Skip to content

පටුනට යන්න

“සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න

“සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න

‘වැලපෙන සියල්ලන්ව සනසන්න’

‘යෙහෝවා දෙවි මාව අභිෂේක කළේ වැලපෙන සියල්ලන්ව සනසන්නයි.’—යෙසා. 61:1, 2.

1. වැලපෙන අය වෙනුවෙන් යේසුස් කළේ කුමක්ද? ඒ ඇයි?

යේසුස් වරක් මෙසේ පැවසුවා. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.” (යොහ. 4:34) යෙහෝවා දෙවි යේසුස්ට පැවරූ කාර්යය ඉටු කරන විට ඔහු තම පියා මෙන් මිනිසුන්ට ප්‍රේම කළා. (1 යොහ. 4:7-10) යෙහෝවා දෙවිව “සියලු සැනසිල්ලේ දෙවි” ලෙස හැඳින්වීමෙන් දෙවි මිනිසුන්ට ප්‍රේම කරන එක් ආකාරයක් ගැන පාවුල් සඳහන් කළා. (2 කොරි. 1:3) අනාවැකියක පවසා තිබූ ලෙසම යේසුස්ද මිනිසුන්ට ප්‍රේමය පෙන්නුවා. (යෙසායා 61:1, 2 කියවන්න.) එම අනාවැකියේ සඳහන් වන්නේ තමා ගැන බව යේසුස් පැවසුවා. (ලූක් 4:16- 21) යේසුස් පොළොව මත ජීවත් වූ කාලයේදී වැලපෙන අයව සනසවා ඔවුන්ව දිරිගැන්නුවා.

2, 3. යේසුස්ගේ අනුගාමිකයන් අන් අයට සහනය ලබා දීම අවශ්‍ය ඇයි?

2 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් සියලුදෙනාම අන් අයව සැනසීම අවශ්‍යයි. (1 කොරි. 11:1) “දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” කියා පාවුල්ද පැවසුවා. (1 තෙස. 5:11) අප ජීවත් වන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ නිසා අප සියලුදෙනාටත් සහනය අවශ්‍යයි.—2 තිමෝ. 3:1.

3 අද සිටින යහපත් මිනිසුන්ට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ වචනයෙන් හා ක්‍රියාවෙන් අන් අයව වේදනාවට පත් කරන මිනිසුන් සිටින ලෝකයකයි. ඒ මිනිසුන් ක්‍රියා කරන ආකාරය ගැන බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.” බයිබලයේ සඳහන් වන ආකාරයට දුෂ්ට ප්‍රෝඩාකාර මිනිසුන් කරන කියන දේවල් “තව තවත් නරක අතට හැරෙමින්” තිබෙනවා.—2 තිමෝ. 3:2-4, 13.

4. අද දින ලෝකයට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?

4 “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්” බව අප දන්නා නිසා මිනිසුන් ක්‍රියා කරන ආකාරය එන්න එන්නම නරක අතට හැරීම ගැන අප පුදුම වන්නේ නැහැ. (1 යොහ. 5:19) “මුළු ලෝකයම” කියද්දී ඊට දේශපාලනය, අසත්‍ය උගන්වන ආගම් සහ කූට ව්‍යාපාර මෙන්ම සාතන් තම අදහස් ප්‍රචලිත කිරීමට යොදාගන්නා ක්‍රමද අයත් වෙනවා. ඒ අනුව මේ “ලෝකයේ පාලකයා” සහ “මේ සමාජයේ දෙවියා” සාතන් බව අපට කිසිම සැකයක් නැහැ. (යොහ. 14:30; 2 කොරි. 4:4) දුෂ්ටකම් එන්න එන්නම වැඩි වන්නේ සාතන් ඉතා කෝපයෙන් සිටින නිසයි. ඊට හේතුව ඔහුට තිබෙන්නේ ඉතා කෙටි කාලයක් බව ඔහු දැන සිටීමයි. (එළි. 12:12) සාතන්ගේ පාලනය යටතේ තිබෙන මේ දුෂ්ට සමාජය තව බොහෝ කාලයක් පැවතීමට දෙවි ඉඩ නොහරින බවත් පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ඔහු ළඟදීම තහවුරු කරන බවත් දැන සිටීම අපට ඉමහත් සහනයක්.—උත්. 3වෙනි පරිච්ඡේදය හා යෝබ් 2වෙනි පරිච්ඡේදය.

ශුභාරංචිය ලොව පුරා දේශනා කරයි

5. ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන යේසුස් පැවසූ අනාවැකිය අද ඉටු වී තිබෙන්නේ කොහොමද?

5 යේසුස් මෙවැනි අනාවැකියක් පැවසුවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙ. 24:14) ඔහු පැවසූ ලෙසම ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරනවා. අද වන විට ලොව පුරා සභා 1,07,000කට වඩා වැඩි ගණනක සිටින 75,00,000කට වඩා වැඩි සාක්ෂිකරුවන් පිරිසක් එම කාර්යයේ හවුල් වෙනවා. යේසුස් මෙන් ඔවුන්ද දේවරාජ්‍යය පිළිබඳව ජනයාට දේශනා කරමින් සහ උගන්වමින් සිටිනවා. (මතෙ. 4:17) ඒ තුළින් ඔවුන් දුකින් සිටින බොහෝදෙනෙකුට සැනසීම ලබා දෙනවා. ගෙවුණු අවුරුදු දෙක තුළදී පමණක් 5,70,601ක් බව්තීස්ම වී තිබෙනවා.

6. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වර්ධනය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

6 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භාෂා 500කට වඩා වැඩි ගණනකින් බයිබලය මත පදනම් ප්‍රකාශන පරිවර්තනය කර බෙදාහරිනවා. එවැනි දැවැන්ත කාර්යයක් ඉතිහාසයේ කිසි දිනක කිසිවෙක් කර නැහැ. මේ ලෝකය පවතින්නේ සාතන්ගේ පාලනය යටතේ වුණත් දෙවිගේ සෙනඟ උද්‍යෝගයෙන් සේවය කරමින් ගණනින් වැඩි වෙමින් සිටිනවා. දෙවිගේ උපකාරය ඔවුන්ට නැත්නම් කෙදිනකවත් එවැනි දෙයක් සිදු විය නොහැකියි. දෙවිගේ සෙනඟ ලොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කරන නිසා ඊට සවන් දී කීකරු වන අයට සාක්ෂිකරුවන් අද්දකිනවා හා සමාන සහනයක් අද්දකින්න හැකි වෙනවා.

අන් අයගෙන් ලැබෙන සහනය

7. (අ) අප මුහුණ දෙන ප්‍රශ්න ගැටලු දෙවි ඉවත් කරයි කියා බලාපොරොත්තු නොවිය යුත්තේ ඇයි? (ආ) පීඩා හා දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දීමට අපට හැකි බව අප දන්නේ කොහොමද?

7 අප ජීවත් වන්නේ දුෂ්ටයාගේ පාලනය යටතේ නිසා විවිධාකාරවලින් අප දුක් වේදනාවලට මුහුණ දෙනවා. දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කිරීමට පෙර දැන් අපට තිබෙන දුක් කරදර සියල්ල දෙවි ඉවත් කරයි කියා අප බලාපොරොත්තු නොවිය යුතුයි. දෙවිගේ පොරොන්දු ඉටු වන තෙක් බලා සිටින අතරතුර අප ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන ආකාරයෙන් අප දෙවිට විශ්වාසවන්තව සිටිනවාද සහ අපේ පාලකයා ලෙස අප දෙවිව පිළිගන්නවාද යන්න ඔප්පු වෙනවා. (2 තිමෝ. 3:12) දෙවි යෙහෝවාගෙන් ලැබෙන උපකාරය සහ සහනය නිසා පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන විට තෙසලෝනික සභාවේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මෙන් “විඳදරාගනිමින් ශක්තිමත් විශ්වාසයක් ඇතුව ක්‍රියා” කරන්න අපටත් හැකියි.—2 තෙසලෝනික 1:3-5 කියවන්න.

8. දෙවි තම සේවකයන්ට සහනය ලබා දෙන බව පෙන්වන උදාහරණ මොනවාද?

8 දෙවි නොවරදවාම තම සේවකයන්ට අවශ්‍ය සහනය ලබා දෙනවා. මේ උදාහරණය බලන්න. දුෂ්ට යෙසබෙල් රැජින එලියාව මරා දැමීමට කුමන්ත්‍රණය කරද්දී ඔහු බියෙන් පලා ගියා. මැරුණා නම් මීට වඩා හොඳයි කියා ඔහු සිතුවා. ඒ ගැන එලියාට දොස් කියනවා වෙනුවට දෙවි ඔහුව සනසා ඔහුට පවරා තිබූ කාර්යය දිගටම කරගෙන යෑමට ඔහුව ශක්තිමත් කළා. (1 රාජා. 19:1-21) තවත් උදාහරණයක් වන්නේ යේසුස්ගේ මුල් අනුගාමිකයන්ට දෙවි උපකාර කළ ආකාරයයි. ඒ නිසා යුදයේ, ගලීලයේ සහ සමාරියේ තිබූ සභා ඉතා සාමකාමී කාලපරිච්ඡේදයක් අද්දුටුවා. ඒ සභාවල සිටි අය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සියලුදෙනාම යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්, දෙවි ලබා දුන් බලයෙන් මහත් සැනසීමක් ලැබූ අතර ඔවුන්ගේ විශ්වාසයද තව තවත් ශක්තිමත් විය. ඔවුහු ගණනින්ද නොකඩවා වැඩි වූහ.” (ක්‍රියා 9:31) දෙවි තම බලය මාර්ගයෙන් අපටත් සහනය ලබා දෙනවා.

9. යේසුස් ගැන ඉගෙනගැනීම අපට සහනයක් වන්නේ කොහොමද?

9 “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි” කියා යේසුස් පැවසුවා. (මතෙ. 11:28-30) ඔහු ගැන ඉගෙනගැනීමෙන් සහ ඔහුගේ ආදර්ශ අනුගමනය කිරීමෙන් අපට සහනය ලැබී තිබෙනවා. යේසුස් අන් අයට ප්‍රේමයෙන් සහ කරුණාවෙන් සැලකූ ආකාරය ඉගෙනගෙන එය අනුකරණය කරන විට අප අද්දකින මානසික පීඩනයෙන් සහනයක් ලැබීමට අපටත් හැකියි.

10, 11. සහනය අවශ්‍ය අයට එය ලබා දීමට හැකියාව තිබෙන්නේ සභාවේ සිටින කාටද?

10 සෙසු ක්‍රිස්තියානීන්ගෙන්ද අපට සහනය ලැබිය හැකියි. දෙවි කෙරෙහි ඇති විශ්වාසය දුර්වල වෙමින් තිබෙන කෙනෙකුට වැඩිමහල්ලන්ගේ උපකාර ලැබෙන ආකාරය ගැන සිතා බලන්න. ඒ ගැන යාකොබ් මෙසේ පැවසුවා. ‘ඔබ අතරෙහි කෙනෙක් යම් අසනීපයකින් සිටීද? එවැනි අවස්ථාවකදී ඔහු සභාවෙහි සිටින වැඩිමහල්ලන්ව කැඳවිය යුතුයි. එවිට ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔවුන්ට පුළුවන.’ එහි ප්‍රතිඵලය කුමක්ද? “විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින පුද්ගලයා සනීප වන අතර යෙහෝවා දෙවි ඔහුව නැවත ශක්තිමත් කරයි. එලෙසම ඔහු යම් පාපයක් කර ඇත්නම් ඒවා සඳහාත් ඔහුට සමාව ලැබේ” කියා බයිබලයේ පවසනවා. (යාකො. 5:14, 15) කෙසේවෙතත් අපට සහනය ලබා දීමට හැකියාව තිබෙන්නේ වැඩිමහල්ලන්ට පමණක් නොවෙයි.

11 සහෝදරියක් තමන් මුහුණ දෙන ගැටලුවක් ගැන තවත් සහෝදරියකට පැවසීම ඇයට පහසුවක්. තරුණ සහෝදරියන්ට හොඳ මඟ පෙන්වීම් ලබා දීමට වයසින් වැඩි සහ බොහෝ අද්දැකීම් ඇති සහෝදරියන්ට හැකියාව තිබෙනවා. අද්දැකීම් අඩු සහෝදරියක් මුහුණ පා සිටින ගැටලුවට සමාන ගැටලුවකට අද්දැකීම් ලත් සහෝදරියක් මුහුණ දී ඇති. ඒ නිසා උපකාර අවශ්‍ය සහෝදරියට හොඳින් සවන් දීමෙන් සහ ඇය කෙරෙහි සැලකිල්ල දැක්වීමෙන් ඇයට සහනයක් ලබා දෙන්න එවැනි අයට හැකියි. (තීතස් 2:3-5 කියවන්න.) “කලකිරී සිටින අයව සනසවන්න” වැඩිමහල්ලන් ඇතුළු සභාවේ සියලුදෙනාටම හැකියාව තිබෙන අතර ඔවුන් එසේ කළ යුතුයි. (1 තෙස. 5:14, 15) බයිබලයේ සඳහන් මේ වදන්ද අපි මතක තබාගනිමු. ‘අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ දෙවිය. එමගින් ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සැනසීමට අපටත් හැකි වේ.’—2 කොරි. 1:4.

12. රැස්වීම්වලට සහභාගි වීම ඉතා වැදගත් ඇයි?

12 අපට සහනය ලැබිය හැකි ප්‍රධාන ක්‍රම අතරින් එකක් වන්නේ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමයි. එහිදී බයිබලයෙන් ලැබෙන මඟ පෙන්වීම් අපට විශාල දිරිගැන්වීමක්. පළමු ශතවර්ෂයේ සිටි යූදස් සහ සීලස් “සහෝදරයන්ට බොහෝ දේවල් පැහැදිලි කර ඔවුන්ව දිරිගන්වා ශක්තිමත්” කළ බව බයිබලයේ වාර්තා වෙනවා. (ක්‍රියා 15:32) රැස්වීම්වලට පෙර සහ පසුව සහෝදර සහෝදරියන් කරන සාකච්ඡා ඉතා දිරිගන්වනසුලුයි. අප යම් ප්‍රශ්න ගැටලු නිසා වේදනාවෙන් සිටින අවස්ථාවලදී පවා සෙසු අය සමඟ ඇසුරු කිරීම අපට සහනයක්. නමුත් තනි වීමෙන් සිදු වන්නේ ප්‍රශ්න ගැටලු වඩාත් උග්‍ර වීමයි. (හිතෝ. 18:1) ඒ වෙනුවට අප පාවුල් දුන් මෙම උපදෙස අනුගමනය කළ යුතුයි. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.”—හෙබ්‍රෙ. 10:24, 25.

බයිබලයෙන් ලැබෙන සහනය

13, 14. බයිබලයෙන් අපට සහනය ලබාගන්න පුළුවන් කොහොමද?

13 අප බව්තීස්ම වූ අය වුණත් තවමත් දෙවි ගැන ඉගෙනගනිමින් සිටින අය වුණත් බයිබලයේ සඳහන් මඟ පෙන්වීම්වලින් මහත් සහනයක් ලබාගත හැකියි. පාවුල් මෙසේ පැවසුවේ ඒ නිසයි. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.” (රෝම 15:4) අපව සැනසීමට සහ “සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක්” වීමට උපකාර කිරීමට බයිබලයට හැකියි. (2 තිමෝ. 3:16, 17) බයිබලය කියවීමෙන් සහ ඒ මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් දෙවිගේ අරමුණ ගැන නිවැරදි දැනුමක් හා අනාගතය පිළිබඳ ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව සිටින්න අපට පුළුවන්. එමගින් අපට සහනය මෙන්ම ජීවිතයේ විවිධ පැතිවලට ප්‍රයෝජනවත් මඟ පෙන්වීම්ද ලැබෙනවා.

14 අන් අයට උපදෙස් දීමට සහ සහනය ලබා දීමට ශුද්ධ ලියවිලි යොදාගැනීම සම්බන්ධයෙන් යේසුස් අපට කදිම ආදර්ශයක්. ඔහු නැවත නැඟිටීමෙන් පසු ගෝලයන් දෙදෙනෙකුට පෙනී සිටි අවස්ථාවේදී ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් ඉතා හොඳින් ඔවුන්ට පැහැදිලි කර දුන්නා. එය ඔවුන්ට විශාල සහනයක් වූ බව නිසැකයි. (ලූක් 24:32) පාවුල්ද යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරු තර්කානුකූලව මිනිසුන්ට පැහැදිලි කර දුන්නා. ඔහුගේ පණිවිඩයට සවන් දුන් බෙරීය නම් නුවරේ වැසියන් ‘තමන් ඇසූ දේවල් සැබෑද කියා බැලීමට දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කර බැලුවා. ඒ නිසා ඔවුන් දෙවිගේ පණිවිඩය මහත් උනන්දුවකින් පිළිගත්තා.’ (ක්‍රියා 17:2, 10, 11) දුෂ්කර කාලවලදී අපට අවශ්‍ය සහනය ලබාගැනීමට බයිබලය අධ්‍යයනය කිරීම හා ඒ මත පදනම් ප්‍රකාශනවලින් ප්‍රයෝජන ගැනීම මොන තරම් වැදගත්ද!

අන් අයව සැනසිය හැකි තවත් ක්‍රම

15, 16. අන් අයව සැනසීමට අපට කුමක් කළ හැකිද?

15 අන් අයව සනසවන්න අපට හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. උදාහරණයකට වයස්ගත හෝ අසනීප වී සිටින කෙනෙකු වෙනුවෙන් වෙළඳසැලට ගොස් අවශ්‍ය කළමනා මිල දී ගැනීමෙන් හෝ ඔවුන්ගේ නිවෙස්වල වැඩකටයුතුවලට උපකාර කිරීමෙන් එය කළ හැකියි. ඉන් පෙන්වන්නේ අප ඔවුන් ගැන සැලකිලිමත් බවයි. (ෆිලි. 2:4) ඔවුන් තුළ තිබෙන ප්‍රේමය, ධෛර්යය හා දෙවි කෙරෙහි ඇති විශ්වාසය අප බොහෝ සේ අගය කරන බව ඔවුන්ට පවසන්න අපට හැකියි.

16 මහලු සහෝදර සහෝදරියන්ට සහනයක් ලබා දිය හැකි තවත් ක්‍රමයක් වන්නේ ඔවුන්ව බැලීමට යෑම සහ ඔවුන් දෙවිට කළ සේවය තුළ ලැබූ අද්දැකීම් සහ ආශීර්වාද ගැන පවසන විට ඒවාට හොඳින් සවන් දීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපටද ඉන් දිරිගැන්වීමක් හා සහනයක් ලබාගත හැකියි. ඔවුන්ට ඇසෙන්න බයිබලය හෝ අපේ ප්‍රකාශනයක් කියවීමද ඔවුන්ට සහනයක් විය හැකියි. සතියට අදාළ මුරටැඹ පාඩම හෝ සභා බයිබල් පාඩම වුණත් සාකච්ඡා කළ හැකියි. එසේත් නැත්නම් සංවිධානය මගින් ලබා දී ඇති DVD තැටියක් ඔවුන් සමඟ නැරඹීමෙන් හෝ දිරිගන්වනසුලු අද්දැකීමක් ඔවුන්ට ඇසෙන්න කියවීමෙන් ඔවුන්ට සහනයක් ගෙන දිය හැකියි.

17, 18. දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ට අවශ්‍ය උපකාර හා සහනය ලබා දෙන බවට නිසැක විය හැක්කේ ඇයි?

17 දුක් කරදරවලට මැදි වී සිටින සහෝදරයෙක් හෝ සහෝදරියක් ගැන අප දන්නවා නම් ඔවුන් වෙනුවෙන් අපි යාච්ඤා කරමු. (රෝම 15:30; කොලො. 4:12) අපට සහනය අවශ්‍ය වන විට සහ අන් අයට සහනය ලබා දීමට වෑයම් කරන විට අපත් දාවිත් හා සමාන විශ්වාසයක් ඇතුව සිටිමු. ඔහු පැවසුවේ මෙසේයි. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.” (ගීතා. 55:22) දෙවි අප සියලුදෙනාට අවශ්‍ය සහනය හා උපකාරය සෑමවිටම ලබා දෙනවා. ඔහු කෙදිනකවත් තම විශ්වාසවන්ත සේවකයන්ගේ බලාපොරොත්තු සුන් කරන්නේ නැහැ.

18 ඔහු තම පුරාණ සේවකයන්ට මෙසේ පැවසුවා. “ඔබව සනසන්නේ මමයි.” (යෙසා. 51:12) එලෙසම දෙවි අපවත් සනසවන අතර අන් අයව සැනසීමට අප දරන වෑයමටද ඔහු ආශීර්වාද කරනවා. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ හෝ පොළොවේ ජීවත් වීම වුණත් පාවුල් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පැවසූ මෙම වදන් අපටත් සහනයක්. “අපට ප්‍රේම කරන, මහත් කරුණාවක් පෙන්වීමෙන් සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලබා දුන් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා අපගේ පියාණන් වන දෙවිගෙන්, ඔබේ සිත්වලට සැනසීමද සෑම යහපත් දෙයක් කිරීමට හා කීමට ඔබට ශක්තියද ලබා දෙන්න කියා ඉල්ලමු.”—2 තෙස. 2:16, 17.

ඔබට මතකද?

• ශුභාරංචිය ප්‍රකාශ කිරීම කොතරම් පුළුල්ව සිදු වෙනවාද?

• අන් අයව සැනසීම සඳහා අපට කළ හැකි දේවල් මොනවාද?

• දෙවි තම සේවකයන්ට සැනසීම ලබා දෙන බව බයිබලයෙන් පැහැදිලි වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

දුකින් සිටින අයව සැනසීමට ඔබ හවුල් වෙනවාද?

[30වන පිටුවේ පින්තූරය]

තරුණ මහලු සියලුදෙනාටම අන් අයව දිරිගැන්විය හැකියි