Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස් ඔහුගේ ගෝලයන් 12දෙනාව ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා පිටත් කළ අවස්ථාවේදී ඔවුන්ට සැරයටියක් රැගෙන යන්න කියා පැවසුවාද?

යේසුස් ඔහුගේ ගෝලයන් 12දෙනාව ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පිටත් කර යවන අවස්ථාවේදී පැවසූ දේවල් එකිනෙකට පරස්පර විරෝධී ආකාරයෙන් ශුභාරංචි පොත් තුනක වාර්තා කර ඇති බව සමහරු පවසනවා. නමුත් මේ වාර්තා සසඳා බැලීමෙන් අපට නිවැරදි නිගමනයකට පැමිණිය හැකියි. අපි මුලින්ම මාක් සහ ලූක් ඒ ගැන පැවසූ දේ සසඳා බලමු. මාක් මෙසේ වාර්තා කරනවා. “[යේසුස්] ඔවුන්ට දුන් මඟ පෙන්වීම් මෙසේය. එනම් ගමන සඳහා සැරයටියක් හැර වෙන කිසිම දෙයක් රැගෙන නොයන්න. රොටිවත් කෑම මල්ලක්වත් රැගෙන නොයන්න කියාත් තම ඉඟටි පටියේ පසුම්බිවල තඹ කාසි නොදමන්න කියාත් ඔහු පැවසුවේය. මීට අමතරව පාවහන් පැළඳ යන ලෙසත් ඇතුල් වස්ත්‍ර දෙකක් රැගෙන නොයන ලෙසත් ඔහු ඔවුන්ට පැවසුවේය.” (මාක් 6:7-9) ලූක් එය වාර්තා කරන්නේ මෙසේයි. “ගමනට කිසිම දෙයක් ගෙනි යන්න එපා. සැරයටියක්වත් කෑම මල්ලක්වත් රොටිවත් රිදී කාසිවත් අමතර ඇතුල් වස්ත්‍රයක්වත් රැගෙන යන්න එපා.” (ලූක් 9:1-3) එම වාර්තා දෙක පරස්පර විරෝධීයි කියා සිතෙන්න පුළුවන්. මාක්ට අනුව යේසුස් ගෝලයන්ට පැවසුවේ සැරයටියක් රැගෙන යන ලෙසයි. නමුත් ලූක් පවසන්නේ කිසිම දෙයක්, අඩුම තරමින් සැරයටියක්වත් රැගෙන යන්න එපා කියායි.

ඇත්තටම ඔවුන් සැරයටියක් රැගෙන ගියේ නැද්ද? සැරයටි භාවිත කිරීම ගැන යුදෙව් විශ්වකෝෂයේ මෙසේ පවසනවා. “පුරාණයේදී යුදෙව්වන් ගමනක් යන විට සැරයටියක් රැගෙන යෑම සිරිතක්ව තිබුණු බව පැවසිය හැකියි.” (උත්. 32:10) “සැරයටියක් හැර වෙන කිසිම දෙයක් රැගෙන නොයන්න” කියා මාක් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ ඒ වන විටත් ඔවුන් ළඟ තිබූ සැරයටිය රැගෙන යෑම ගැනයි. මාක්ට සහ ලූක්ට අනුව යේසුස් එම ආඥාව දෙන විට ඉන් අවධාරණය කළේ ඔහුගේ ගෝලයන් අමතර දේවල් ගැනීම වෙනුවෙන් කාලය යොදවන්න අවශ්‍ය නැති බවයි.

යේසුස් දුන් ඒ ආඥාව මතෙව් සඳහන් කරන ආකාරයෙන් එය තවත් පැහැදිලි වෙනවා. ඔහු වාර්තා කරන්නේ මෙසේයි. “ඔබේ ඉඟටියේ බැඳගත් පසුම්බිවල රන් හා රිදී කාසිවත් තඹ කාසිවත් ගෙන යන්න එපා. ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.” (මතෙ. 10:9, 10) යේසුස් පැවසුවේ තව අමතර දේවල් නොගන්න කියා මිස ඔවුන් අත තිබූ සැරයටිය විසි කර දමන්න කියා නොවෙයි. ඔහු එවැනි දෙයක් පැවසුවේ වැඩකරුවාට අවශ්‍ය දේවල් ලැබෙන බව ඔහු දැන සිටි නිසයි. කෑම බීම ගැන හෝ ඇඳුම් පැළඳුම් ගැන කනස්සලු වෙන්න එපා කියා යේසුස් කන්ද උඩ දේශනාවේදී දුන් උපදෙසට එය එකඟයි.—මතෙ. 6:25-32.

සුවිශේෂ කියවන විට ඒවායේ ඇති සමහර වාර්තා පරස්පර විරෝධීයි කියා පෙනෙන්න තිබුණත් එම වාර්තා එකිනෙකට පටහැනි නොවන බව ඒවා ගැන සොයා බැලීමෙන් පැහැදිලි වෙනවා. අප සලකා බැලූ ලෙස යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ අමතර දේවල් ගැනීමට ඔවුන්ගේ අවධානය යොමු නොකර ඔවුන් ඒ අවස්ථාවේදී සිටි ආකාරයෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට යා යුතු බවයි. ඊට හේතුව යෙහෝවා දෙවි ඔවුන්ට අවශ්‍ය දේවල් සපයා දෙන බවට පොරොන්දු වී ඇති නිසයි.

සලමොන් රජ සඳහන් කරන “බොහෝ කාන්තාවෝ” කවුරුන් විය හැකිද?—දේශ. 2:8.

ඔහු සඳහන් කරන්නේ කා ගැනද කියා නිශ්චිතව පැවසිය නොහැකි වුවත් ඔවුන් ඔහුට රජමාලිගාවේදී හමු වූ වැදගත් කාන්තාවන් විය හැකියි.

සලමොන් රජුගේ විශාල ගොඩනැඟීමේ ව්‍යාපෘති ඇතුළු ඔහු කළ විවිධ දේවල් ගැන දේශනාකාරයා දෙවන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔහු මෙවැනි දෙයක්ද එහි සඳහන් කරනවා. “මම බොහෝ රන්ද රිදීද රැස් කරගතිමි. රජවරුන්ට අයිති ඉඩම්ද විවිධ පළාත්වල තිබූ වටිනා ඉඩම්ද මම හිමි කරගතිමි. ගායක ගායිකාවෝද පිරිමින්ගේ සිත්ගත් බොහෝ කාන්තාවෝද මට සිටියෝය.”—දේශ. 2:8.

බොහෝ විචාරකයන් පවසන්නේ සලමොන් සඳහන් කරන “බොහෝ කාන්තාවෝ” පසු කලකදී ඔහුව බොරු නමස්කාරයට යොමු කළ වෙනත් ජාතීන්ට අයත් ඔහුගේ භාර්යාවන් හා උපභාර්යාවන් විය හැකි බවයි. (1 රාජා. 11:1-4) නමුත් ඔවුන් පවසන දේ ගැටලුසහගතයි. ඊට හේතුව සලමොන් එම වචන ලිව්වේ දෙවිගේ බලයේ උපකාරයෙන් නිසා ඔහුට ඒ වන විටත් දෙවිගේ අනුමැතිය ලැබී තිබීමයි. එම වචන ලියන විට ඔහු ‘බොහෝ කාන්තාවන්ව’ දැන හඳුනා ගෙන සිටියා. නමුත් ඔහුට දෙවිගේ අනුමැතිය අහිමි වුණේ වෙනත් ජාතීන්ට අයත් භාර්යාවන් හා උපභාර්යාවන් විවාහ කරගෙන බොරු නමස්කාරයේ හවුල් වූ පසුවයි.

එමෙන්ම සලමොන් දේශනාකාරයා පොතේ සඳහන් කරන්නේ ඔහු “ප්‍රිය වදන් සෙවීමටත් සත්‍ය වචන නිසි ලෙස ලියා තැබීමටත් උත්සාහ” කළ බවයි. (දේශ. 12:10) ඔහු ඔහුගේ පොත්වල “බිරිඳ” “බිසෝවරු” “උපභාර්යාවෝ” යන වචන යොදා ඇති නිසා එම වචන ගැන ඔහුට අවබෝධයක් තිබුණු බව පැවසිය හැකියි. (හිතෝ. 5:18; 12:4; 18:22; දේශ. 9:9; සල. 6:8, 9) නමුත් ඔහු දේශනාකාරයා 2:8හි එම වචන සඳහන් කර නැහැ.

සලමොන් මොන තරම් ප්‍රසිද්ධ වී සිටියාද කියනවා නම් ධනවත් රාජ්‍යයක්ව තිබූ ෂෙබාහි රැජින ඔහුව බලන්න පැමිණි අවස්ථාවේදී ඇය පුදුමයට පත් වුණා. (1 රාජා. 10:1, 2) දේශනාකාරයා 2:8හි “බොහෝ කාන්තාවෝ” කියා සලමොන් සඳහන් කරද්දී ඇයත් ඊට ඇතුළත් වෙන්න ඇති. ඉහත සඳහන් කාරණාවලට අනුව සලමොන් සඳහන් කර තිබෙන්නේ ඔහුට දෙවිගේ අනුමැතිය තිබූ කාලයේ රජමාලිගාවේදී හමු වූ වැදගත් කාන්තාවන් ගැන විය හැකියි.