Skip to content

පටුනට යන්න

මෝසෙස්ට දුන් නීතියෙන් ඉගෙනගනිමු

මෝසෙස්ට දුන් නීතියෙන් ඉගෙනගනිමු

‘නීතියේ සඳහන් වී ඇති ආකාරයට දෙවි පිළිබඳ දැනුම හා සත්‍යය පිළිබඳ මූලික අවබෝධයක් ඔබට තිබෙනවා.’—රෝම 2:20.

1. මෝසෙස්ට දුන් නීතිය ගැන පාවුල් පැවසූ දේ තේරුම්ගැනීම වැදගත් ඇයි?

මෝසෙස්ට දුන් නීතියේ ඇති වැදගත්කම ගැන තේරුම්ගැනීමට පාවුල් ලියූ දේවල් අපට උපකාරවත් වෙනවා. උදාහරණයකට ඔහු හෙබ්‍රෙව්වරුන්ට ලියද්දී යේසුස් “විශ්වාසවන්ත උත්තම පූජකයෙකු” වී මිනිසුන්ගේ පාප වෙනුවෙන් දිවි පිදූ බවත් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන අයට “සදාකාලික ගැලවීමක්” ලැබෙන බවත් විස්තර කළා. (හෙබ්‍රෙ. 2:17; 9:11, 12) පාවුල් තවදුරටත් සඳහන් කළේ ශුද්ධ කූඩාරම ‘ස්වර්ගයේ තිබෙන දේවල ඡායාවක්’ පමණයි කියායි. එමෙන්ම යේසුස් වඩා ‘උතුම් ගිවිසුමකට’ මැදිහත්කරුවෙක් කියාද ඔහු පැවසුවා. (හෙබ්‍රෙ. 7:22; 8:1-5) එදා සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් කළ පැහැදිලි කිරීම් බොහෝ සේ ප්‍රයෝජනවත් වුණා. ඒ දේවල් තේරුම්ගැනීම දෙවි අප වෙනුවෙන් කර තිබෙන දේවල් අගය කරන්න අපට උපකාරයක්.

2. යුදෙව්වන් නොවූ අයට වඩා යුදෙව් ක්‍රිස්තියානීන්ට තිබූ වාසිය මොකක්ද?

2 පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ටත් ලිව්වා. ඔහු විශේෂයෙන්ම ලිව්වේ එහි සිටි යුදෙව් ජාතික ක්‍රිස්තියානීන්ටයි. මෝසෙස්ට දුන් නීතිය ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් තිබුණ නිසා වෙනත් ජාතීන්වල අයට වඩා ඔවුන්ට වාසියක් තිබුණා. එමෙන්ම දෙවි නීතිය දීමට හේතුව ගැනත් දැනුමක් ඔවුන්ට තිබුණා. එම යුදෙව් ක්‍රිස්තියානීන්ට “නීතියේ සඳහන් වී ඇති ආකාරයට දෙවි පිළිබඳ දැනුම හා සත්‍යය පිළිබඳ මූලික අවබෝධයක්” තිබූ බව පාවුල් පැවසුවා. ඒ නිසා එම නීතිය ගැන නොදැන සිටි අයට එය පහදා දීමට ඔවුන්ට හැකි වුණා.—රෝම 2:17-20 කියවන්න.

සත්ව පූජාවලින් ඉටු වූ දේ

3. යුදෙව්වන් ඔප්පු කළ පූජා ගැන අවබෝධයක් ලබාගැනීම අපට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

3 මෝසෙස්ට දුන් නීතිය මගින් යෙහෝවා දෙවි තම සෙනඟගෙන් බලාපොරොත්තු වන දේ හෙළි වුණා. ඔහු යුදෙව්වන්ගෙන් විවිධ පූජා බලාපොරොත්තු වුණා. එම පූජා ඔප්පු කිරීම මගින් යුදෙව්වන්ට යේසුස්ගේ ජීවිත පූජාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න හැකි වුණා. අද දින සිටින ක්‍රිස්තියානීන් එම නීතියට යටත් නැති වුණත් දෙවිගේ ප්‍රමිති වෙනස් වී නැහැ. ඒ නිසා එදා ඔවුන් ඔප්පු කළ පූජා ගැන අවබෝධයක් ලබාගැනීම අද දින අපි දෙවිට කරන සේවය වඩාත් හොඳින් කිරීමට උපකාරයක් වෙයි.—මලා. 3:6.

4, 5. (අ) ඊශ්‍රායෙල්වරුන්ට නීතිය මගින් මතක් කර දුන්නේ මොකක්ද? (ආ) දෙවිට ඔප්පු කළ පූජාවන් “ඡායාවක්” වුණේ කුමක් සම්බන්ධයෙන්ද?

4 යුදෙව්වන්ට ඔප්පු කිරීමට සිදු වූ බොහෝ පූජාවලින් මතක් කර දුන්නේ ඔවුන් පාපය උරුම කරගෙන සිටි බවයි. උදාහරණයකට ස්ත්‍රියක් දරුවෙකු බිහි කළ පසු පූජාවක් ඔප්පු කිරීමට ඇයට සිදු වුණා. ඊට හේතුව උරුම වී ඇති පාපය නිසා දරුවෙකු බිහි කළ ස්ත්‍රියකව දවස් කිහිපයක් යන තුරු අපවිත්‍ර කෙනෙක් ලෙස සැලකීමයි. (ලෙවී. 12:1-8) මිනිසුන් මිය යෑමට හේතුව වන්නෙත් උරුම වී ඇති පාපයයි. ඒ නිසා කෙනෙක් මළ සිරුරක් ඇල්ලුවොත් පවිත්‍ර විය යුතු වුණා. ඒ සඳහා රතු පැහැයට හුරු එළදෙනක් පූජා කිරීමට ඔහුට සිදු වුණා. එවිට පූජකයා එළදෙනව මරා පුලුස්සා එම අළු “පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර” සමඟ මිශ්‍ර කළා. පසුව තුන්වෙනි හා හත්වෙනි දවසේදී ඔහු එම වතුරෙන් තමාව පවිත්‍ර කරගත යුතු වුණා.—ගණන්. 19:1-13.

5 වෙනත් අවස්ථාවලදීත් තමන්ගේ පව්වලට සමාව ලබාගැනීම සඳහා යුදෙව්වන් විවිධ සත්ව පූජා ඔප්පු කළා. එම සියලු පූජාවල් ඉදිරියේදී සිදු කිරීමට නියමිත තිබූ යේසුස්ගේ ජීවිත පූජාව සම්බන්ධයෙන් “ඡායාවක්” වුණා.—හෙබ්‍රෙ. 10:1-10.

පූජාවන් ගැන නිවැරදි ආකල්පය

6, 7. (අ) ඊශ්‍රායෙල්වරුන් පූජා ඔප්පු කරන විට මතක තබාගත යුතු වුණේ මොනවාද? නිකැළැල් පූජාවකින් නියෝජනය කළේ මොකක්ද? (ආ) අපි අසාගත යුත්තේ මොන වගේ ප්‍රශ්නද?

6 ඊශ්‍රායෙල්වරු තම අස්වැන්නෙන් පූජා ඔප්පු කරන විට ‘ප්‍රථම ඵල’ හා “හොඳම කොටස” ඉදිරිපත් කරයි කියා යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණා. (ගණන්. 18:12, 29) ඒ වගේම ඔවුන් සතෙකුව පූජා කරන විට ඒ සතා “නිකැළැල්” සතෙක් වීමත් අන්ධ, කොර හෝ ලෙඩ එකෙක් නොවීමත් දෙවි බලාපොරොත්තු වුණා. (ලෙවී. 22:20-22) පූජා කළ දෙයෙහි යම් අඩුවක් තිබුණු විට දෙවි එය පිළිගත්තේ නැහැ. ඊශ්‍රායෙල්වරයෙක් නිකැළැල් සතෙකුව පූජා කළ සෑම අවස්ථාවකදීම ඉන් නියෝජනය කළේ කිසිම පලුද්දක්වත් කැළැලක්වත් නැති යේසුස්ගේ ජීවිත පූජාවයි. එය මිනිසාව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමට යෙහෝවා දෙවි දුන් තමා සතු හොඳම හා වටිනාම වස්තුවයි.—1 පේතෘ. 1:18, 19.

7 දෙවිට හොඳම දෙය පූජා කරනවාද නැද්ද කියා තීරණය කිරීමට සෑම ඊශ්‍රායෙල්වරයෙකුටම අයිතිය තිබුණා. දෙවි තමා වෙනුවෙන් කළ දේවල් ගැන ස්තුතිවන්ත වූ කෙනෙක් තමා සතු හොඳම දේ කැමැත්තෙන් දෙන්න පෙලඹුණා. නමුත් පූජාවක් ඉදිරිපත් කිරීම බරක් ලෙස සැලකුවා නම් හෝ කරන්නන් වාලේ කරා නම් හෝ දෙවිව සතුටු කළ නොහැකි බව ඊශ්‍රායෙල්වරු දැන සිටියා. (මලාකි 1:6-8, 13 කියවන්න.) ඉන් අපට ඉගෙනගත හැකි පාඩම මොකක්ද? අපි මෙසේ සිතමු. ‘මම යෙහෝවා දෙවිට සේවය කරන්නේ මොන වගේ ආකල්පයක් ඇතුවද? මගේ සේවයේ යම් වෙනසක් කරන්න අවශ්‍යද? දෙවිට නමස්කාර කරද්දී මම දෙවිට දෙන්නේ මා සතු හොඳම දේද?’

8, 9. සමහර අවස්ථාවලදී ඊශ්‍රායෙල්වරුන් පූජා ඔප්පු කළේ මොන වගේ හැඟීමකින් යුතුවද? ඉන් අපට ගත හැකි පාඩම මොකක්ද?

8 දෙවිගේ අනුමැතිය ලබාගැනීමට හා දෙවිට තම ස්තුතිවන්තභාවය ප්‍රකාශ කිරීමට ඊශ්‍රායෙල්වරයෙකුට කැමැත්තෙන්ම පූජාවක් ඔප්පු කිරීමට අවස්ථාව තිබුණා. එවැනි අවස්ථාවක තමා සතු හොඳම සතාව පිදීම ඔහුට අපහසු දෙයක් වුණේ නැහැ. අද දින අපි සතුන්ව පූජා කරන්නේ නැති බව ඇත්තයි. නමුත් අපේ කාලය, ශ්‍රමය හා ධනසම්පත් දෙවිට පූජාවක් ලෙස කැමැත්තෙන්ම ඉදිරිපත් කරන්න අපිට පුළුවන්. එසේ කරන්නේ ‘ශුභාරංචිය දේශනා කිරීමෙන්, යහපත් දේවල් කිරීමෙන් හා අන් අය සමඟ අප සතු දේවල් බෙදා හදා ගැනීමෙන්.’ එවැනි පරිත්‍යාගයන් ගැන දෙවි සතුටු වෙනවා. (හෙබ්‍රෙ. 13:15, 16) කැමැත්තෙන්ම එවැනි පරිත්‍යාගයන් කිරීමෙන් පෙන්වන්නේ දෙවි අප වෙනුවෙන් කර ඇති සෑම දෙයක්ම අපි අගය කරන බවයි.

9 අනික් අතට, යම් අවස්ථාවලදී සමහර පූජා අනිවාර්යයෙන්ම ඔප්පු කළ යුතු වුණා. උදාහරණයකට ඊශ්‍රායෙල්වරයෙක් වරදක් කළ විට ඔහු අනිවාර්යයෙන්ම පාප පූජාවක් ඉදිරිපත් කළ යුතු වුණා. එය අනිවාර්යය දෙයක් වූ නිසා එය බරක් වුණාද? (ලෙවී. 4:27, 28) දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔහුට වුවමනාවක් තිබුණා නම් එය බරක් වෙන්නේ නැහැ. ඔහු එය කැමැත්තෙන්ම ඉදිරිපත් කරනවා.

10. වරදක් කළ විට අපි කළ යුත්තේ මොකක්ද? දෙවි එය සලකන්නේ කොහොමද?

10 අදත් අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් තිබෙනවාද? අපි හිතන්නේ බලන්නේ නැතුව කියූ දෙයක් නිසා සහෝදරයෙක් අමනාප වෙනවා කියා සිතන්න. එසේත් නැත්නම් අප කළ බරපතළ වරදක් නිසා අපේ හිත අපිට වද දෙනවා කියා සිතන්න. එවිට කළ යුත්තේ එම සහෝදරයාගෙන් අවංකවම සමාව ඉල්ලීම හෝ කළ බරපතළ වරද ගැන වැඩිමහල්ලන්ට පවසා ඔවුන්ගේ උපකාරය පැතීමයි. අපි යෙහෝවා දෙවිව සතුටු කිරීමට ඇත්තටම කැමති නම් ඒ ආකාරයට පියවර ගන්නවා. අපි එසේ කරන විට දෙවි එම ක්‍රියාව සලකන්නේ පූජාවක් ලෙසයි. (මතෙ. 5:23, 24; යාකො. 5:14, 15) ප්‍රතිඵලයක් ලෙස දෙවි හා අපේ සහෝදරයන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකි වන අතර දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ කළ නිසා හිතට සහනයක්ද ලැබෙනවා.

11, 12. (අ) හවුල් පූජාවක් කියන්නේ මොකක්ද? (ආ) එය අද දිනට අදාළ වෙන්නේ කොහොමද?

11 මෝසෙස්ට දුන් නීතියේ හවුල් පූජාවන් ගැනත් සඳහන් වෙනවා. කෙනෙකුට තම කැමැත්තෙන් හවුල් පූජා ඉදිරිපත් කළ හැකි වුණා. එම පූජා ඔප්පු කිරීමෙන් කෙනෙක් පෙන්නුවේ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට ආශාවක් තිබෙන බවයි. හවුල් පූජාවක් ඔප්පු කළ අවස්ථාවකදී පූජා කළ සතාගෙන් කොටසක් දෙවිට ඔප්පු කළා. තවත් කොටසක් පූජකයන්ට ආහාරය සඳහා ලබා දුන්නා. ඉතුරු කොටස එම පූජාව රැගෙන ආ පුද්ගලයා හා ඔහුගේ පවුලේ අය දේවමාලිගාවේ භෝජන ශාලාවකදී ආහාරයට ගත්තා. (ලෙවී. 3:1; 7:31-33) කෙනෙක් හවුල් පූජාවක් ඔප්පු කළ විට ඔහු, ඔහුගේ පවුලේ අය, පූජකයන් හා යෙහෝවා දෙවි එක් වී ප්‍රීතියෙන් හා සමාදානයෙන් ආහාර වේලක් භුක්ති වින්දා හා සමානයි.

12 යෙහෝවා දෙවි සමඟ ආහාර වේලක් ගැනීම මොන තරම් වරප්‍රසාදයක්ද! එවැනි අවස්ථාවක එය ඔප්පු කළ පුද්ගලයා තමා සතු හොඳම දේ දෙවිට ඔප්පු කළ බවට සැකයක් නැහැ. මෝසෙස්ට දුන් නීතියට අනුව හවුල් පූජාවක් ඉදිරිපත් කිරීමෙන් කෙනෙකුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තබාගත හැකි වුණා. එමගින් පෙන්නුම් කළේ යේසුස්ගේ පරිපූර්ණ ජීවිත පූජාව මත විශ්වාසය තැබීමෙන් දෙවි සමඟ දිගටම මිත්‍රත්වයක් තබාගත හැකි බවයි. අප සතු දේවල් හා අපේ ශක්තිය කැමැත්තෙන්ම දීමෙනුත් දෙවිගේ මිතුරෙකුව සිටීමට අපට හැකියි.

අනතුරු ඇඟවීමක්!

13, 14. යෙහෝවා දෙවි සාවුල් රජුගේ පූජාව පිළිගත්තේ නැත්තේ ඇයි?

13 අපේ පූජාවන් දෙවි පිළිගැනීමට නම් හරි ආකල්පයක් ඇතුව ඒවා ඔප්පු කළ යුතුයි. දෙවි පිළිගත්තේ නැති පූජාවන් පිළිබඳ උදාහරණ ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. එවැනි සිද්ධීන් දෙකක් දැන් අපි සලකා බලමු.

14 අමලෙක්වරුන්ව විනාශ කරන්න කියා යෙහෝවා දෙවි සාවුල්ට පැවසුවා. සෑම අමලෙක්වරයෙකුවම මෙන්ම ඔවුන්ගේ සියලුම සතුන්ව මරා දමන්න කියා සාවුල්ට දෙවි අණ කළා. නමුත් එසේ කරනවා වෙනුවට අමලෙක්හි රජු වූ ආගග්ව සාවුල් මැරුවේ නැහැ. ඒ වගේම දෙවිට පූජා කිරීම සඳහා ඔහු හොඳම සතුන්වත් ඉතුරු කරගත්තා. (1 සාමු. 15:2, 3, 21) ඔහු කළ දේට දෙවි සතුටු වුණාද? නැහැ. ඔහු දෙවිට අකීකරු වූ නිසා දෙවි ඔහුව රජකමෙන් පහ කළා. (1 සාමුවෙල් 15:22, 23 කියවන්න.) එයින් අප ඉගෙනගන්නේ මොකක්ද? අපි දෙවිගේ අණපනත්වලට කීකරු වෙන්නේ නැත්නම් අපේ පූජා එනම් අපි දෙවිට කරන සේවය දෙවි පිළිගන්නේ නැති බවයි.

15. දුෂ්ට දේවල් කරන අතරෙම පූජා ඔප්පු කිරීමෙන් ඊශ්‍රායෙල්වරුන් පෙන්නුම් කළේ මොකක්ද?

15 අනික් සිද්ධිය සිදු වුණේ යෙසායාගේ කාලයේදියි. ඒ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන් දෙවිගෙන් සමාව ලබාගැනීම සඳහා පූජා ඔප්පු කළා. නමුත් එසේ කරන අතරේ බොහෝ දුෂ්ට දේවලුත් කළා. ඇත්තෙන්ම ඔවුන් කටයුතු කළේ කුහකයන් ලෙසයි. යෙහෝවා දෙවි ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “ඔබ මට අනන්ත අප්‍රමාණ පුදපූජා ඔප්පු කළත් මට ඒවායින් කිසි ප්‍රයෝජනයක් තිබේද?” ඉන්පසු ඔහු මෙසේ පැවසුවා. ‘දවන ලද බැටළු පූජා හා තර කළ සතුන්ගේ තෙල දැකීම පවා මට දැන් පිළිකුලකි. වසු පැටවුන්ගේද බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ලෙයින් මම කිසි සතුටක් නොලබමි. ඔබ මා ඉදිරියට තවත් ධාන්‍ය පූජා රැගෙන නොඑන්න. ඒවායින් මට කිසි පලක් නැත. ඔබ මා ඉදිරියේ ඔප්පු කරන සුවඳ දුම්ද මට පිළිකුලක්ය.’ එම පූජා දෙවි ප්‍රතික්ෂේප කළේ ඇයි? දෙවි පැවසුවේ ‘ඔබ මොන තරම් යාච්ඤා කළත් මම සවන් නොදෙන්නෙමි. මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත. දැන් නාගෙන පවිත්‍ර වෙන්න. තවත් මා ඉදිරියේ දුෂ්ටකම් නොකරන්න. නපුරු දේ අත්හරින්න’ කියායි.—යෙසා. 1:11-16.

16. දෙවි පිළිගන්නේ මොන වගේ නමස්කාරයක්ද?

16 වැරදි ක්‍රියා අත් නොහැර පූජා ඔප්පු කළ අයගේ පූජා දෙවි පිළිගත්තේ නැහැ. නමුත් දෙවිගේ අණපනත්වලට කීකරු වූ අයගේ යාච්ඤා හා පූජා දෙවි කැමැත්තෙන්ම පිළිගත්තා. ඊශ්‍රායෙල්වරුන් පාපය උරුම කරගෙන සිටින බවත් ඔවුන්ට දෙවිගේ සමාව අවශ්‍ය බවත් මෝසෙස්ට දුන් නීතිය මගින් ඔවුන්ට මතක් කර දුන්නා. එය වටහාගත් විට ඊශ්‍රායෙල්වරුන් තමන්ගේ වැරදි ගැන පසුතැවිලි වී යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලුවා. (ගලා. 3:19) නමුත් අද අපේ වැරදිවලට දෙවි සමාව දෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙනයි. අපි එහි වටිනාකම අවබෝධ කරගෙන එය විශ්වාස කරනවා නම් අපේ නමස්කාරය දෙවි පිළිගන්නවා.—ගීතාවලිය 51:17, 19 කියවන්න.

යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන්න

17-19. (අ) යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන බව අප යෙහෝවා දෙවිට පෙන්වන්නේ කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ මොනවද?

17 ඊශ්‍රායෙල්වරු තමන් කළ පූජා මගින් දෙවි සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීමට කළ යුත්තේ මොනවාද කියා ඉගෙනගත්තා. දෙවිට ස්තුතිවන්ත වීමත් හොඳම කොටස ඔහුට දීමත් දෙවිගෙන් සමාව ලබාගැනීමත් කොතරම් අත්‍යවශ්‍යද කියා මෝසෙස්ට දුන් නීතිය මගින් ඔවුන් දැනගත්තා. නමුත් ඒ සියල්ල ‘සැබෑ දෙයෙහි ඡායාවක් පමණයි.’ (හෙබ්‍රෙ. 10:1) එම සැබෑ දෙය කුමක්ද කියා දැනගන්න අපට හැකියි. ග්‍රීක ලියවිල්ලෙන් පැහැදිලි වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව මගින් දෙවි පාපය හා මරණය සදහටම නැති කරන බවයි. එපමණක් නොව දැන් පවා දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න අපිට පුළුවන්. ඇත්තටම යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගෙන් ලැබූ අනර්ඝ තෑග්ගක් නොවෙයිද!—ගලා. 3:13; හෙබ්‍රෙ. 9:9, 14.

18 නමුත් ඉන් ප්‍රයෝජන ලැබීමට නම් ඒ ගැන වටහාගෙන සිටීම පමණක් මදි. පාවුල් ඒ ගැන පැවසුවේ මෙහෙමයි. “නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපගේ උපදේශකයා බවට පත් වී තිබේ. ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන් අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමට මඟ උදා විය.” (ගලා. 3:24) අපට විශ්වාසයක් තිබෙන බව අපේ ක්‍රියාවලින් පෙන්නුම් කළ යුතුයි. (යාකො. 2:26) මුල් සියවසේ සිටි යුදෙව් ක්‍රිස්තියානීන් දෙවි මෝසෙස්ට දුන් නීතිය ගැන දැන සිටි නිසා තමන්ගෙන් දෙවි බලාපොරොත්තු වන දේ කුමක්ද කියා අවබෝධ කරගෙන හිටියා. පාවුල් ඔවුන්ට උනන්දු කළේ එම දැනුමට එකඟව ජීවත් වෙන්න කියායි. එවිට කිසි බියක් සැකක් නැතුව දෙවි ගැන අන් අයට උගන්වන්න ඔවුන්ට හැකි වුණා.—රෝම 2:21-23 කියවන්න.

19 අද දින සිටින ක්‍රිස්තියානීන් මෝසෙස්ට දුන් නීතියේ සඳහන් පූජා ඔප්පු කිරීම අවශ්‍ය නැතත් දෙවිට ප්‍රසන්න වෙනත් ආකාරයක පූජාවන් ඔප්පු කළ යුතුයි. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා දෙවිගේ ප්‍රමිති වෙනස් වෙන්නේ නැහැ

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිට පූජා කිරීමට ඔබ තෝරාගන්නේ මොන සතාවද?

[19වන පිටුවේ පින්තූරය]

දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ ඔහුට පිළිගත හැකි පූජා ඔප්පු කරන අයටයි