සහ අකිලා යම් කාලයක් පාවුල් සමඟ කූඩාරම් සෑදීමේ නියැලුණා. ඔවුන් දෙදෙනා ඒ රැකියාව කළෙත් එකටයි. (ක්‍රියා 18:3) යුවළක් ලෙස ඔවුන්ට ඔවුන්ගේ විවාහය ශක්තිමත් කරගන්නත් එය සන්තෝෂයෙන් ගත කරන්නත් හැකි වුණේ ඔවුන් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල එක්ව හවුල් වූ නිසයි. ඔවුන් කොරින්තියේ, එෆීසයේ හා රෝමයේ ප්‍රසිද්ධව සිටියේ “ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන්” ලෙසයි. (රෝම 16:3) ශුභාරංචිය ව්‍යාප්ත කිරීම සඳහා ඔවුන් ගිය ගිය සෑම තැනකම එකට සේවයේ හවුල් වුණා.

13, 14. (අ) විවාහයේ එකමුතුකමට ඇති විය හැකි බාධා මොනවාද? (ආ) “එක් කෙනෙකු මෙන්” ක්‍රියා කරමින් විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට විවාහක යුවළකට පුළුවන් කොහොමද?

13 දෙදෙනාටම එකම ඉලක්ක තිබෙන විටත් විවිධ ක්‍රියාකාරකම්වල එක්ව හවුල් වන විටත් විවාහය ශක්තිමත් වෙනවා. (දේශ. 4:9, 10) නමුත් බොහෝ යුවළයන් එකට කාලය ගත නොකිරීම කනගාටුවට කරුණක්. ඔවුන් බොහෝ කාලයක් රැකියාව සඳහා වැය කරනවා. තවත් අය වෙනත් දුර ප්‍රදේශයකට හෝ වෙනත් රටකට ගොස් රැකියාවේ නිරත වෙනවා. සමහර යුවළයන් නිවසේ සිටියත් රූපවාහිනිය, විනෝදංශ, ක්‍රීඩා, වීඩියෝ ක්‍රීඩා හෝ අන්තර්ජාලය වැනි දේවලට වැඩිපුර කාලය දීම නිසා දෙදෙනාට එක්ව ගත කිරීමට කාලයක් ලැබෙන්නේ නැහැ. ඔබේ නිවසෙත් තිබෙන්නේ මෙවැනි වාතාවරණයක්ද? එසේනම් තත්වයන් සකස් කරගෙන වැඩි කාලයක් එකට ගත කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා එක්ව කෑම වේලක් පිළියෙල කිරීම, නිවසේ හෝ වත්තේ වැඩ කිරීම ප්‍රයෝජනවත් විය හැකියි. එසේත් නැත්නම් දරුවන්ගේ හෝ මහලු දෙමාපියන්ගේ වැඩකටයුතු එක්ව කිරීමටද ඔබට හැකියි.

14 වඩා වැදගත්ම දේ වන්නේ යෙහෝවා දෙවිට කරන නමස්කාරයේ එකට හවුල් වීමයි. දිනපදය එක්ව සාකච්ඡා කිරීමෙන් සහ පවුලේ නමස්කාරයේ හවුල් වීමෙන් එකම ඉලක්ක ඇතුව සිටින්නත් එකමුතුව සිටින්නත් ඔබ දෙදෙනාට හැකියි. එමෙන්ම එක්ව දේවසේවයේ හවුල් වෙන්න. හැකි නම් එක්ව පුරෝගාමි සේවයේ යෙදෙන්න. ඔබේ තත්වයන් ඉඩ දෙනවා නම් වසරක් පමණ එම සේවයේ නියැලෙන්න. එසේ නොමැති නම් මාසයක් හෝ පුරෝගාමි සේවය කරන්න උත්සාහ කරන්න. (1 කොරින්ති 15:58 කියවන්න.) තම ස්වාමිපුරුෂයා සමඟ පුරෝගාමි සේවයේ හවුල් වූ සහෝදරියක් මෙසේ පවසනවා. “එක්ව දේවසේවයේ හවුල් වීම නිසා අපිට වැඩි කාලයක් එකට ගත කරන්නත් කතාබහ කරන්නත් හැකි වුණා. අන් අයට බයිබලය ගැන ඉගැන්වීමේ ඉලක්කය අපි දෙන්නටම තිබුණු නිසා අපි වැඩ කළේ එකමුතුවයි. ඒ කාලය තුළ මට හැඟුණේ ස්වාමිපුරුෂයා හැටියට විතරක් නෙවෙයි මගේ හොඳම යාළුවා හැටියටත් එයා මට ගොඩක් ළං වුණා කියලයි.” එකට වැඩ කරන විට ඔබ දෙදෙනා උනන්දු වෙන දේවල් හා මුල් තැන දෙන දේවල් අතර එකඟතාවක් ඇති වෙනවා. එවිට ප්‍රිසිලා සහ අකිලා මෙන් ඔබ දෙදෙනාටත් ඔබගේ කල්පනාවන් හා සිතුවිලි එකඟ කරගෙන “එක් කෙනෙකු මෙන්” ක්‍රියා කිරීමට හැකි වෙයි.

දෙවිගේ මඟ පෙන්වීම් පතන්න

15. සාර්ථක විවාහ දිවියකට අවශ්‍ය වන්නේ කුමක්ද? විස්තර කරන්න.

15 විවාහ ජීවිතයේ දෙවිට මුල් තැන දීමේ වැදගත්කම යේසුස් දැන සිටියා. යෙහෝවා දෙවි පළමු විවාහය සිදු කරනවා ඔහු දුටුවා. ආදම් සහ ඒව දෙවිගේ මඟ පෙන්වීම් පිළිගත් විට ඔවුන් කොතරම් සතුටින් සිටියාද කියාත් ඒවා ප්‍රතික්ෂේප කළ විට ඔවුන්ට මුහුණ දීමට සිදු වූ නරක ඵල විපාකත් යේසුස් දුටුවා. ඒ නිසා ඔහු විවාහ ජීවිතය සම්බන්ධයෙන් මඟ පෙන්වීම් දෙන විට උත්පත්ති 2:24හි ඔහුගේ පියා පැවසූ දේ නැවත සඳහන් කළා පමණක් නොව ඊට මේ අදහසද එක් කළා. ‘දෙවි ඔවුන්ව එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.’ (මතෙ. 19:6) ඉන් පැහැදිලි වන්නේ සන්තෝෂවත් සාර්ථක විවාහයක් සඳහා යෙහෝවා දෙවිටත් ඔහුගේ ප්‍රමිතිවලටත් මුල් තැන දීම අවශ්‍ය බවයි. මේ සම්බන්ධයෙන් යේසුස්ව රැකබලා ගත් යෝසෙප් සහ මරියා කදිම ආදර්ශයක්.

16. යෝසෙප් සහ මරියා නමස්කාර කටයුතුවලට මුල් තැන දුන්නේ කොහොමද?

16 යෝසෙප් කාරුණිකව හා ගෞරවනීය ලෙස මරියාට සැලකුවා. මරියා ගැබ්ගෙන සිටින බව දැනගත් පසුවත් ඇයට ගෞරවනීයව සැලකුවා. නමුත් ඒ වන විට දේවදූතයා මරියා ගැබ්ගත් හේතුව යෝසෙප්ට පවසා තිබුණේ නැහැ. (මතෙ. 1:18-20) යුවළක් ලෙස ඔවුන් සීසර්ගේ ආඥාවලට කීකරු වූ අතර මෝසෙස්ගේ නීතිවලටද කීකරු වුණා. (ලූක් 2:1-5, 21, 22) යෙරුසලමේ පැවැත්වූ සමහර උත්සවවලට සහභාගි වීමට අවශ්‍යව තිබුණේ පුරුෂයන්ට පමණක් වූවත් යෝසෙප් සහ මරියා මෙන්ම පවුලේ සියලුදෙනාම ඒවාට සහභාගි වුණා. (ද්වි. 16:16; ලූක් 2:41) මේ ආකාරයෙන් සහ තවත් ආකාරවලින් දෙවිට ගරුබිය දැක්වූ මේ යුවළ දෙවිව සතුටු කිරීමට සහ නමස්කාර කටයුතුවලට මුල් තැන දුන්නා. යෙහෝවා දෙවි තම පුත්‍රයාව කුඩා කල රැකබලා ගැනීමට මේ යුවළව තෝරාගැනීම පුදුමයට කාරණයක් නොවෙයි.

17, 18. (අ) යුවළකට දෙවිගේ මඟ පෙන්වීම්වලට මුල් තැන දිය හැකි ආකාර මොනවාද? (ආ) ඉන් ඔවුන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 යුවළක් ලෙස ඔබ දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවාද? උදාහරණයකට වැදගත් තීරණයක් ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් දේ ඔබ සොයා බලනවාද? ඒ ගැන යාච්ඤා කරනවාද? එමෙන්ම අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්ගේ මඟ පෙන්වීම් පතනවාද? එසේ නැත්නම් ඔබට හැඟෙන ආකාරයට හෝ පවුලේ සහ මිත්‍රයන්ගේ උපදෙස්වලට අනුව ඔබ තීරණ ගන්නවාද? විවාහය හා පවුල් ජීවිතය ගැන විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දී තිබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න ඔබ වෑයම් කරනවාද? එසේ නැත්නම් සමාජයේ පවතින සම්ප්‍රදායන් හෝ ජනප්‍රිය මතිමතාන්තරවලට අනුව තීරණ ගන්නවාද? ඔබ නිතිපතා එක්ව යාච්ඤා කරනවාද? එක්ව අධ්‍යයනය කරනවාද? දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කළ හැකි ඉලක්ක තබාගන්නවාද? ජීවිතයේ මුල් තැන දිය යුත්තේ කුමකටද කියා සාකච්ඡා කරනවාද?

18 වසර 50ක් පුරා ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන රේ මෙසේ පැවසුවා. “අපි විවාහ ජීවිතයේදී යෙහෝවා දෙවිව ‘තුන්වෙනි පොට’ කරගත් නිසා අපිට විසඳගන්න බැරි ප්‍රශ්නයක් තිබුණේ නැහැ.” (දේශනාකාරයා 4:12 කියවන්න.) වසර 34කට වැඩි කාලයක් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළ ඩෑන් සහ ට්‍රීනා මෙවැනි දෙයක් පවසනවා. “අපි එකමුතුව දෙවිට සේවය කළ නිසා අපගේ විවාහ බැඳීම ශක්තිමත් වෙලා තියෙනවා.” ඔබ හැමවිටම යෙහෝවා දෙවිට ඔබේ විවාහ ජීවිතයේ මුල් තැන දෙනවා නම් සාර්ථක ජීවිතයක් ගත කරන්න දෙවි ඔබට ආශීර්වාද කරනවා නිසැකයි.—ගීතා. 127:1.

දෙවිගෙන් ලද ත්‍යාගය අගය කරන්න

19. දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ඇයි?

19 අද දින සිටින බොහෝදෙනා සැලකිලිමත් වන්නේ තමන්ගේ සන්තෝෂය ගැන පමණයි. නමුත් දෙවිගේ සේවකයන් නම් එසේ සිතන්නේ නැහැ. දෙවි විවාහ සැලැස්ම ඇති කළේ මිනිසුන්ගෙන් මේ පොළොව පූර්ණ කිරීමේ දෙවිගේ අරමුණ ඉටු කරන්න කියා ඔවුන් තේරුම්ගන්නවා. (උත්. 1:26-28) ආදම් සහ ඒව දෙවි ලබා දුන් ත්‍යාගයට ගෞරවය දැක්වූවා නම් මේ මුළු පොළොවම දෙවිගේ ධර්මිෂ්ඨ සේවකයන්ගෙන් පිරි පාරාදීසයක් බවට පත් වීමට තිබුණා.

20, 21. (අ) විවාහය පරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් අප සලකා බලන්නේ කුමක් ගැනද?

20 විවාහය තුළින් දෙවිට ගෞරවය ගෙන දිය හැකි බව දෙවිගේ සේවකයන් දන්නවා (1 කොරින්ති 10:31 කියවන්න.) විශ්වාසවන්තකම, එක්සත්කම සහ දෙවිට මුල් තැන දීම මගින් යෙහෝවා දෙවිව සතුටු කරන්නත් විවාහය ශක්තිමත් කරන්නත් හැකි බව අප සලකා බැලුවා. ඒ නිසා අප විවාහය සඳහා සූදානම් වෙන අය වුණත් එය ශක්තිමත් කරන්න වෑයම් කරන අය වුණත් නොඑසේනම් එය රැකගැනීමට උත්සාහ කරන අය වුණත් අප මතක තබාගත යුතු වැදගත්ම දේ වන්නේ විවාහය දෙවිගෙන් ලද පරිශුද්ධ ත්‍යාගයක් බවයි. එය මතකයේ තබාගැනීම විවාහ ජීවිතයේදී ගන්නා තීරණවලදී දෙවිගේ වචනයට මුල් තැන දෙන්න අපව පොලඹනවා. එසේ කිරීමෙන් අප විවාහය ගෞරවනීය දෙයක් ලෙස සලකනවා පමණක් නොව එම ත්‍යාගය අපට ලබා දුන් යෙහෝවා දෙවිටද ගෞරව කරනවා.

21 යෙහෝවා දෙවි අපට ලබා දී තිබෙන එකම ත්‍යාගය විවාහය පමණක් නොවෙයි. සන්තෝෂය සඳහා එකම මඟ වන්නේද එය නොවෙයි. ඊළඟ ලිපියෙන් අප සලකා බලන පරිදි තනිකඩව සිටීම තුළින්ද අපට සන්තෝෂය අත් කරගන්න පුළුවන්.

ඔබේ පිළිතුර කුමක්ද?

• විවාහ බැඳීමකට විශ්වාසවන්තකම අවශ්‍ය වන්නේ ඇයි?

• එකමුතුකම විවාහ බැඳීමක් ශක්තිමත් කරන්නේ කොහොමද?

• විවාහ යුවළකට දෙවිගේ මඟ පෙන්වීම් පැතිය හැකි සමහර ආකාර මොනවාද?

• විවාහයේ ආරම්භකයාණන් වන යෙහෝවා දෙවිට ගෞරවය පෙන්වන්න පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

එකට වැඩ කිරීමෙන් යුවළකට එකමුතුව සිටිය හැකියි