Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ගැලවුම්කරු ගැන සඳහන් වී ඇති අනාවැකි ගණන නිශ්චිතවම කිව හැකිද?

අප හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි හොඳින් අධ්‍යයනය කරන විට යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකි රාශියක් අපට හමු වෙයි. ගැලවුම්කරුගේ පසුබිම, ඔහු පෙනී සිටින කාලය, ඔහුගේ ක්‍රියා, ඔහුට සලකන ආකාරය හා යෙහෝවා දෙවිගේ අරමුණ තුළ ඔහුට හිමි කාර්යය ගැන එම අනාවැකිවල සඳහන් වෙනවා. පැමිණීමට නියමිත ගැලවුම්කරු යේසුස් බව ඒ සියලු තොරතුරුවලින් අපට හොඳින් අවබෝධ වෙනවා. කෙසේවෙතත් ගැලවුම්කරු ගැන අනාවැකි කොපමණ සංඛ්‍යාවක් සඳහන් වී තිබෙනවාද කියා ගණන් බැලීමේදී අප පරෙස්සම් විය යුතුයි.

ගැලවුම්කරු ගැන පවසන අනාවැකි මොනවාද සහ එසේ නොවන ඒවා මොනවාද යන්න ගැන සෑමදෙනාම එකම අදහස දරන්නේ නැහැ. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ අඩංගු වගන්ති 456ක් ගැලවුම්කරු හා සම්බන්ධ අනාවැකි බව පුරාණ රබ්බිවරුන්ගේ ලියවිලිවල සඳහන් වෙනවා කියා ඇල්ෆ්‍රඩ් එඩෂයිම් නම් කතෘවරයා ඔහුගේ පොතේ වාර්තා කළා. නමුත් ඒවායින් බොහොමයක ගැලවුම්කරු ගැන නිශ්චිත සඳහනක් නැහැ. එම වගන්ති 456 හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඒවා ඇත්තටම යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ අනාවැකිද යන්න ගැන ප්‍රශ්න මතු වෙනවා. උදාහරණයකට උත්පත්ති 8:11හි සඳහන් සිද්ධිය එම විද්වතුන් සලකන්නේ ගැලවුම්කරු හා සම්බන්ධ අනාවැකියක් ලෙසයි. ඔවුන් පවසන්නේ “එම පරෙවියා ඔලීව කොළය ගෙනාවේ මෙසියස්ගේ කන්දෙන්” බවයි. ඒ වගේම යුදෙව් විද්වතුන් නික්මයාම 12:42හි අදහස වරදවා වටහාගෙන ඇති ආකාරය එම කතෘවරයා මෙසේ වාර්තා කරනවා. “මෝසෙස් කාන්තාරයෙන් පැමිණියා හා සමානව මෙසියස් පැමිණෙන්නේ රෝමයෙනුයි.” එම බයිබල් පද දෙක සහ ඊට දී තිබෙන වැරදි අර්ථකතන නිසා බොහෝ විද්වතුන්ට මෙන්ම තවත් අයට එය තේරුම්ගැනීමට අපහසු වී තිබෙනවා.—එම පොත The Life and Times of Jesus the Messiah.

යේසුස් සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකිවල ප්‍රමාණය පමණක් සලකා බැලුවත් ගැලවුම්කරු ගැන කොපමණ අනාවැකි සංඛ්‍යාවක් සඳහන් වී තිබෙනවාද කියා නිශ්චිතවම පැවසිය නොහැකියි. උදාහරණයකට යෙසායා 53වන පරිච්ඡේදයේ ගැලවුම්කරු සම්බන්ධව ඉටු වීමට තිබූ දේවල් කිහිපයක් ගැන සඳහන් වී තිබෙනවා. එහි සඳහන් වන්නේ මෙසේයි. ‘ඔහුට සිත් ඇදගන්නා තේජවත් පෙනුමක් නැත. ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය. ඔහු තම කර පිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝග හා දුක් වේදනාය. ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ අපේ පාප නිසාය. ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.’ (යෙසා. 53:2-7) ඉහත විස්තරය ඔබ ගණනය කරන්නේ ගැලවුම්කරු සම්බන්ධයෙන් සඳහන් වූ එක අනාවැකියක් ලෙසද නැන්නම් කිහිපයක් ලෙසද?

තවත් උදාහරණයක් බලමු. යෙසායා 11:1හි මෙසේ කියවීමට තිබෙනවා. “යෙස්සේගේ කඳෙන් අංකුරයක් හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක් හටගෙන පල දරන්නේය.” එම අනාවැකියේ ඇති අදහසම 10වෙනි ඡේදයේද සඳහන් වෙනවා. ඔබ එය ගණනය කරන්නේ එකම අනාවැකිය ලෙසද නැත්නම් දෙකක් ලෙසද? යෙසායා 53 සහ 11 යන පරිච්ඡේදවල අප සලකා බැලූ දෙයින් ගැලවුම්කරු පිළිබඳ අනාවැකි සංඛ්‍යාව නිශ්චිතව ගණනය කළ හැකිද නැද්ද යන්න පැහැදිලි වෙනවා.

ඒ අනුව හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ගැලවුම්කරු ගැන කොතරම් අනාවැකි සංඛ්‍යාවක් සඳහන් වෙනවාද යන්න ගැන අනවශ්‍ය ලෙස අවධානය දීම අවශ්‍ය නැහැ. යේසුස් සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකි රාශියක් ගැන අපගේ ප්‍රකාශනවල පළ වී තිබෙනවා. * ඒවායේ සඳහන් තොරතුරු පෞද්ගලික අධ්‍යයනයේදී, පවුලේ නමස්කාරයේදී සහ දේවසේවයේදී භාවිත කිරීමෙන් දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි. ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි සංඛ්‍යාව කොපමණ වුණත් ඔහු යේසුස් හැර වෙන කිසිවෙකු නොවන බවට ස්ථිර සාක්ෂි අපට තිබෙනවා.

[පාදසටහන]

^ 7 ඡේ. “මුළු ලියවිල්ල—විශ්වාසවන්තය, ප්‍රයෝජනවත්ය යන පොතේ 343-344 පි. (සිංහලෙන් නැත.); බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 200 පි.