බොරු හේතු මවමින් ඔබවම රවටා නොගන්න
බොරු හේතු මවමින් ඔබවම රවටා නොගන්න
දෙවි කන්න එපා කියා පැවසූ ගසෙන් ඒව ගෙඩි කෑ පසු දෙවි ඇගෙන් මෙසේ ඇසුවා. “ඔබ කුමක්ද මේ කළේ?” එවිට ඇය “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා” කියා පිළිතුරු දුන්නා. (උත්. 3:13) දෙවිට අකීකරු වීම සඳහා ඒවව පෙලඹවූ සාතන්ව “මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයා” ලෙස පසුව හඳුන්වනු ලැබුවා.—එළි. 12:9.
එම උත්පත්ති වාර්තාවෙන් පැහැදිලි වෙන්නේ අවධානයෙන් නොසිටින අයව රැවටීම සඳහා සාතන් බොරු ගොතමින් කපටි ලෙස ක්‍රියා කරන බවයි. ඒව ඔහුගේ උගුලට හසු වුණා. නමුත් අප නොමඟ යන්නේ සාතන් නිසා පමණක්ම නොවෙයි. ‘බොරු තර්ක විතර්කවලින්ද අපවම රවටාගන්නා’ බව බයිබලයේ පවසනවා.—යාකො. 1:22.
කෙසේවෙතත් ‘මාව නම් රවට්ටන්න බැහැ’ කියා කෙනෙක් සිතන්න පුළුවන්. නමුත් එවැනි දෙයක් සිදු විය හැකි බවට බයිබලයේ අනතුරු අඟවා තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. ඒ නිසා අප අපවම රවටාගත හැකි ආකාර හා අපව නොමඟ යවන්න පුළුවන් බොරු හේතු මොනවාද කියා සලකා බලමු.
තමන්වම රවටාගත් අය
ක්‍රිස්තු පූර්ව 537දී බැබිලෝනියේ වහල්භාවයේ සිටි යුදෙව්වන්ට නැවත යෙරුසලමට ගොස් දේවමාලිගාව ගොඩනඟන්න පර්සියාවේ මහා සයිරස් රජ අවසර දුන්නා. (එස්රා 1:1, 2) දෙවිගේ අරමුණට එකඟව ඊළඟ වසරේදී යුදෙව්වන් දේවමාලිගාවේ අත්තිවාරම දැම්මා. මෙම ව්‍යාපෘතියේ මුල් අදියරට ආශීර්වාද කිරීම ගැන ජනයා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ අතර ඒ ගැන සතුටු වුණා. (එස්රා 3:8, 10, 11) වැඩි කල් නොගොස් දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යයට බාධා ඇති වූ නිසා සෙනඟ අධෛර්යය වුණා. (එස්රා 4:4) යුදෙව්වන් පැමිණ වසර 15කට පසුව පර්සියානු බලධාරීන් යෙරුසලමේ සියලු ඉදි කිරීම් තහනම් කළා. එය ක්‍රියාත්මක කිරීම සඳහා “අවිවලින් සන්නද්ධ පිරිසක්” සමඟ යෙරුසලමට පැමිණි බලධාරීන් ‘බලහත්කාරයෙන් එය නවතා දැමුවා.’—එස්රා 4:21-24.
එම බාධාව හමුවේ යුදෙව්වන් තමන්වම රවටාගැනීමට මෙසේ හේතු ඉදිරිපත් කළා. “යෙහෝවා දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න තවම කාලය පැමිණ නැත.” (හග්. 1:2) දැන්ම දේවමාලිගාව සෑදීමට යෙහෝවා දෙවි තීරණය කර නැහැ යන නිගමනයට ඔවුන් පැමිණියා. දෙවිගේ කැමැත්ත කිරීමට හැකි ක්‍රමයක් සොයනවා වෙනුවට ඔවුන්ට පැවරුණු පරිශුද්ධ කාර්යය නතර කර ඔවුන් තමන්ගේම නිවෙස් අලුත්වැඩියා කිරීමේ නිරත වුණා. ඒ නිසා දෙවිගේ අනාගතවක්තෘ හග්ගයි ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “[දෙවිගේ මාලිගාව] මෙසේ නාස්ති වී තිබියදී ඔබ අලංකාර ලීවලින් සැරසූ ඔබේ ගෙවල්වල සුව සේ ජීවත් වන්නහුය. මෙවැනි කාලයක ඔබ එලෙස කටයුතු කිරීම සුදුසු දෙයක් කියා ඔබ සිතන්නහුද?”—හග්. 1:4.
එම උදාහරණයෙන් අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. දෙවි ඔහුගේ අරමුණට එකඟව ක්‍රියා කරන කාලය ගැන අපට නිවැරදි අවබෝධයක් තිබිය යුතුයි. එසේත් නැත්නම් නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සහ පැවරුම් ඉටු කිරීම මොන තරම් වැදගත්ද යන කාරණය අපට අමතක වී අපගේ පෞද්ගලික කාරණාවලට මුල් තැන දීමට අප පෙලඹිය හැකියි. මෙය තේරුම්ගැනීමට අපි උදාහරණයක් බලමු. ඔබගේ නිවසේ නවාතැන් ගැනීමට අමුත්තන් පිරිසක් පැමිණෙන බව දැනුම් දී තිබෙනවා කියා සිතන්න. ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින ඔබ අවශ්‍ය සියල්ල ලහි ලහියේ සූදානම් කරනවා. කෙසේවෙතත් ඔවුන් එන්න ප්‍රමාද වන බව ඔබට දැනගන්න ලැබෙනවා. එවිට ඔබ ඒ වෙනුවෙන් කරන දේවල් සම්පූර්ණයෙන්ම නතර කරනවාද?
දෙවිගේ අරමුණ වෙන්නේ කල් නොදමා දේවමාලිගාව නැවත ගොඩනැඟීම බව තේරුම්ගැනීමට හග්ගයි සහ සෙකරියා යුදෙව්වන්ට උපකාර කළා. හග්ගයි ජනයාට උනන්දු කළේ “දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වී දැන් වැඩ පටන්ගන්න” හග්. 2:4) එම කාර්යයට දෙවිගේ බලයේ උපකාරය ලැබෙන බවට විශ්වාසයක් ඔවුන්ට තිබිය යුතු වුණා. (සෙක. 4:6, 7) දෙවිගේ මහත් දවස ගැන වැරදි නිගමනවලට එළඹීමෙන් අපව වළක්වන්න එම උදාහරණය අපට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?—1 කොරි. 10:11.
කියායි. (තර්කානුකූලව සිතන්න
පේතෘස් ක්‍රිස්තියානීන්ට ලියූ දෙවෙනි ලිපියේදී “අලුත් අහසක් සහ අලුත් පොළොවක්” පිහිටුවන කාලය ගැන කතා කළා. (2 පේතෘ. 3:13) දෙවි මිනිසුන්ගේ කාරණාවලට මැදිහත් වෙයිද කියා සැක කළ පිරිසක් ගැන ඔහු පැවසුවා. ඔවුන් “මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත” කියා පවසමින් ඉදිරියේදී කිසිවක් සිදු නොවන බවට තර්ක කළා. (2 පේතෘ. 3:4) ඔවුන්ගේ බොරු තර්ක නිෂ්ප්‍රභ කරන්න පේතෘස්ට අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. “මා උත්සාහ කරන්නේ ඔබට යම් දේවල් සිහිගන්වා පැහැදිලිව සිතා බැලීමට ඔබ සතු හැකියාව පුබුදුවාලීමටය.” එම පිරිස රැවටී ඇති බව සෙසු ක්‍රිස්තියානීන්ට මතක් කළ පේතෘස්, නෝවාගේ කාලයේදී දෙවි මුළු ලෝකයටම ජලගැල්මක් ගෙන එමින් මිනිසුන්ගේ කාරණාවලට මැදිහත් වූ ආකාරය ගැන සඳහන් කළා.—2 පේතෘ. 3:1, 5-7.
අධෛර්යයට පත් යුදෙව්වන්ව දිරිගන්වමින් ක්‍රි.පූ. 520දී හග්ගයිද මෙසේ පවසා තිබුණා. “ඔබේ ක්‍රියාකලාපය ගැන හොඳින් සිතා බලන්න.” (හග්. 1:5) දෙවි තම සෙනඟ වෙනුවෙන් අරමුණු කළ දේ සහ දී ඇති පොරොන්දු ගැන හග්ගයි යුදෙව්වන්ට මතක් කර දුන්නා. ඒ ඔවුන්ගේ සිතීමේ හැකියාව පුබුදුවාලීම සඳහායි. (හග්. 1:8; 2:4, 5) ඒ දිරිගැන්වීමෙන් පසු තහනම තිබියදීම ඉදි කිරීමේ වැඩ නැවත ආරම්භ කළා. එය නවතා දමන්න විරුද්ධවාදීන් නැවත උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. පසුව තහනම ඉවත් කළ අතර වසර පහකින් දේවමාලිගාව ගොඩනඟා අවසන් කළා.—එස්රා 6:14, 15; හග්. 1:14, 15.
ඔබේ ක්‍රියා ගැන හොඳින් සිතා බලන්න
හග්ගයිගේ කාලයේ සිටි යුදෙව්වන් මෙන් අපත් අසීරුතාවලට මුහුණ දෙන විට අධෛර්යයට පත් වෙයිද? එසේ සිදු වුණොත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට තිබෙන උද්යෝගය අඩු විය හැකියි. මේ දුෂ්ට සමාජයේ සිදු වන අයුක්තිසහගත දේවල් නිසා සමහරවිට අප දුක් විඳින්න පුළුවන්. එවිට අප අධෛර්යයට පත් විය හැකියි. හබක්කුක්ටද එවැනිම තත්වයකට මුහුණ දීමට සිදු වුණා. ඔහු ඒ ගැන මෙසේ ඇසුවා. “දාමරිකයන්ගේ අතින් අපව බේරගන්න කියා තව කොතරම් කාලයක් ඔබෙන් අයැද සිටින්නද? ඔබ මට ඇහුම්කන් දී පියවර ගන්නා තුරු මා තව කොපමණ කල් බලා සිටින්නද?” (හබ. 1:2) දෙවිගේ දවස ප්‍රමාදයි කියා සිතන සමහර අයට අවසානය අත ළඟයි යන හැඟීම නැති වී යා හැකියි. ඒ නිසා ඔවුන් සැප පහසු ජීවිතයක් ගත කිරීමට වැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ තිබෙනවා. එවැනි දෙයක් ඔබටත් සිදු වෙන බව ඔබට දැනෙනවාද? දෙවිගේ දවස ප්‍රමාදයි කියා සිතීම අප අපවම රවටාගැනීමක්. එසේනම් ‘අපේ ක්‍රියාකලාප ගැන හොඳින් සිතා බැලීමට’ හා ‘පැහැදිලිව සිතා බැලීමට අප සතු හැකියාව පුබුදුවාලීමට’ බයිබලයේ දී ඇති උපදෙස් පිළිපැදීම මොන තරම් වැදගත්ද! ඇත්තටම ‘මේ දුෂ්ට සමාජය මම හිතුවටත් වඩා වැඩි කාලයක් පැවතීම ගැන මම පුදුම විය යුතුද?’
බලා සිටීමට කාලයක්!
මාක්ගේ වාර්තාවට අනුව, පවතින මේ සමාජයේ අවසාන කාලය ගැන අනාවැකිය පවසද්දී, සෝදිසියෙන් සිටින්න කියා යේසුස් අපට නිතර නිතර මාක් 13:33-37) යෙහෝවා දෙවිගේ මහත් දවස වන හර්–මගෙදොන් යුද්ධය ගැන සඳහන් අනාවැකියේද ඊට සමාන දෙයක් පවසා තිබෙනවා. (එළි. 16:14-16) සෝදිසියෙන් සිටින්න කියා නිතර නිතර අනතුරු අඟවා තිබෙන්නේ ඇයි? තමන් බලාපොරොත්තු වූ දෙයක් සිදු වීමට ප්‍රමාදයි කියා කෙනෙකුට සිතෙන විට ඒ ගැන තිබෙන උනන්දුව අඩු වන නිසා නිතර නිතර මතක් කිරීම අවශ්‍යයි.
උනන්දු කර තිබෙනවා. (පවතින මේ සමාජයේ අවසානය පැමිණීම බලා සිටින අතරතුර දිගටම සෝදිසියෙන් සිටීමේ අවශ්‍යතාව යේසුස් උපමාවකින් කාවැද්දුවා. ඔහු පැවසුවේ සොරුන්ගෙන් තම නිවස ආරක්ෂා කර නොගත් ගෙහිමියෙක් ගැනයි. ගෙහිමියා තමාගේ නිවස සොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට කළ යුතුව තිබුණේ කුමක්ද? මුළු රාත්‍රියේම අවදිව සිටීමයි. අපට මෙවැනි උපදෙසක් ලබා දෙමින් යේසුස් ඔහුගේ උපමාව අවසන් කළා. “ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි.”—මතෙ. 24:43, 44.
බලා සිටීමේ අවශ්‍යතාව එම උපමාවෙන් පැහැදිලි වෙනවා. සමහරවිට දිගු කාලයක් බලා සිටීමට අපට සිදු විය හැකියි. අප සිතුවාටත් වඩා මේ දුෂ්ට සමාජය පවතිනවා කියා අනවශ්‍ය ලෙස අප කනස්සලු නොවිය යුතුයි. ‘යෙහෝවා දෙවිගේ කාලය තවම පැමිණ නැහැ’ කියා බොරු හේතු ඉදිරිපත් කරමින් අපවම රවටා නොගත යුතුයි. අප එසේ සිතුවොත් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තිබෙන උද්යෝගය අඩු විය හැකියි.—රෝම 12:11.
බොරු හේතු මවන්න එපා!
බොරු හේතු ඉදිරිපත් කළොත් සිදු වන්නේ ගලාති 6:7හි සඳහන් මේ දෙයයි. ‘මුළා නොවන්න. කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.’ වගා නොකළ බිමක ඉක්මනින් වල් පැළ හටගන්නවා හා සමානව පැහැදිලිව සිතා බැලීමට අප සතු හැකියාව යොදාගන්නේ නැත්නම් අපගේ සිතේ බොරු හේතු පැළපදියම් විය හැකියි. උදාහරණයකට අපට මෙසේ සිතෙන්න පුළුවන්. ‘යෙහෝවා දෙවිගේ මහත් දවස පැමිණෙනවාමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නමුත් දැන්ම නෙවෙයි.’ එවැනි සිතුවිල්ලක් ඇති වුණොත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සැහැල්ලුවට ගැනීමට අප පෙලඹෙන්න පුළුවන්. එසේ වුණොත් දෙවිගේ දවසට අප නොදැනුවත්වම හසු විය හැකියි.—2 පේතෘ. 3:10.
කෙසේවෙතත් අප “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත” කුමක්ද කියා හොඳින් වටහාගන්නවා නම් අපේ මනසේ බොරු හේතු පැළපදියම් වෙන්නේ නැහැ. (රෝම 12:2) නිතිපතා බයිබලය කියවීම ඒ සඳහා අපට මහත් උපකාරයක්. අප එසේ කරනවා නම් යෙහෝවා දෙවි නියමිත කාලයේදී ක්‍රියා කරන බවට වූ අපගේ විශ්වාසය ශක්තිමත් වෙනවා.—හබ. 2:3.
‘යෙහෝවා දෙවිගේ දවස මනසෙහි ප්රමුඛව තබාගැනීමට’ අධ්‍යයනය, යාච්ඤාව, නොකඩවා රැස්වීම්වලට සහභාගි වීම සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීම මෙන්ම කාරුණික ක්‍රියා කිරීම අපට උපකාරවත් වෙනවා. (2 පේතෘ. 3:11, 12) අප නොකඩවා උද්යෝගයෙන් කරන සේවය යෙහෝවා දෙවි දකිනවා. පාවුල් අපට මතක් කර දෙන්නේ මෙයයි. “අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.”—ගලා. 6:9.
බොරු හේතු මවමින් යෙහෝවා දෙවිගේ දවස ප්‍රමාදයි කියා අපවම රවටාගැනීමට මෙය කාලය නොවෙයි. ඒ වෙනුවට දෙවිගේ දවස ඉතා ආසන්න නිසා නොසැලී ස්ථිරව සිටීමට කාලය මෙයයි.
[4වන පිටුවේ පින්තූරය]
යුදෙව්වන්ට දේවමාලිගාව නැවත ගොඩනඟන්න හග්ගයි සහ සෙකරියා උනන්දු කළා
[5වන පිටුවේ පින්තූරය]
සොරා එන බව ගෙහිමියා දැන සිටියා නම් . . .