Skip to content

පටුනට යන්න

යෙරෙමියා මෙන් අවදිව සිටින්න

යෙරෙමියා මෙන් අවදිව සිටින්න

යෙරෙමියා මෙන් අවදිව සිටින්න

‘මාගේ වදන් ඉටු වන තුරු දිවා රෑ දෙකෙහි යෙහෝවා දෙවි වන මම අවදිව බලා සිටින්නෙමි.’—යෙරෙ. 1:12.

1, 2. ආමන්ඩ් ගසේ උදාහරණයෙන් යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය ගැන තේරුම්ගන්න පුළුවන් කුමක්ද?

ලෙබනන් හා ඊශ්‍රායෙල් කඳුකරයේ මුලින්ම මල් පිපෙන ගස් අතරට ආමන්ඩ් ගසද අයත් වෙනවා. ජනවාරි අග හෝ පෙබරවාරි මුල් කාලය වන විට රෝස හෝ සුදු පැහැයෙන් යුත් ආමන්ඩ් මල් පිපෙන්න පටන්ගන්නවා. ආමන්ඩ් යන නමට ඇති හෙබ්‍රෙව් වචනයේ අර්ථය “අවදිව සිටින්නා” යන්නයි.

2 යෙහෝවා දෙවි යෙරෙමියාව තම අනාගතවක්තෘ ලෙස තෝරාගත් විට වැදගත් කාරණයක් පැහැදිලි කර දීමට ආමන්ඩ් ගස උදාහරණයක් ලෙස යොදාගත්තා. යෙරෙමියාගේ සේවයේ ආරම්භයේදී ආමන්ඩ් ගසේ රිකිල්ලක් දර්ශනයක් මාර්ගයෙන් දෙවි ඔහුට දැකගන්න සැලැස්සුවා. ඉන් අදහස් කළ දේ යෙහෝවා දෙවි මෙසේ පැහැදිලි කළා. “මාගේ වදන් ඉටු වන තුරු දිවා රෑ දෙකෙහි මම අවදිව බලා සිටින්නෙමි.” (යෙරෙ. 1:11, 12) වසරේ මුල් කාලයේදීම ආමන්ඩ් ගසේ මල් පිපෙන්නාක් මෙන් යෙහෝවා දෙවිද ඔහුගේ සෙනඟට ඔවුන්ගේ ක්‍රියා නිසා අත් වන ඵල විපාක ගැන අනතුරු ඇඟවීමට කලින්ම අනාගතවක්තෘවරුන්ව යැව්වා. (යෙරෙ. 7:25) ඒ වගේම දෙවි ඔහු පැවසූ අනාවැකිය ඉටු වන තුරුම අවධානයෙන් සිටියා. නියමිත කාලයේදී එනම් ක්‍රිස්තු පූර්ව 607දී තමාට අවිශ්වාසවන්ත වූ යූදා ජාතියට විරුද්ධව දෙවි ඔහුගේ විනිශ්චය ගෙනාවා.

3. යෙහෝවා දෙවි සම්බන්ධයෙන් අපට ස්ථිරව පැවසිය හැක්කේ කුමක්ද?

3 තමාගේ කැමැත්ත ඉටු කිරීමට යෙහෝවා දෙවි එදා මෙන් අදත් අවදිව බලා සිටිනවා. දෙවි තමා පැවසූ දෙයක් ඉටු නොකර සිටින්නේ නැහැ. දෙවි අවදියෙන් සිටීම ඔබට බලපාන්නේ කොහොමද? තමන් පැවසූ දේ ඉටු කිරීමට දෙවි මෙම වසරේදීත් අවදිව බලා සිටිනවා කියා ඔබ විශ්වාස කරනවාද? දෙවිගේ පොරොන්දු ගැන ඔබට කුමන හෝ සැකයක් තිබෙනවා නම් ඔබ සිටින්නේ නිදිබර ගතියෙන්. එම සැකය ඉවත් කරගෙන අවදිව සිටීමට කාලය මෙයයි. (රෝම 13:11) දෙවිගේ අනාගතවක්තෘ ලෙස යෙරෙමියා අවදිව සිටියා. යෙහෝවා දෙවි අපට පවරා තිබෙන කාර්යය ඉටු කරන්න අපට පුළුවන් කොහොමද කියා තේරුම්ගැනීමට යෙරෙමියා අවදිව සිටියේ ඇයි සහ කොහොමද කියා සොයා බැලීම උපකාරවත් වෙනවා.

ප්‍රකාශ කළ යුතු හදිසි පණිවිඩයක්

4. පණිවිඩය ප්‍රකාශ කිරීමේදී යෙරෙමියාට මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවාද? එය හදිසි එකක් කියා පැවසිය හැක්කේ ඇයි?

4 යෙහෝවා දෙවි යෙරෙමියාව මුරකරුවෙකු ලෙස සේවය කිරීම සඳහා තෝරාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 25ක් පමණ වූවා විය හැකියි. (යෙරෙ. 1:1, 2) වයසින් මුහුකුරා ගිය අයට, අධිකාරියක් තිබූ අයට සහ වැඩිමහල්ලන්ට කතා කරන්න තමන් සිටින්නේ සුදුසු වයසක නොවෙයි කියාත් ඒ සඳහා තමන් දක්ෂ නැහැයි කියාත් ඔහුට හැඟුණා. (යෙරෙ. 1:6) ජනයා කළ වැරදි ප්‍රසිද්ධියේ හෙළා දකින්නත් භයානක විනිශ්චය පණිවිඩයක් ප්‍රකාශ කරන්නත් ඔහුට සිදු වුණා. විශේෂයෙන්ම පූජකයන්ට, බොරු අනාගතවක්තෘවරුන්ට, පාලකයන්ට මෙන්ම ‘වැඩිදෙනා ගමන් කරන මඟේ යමින් දෙවිට විරුද්ධව දිගටම කැරලිගැසූ’ අයට එම පණිවිඩය ප්‍රකාශ කරන්න යෙරෙමියාට සිදු වුණා. (යෙරෙ. 6:13; 8:5, 6) දශක හතරකට ආසන්න කාලයක් පුරා සැබෑ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වූ සලමොන් රජ සෑදු තේජාන්විත දේවමාලිගාව විනාශ වන බව ඔහු කිව්වා. යෙරුසලම සහ යූදා දේශය පාළු වන බවත් එහි වැසියන්ව වහලුන් ලෙස ගෙන යන බවත් ඔහු පැවසුවා. ඇත්තෙන්ම යෙරෙමියාට යෙහෝවා දෙවි දුන් පැවරුම ඉටු කිරීම මොන තරම් හදිසි කාරණයක්ද කියා ඉන් පැහැදිලි වෙනවා.

5, 6. (අ) යෙරෙමියා හා සමානව ක්‍රියා කරන අභිෂේක ලත් අයව යෙහෝවා දෙවි යොදාගන්නේ කොහොමද? (ආ) අප සලකා බලන්නේ මොනවාද?

5 මුරකරුවෙකු මෙන් අවදිව සිට මුළු ලෝකයටම විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කරන්න යෙහෝවා දෙවි අද දිනත් කණ්ඩායමක් පත් කර තිබෙනවා. එම කණ්ඩායම සෑදී තිබෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙනුයි. තමන් ජීවත් වන කාලය ගැන අවධානයෙන් සිටින්න කියා යෙරෙමියා මෙන් ඔවුන්ද දශක ගණනාවක් පුරා ජනයාට උනන්දු කරනවා. (යෙරෙ. 6:17) යෙහෝවා දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද නොවන බව බයිබලයේ සඳහන් වෙනවා. ජනයා නොසිතන වෙලාවක නමුත් නියමිත වෙලාවට ඔහුගේ දවස පැමිණීමට නියමිතයි.—ශෙප. 3:8; මාක් 13:33; 2 පේතෘ. 3:9, 10.

6 යෙහෝවා දෙවි අවදිව සිටින බවත් නියමිත කාලයේදී පොළොව පාරාදීසයක් කරන බවත් අභිෂේක ලත් අය සහ ඔවුන්ට සහය දෙන වෙනත් බැටළුවන් දන්නවා. ඒ නිසා අවදිව සිටිමින් හදිසිතාවේ හැඟීමකින් පණිවිඩය ප්‍රකාශ කරන්න ඔවුන් පෙලඹී තිබෙනවා. එය දැන සිටීම ඔබට බලපාන්නේ කොහොමද? සියලුදෙනාම තමන් දේවරාජ්‍යයට පක්ෂපාත බව පෞද්ගලිකව පෙන්වීමේ අවශ්‍යතාව ගැන යේසුස් කාවැද්දුවා. දැන් අපි යෙරෙමියාට තමාගේ පැවරුම ඉටු කිරීම සඳහා අවදිව සිටීමට ප්‍රේමය, නිර්භීතකම හා ප්‍රීතිය උපකාරවත් වුණේ කොහොමද කියා සලකා බලමු. යෙරෙමියා මෙන් ක්‍රියා කරන්න ඒවා අපටත් උපකාර වෙනවා.

ජනයා කෙරෙහි තිබූ ප්‍රේමය

7. යෙරෙමියා තුළ තිබූ ප්‍රේමය නිසා අභියෝග මැද දෙවිට සේවය කරන්න ඔහු පෙලඹුණු ආකාරය විස්තර කරන්න.

7 අභියෝග මැද විනිශ්චයේ පණිවිඩය ප්‍රකාශ කරන්න යෙරෙමියා පෙලඹුණේ ජනයා කෙරෙහි තිබූ ප්‍රේමය නිසයි. ඔවුන් මුහුණ දුන් ගැටලු බොහොමයකට හේතු වුණේ දූෂිත එඬේරුන් බව යෙරෙමියා දැන සිටියා. (යෙරෙ. 23:1, 2) ඒ නිසා ඔහු ජනයාට ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් සැලකුවා. ඔහු කැමති වුණේ ඔවුන් දෙවිගේ වචනයට කීකරු වී ඔවුන්ගේ ජීවිත බේරාගන්නවාටයි. ඔහු සෙනඟ ගැන කොතරම් සැලකිලිමත් වුණාද කියනවා නම් ඔවුන් අද්දකින්න යන විපත් ගැන දුක් වී හඬා වැලපුණා. (යෙරෙමියා 8:21; 9:1 කියවන්න.) දෙවිගේ නම ගැන හා ඔහුගේ සෙනඟ ගැන යෙරෙමියාට මොන තරම් ප්‍රේමයක් හා සැලකිල්ලක් තිබුණාද කියා විලාප ගී පොතේ සඳහන් වී ඇති දෙයින් පැහැදිලි වෙනවා. (විලා. 4:6, 9) ජනයා ‘එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිනවා’ දකිද්දී දේවරාජ්‍යය ගැන සැනසිලිදායක ආරංචිය ඔවුන්ට පවසන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද?—මතෙ. 9:36.

8. යෙරෙමියා එකට එක නොකළ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

8 යෙරෙමියා පීඩා වින්දේ ඔහු උපකාර කිරීමට උත්සාහ කළ අයගෙන්මයි. නමුත් ඔහු කෝප වී එකට එක කළේ නැහැ. ඔහු ඉවසීමෙන් හා කාරුණිකව ක්‍රියා කළා. දුෂ්ට ශෙදකියා රජු ඔහුව මරන්න ඉඩ දී තිබුණත් ඔහු රජුට කාරුණිකව සැලකුවා. දෙවිට කීකරු වෙන්න කියා ඔහු රජුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා. (යෙරෙ. 38:4, 5, 19, 20) යෙරෙමියාට මෙන් අපටත් ජනයා කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් තිබෙනවාද?

දෙවිගෙන් ලැබුණු නිර්භීතකම

9. යෙරෙමියාට නිර්භීතකම ලැබුණේ දෙවිගෙන් බව අප දන්නේ කොහොමද?

9 යෙරෙමියා පෙන්වූ නිර්භීතකම ඔහුට උපතින්ම උරුම වූ දෙයක් නොවෙයි. දෙවි මුලින්ම යෙරෙමියාට පැවරුම ලබා දෙද්දී ඔහු එය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළේ ඒ නිසයි. ඔහු අනාගතවක්තෘවරයෙක් ලෙස මහත් නිර්භීතකමක් පෙන්නුවේ දෙවි මත සම්පූර්ණයෙන්ම රඳා සිටි නිසයි. යෙහෝවා දෙවි “බිය උපදවන සටන්කරුවෙකු මෙන්” යෙරෙමියා සමඟ සිටිමින් ඔහුගේ පැවරුම ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. (යෙරෙ. 20:11) නිර්භීතකම හා ධෛර්යය ගැන යෙරෙමියා කොතරම් ප්‍රසිද්ධ වී සිටියාද කියනවා නම් යේසුස් මිහිපිට සේවය කළ කාලයේදී සමහරු සිතුවේ ඔහු යෙරෙමියා කියායි.—මතෙ. 16:13, 14.

10. අභිෂේක ලත් ඉතුරු අයව “ජාතීන් හා රාජ්‍යයන්” කෙරෙහි පත් කර තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

10 ජාතීන්ටත් රාජ්‍යයන්ටත් විනිශ්චය පණිවිඩයක් ප්‍රකාශ කිරීමට යෙරෙමියාට පැවරුම ලැබුණේ ‘සියලු ජාතීන්ගේ රජ්ජුරුවන්’ වන යෙහෝවා දෙවිගෙනුයි. (යෙරෙ. 10:6, 7) යෙරෙමියාව මෙන් අභිෂේක ලත් ඉතුරු අයවද “ජාතීන් හා රාජ්‍යයන්” කෙරෙහි පත් කර තිබෙනවා. ඉන් අදහස් කරන්නේ කුමක්ද? (යෙරෙ. 1:10) යෙරෙමියාට මෙන් අභිෂේක ලත් අයටද ඔවුන්ගේ පැවරුම ලැබුණේ විශ්වයේ පාලකයාණන්ගෙනුයි. ජාතීන්ට හා රාජ්‍යයන්ට විරුද්ධව විනිශ්චය ලෝ පුරා ප්‍රකාශ කිරීමට ඔවුන්ට දෙවි අධිකාරිය දී තිබෙනවා. එමනිසා, දෙවි තෝරාගත් මාධ්‍යයක් මගින් නියමිත කාලයේදී සියලු ජාතීන් හා රාජ්‍යයන් සම්පූර්ණයෙන් නැති කර දමන බවට දේවවචනයේ සඳහන් පණිවිඩය ඔවුන් ප්‍රකාශ කරනවා. (යෙරෙ. 18:7-10; එළි. 11:18) යෙරෙමියා මෙන් ඔවුන් අදිටන් කරගෙන සිටින්නේ දෙවි ලබා දී ඇති එම පැවරුම ප්‍රමාද නොකර ලොව පුරා ප්‍රකාශ කිරීමටයි.

11. දුෂ්කරතාවලට මුහුණ දෙන විට අධෛර්යයට පත් නොවී දිගටම සේවය කිරීමට අපට උපකාර කරන්නේ කුමක්ද?

11 දේවසේවයේ යෙදෙද්දී විරුද්ධවාදිකම් පැමිණෙන විට හෝ හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට හෝ අසීරු අවස්ථාවලට මුහුණ දෙන විට හෝ අධෛර්යයට පත් වීම සාමාන්‍ය දෙයක්. (2 කොරි. 1:8) නමුත් අපි අධෛර්යයට පත් නොවී යෙරෙමියා මෙන් දිගටම සේවය කරමු. අපි සියලුදෙනාම දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරමු. ඔහු මත රඳා සිටිමු. ‘නිර්භීතකම’ වඩවාගැනීම සඳහා ඔහුගේ උපකාරය ඉල්ලමු. (1 තෙස. 2:2) සැබෑ නමස්කාරකයන් ලෙස දෙවි දී තිබෙන වගකීම ඉටු කිරීමට අපි දිගටම අවදිව සිටිමු. දෙවිට අවිශ්වාසවන්ත වූ යෙරුසලමෙන් නියෝජනය කරන ක්‍රිස්තියානියයි කියාගන්නා වූ ආගම්වල විනාශය ගැන දිගටම ප්‍රකාශ කිරීමට අපි අදිටන් කරගනිමු. යෙරෙමියාගෙන් නියෝජනය වන අභිෂේක ලත් අය “යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ” කරනවා පමණක් නොව “ඔහු තම සතුරන්ට දඬුවම් කිරීමට නියම කර ඇති දවස” ගැනත් ප්‍රකාශ කරනවා.—යෙසා. 61:1, 2; 2 කොරි. 6:2.

ඉමහත් ප්‍රීතිය

12. යෙරෙමියා දිගටම ප්‍රීතිය පවත්වාගත් බව පවසන්න පුළුවන් ඇයි? ඒ සඳහා ඔහුට ප්‍රධාන වශයෙන් උපකාරවත් වුණේ කුමක්ද?

12 යෙරෙමියා තමා කළ සේවයෙන් ප්‍රීතියක් ලැබුවා. ඔහු ඒ ගැන යෙහෝවා දෙවිට මෙසේ පැවසුවා. ‘ඔබේ වදන් මට අසන්න ලැබුණු විට මම එය හොඳින් සිතට ගත්තෙමි. ඉන් මම ඉමහත් සතුටක් ලැබුවෙමි. මන්ද යෙහෝවා දෙවියනි, මම ඔබේ නාමය දරමි.’ (යෙරෙ. 15:16) සැබෑ දෙවිව නියෝජනය කරන්නත් දෙවිගේ වචනය ප්‍රකාශ කරන්නත් යෙරෙමියාට ලැබුණු අවස්ථාව ඔහු සැලකුවේ වරප්‍රසාදයක් ලෙසයි. කෙසේවෙතත් තමාට මුහුණ දීමට සිදු වූ අපහාස ගැන අවධානය යොමු කළ විට යෙරෙමියාගේ ප්‍රීතිය නැති වුණා. නමුත් ඔහු ප්‍රකාශ කළ පණිවිඩයේ වැදගත්කම ගැන කල්පනා කළ විට නැවතත් ප්‍රීතිය ඇති කරගන්න ඔහුට හැකි වුණා.—යෙරෙ. 20:8, 9.

13. ප්‍රීතිය පවත්වාගැනීමට දේවවචනයේ ඇති ගැඹුරු කාරණා අවබෝධ කරගැනීම වැදගත් ඇයි?

13 අපත් ශුභාරංචිය ප්‍රකාශ කරන විට ප්‍රීතිය පවත්වාගන්න නම් ‘ගන ආහාරවලින්’ පෝෂණය විය යුතුයි. එනම් දෙවිගේ වචනයේ ඇති ගැඹුරු කාරණා අවබෝධ කරගත යුතුයි. (හෙබ්‍රෙ. 5:14) ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් දෙවි කෙරෙහි විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. (කොලො. 2:6, 7) අපගේ ක්‍රියාවන් යෙහෝවා දෙවිට බලපාන ආකාරය තේරුම්ගැනීමට එය උපකාරයක් වෙනවා. බයිබලය කියවන්න හා අධ්‍යයනය කරන්න කාලය සොයාගන්න අමාරු බව හැඟෙනවා නම් අප කාලය වැය කරන්නේ කුමන දේවලටද කියා නැවත සලකා බැලීම වැදගත්. සෑම දවසකම ටික වේලාවකට හෝ අධ්‍යයනය කර ඒ ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් යෙරෙමියා මෙන් අපටත් යෙහෝවා දෙවිට ළං වෙන්නත් ‘ඉමහත් සතුටක් ලබන්නත්’ හැකියි.

14, 15. (අ) යෙරෙමියා ඔහුගේ පැවරුම විශ්වාසවන්තව ඉටු කළ නිසා ලැබුණු ප්‍රතිඵල මොනවාද? (ආ) දෙවිගේ සෙනඟ ශුභාරංචිය සම්බන්ධයෙන් තේරුම්ගෙන සිටින්නේ කුමක්ද?

14 දෙවිගේ අනතුරු ඇඟවීම හා විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කිරීම යෙරෙමියා නතර කළේ නැහැ. ඔහුට ‘ගොඩනැඟීමට හා සිටුවීමටද’ පැවරුමක් දී තිබුණා. එය ඉටු කිරීමෙන් ඔහු ලොකු සතුටක් ලැබුවා. (යෙරෙ. 1:10) ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලම විනාශ වන විට සමහර යුදෙව්වන්ගේ හා විදේශිකයන්ගේ ජීවිත බේරුණේ අන් අයව ගොඩනැංවීමේ පැවරුම ඔහු ඉටු කළ නිසයි. බේරුණු අය අතර රේකාබ්වරු, ඒබෙද්-මෙලෙක් හා බාරුක්ද සිටියා. (යෙරෙ. 35:19; 39:15-18; 43:5-7) ඔවුන් යෙරෙමියාගේ මිතුරන්. දේවගරුබිය දැක්වූ එම මිතුරන්ගෙන් පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තු වෙන ‘මහත් සමූහයව’ නියෝජනය වෙනවා. (එළි. 7:9) ඔවුන් යෙරෙමියා මෙන් ක්‍රියා කරන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ මිතුරන්. දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමෙන් අභිෂේක ලත් අය සතුටක් ලබනවා. එමෙන්ම අවංක අයට දෙවි ගැන සත්‍යය දැනගැනීමට උපකාර කිරීමට අභිෂේක ලත් අයට සහාය වීමෙන් මහත් සමූහයද ඉමහත් තෘප්තියක් ලබනවා.

15 ශුභාරංචිය ප්‍රකාශ කිරීම මහජනයාට කරන සේවයක් පමණක් නොව දෙවිට කරන නමස්කාරයේ අංගයක්ද වන බව යෙහෝවා දෙවිගේ සෙනඟ තේරුම්ගෙන සිටිනවා. අපට යහපත් ප්‍රතිචාරයක් ලැබුණත් නැතත් පරිශුද්ධ සේවයෙන් අප විශාල සතුටක් ලබනවා.—ගීතා. 71:23; රෝම 1:9 කියවන්න.

පැවරුම ඉටු කිරීමට අවදිව සිටින්න

16, 17. අප ජීවත් වන්නේ අවසානයේ අද්දර බව එළිදරව් 17:10න් සහ හබක්කුක් 2:3න් පැහැදිලි වන්නේ කොහොමද?

16 එළිදරව් 17:10හි ඇති අනාවැකිය සලකා බැලීමෙන් අප ජීවත් වන්නේ අවසානයේ අද්දර බව තේරුම්ගත හැකියි. එහි සඳහන් හත්වන රජුගෙන් නියෝජනය වන එංගලන්ත ඇමරිකානු අධිරාජ්‍යය බලයට පැමිණ තිබෙනවා. නමුත් බයිබලයේ පවසන්නේ ‘හත්වන අධිරාජ්‍යය පැමිණි විට එය පවතින්නේ කෙටි කලකට පමණි’ කියායි. මේ වන විටත් ඒ ‘කෙටි කාලය’ අවසන් වීමට ආසන්න බව පැවසිය හැකියි. මේ දුෂ්ට සමාජයේ අවසානය සම්බන්ධයෙන් අනාගතවක්තෘ හබක්කුක් මෙවැනි සහතිකයක් ලබා දෙනවා. ‘දර්ශනය ඉටු වීමට නියමිත කාලයක් තිබේ. ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද එය ප්‍රමාද නොවන්නේය. නියමිත කාලයේදී එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.’—හබ. 2:3.

17 මේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න. ‘මම ජීවත් වන්නේ අවසානයේ අද්දර බව මම අවබෝධ කරගෙන සිටිනවාද? අවසානය ඉක්මනින් එයි කියා මම බලාපොරොත්තු වන බව මම ජීවත් වන ආකාරයෙන් පෙන්වනවාද? එසේත් නැත්නම් මම මුල් තැන දෙන දේවලින් හා මගේ තීරණවලින් පෙන්වන්නේ අවසානයට තව කල් තිබෙන බව හෝ එය පැමිණෙයි කියා මට ස්ථිර නැති බවද?’

18, 19. අලසව ක්‍රියා කිරීමට දැන් කාලය නොවන්නේ ඇයි?

18 මුරකරු ලෙස අභිෂේක ලත් ඉතුරු අය කරන කාර්යය අවසන් නැහැ. (යෙරෙමියා 1:17-19 කියවන්න.) ඔවුන් “යකඩ කුලුනක්” සහ “බලකොටුවක්” මෙන් නොසැලී ස්ථිරව සිටීම ගැන අප මොන තරම් ප්‍රීති විය යුතුද! ඔවුන් ඔවුන්ගේ “ඉඟටිය සත්‍යය නමැති පටියෙන් බැඳගෙන” සිටිනවා. (එෆී. 6:14) එනම් තමන්ගේ කාර්යය අවසන් වන තුරු එය දිගටම කරගෙන යෑමට ඔවුන් දේවවචනයෙන් ශක්තිය ලබාගන්නවා. දෙවි ලබා දී තිබෙන පැවරුම ඉටු කිරීම සඳහා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට උපකාර කිරීමට මහත් සමූහයද එවැනි අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා.

19 ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අලස වීමට කාලය දැන් නොවෙයි. ඒ වෙනුවට යෙරෙමියා 12:5හි (කියවන්න.) ඇති දේ සලකා බැලීම වැදගත් වෙනවා. අප සියලුදෙනාම පීඩාවලට මුහුණ දෙන අතර ඒවා විඳදරාගත යුතුයි. දැන් අප මුහුණ දෙන පීඩා “මිනිසුන් සමඟ” දිවීමකට සමාන කළ හැකියි. නමුත් “මහත් පීඩාව” ළඟා වෙද්දී පීඩා තවත් උග්‍ර වෙනවා නිසැකයි. (මතෙ. 24:21) ඒ කාලයේදී අප මුහුණ දෙන පීඩා “අශ්වයන් සමඟ” දිවීමකට සමාන කළ හැකියි. වේගයෙන් දුවන අශ්වයෙක් සමඟ දුවන්න නම් මිනිසෙකුට විශාල ශක්තියක් අවශ්‍යයි. අපි දැන් මුහුණ දෙන පීඩා විඳදරාගන්නවා නම් ඉදිරියේදී ඇති විය හැකි පීඩා විඳදරාගැනීමට එය අපට උපකාරවත් වෙනවා.

20. ඔබ අදිටන් කරගෙන සිටින්නේ කුමක් කිරීමටද?

20 යෙරෙමියාව අනුකරණය කිරීමෙන් අපටත් අපගේ පැවරුම සාර්ථකව ඉටු කිරීමට පුළුවන්. වසර 67ක් තරම් දිගු කාලයක් යෙරෙමියාට විශ්වාසවන්තව සේවය කිරීමට හැකි වුණේ ඔහු තුළ ප්‍රේමය, නිර්භීතකම හා ප්‍රීතිය තිබූ නිසයි. මල් පිපී ආමන්ඩ් ගස අවදිව සිටින්නාක් මෙන් යෙහෝවා දෙවිද ඔහුගේ කැමැත්ත ඉටු කිරීමට ‘අවදිව සිටිනවා.’ යෙරෙමියා මෙන් ‘අවදිව සිටීමට’ අපට හොඳ හේතු තිබෙන නිසා අපිත් අවදිව සිටිමු.

ඔබට මතකද?

• යෙරෙමියා තුළ තිබූ ප්‍රේමය තම පැවරුම ඉටු කිරීම සඳහා අවදිව සිටීමට ඔහුට උපකාරවත් වුණේ කොහොමද?

• දෙවි ලබා දෙන නිර්භීතකම අපට අවශ්‍ය ඇයි?

• ප්‍රීතියෙන් සිටීමට යෙරෙමියාට උපකාරවත් වුණේ කුමක්ද?

• ඔබ ‘අවදිව සිටිය’ යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[31වන පිටුවේ පින්තූර]

ඔබත් විරුද්ධවාදිකම් මැද දිගටම ශුභාරංචිය ප්‍රකාශ කරයිද?